ගෝනි බිල්ලෝ ඇවිත්

 ඡායාරූපය:

ගෝනි බිල්ලෝ ඇවිත්

ගෝනි බිල්ලා බියකරු සත්වයෙකි. සමහර ගම්මු එකල ළමයින් බය කිරීම සඳහා ගෝනිබිල්ලා එන බව කීහ. බත් කැවීම, නිදි කරවීම, බෙහෙත් දීම යනාදිය සඳහා ගෝනි බිල්ලාගේ ප්‍රවාදය ඉදිරිපත් කළහ. ඇත්තටම ළමෝ බය වූහ.
රෑ බදුල්ලකු දෂ්ට කළ හොත් සුවපත් කිරීම සඳහා අහසෙ තරුයි මුහුදෙ මඩයි වුවමනා යැයි වැඩිහිටියන් විසින් දරුවන් බය කරන ලද්දේද එපරිද්දෙනි. දරුවන්ගේ ආරක්ෂාව පතා වුවද එවැනි මිථ්‍යා අදහස් ප්‍රචලිත කිරීම වරදක් යැයි මාර්ටින් වික්‍රමසිංහ කීය.


ගෝනි බිල්ලා ඇත්තටම එයි


80 දශකයෙහි ගෝනිබිල්ලා හැබැහින්ම ප්‍රාදුර්භූත විය. ජවිපෙ සැකකරුවකු අල්ලාගත් පසු ඔහුට ගෝනි වෙස් මුහුණ පළඳවති. අල්ලාගත් තරුණයන් ජවිපෙ නම් ගෝනිබිල්ලා හිස වැනිය යුතුය. ඇස් පෙනෙන්නේ ගෝනියේ සිදුරු දෙකිනි. මීට පෙර අප ගෝනි බිල්ලා දැක තිබුණේ තිස්ස රණසිංහගේ මූර්තියකිනි.
ගෝනිබිල්ලාගේ උත්පත්ති කතාව මෙසේ ගෙන හැර දැක‍වූයේ මේ දිනවල රඟ දැක්වෙන දේශපාලන නාටකය ගෝනිබිල්ලා කේන්ද්‍රකරගත් එකක් වීම හේතුවෙනි.


වඳ කිරීම


සිංහල ජාතිය වඳ කිරීමේ කුමන්ත්‍රණයක් මුස්ලිම් ජාතිකයන් විසින් ආරම්භ කර ඇත යන ප්‍රවාදය සමාජගත කර දශක දෙකක් ගත වී ඇතැයි නොසිතමි. මුස්ලිම් ව්‍යාපාරිකයකුට අයත් ප්‍රසිද්ධ ඇඟලුම් සාප්පුවක ඇඳුම්වලට වඳ බෙහෙත් කවා තිබීම, මුසල්මානුවන්ගේ හෝටල්වලින් නිකුත් කරන ආහාරවලට වඳ බෙහෙත් ඇතුළු කර තිබීම යන ප්‍රධාන චෝදනා දෙක සියුම් අයුරින් සමාජගත කරන ලදි. බොහෝ දෙනා මෙය තදින් විශ්වාස කළහ. නෝ ලිමිට් සාප්පුවලට පහර දීම හා ගිනි තැබීම, මුස්ලිම් හෝටල්වලට පහර දීම එහි ප්‍රතිඵලය විය. එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව නැවත එල්ටීටීඊ නැගිටීමක් ගැන සමාජගත කිරීමට උත්සාහ දැරූවද එය එතරම් පල නොදැරීය. එහෙත් මුස්ලිම් ජාතිකයන් සම්බන්ධයෙන් සමාජගත කරන ප්‍රවාද මුල් අදී.


