වන්දි ගෙවීමෙන් ඔබ්බට | ඇස පාදන රැස


වන්දි ගෙවීමෙන් ඔබ්බට

 ඡායාරූපය:

වන්දි ගෙවීමෙන් ඔබ්බට

මහනුවර ප්‍රදේශයේ සිදු වූ දේපළ සංහාරය නිසා හානි වූ නිවාස යළි සකසා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. එමෙන්ම වන්දි ලබාදීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාවට නැගෙමින් පවතී. අගතියට පත් මුස්ලිම් ජනතාවගේ තුවාල වූ සිත් සුවපත් කිරීමේ පියවරක් වශයෙන් එය අගය කළ හැකිය. එමෙන්ම ගැටුම්කාරී තත්වය රටපුරා ව්‍යාප්ත වීමට නොදී පාලනය කිරීමටද රජය පියවර ගත්තේය. මුහුණු පොත ඇතුළු සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව නැවැවීමද තවත් එක් පියවරකි. බැලූ බැල්මට මේ සියලු කටයුතු ගැටුම් කළමනාකරණයේ සාධනීය පියවර හැටියට පෙනී යා හැකිය. එහෙත් ප්‍රශ්නයේ ගැඹුරට ගියහොත් පෙනෙනුයේ ඊට වඩා සංකීර්ණ චිත්‍රයකි.   


ජාතික එක්සත්කම   


රට තුළ ජාතික එක්සත්කම සහ සංහිඳියාව තහවුරු කළ හැක්කේ ඊට වඩා පුළුල් ක්‍රියාදාමයක් ඔස්සේය.   
විනාශ වූ ගොඩනැගිලි ඉදිකිරීම සහ වන්දි ලබාදීම සිදුකෙරෙනේනේ රජයේ අරමුදල්වලිනි. එනම් බදුගෙවන මහජනතාවගේ මුදලිනි. මේ අනුව බැලූ විට දේශපාලන අරමුණු ඉටුකරගැනීම සඳහා අන්තවාදී කණ්ඩායම් මෙහෙයවූ ප්‍රභූවරුන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සුවසේ සිටියදී මහජනතාව වන්දි ගෙවති. දෙමළ ලේ රස බලා අවසන් වීමෙන් පසුව මුස්ලිම් ලේ රස බැලීම ආරම්භ කළ අන්තවාදී භික්ෂු කණ්ඩායම්ද ඇතුළත් වර්ගවාදීහු සුව සේ නිදහසේ සරමින් ඊළඟ සංහාරය සඳහා පිඹුරු පත් සකසති. 

 
ජනතාව වන්දි ගෙවීම   


අලුත්ගම සහ දර්ගා ටවුන් ප්‍රදේශවල ඝාතන සිදුකර දේපළ සංහාරයක් දියත් කිරීමෙන් පසුවද එවක පැවති රජය විනාශ වූ ගොඩනැගිලි රජයේ වියදමින් ඉදි කර දුන්නේය. එහෙත් අපරාධය මෙහෙයවූවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේ නැත. ඊට හේතුවක් ඇත. ප්‍රහාරයට අවශ්‍ය පසුබිම සැකසූ බොදු බළ සේනා සංවිධානයට ප්‍රසිද්ධියේ අනුග්‍රහය දැක්වූ හිටපු ආරක්ෂක ලේකම්ගේ මතයට ඉහළින් එවක පැවති රජය කිසිදු තීන්දුවක් නොගත්තේය. අලුත්ගම ප්‍රහාරයේ දී රජය ගැටුම පාලනය කිරීමට මැදිහත් වූයේ සියලු දේපළ හානි සිදු කිරීමෙන් පසුවය.  
අන්තිමේදී ඒ සියලු බර පැටවුණේ බදු ගෙවන මහජනයාටමය.   
ජනවාරි 8 ජයග්‍රහනයට කැප වූ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග රට තුළ ජාතික එක්සත්කම සහ සංහිඳියාව සහතික කෙරෙන පාලනයක් අපේක්ෂා කළහ. වත්මන් රජය වර්ගවාදී ගැටුම්වලට අනුබල නොදෙන බව සත්‍යයකි. එසේ වුවද වර්ගවාදී ගැටුම් අවුළුවන බලවේග කළමනාරණය කිරීම අතින් වත්මන් රජය පවතින්නේ පසුගාමී තැනකය. අලුත්ගම සිදුවීම ඇතුළු ප්‍රධාන පෙළේ සිදුවීම් පිළිබඳ සොයා බැලීමේ කොමිසමක් පත් කර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම හිතාමතාම පැහැර හරින ලදි. මෙය රජයේ දුර්වලකමක් ලෙස පරාජිත දේශපාලන පාර්ශ්ව මෙන්ම අන්තවාදී කණ්ඩායම් වටහා ගත්හ. මේ නිසා ඉතා සියුම් අයුරින් මුස්ලිම් විරෝධය කූඨප්‍රාප්තියට ගෙනයමින් සාමයේ නගරය දෙවැනි යාපනය බවට පත් කරන ලදි.   
ඒ අනුව වන්දි ගෙවා අත පිසදා ගැනීමේ පරණ තැටිය නැවතත් වාදනය වන්නට පටන්ගෙන තිබේ. යම් සැනසිල්ලකට තිබෙන්නේ මහසොහොන් බළකාය ඇතුළු දාමරික කඩායම්වල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමය. මේවා හුදෙකලා සංවිධාන හැටියට අපි නොපිළිගනිමු. මේවාට දේශපාලන මූල පවතී. පරීක්ෂණ අවසන් විය යුත්තේ මේවා පිටුපසින් සිටින දේශපාලන, වෙළඳ හා ආගමික ප්‍රභූන් අනාවරණය කරගෙන ඔවුන් නීතිය හමුවට ගෙන ඒමෙනි. එය තරමක් විස්තීර්ණ කටයුත්තකි. ඊට හේතුව එය ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන ක්‍රියාකාරිත්වය සමග ගැටගැසුණු අතිශය සංකීර්ණ සමාජ දේශපාලන ව්‍යුහයක ක්‍රියාරිත්වයක් වන හෙයිනි. මේ පිළිබඳව අප මීට පෙරද සාකච්ඡා කර ඇත. එය ලිපියේ දෙවැනි කොටසින් සැලකිල්ලට ගනිමි.   


