අපට ඇප නැති උන්ට ඇප ඇති නීතිය කාගේද?

පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ බස් රියදුරුට පහර දෙන අවස්ථාව ඡායාරූපය:  Internet
.පළාත් සභා මන්ත්‍රීවරයා සහ බිරිඳ බස් රියදුරුට පහර දෙන අවස්ථාව
ඡායාරූපය: Internet

අපට ඇප නැති උන්ට ඇප ඇති නීතිය කාගේද?

රටේ ආරක්ෂාව මෙන්ම රටේ පැවැත්ම වෙනුවෙන්  සාමය පවත්වා ගැනීම  බරපතළ තත්වයක පවතින්නේය යන  විශ්වාසය ඇති වන අවස්ථාවක, 1948 මහජන ආරක්ෂක පනතේ දෙවැනි කොටස ක්‍රියාවට නැංවීමට විධායකයට බලය පැවරෙනු ඇත.  එලෙස මහජන ආරක්ෂක පනත ක්‍රියාත්මක කිරීම  හදිසි නීතිය පැණ වීම ලෙසින් විග්‍රහ කෙරෙනු ඇත. කිසියම් රටක හදිසි නීතිය ක්‍රියාත්මක වන තත්වය 'හදිසි අවස්ථාවක්' ලෙස තවත් අතකින් විග්‍රහ කළ හැකිය. මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති වූ නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ ඉකුත් 6 වැනිදා සිට දින දහයක කාලයකට හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා විසින් තීරණය කරන ලදී.

හදිසි අවස්ථාවක් රට තුළ ප්‍රකාශයට පත්කිරීමත් සමඟම ඒ යටතේ දක්වා ඇති වැරදි සඳහා ජීවිතාන්තය දක්වා හෝ නැතහොත් වසර 20 ක් දක්වා වූ දෙආකාරයකින් බන්ධනාගාරගත කිරීමේ දඬුවම් පෙන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර එදින ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරු ප්‍රමුඛව ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව ජීවිත හානි සිදු කිරීම, තුවාල සිදු කිරීම, ලිංගික හිංසනය, දේපොළවලට හානි කිරීම, කොල්ලකෑම, මහජනතාව බියට පත්කිරීම, ජාතීන් අතර පවතින සමඟියට බාධා වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම,  කතා - දේශන පැවැත්වීම, එවැනි ලිපි පළ කිරීම, එවැනි තත්ත්වයක් ඇතිවන ආකාරයට සමාජ මාධ්‍ය භාවිත කිරීම ආදිය මෙම රෙගුලාසි යටතේ ගැණෙන වැරදි බවට ප්‍රකාශයට පත්කර තිබෙන බව ද, එවැනි වරදකදී ජීවිතාන්තය දක්වා හෝ අවුරුදු 20ක් දක්වා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවම පනවා ඇතැයි ද ඔහු කීවේය.  මේ යටතේ සාපාරාධි ක්‍රියා කරන තැනැත්තන්ගේ ජාතිය, තරාතිරම, දේශපාලන පක්ෂපාතීත්වය මේ කිසිවක් ගැන අවධානයක් යොමු නොකර නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට ඇති බවද කීවේය.  