හතුරා හමුවීම
"දෙමළ මිනිහ නම් ඕනැ එකක්. මරක්කලය එහෙම නෙමේ"
මුස්ලිම් විරෝධය දෙමළ විරෝධයට වඩා ප්‍රබලය. මේ රටේ ජීවත්වන සාමාන්‍ය ජනතාව සුළු ජාතීන් පිළිබඳ තදබල වෛරයකින් පසුවෙතැයි ඉන් අදහස් නොකෙරේ. ඉතා දිගු කලක් සිංහල ජනතාව මේ සියලු ජනවර්ග සමග සහජීවනයෙන් ජීවත් ව ඇත. ජන සංයුතිය මිශ්‍රව පවතින ප්‍රදේශවල මේ තත්ත්වය හොඳින් හඳුනා ගත හැකිය. එසේ නම් ජනවර්ග අතර වෛරයක් ඇති වන මට්ටමට මෙය දුර දිග ගියේ ඇයි ද යන්න සිතා බැලිය යුතුය. විශේෂයෙන්ම සිංහල ජනතාව වත්මනෙහි ජීවත් වන‍්නේ මුස්ලිම් ආක්‍රමණිකයා පිළිබඳ බියකිනි. මුස්ලිම් ව්‍යාප්තිවාදයක් ලොව පවතින බව ඇත්ත වුවද එය වඳ බෙහෙත් කතාව වැනි මුග්ධ අදහස්වලට ලඝු කළ හැක්කක් නොවේ.
එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව රාජ්‍ය බලය ලබා ගැනීමේත් එය පවත්වා ගෙන යෑමේත් අඩයාළමක් ලෙස මුස්ලිම් ආක්‍රමණිකයා පරාජයට පත් කිරීමේ ඊනියා ජාතික අභිලාෂය ඉස්මතු කර ඇත.


ජුංටා කල්ලි


2009 යුද ජයග්‍රහණයෙන් පසුව  එම බල ව්‍යාපෘතිය පවත්වාගෙන යෑම සඳහා රාජ්‍ය දෘෂ්ටිවාදය සකස් කරන ලද්දේ ආණ්ඩුවට සම්බන්ධ වී සිටි ඇතැම් කුඩා දේශපාලන පක්ෂ විසිනි. රාජපක්ෂ රෙජීමය බලගතුව සිටි අවධියෙහි හෙළ උරුමය ඒ භූමිකාව නියෝජනය කළේය. ජාතික නිදහස් පෙරමුණ අනෙක් පක්ෂයයි.
ජාතික හෙළ උරුමය පසුව එම සාම්ප්‍රදායික සටන් ක්‍රමයෙන් තරමකට අත් මිදුණේය. පිවිතුරු හෙළ උරුමය දැන් කාරිය  යහමින් කරගෙන යයි. බොදුබළ සේනා, රාවණා බළකාය සහ සිහල රාවය යනු දේශපාලන පක්ෂ තුනක ගර්භාෂවලින් උපන් විකෘති දරුවන් තිදෙනෙකු වැන්න. ඒවා හැඳින්විය හැක්කේ රෙජීමයේ අභිලාෂ වෙනුවෙන් කටයුතු කළ සහ කරමින් සිටින ජුන්ටා කණ්ඩායම් ලෙසය. මෙයින් සිහල රාවය තරමක් පය පස්සට ගෙන ඇත්තේ එහි දේශපාලන මුදුන් කණුව යහපාලන ආණඩුවේ පාර්ශ්වකරුවකු වීම නිසාය.