ආගමික විරෝධය   


පශ්චාද් යුද සමයෙහි සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවට රජයේ අවධානය යොමු වූයේ රණවිරුවන් ලෙස උත්කර්ෂයට නැංවූ සොල්දාදුවන් සමාජයේ වන්දනීත්වයට පත්කරමින් භික්ෂූ සංස්ථාවේද ආශිර්වාද මධ්‍යයේ පිරිසිදු සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගීමේ දුබල ව්‍යාපෘතියට අතගැසීමය. උතුරේ ජනදිවියට පීඩාවක් වන පරිද්දෙන් හමුදාව යුද්ධයෙන් පසුව සිවිල් කටයුතුවලට සම්බන්ධ කෙරිණ.දෙමළ ජනයා සතු ඉඩම්වල හමුදාව හෝටල් ආරම්භ කළේය. ගොවිතැන් කළේය. පන්සල් ආරම්භ කෙරිණ. අන්තවාදී භික්ෂු කණ්ඩායම්වල මෙහෙයවීමෙන් ආගමික මධ්‍යස්ථානවලට පහර දීමේ ක්‍රියාවලියක්ද දියත් විය.   
2009 යුද ජයග්‍රහනයෙන් පසුව 2013 දක්වා ආගමික මධ්‍යස්ථාන 65 ක් ප්‍රහාරයට ලක් විය. මේවා නැවැත්වීමට රජය අපොහොසත් වීමෙන් පෙනී ගියේ එය දේශපාලන බල ව්‍යාපෘතියක් බවය.   


මුල් සෙවීම   


1915 සිංහල මුස්ලිම් ගැටුම පසුබිමෙහි බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය මෙන්ම ජාති මමත්වයද විය. 2009 යුද ජයග්‍රහණය බෞද්ධ ජනතාවගේ ජයග්‍රහණයක් හැටියටද ගැනීම බෞද්ධ නොවන ආගමික මධ්‍යස්ථානවලට පහරදීමේ මූල හේතුවක් වෙයි.   
මෙහි දේශපාලන මූල පැහැදිලිව හඳුනා ගැනීමේ අවස්ථාවක් 2013 දී ලැබිණ. ඒ වන විට බොදුබළ සේනා සංවිධානය ප්‍රබල තැනක තිබුණේය. හලාල් වර්ජනය පිළිබඳ ප්‍රචාරණය, ඉස්ලාම් පූජක වරුන්ට, උලමා බකමූණා කරනවා යැයි තර්ජනය කිරීම යනාදිය සමාජයේ ප්‍රචලිත මාතෘකා බවට පත් විය. මුස්ලිම් විරෝධය සමාජය අවුළුවන ගින්නක් බවට පත් විය. බොදු බළ සේනාව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර ප්‍රසිද්ධ හමුවක් පැවැත්විණ. එහිදී බොදු බළ සේනා ක්‍රියාන්විතය ජනාධිපතිගේ ප්‍රශ්න කිරීමට ලක් නොවීය. සිදු වූයේ මුස්ලිම් ආගමික සංස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඔහුගේද විවේචනයට ලක් වීමය. මේ ජනාධිපති තවදුරටත් රටේ සියලු ජනවර්ග නියෝජනය කරන නායකයකු නොවන බව මුස්ලිම් ජනයා වටහා ගත්හ.   
ජනවාරි 8 ජනාධිපතිවරණයට පෙර සිකුරාදා දිනයන්හි මුස්ලිම්වරුන් මක්කම දෙස බලාගෙන දෙන ප්‍රතිඥාවට මහින්ද රාජපක්ෂ ගෙදර යැවීම සඳහා තම ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිඥාවද ඇතුළත් විය.   
මැතිවරණ ප්‍රතිපලය කවුරුත් දනිති.   
ප්‍රසිද්ධියේ ත්‍රස්තවාදයට අනු බල දුන් බොදු බළ සේනා වැනි කඩායම්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නව පාලකයෝද බිය වූහ. වරෙන්තු ලැබ සිටි ඥානසාර භික්ෂුව දේශපාලන ප්‍රභූන්ගේ අනුහස ලැබ සැඟව සිටියේය. චෝදනා විශාල ගණනකට අධිකරණයෙහි පැටලී සිටින ඔහු ජනමාධ්‍යයට තවමත් වීරයෙකි. සාමය ගැන අහන්නේද ඔහුගෙනි.   


