දැළි පිහිය මොට කළ යුතුව ඇත

 ඡායාරූපය:

දැළි පිහිය මොට කළ යුතුව ඇත

දැළි පිහියෙන් කිරි කෑම ලෙහෙසි පහසු නැත. දැළි පිහියෙන් කිරි කන්නේ නම් දැළි පිහිය පාවිච්චි කරන්නට දන්නා අයෙකු විය යුතුමය. එසේ නොවන්නෙකු දැළි පිහියෙන් කිරි කන්නට ගියොත් කට කපා ගන්නවා නිසැකය. මෙරට සමාජ සංස්කෘතික කාරණා අද වන විට ක්‍රියාත්මක වන්නේද දැළි පිහිය භාවිත කරන්නට නොදන්නා වුන්ට දැළි පිහියෙන් කිරිකන්නට දී කට කපා ගත් පසු සිදුවන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියකි. කට කැපුණු පසු තුවාලවලට බෙහෙත් කිරීමෙන් තුවාල හොඳ වුවද තුවාල කැළැල් මැකෙන්නට බොහෝ කාලයක් ගතවනු ඇත. එසේම ඒ තුවාලයේ වේදනාව පිළිබඳ මතකය තුවාල කැළැල් මැකුණු පසුවද විටින් විට වුවද මතුවිය හැක.   

එහෙයින් සිදුකළ යුතු වන්නේ දැළි පිහියෙන් කිරි කන්නට දෙනවා නම් දැළි පිහිය හසුරවන්නට දන්නාවුන්ට එය භාර දීමත් දැළි පිහියෙන් වුවද කන්නේ කිරි බව සිහි තබාගත හැකි වුන්ට ඒ අවස්ථාව ලබා දීමය. එසේ නොවුණහොත් සිදුවන්නේ අනර්ථයක්ම පමණි. ඒ අනර්ථයේ ඵල විපාක අද අපි අත්විඳිමින් සිටිමු.  

මේ කියන්නට යන්නේ අන් කිසිවක් පිළිබඳ නොවේ. මේ කියන්නට යන්නේ අපේ රටේ මජර ජාතිවාදීන් අත්පත් කරගෙන ඇති සමාජ මාධ්‍ය අවකාශය පිළිබඳවයි. සමාජ මාධ්‍ය යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දැළි පිහියකි. ඒ දැළි පිහියේ තියුණු මුවාතින් ශ්‍රී ලංකාවට දැඩි හානි ඇතිවන්නට පටන්ගෙන ගෙන ඇත. ඒ ජාතිවාදී ආගම්වාදී නපුරු සෙවණැලි සමාජ මාධ්‍ය සිය අණසකට යටත් කර ගෙන ඇති නිසාය. මේ යටත් කර ගැනීමේ ප්‍රතිපල දරුණුවටම අත්විඳින්නට සිදුවන්නේ අපේ දරුවන්ටයි. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් නොවී මේ අයුරින්ම පැවතුණහොත් ජාතිවාදයේ ආගම්වාදයේ මජර බලපෑම අනාගතයේ දී මෙරට සමාජයට තවත් දැඩි ලෙසින් එල්ල විය හැකිය.  

මෑත කාලීන උදාහරණ සලකා බැලුවහොත් අම්පාර කාසිම් හෝටලයේ සිද්ධිය, මෙන්ම තෙල්දෙණියේ සිද්ධියත් වෛරසයක් දක්වා ඔඩු දුවන්නට ප්‍රධානම හේතුව වූයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිත්වයයි. අන්තවාදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් සමාජ ජාලා මාධ්‍ය තුළ එතරම් සක්‍රිය නොවන්නට අම්පාරේ සිද්ධිය මෙන්ම තෙල්දෙණියේ සිද්ධියත් මෙතරම් ව්‍යවසනයක් දක්වා වර්ධනය නොවන්නට ඉඩ තිබුණි. දැන් අශ්වයා පැනගොස් හමාරය. ඉඳින් දැන් ඒ ඉස්තාලය වැසීම පලක් නැත. නමුත් දැන් අනෙක් ඉස්තාලවල අගුළු හොඳින් අගුළුලා ඇත්දැයි පරීක්ෂාකාරීව බලන්නට හොඳම කාලය එළඹ ඇත. එය අදාළ පාර්ශ්වයන්ගේ වගකීමක්ද වන්නේය. ඒ වගකීම සුළුපටු වගකීමක් නොවන බවද අදාළ පාර්ශ්වයන් විසින් සිහිතබා ගත යුතුව ඇත. එසේ නොවුණහොත් මීළඟ වතාවේ අශ්වයා ඉස්තාලයත් කඩාගෙනම පැන යනු ඇත.  

හුදු දේශපාලන අවශ්‍යතා ඉටු කර ගැනීම වෙනුවෙන් රටක ස්වෛරීත්වයට එරෙහිව කිසියම් පිරිසක් කටයුතු කරනවා නම් ඊට ප්‍රබල සහයෝගයක් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරගෙන යනවානම් ඊට එරෙහිව ක්ෂණිකව ක්‍රියාත්මක වීම බලධාරීන් සතු වගකීමකි. ඒ වගකීමෙන් මිදෙන්නට කිසිවෙකුටත් හැකියාවක් නැත.   