රජයෙන් නඩත්තු කිරීම


රාවණා බළකායේ ඊනියා භික්ෂුවකට මෑත කාලයේ චෝදනාවක් එල්ල විය. එනම් විමල් වීරවංශ මහතා නිවාස ඇමති හැටියට කටයුතු කළ සමයෙහි ගමන් බිමන් සඳහා රජයේ වාහන ඔවුන්ට ලබාදී ඇති බවය. වර්ගවාදය සහ සිංහල ස්වෝත්තමවාදය ඇවිස්සීම රජයේ වියදමින් කර ඇති බව මෙයින් පෙනේ.
මෙබඳු අන්තවාදී දාමරික කණ්ඩායම් ළංකර ගැනීම කැලේ යන නයි රෙද්ද අස්සෙ දමා ගැනීමක් බව වැටහෙන විට රටට සිදුවී ඇති විපත වී හමාරය. මෙයින් විශාලම හානිය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට යැයි සිතමි. එජාපය අතීතයෙන් ඉගෙන ගත් පාඩම් අනුව මෙවැනි ගෝත්‍රිකයන් සමග පයුරු පාසානම් පැවැත්වීමේ අවදානම තේරුම් ගෙන සිටී.
ශ්‍රී ලංකාවේ පක්ෂ දේශපාලන ඉතිහාසය අනුව ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික කාර්යභාරය අවසන්ව ඇතැයි සිතමි. එක්සත් ජාතික පක්ෂය ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටී. හොඳ හෝ නරකට රටට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දුන්නේ  එජාපයයි. 17 අවුරුදු පාලනයෙන් රට බේරා ගැනීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිපයේ ප්‍රධාන සටන් පාඨය වූයේද විවෘත ආථිකයෙන් සිදු වූ විනාශයෙන් රට නිදහස් කර ගැනීමය. 94දී එය විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණුවරක් දීම යනුවෙන් සංශෝධනය විය. ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වත්මන් නායකයන් දෙදෙනා අතර ඇති වී තිබෙන ඇතැම් නොගැළපීම් ඔස්සේ පෙනෙන්නේද පක්ෂවල ප්‍රතිපත්තිවලට වඩා පොදු ප්‍රතිත්පත්තිවල කාලීන අවශ්‍යතාව පිළිබඳ සම්මුතියක ඕනෑකමයි.


පක්ෂ වඳ පීදීම


දේශපාලන පක්ෂ වඳපීදෙන විට වල් කැලෑ වර්ධනය වෙයි. නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා සහජීවනය වෙනුවට ජාති මමත්වය උඩට එයි. වත්මන වන විට සිය මව් පක්ෂයෙන්ද විතැන්ව හොරගල් අහුලන රෙජීමය මුළු ශක්තිය යෙදා වර්ගවාදය රට තුළ අවුළුවමින් සිටින්නේ ලද අවසරයෙනි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය, සංවිධාන ශක්තිය, ආගමික සහය සහ මාධ්‍ය හයිය ඔවුන් සතුය. ප්‍රජාතන්ත්‍රීයකරණය වූ රටක රාජ්‍ය දේපළ මංකොල්ලකරුවන්ට, කළුසල්ලිකාරයන්ට පැවැත්මක් නැත.


දීග කෑම


ආගමික සංස්ථාව සමග ඕනෑවට වඩා දීග කෑ බණ්ඩාරනායක මහතා භිෂුවකගෙන් වෙඩි කා මළේය. මේ ආණ්ඩුව හක්කේ තබා සෙම ඇරීම පිණිස කළු සල්ලිකාරයන්ගේ මාධ්‍ය, විවිධ චෝදනාවලට ලක් වූ මිලිටරි කණ්ඩායම්, ජාතිවාදයට ගිනි පිඹින ඇතැම් ආගමික පාර්ශ්ව, නීතියේ රැහැනට හසුවේ යැයි බියෙන් පසුවන දේශපාලන පාර්ශ්ව යනාදී කී නොකී බලවේග කළ යුතු හැම දෙයක්ම කරමින් සිටිති. ගෝඨා ළඟදී එනවා යැයි මන්තරයක් පක්ෂ විපක්ෂ බොහෝ අය මතුරමින් සිටින්නේ එනිසාය. කොහොම වුණත් මවා පාන ගෝනි බිල්ලන්ට වඩා ඇත්ත ගෝනි බිල්ලන්ට අප බිය විය යුතුය. ඒ අප ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගෙන ඇති බැවිනි.

මාතෘකා