ආර්ථික බලය

   
බොදු බළ සේනා, රාවණා බළකාය, මහසොහොන් බළකාය වැනි අන්තවාදී සංවිධාන ඕපපාතිකව පහළ නොවීය. එහි අක්මුල් යටත් විජිත සමයටද දිවෙයි. 20 වැනි සියවස මුල හරිය වන විට කොළඹ නගරයෙහි ආර්ථික බලය සංකේන්ද්‍රණය වෙමින් පැවතුණේ සිංහල නොවන සුළුතර ප්‍රජාවන් අතරය. විදේශික බැංකු සිංහල ව්‍යාපාරිකයන්ට බැංකු ණයක්වත් නොදුන්නේය. මහජාතිය වන සිංහලයන් ආර්ථික වශයෙන් බෙලහීන කරමින් සුළු ජාතීන් ශක්තිමත් කිරීමේ රහස, ජාතීන් අතර වෛරය ඇති කරමින් ජාතික එක්සත්කම පළුදු කිරීමය. ප්‍රබල ජාතික ව්‍යාපාරයක් ඇති වීම වැළැක්වීමය. එය සාර්ථක විය. දොන් කරෝලිස් ලී බඩු සමාගමේ හිමිකරු වන හේවාවිතාණගේ පුත් අනගාරික ධර්මපාලගේ නායකත්වයෙන් සැදුණු ජාතික ව්‍යාපාරය සියලු ජාතීන් නියෝජනය කරන්නක් නොවීය. හම්බයා කොච්චියා යැයි සුළු ජාතිකයන්ට පරිභව කෙරිණ. ධර්මපාලගේ බස හා ඥානසාර භික්ෂුවගේ බස අතර වෙනසක් නො‍ෙපනේ. ඒ අතින් බලන ඇතැම් සිංහල බෞද්ධයන්ට ඥානසාර පෙනෙන්නේ ධර්මපාලගෙන් පසුව බුද්ධාගම සහ රට ජාතිය බේරා ගැනීමට පැමිණි වීරයා ලෙසය.   


තමන්ට අහිමි වූ ආර්ථික බලය සිංහල වෙළෙඳ පන්තියෙහි ජානගත වෛරයක් වෙමින් සුළු ජාතික ව්‍යාපාරිකයන්ට එල්ල වී පවතී. එම ව්‍යාපාර පන්තියෙන් වාසි ලබන දේශපාලන ප්‍රභූ තන්ත්‍රය තමන්ට පාඩු සිද්ධ වේ යැයි බියෙන් අන්තවාදයට වැට බැඳීමෙන් වැළකී සිටී. 1983 දී දෙමළ ව්‍යාපාරිකයන්ගේ දේපළ විශාල ප්‍රමාණයක් ගිනි බත් කෙරිණ. ඊළඟ පිම්ම මුස්ලිම් ආර්ථික බලය විනාශ කිරීම සඳහා දේපළ ගිනි තැබීමය. එහි පළමු හා දෙවැනි පියවර අලුත්ගමදීද මහනුවරදීද සාර්ථක විය.   
මේ විභේදනය ඡන්ද පදනම සකස් කර ගැනීමේද මූලෝපායකි. දෙමළ හා මුස්ලිම් ඡන්ද පදනම තමන්ට අහිමි වී ඇති බව පරාජිත රෙජීමය දනී. සිංහල ජාතිය වඳකරන මුසල්මාන්වන් පිළිබඳ භීතියක් සමාජගත කිරීම ඔස්සේ සිංහල බෞද්ධ අතිබහුතරය දිනාගනිමින් ඕනෑම ඡන්දයකින් ජය ලැබීම ඔවුන්ගේ අභිලාෂයයි. රාජ්‍ය බලය අහිමි වුවද දුර්වල ආණ්ඩුවක් ඉදිරියේ ගොබෙල්ස් න්‍යාය අනුගමනය කරමින් ජන විඥානය හැසිරවීම ඔවුහු සාර්ථක කරගනිමින් සිටිති. පළාත් පාලන මැතිවරණය එය අත්හදා බැලූ එක් අවස්ථාවකි. මේ තත්වය වෙනස් කළ හැක්කේ ජනතා අනුමැතිය ඇතිව රට එක්සත්කරන නව ව්‍යස්වථාවක් ඉදිරිපත් කර නීතියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ පාලනය පිහිටුවීමෙන් පමණි. එසේ නොකළ හොත් අන්තවාදීන් දේපළ විනාශ කිරීම හා මහජනයා වන්දි ගෙවීම පිළිබඳ තැටිය නැවත නැවත වාදනය කරමින් ජීවත් විය හැකිය.

මාතෘකා