මේ සියල්ල කීවේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම යටතේය. සාමාන්‍ය නීතිය යටතේද උක්ත කරුණුවලට එරෙහිව මෙයාකාරම නීති ඇත්තේය. එහෙත් අම්පාරෙන් පටන්ගෙන නුවරින් අවසන් නොවූ නීතිය අතට ගැනීම්වලට පසුව, ජනබලයෙන් තේරී පත්වූවන්  නීතිය පහත ඇද දැමූ අපූරු සිදුවීම් දෙකක් පසුගියදා රටටම දකින්නට ලැබුණි. එම සිදුවීම් දෙකම සිදුවූවේ මහපාරේය. රටේ මහජනතාව බලා සිටියදීම මහජනතාවට විරුද්ධවය. ජාතිවාදය ඇවිස්සීම සහ ගිනි  අවි පාවිච්චි කරමින් පහරදීම  එකම පන්නයේ බල අපරාධ දෙකකි.  නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත්තේද දෙවිදියකටය.   රටේ හදිසි නීතිය ක්‍රියාත්මකව ඇති වටපිටාවක අපරාධවලට කප් ගැසූ බෙලිඅත්තේ චන්ඩි මල්ලිගේ පුත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.කේ කසුන් හා ඔහුගේ බිරිඳ පිස්තෝලයක් ගෙන බත්තරමුල්ල කොස්වත්ත හන්දියේදී බස් රථ රියැදුරෙකුට පහරදුන්නේය. ඉන් දවසකට පසුව දූෂණ චෝදනාවලින් ජයකෙහිලි නැංවූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලගේ  පුත්‍ර රත්නයද මහපාරේ ගිනි අවි සහ ගිනි කෙළි සංදර්ශන පවත්වා අද යහතින් ඉන්නේද මේ නීති දෙකම ක්‍රියාත්මක වටපිටාවකය.

ඉකුත් 9 වැනිදා කඩුවෙල සිට කොල්ලුපිටිය බස් රථයක් ධාවනය වෙමින් පැවති මඟ අවහිර වන සේ මාර්ගය අසල නවතා තිබු ජිප් රථයකට නලාව ශබ්ද කොට ඉඩ ඉල්ලා ඇත. එහිදී ඇතිවු බහින්බස් වීමක් දුර දිග යාමෙන් පසුව අදාල ජීප් රථයේ සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන් බස් රියදුරාට පහර දී තිබේ. ඉන් නොනැවතී   මන්ත්‍රී බිරිඳද රිවෝල්වරයක් ගෙන 'ඔලුව කුඩුවෙන්න තියනවා' යැයි කියමින් රියදුරුට මහපාරේ පහරදෙන දර්ශන මේ වන විට රටම දැක ඇත. ජීව උණ්ඩ පහක් සමඟ  අදාළ ගිනි අවියද, මන්ත්‍රීවරයා හා බිරිඳද, තලංගම පොලීසිය විසින් එදින අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් වෙත යොමු කරන ලදී. එහිදී ඔවුන්ව ලබන 13 වැනිදා දක්වා එනම්, අත්අඩංගුවට පත් දින සිට දින 4කට රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාල ගිනි අවිය පළාත් සභා මන්ත්‍රී එම්.කේ කසුන්ට අයත් බලපත්‍ර සහිත ගිනි අවියක් බව කියැවේ. එහෙත් ගිනි අවි ආඥාපනත අනුව එවැනි  ගිනි අවියක් භාවිත කළ යුත්තේ එය හිමි පුද්ගලයාය. ඒ ඔහුගේ ආරක්ෂාවටය. නැතිව පාර පුරා ඔවුන්ගේම ජන්ද දායක මහජනතාවට  පහර දීමට නොවේ. අප්ප කළ දේ පුතා කරතැයි කියන කියමන මොවුන්ගේ ඉතිහාසය පුරාම මොවුන් සාක්ෂාත්  කර ඇත. දැන් එම මැර දාමරිකත්වයට ලේලිලාද එළිපිටම බැස තිබේ. අනාගත නාමල් රාජපක්ෂලාගේ දේශපාලනය තුළ දිගු ගමනක් යන්න සිටින එම්.කේ කසුන්ලා සේම, මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී දකුණේ පාතාලයෙන් රාජපක්ෂවරුන්ගේ දෑත් ශක්තිමත් කළේ බෙලිඅත්තේ චන්ඩි මල්ලි නම් වූ මේ පිය පුතු පරපුරයි.