කිසිදු වාරණයකින් තොරව ක්‍රියාත්මක වන සමාජ මාධ්‍ය හරහා සැබැවින්ම ඔවුන් මේ ගොඩනඟන්නට උත්සාහ කරන්නේ කුමක්ද ?. මහජාතිය නියෝජනය කරනවා යැයි කියමින් බෞද්ධ භික්ෂූන් පවා මෙම දමිළ, මුස්ලිම් විරෝධී මතවාදය මෙහෙයවන්නන් බවට පත්වී තිබීම අතිඛේදනීය තත්ත්වයක් වී ඇත. නමුත් එය එක් ආගමකට හෝ ජාතියකට පමණක් සීමාවන කාරණයක් නොවේ. සෑම ආගමකක්ම නියෝජනය කරන්නාවූ අන්තවාදී පිරිස්වල වාරණයක් නියාමනයක් නැති සමාජ මාධ්‍යයේ වල්බූරු නිදහසක් භුක්ති විඳිමින් සිටිති. ඒ වල් බූරු නිදහස බුක්ති විඳින්නන්ට ලේ රසට ඇලුම් කරන දේශපාලකයන් ලබා දෙන එක් අත්පොලසනකින් ඔවුහු තව තවත් ශක්තිමත් වීම සිදුවේ.   

ජාතිමාමක, දේශමාමක, ජාතිහිතෛෂී, අධිරාජ්‍ය විරෝධී ලෙබල් අලවාගෙන ජනතාව ඉදිරියේ වෙස්මුහුණු පැළඳගෙන රට අරාජික කර තම දේශපාලනික අරමුණු ඉටුකර ගන්නට උත්සාහ කරන අධම දේශපාලකයන් අවබෝධ කරගත යුතු කරුණක් තිබේ. එනම් ඔවුන් මේ සෙල්ලම් කරන්නේ ඔවුන් වෙනුවෙන් ඡන්දය ලබාදුන් අහිංසකයන්ගේ දරුවන්ගේ අනාගතය සමඟින් බවය. මන්ද රටට යම් කිසි ව්‍යසනයක් වුණොත් ඒ දේශපාලකයෝ නම් සිය දරු මල්ලන්ද කැටුව තමන්ට පුරවැසිභාවය හිමි වෙනත් රටකට හෝ වාසය කරන්නට යනු ඇත. නමුත් ඔවුන් පාර්ලිමේන්තු එවන්නට පෝස්ටර් ඇලවූ, කැන්වසින් ගිය, ඡන්දය ලබා දුන් අහිංසක ඡන්දදායකයන් මෙරට තවත් වින්දියන් පිරිසක් පමණක් බවට පත්වනු ඇති බව ඒ මජර දේශපාලුවන් අබැටක් තරමට හෝ සිතන්නේ නැත.  

අවාසනාවකට කරුණ වන්නේ මෙරට ඡන්දදායකයන් මේ යථාර්ථය අවබෝධ කර නොගැනීමයි. ඒ යථාර්ථය අවබෝධ කර ගැනීම වෙනුවට ඔවුන් සිදුකරන්නේ සමාජ මාධ්‍යයේ සැරිසරණ කාරණා යථාර්ථය යැයි සිතමින් මුළාවේ වැටීමට. මේ යථාර්ථය පැහැදිළි කරන්නට උත්සාහ කරන්නා ජාතිවාදියෙකු ලෙස ලේබල් ගසා කොන් කර දමන්නට තරම් අන්තවාදී පාර්ශ්ව සංවිධානය වී සිටී.   

ඒ සංවිධානවලට එරෙහිව සමාජ මාධ්‍යයේ කටයුතු කරන්නට තවත් එවැනිම පිරිසක් ගොඩනැඟීම කළ යුතුයැයි ඇතැමෙක් පැවසිය හැක. නමුත් එය විසඳුම නම් නොවේ. ඉන් සිදුවන්නේ ව්‍යසනය තවත් ඔඩු දිවීම මිසෙක විසඳීම නොවේ.  
සමාජ මාධ්‍යයේ ජාතිවාදය, ආගම්වාදය වපුරන්නන්ට එරෙහිව ඉක්මනින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වගකිවයුතු ආයතන කටයුතු කළ යුතුව තිබේ. ඒ සඳහා නව නීති අවශ්‍යනම් කඩිනමින් ඒවා සම්පාදනය කර ගත යුතුව ඇත. ඒවා සම්මත කර ගැනීමේදී පාර්ලිමේන්තුවේ කුළල් කා ගැනීම් නවතා දැමිය යුතුය. එසේ නොවී රටක් වශයෙන් ඉදිරියට යන්නට නම් කිසිවෙකුටත් නොහැකි වනු ඇත.   

එසේත් නොමැතිනම් කළ යුතු වන්නේ මේ දැළි පිහියේ මුවාත මොට කිරීමයි. එවිට සිදුවිය හැකි හානිය හෝ අවම වනු ඇත. එබැවින් මේ සමාජ මාධ්‍ය නියාමනයක් සිදුකිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව තිබේ. එසේත් නැත්නම් සමාජ මාධ්‍යය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන ප්‍රථිපත්ති මෙරටද ක්‍රියාත්මක කළ යුතුත තිබේ. මන්ද දැළි පිහියෙ කිරි කන වුන් ඊට පුරුදු පුහුණු වන්නේ නැත්නම් අඩුම තරමේ දැළි පිහියේ මුවාත මොට කර හෝ සිදුවිය හැකි හානිය අවම කර ගත යුතු නිසාය. එසේ නොවුනහොත් දැළි පිහියෙන් කිරි කන්නට ගොස් කට කපා ගත්තවුන් ඒ පළිය ගන්නට රට බිලිගන්නට කටයුතු කරනු ඇත.  

[දිලංක ගුණතිලක]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?