2003 මැයි 25 වෙනිදා කොළඹ යෝක් වීදියේදී චණ්ඩි මල්ලි නොහොත් දකුණු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම, වෙළෙඳ සහ සුළු වාරිමාර්ග අමාත්‍යව සිටි එම්. කේ රංජිත්ට වෙඩි තබා ඝාතනය කරන ලදි.  ඔහුට එරෙහිව තිබූ  අපරාධ චෝදනා ගණනාවක් හේතුවෙන් සෑම ඉරිදා දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිය යුතුව තිබූ අතර, එහිදී ඔහුට වෙඩි තැබුවේද ඔවුන්ම ඇසුරු කළ පාතාලයෙකි. එම ඝාතනයෙන් පසුව ඔහුගේ මෘත දේහය බෙන්තර පාලම උඩ සිට බෙලිඅත්ත නිවස දක්වා රථ පෙළපාලියකින්  ගෙන ගියේ එවක විපක්ෂ නායකව සිටි මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බව සැවොම දන්නා රහසකි.

එම්.කේ. රංජිත් නොහොත් චන්ඩි මල්ලීගේ ඝාතනයෙන් පසුව ඔහුගේ   බාල පුත්‍රයාවන එම්.කේ. අමිල   ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති වන්නේද සුපුරුදු මැර බලයෙනි. අමිල විසින් 2013 මැයි 26 වැනිදා පනාමුරේ පොලීසියේ රථවාහන අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහර දෙන්නේ තම මිතුරෙකුට දඩ කොළයක් ලබා දුන්නාට එරෙහිවය. 2013 ජනවාරියේදී තිස්සමහාරාම මූලික රෝහලේ ආරක්ෂක නියාමක මදුශන්ක ඉන්දිකට හා රෝහල් සහායක පසිඳු රණසිංහට පහර දෙන්නේ රෝහල් ගිලන් රථය අවහිර වන සේ අමිලගේ රථය නතර නොකරන ලෙස කළ ඉල්ලීමකටය. මේ එම්.කේ. කසුන්ගේ පියාගේ සහ බාල සහෝදරයාගේ පැටිකිරියෙන් අල්පයකි. බිරිඳ සමඟ ගිනි අවිගෙන මහපාරේ මිනිස්සුන්ට පහරදුන් දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන්ට මීට පෙර අධිකරණයෙන් ඇප ලබාදී තිබුණේ 2015 ජනාධිපතිවරණය සමයේ සිදුකළ අපරාධයකට එරෙහිවය.

ඉකුත් 9 වැනිදා එම්.කේ. කසුන්ගේ හා ඔහුගේ බිරිඳගේ සිදුවීම වූ දිනම රාත්‍රීයේදී බීමතින් රිය පැදවීම සහ පුද්ගලයන් දෙදෙනෙකුට ගිනි අවියකින් පහර දී තර්ජනය කිරීමේ  චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ දූෂණ චෝදනා කප්පරක් තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලය. 10 වැනිදා  අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත ඔහුව නිදහස් කර තිබේ. රමිත් රඹුක්වැල්ල  ගැනද, ඔහුගේ පියා කෙහෙලිය රඹුක්වැල්ල ගැන සේම ඔහුගේ දියණිය චමින්ද්‍රි රඹුක්වැල්ල ගැනද ඉතිහාසය පුරාම ඇත්තේ එක සමාන චෝදනාය. මේ අප රටේ දේශපාලන මඩ ගොහොරුවේ අතීතයය හා වර්තමානය මෙන්ම අනාගතයයි.

මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල 2012 පෙබරවාරි 6 වැනිදා  තම පුත්‍ර රත්නයගේ  පාදයේ ආබාධයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට ගිය අවස්ථාවේදී ඔහු රැඳී සිටි හෝටලයේ ඉහළ මහලින් ඇදවැටීම හේතුවෙන් ප්‍රතිකාර ගන්නා ලදී. ඔහු ඒ බව 2012 මාර්තු 6 වැනිදා පාර්ලිමේන්තු සභා නායකයා වෙත ලිපියක් එවමින් මාස 3ක නිවාඩුවක්ද ලබාගෙන තිබිණි. පසුව ඔහුගේ පාදයට  වූ ආබාධය සඳහා  බව පවසා ජනාධිපති අරමුදලෙන් රුපියල් එක්කෝටි අසූලක්ෂයක මුදලක් ලබාගෙන තිබිණි. එලෙස පාර්ලිමේන්තු නිවාඩු ලබාගෙන සිටියදී තම කාර්ය මණ්ඩලය ලංකාවේ සේවය කළ බව පවසා ලක්ෂ 11ක ඉන්ධන දීමනාවක් ලබාගැනීම වංචාවක් බව රාජ්‍ය විගණනය හෙළි කරන ලදී. එමෙන්ම 2014 මාර්තු මාසයේ ඔහුගේ නිවසේ විදුලි බිල ලෙස රුපියල් 213,355ක මුදලක්ද, ඔහුගේ නිවසක කිනිතුල්ලන් ඉවත් කිරීම සඳහා රුපියල් 78,000ක මුදලක්ද රජයේ මුදල්වලින් ගෙවූ බවට විගණනය හෙළි කර තිබිණි.

පසුගිය රජයේ සමයේ ඔහු ජනමාධ්‍ය අමාත්‍යවරයා වී සිටියදී 2012 මාර්තු 15 සිට 2012 අප්‍රේල් 14 යන කාලය තුළ 0773444444 යන දුරකථන අංකයට මසකට රුපියල් 239,904කුත් සත 45ක   මුදල රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් පියවීමට කටයුතු කිරීම මඟින් රජයට පාඩු සිදුකිරීම ඇතුළු චෝදනා 3ක් යටතේ ඔහුට සහ මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටිපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට විරුද්ධව අල්ලස් පනත යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනු කර ඇත. 2015 ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් 980,000ක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම පැවරූ තවත් නඩු විභාගයක් තිබේ. ලලිත්- කුගන් අතුරුදන්වීම සම්බන්ධවද සාක්ෂි ලබාදෙන කෙහෙලිය රඹුක්වැල්ලගේ දියණියද දේශපාලන හිතවත්කම් මත රාජතාන්ත්‍රික සේවයට පත් කර තිබූ නිලධාරීන් 36 දෙනාගෙන් එක් අයෙකි. චමින්ද්‍රි රඹුක්වැල්ල 2011 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව වෙනුවෙන් නිව්යෝක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයන්ගේ දෙවන ලේකම් ලෙස 2013 වර්ෂයේ ලද සේවා දිගුකිරීමක්ද සමඟින් සේවය කර තිබිණි.

රමිත් රඹුක්වැල්ල නීතිය කැඩූ පළමු අවස්ථාව මෙය නොවේ.   2013 ජුනි 30 වැනිදා පස්වරු 5.00 ට පමණ ලන්ඩන් බලා පියාසර කරන, ගුවන් ගමන් අංක E 2158 දරන ගුවන් යානයේ   බීමත්ව දොර ඇරීමට ගොස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් 50%ක දඩයක් කෑවේද මේ රමිත රඹුක්වැල්ලය. ඊට පසුව  කුරුඳුවත්ත පොලිසිය විසින් ගොනු කර තිබු නොසැලකිලිමත් ලෙස රිය ධාවනය, අනතුරක් වළක්වා නොගැනීම, බීමත්ව රිය පැදවීම, ව්‍යාජ අංක තහඩු සහිත වාහනයක් පැදවීම, ලියාපදිංචිය වෙනත් අයකුට පැවරී ඇති වාහනයක් පැදවීම  යන චෝදනා පහටම වැරදිකරු බව අධිකරණයේදී පිළිගත්තෙකි. ඒ සඳහා මීට පෙර රුපියල් 29,000ක දඩ මුදලක් ද නියම විය. තාවකාලිකව රියැදුරු බලපත්‍රය පවා අහෝසි වී තිබූ රමිත් මෙවරත් බීමතින් රිය පදවා, ගිනි අවියකින් පහර දී නාවල විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට තුවාල සිදුකර තිබේ.

මේ කතා සියල්ලේදීම අපට ඔවුන්ගේ දේශපාලනය ගැන අවුලක් නොමැත. ඒ ඔවුන් නියෝජනය කරන දේශපාලන කඳවුරෙන් ඊට එහා යමක් බලාපොරොත්තු විය නොහැකි බැවිනි. දහම් සිරිසේනලාද ඇමති පුතුන් ලෙස ගුටි කෙළගත් ඉතිහාසයක් අපට මතකය. ඊටත් වඩා ජනාධිපති පුතුන් ලෙස සමාජ ශාලා කුඩු කළ මෑත ඉතිහාසය මෙන්ම රාජපක්ෂ බේබිලාගේ කෙරුවාවල්ද එකලෙස මතකය. මෙතැන ගැටලුව ඇත්තේ නීතිය ක්‍රියාත්මක වීමේය. හදිසි නීතිය ක්‍රියාත්මක මොහොතක එම්.කේ කසුන්ගේ බිරිඳ මහ පාරේ ගිනි අවි භාවිත කළ විට ඔවුන්ව අත්අඩංගුවට ගන්නේ සාමාන්‍ය නීතිය යටතේය. කෙහෙලිය පුත් රමිත් අත්අඩංගුවට ගන්නේද ගිනි අවියකින් කළ පහරදීමක් හේතුවෙන්ය. එයද සාමාන්‍ය නීතිය යටතේමය. ඊටත් වඩා බරපතළ කාරණය නම් ගුටි කෑ සිසුන් දෙදෙනා පසුව පැමිණිල්ල ඉල්ලා අස් කරගත් බැවින් ඇප දුන් බව පොලීසිය කීමය.

ඇප දීම අනුමත කළ හැකිය. එහෙත්  ගිනි අවියකින් පහරදුන් බවට ආ පැමිණිල්ලට නාරාහේන්පිට පොලීසිය ගත් පියවර කුමක්ද යන්න ගැටලුවකි. ඊට අදාළව කළ පරීක්ෂණය කුමක්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට ඊට පිළිතුරු නොමැත.  හදිසි නීති රෙගුලාසිවල මහජනතාව බියගැන්වීම මූලික කරුණක් ලෙස අඩංගුවන වටපිටාවක එම්.කේ කසුන්ගේ බිරිඳට සහ රමිත් රඹුක්වැල්ලට  ගිනි අවියක් හිමි වූයේ කෙසේද? ඒවායින් මහපාරේ මිනිසුන් බිය වැද්දීමට ඔවුන්ට ඇති බලය කුමක්ද? පොලීසියත්, නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට ආ යහපාලනයේත් නීතිය ඇති එකාටත්. දේශපාලන ඇබිත්තයන්ටත් දෙවිදියක් වීමට හේතුව කුමක්ද? ඉතිහාසය පුරාම මැරයන්ට මංපහරන්ට හා දූෂකයන්ට බලය දුන්නේද ගුටි කෑවේද මහජනතාවමය. එකී ජනතාව බලයෙන් ඉදිමුණු රාජපක්ෂ පාලනය ගෙදර යැව්වේද, දූෂිතයන්ට දඬුවම් ඉල්ලුවේද මහපාරේ තවදුරටත් දේශපාලන හෙන්චයියන්ගෙන් ගුටි නොකන්නය. එහෙත් නීතිය වල් වැදුණු, ඇති එකාට එකකුත් නැති එකාට තව එකකුත් ක්‍රියාත්මක වුණු නීතියේ ආධිපත්‍ය තවමත් යහපාලනය යටතේ එලෙසම ක්‍රියාත්මක වීම කණගාටුදායකය. එහි ප්‍රතිඵලයන් අප පසුගිය සතිය තුළ ඕනෑවටත් වඩා භුක්ති වින්ඳෙමු. රට ගිනි අවුල වන ජාතිවාදී ඥානසාර පන්නයේ සිවුරුදාරීන්ටද, ගෙවල් ගිනි තබන්න මුගුරු ගන්නා ඇබිත්තයන්ටද, පෙට්‍රල් බෝම්බ ගසන මිලේච්ඡයන්ට සේම   මෙවැනි දේශපාලන පැටවුන්ටද නීතිය වහාම ක්‍රියාත්මක කළ යුතුය. මේ ගෙවන්නේ යහපාලනය දුන් මූලික පොරොන්දුව වූ නීතියේ ආධිපත්‍ය ගොඩ නොනැගීමේ හා අපරාධ විනිර්මුක්තියට ඉඩ හැරීමේ පාපයයි.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?