ලංකාවට නාවා නම් ඇන් ඇම් එංගලන්තයේ අගමැති

 ඡායාරූපය:

ලංකාවට නාවා නම් ඇන් ඇම් එංගලන්තයේ අගමැති

77 මහා මැතිවරණය සඳහා යටියන්තොට ආසනයේ එක්සත් ජාතික පක්ෂ මහ රැළිය පැවැත්වුණේ ජේ ආර් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙනි. එම ප්‍රදේශ වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වූයේ වින්සන්ට් පෙරේරාය. ල.ස.ස.ප. යෙන් ඉදිරිපත් වූයේ ආචාර්ය ඇන්. ඇම්.පෙරේරාය. ජේ ආර් වේදිකාවට ගොඩවිය. බර හඬින් මෙහෙම කීවේය.  
“මිත්‍රවරුනි, දේශපාලනය කොරන්න උගත්කම තියෙන්න ඕන. බුද්ධිය තියෙන්න ඕන. අත්දැකීම් හා පළපුරුද්ද තියෙන්න ඕන. හොර මැරකම්වලින් තොරවෙන්න ඕන, මේ මැතිවරණයේදී යටියන්තොට ආසනයට පෙරේරලා දෙන්නෙක් තරඟ කොරනවා. මෙයින් මම කියාපු සුදුසුකම් ඇති පෙරේරා පත්කොර ගන්නා ලෙස මම යටියන්තොට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”  

 


ජේ ආර් කීව වර්ගයේ සුදුසුකම් කිසිවක් නොතිබූ වින්සන්ට් පෙරේරා තක්කු මුක්කු වී සිටියේය. තමන් සන්විධානය කරපු වේදිකාවට ගොඩ වී ප්‍රතිවාදියාගේ සුදුසුකම් ගැන උජාරුවෙන් කී ජේආර් දෙස ඔහු මුව අයාගෙන බලා සිටියේය. ඇන් ඇම්ට ඡන්දේ දෙන්නැයි යටියන්තොටදී නොකියා කී ජේ ආර් අඟුරුවැල්ලේ දී කෙලින්ම කීවේ මෙහෙමය.  


“පාර්ලිමේන්තුවේ කුමන පක්ෂයක් වැඩි ආසන ලබාගෙන රට ආණ්ඩු කළත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මැතිතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම පුද්ගලයකු ලෙස මම සලකනවා.”   
ජේ ආර් පවා ඇන්ඇම් පාර්ලිමේන්තුවේ සිටින එක අත්‍යවශ්‍ය ලෙස සැලකුවේ එහෙමය.  


ඇන් ඇම් කියන්නේ මෙරට දේශපාලනයේ ප්‍රතාපවත් නායකයෙකි. කිසිදිනක රටේ නායකත්වය නොලද නමුත් ඔහු රටේ නායකයෙකුට වඩා කතා බහට ලක් වූ ශ්‍රේෂ්ඨයෙකු විය.  
පී.එම්.ඩී. හා ඩී.එස්.සී. උපාධි දෙකම අවසන් කළ ඔහුට බොහෝ දෙනා කීවේ “ඩබල් ඩොක්ටර්” කියාය. 1927 දී ඇන. ඇම්. එංගලන්තයට ගියේ “ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික්ස්” අර්ථ ශාස්ත්‍ර විද්‍යා පීඨයට ඇතුළු වන්නටය. මෙහි දී ඔහුට සුවිශේෂී චරිත ද්විත්වයක් හමු විය. ඒ ලෝක ප්‍රකට අර්ථ හාස්ත්‍රඥයෙකු වූ හැරල්ඩ් ජේ ලැස්කි හා භාරතයේ මහා රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ ක්‍රිෂ්ණ මෙනන්ය.   


 තුන්කල් දුටු නායකයෙකු ලෙස ප්‍රකට ඇන්. ඇම් සැබවින්ම ප්‍රාඥයෙකු විය. මහාචාර්ය හැරල්ඩ් ලැස්කි යනු දේශපාලන ආර්ථිකය සම්බන්දව ලොව සිටි අග්‍ර වියතෙකි. ඇන් ඇම් ඔහුගේ හොඳම ගෝලයාය.  
 “ඇන්.ඇම්. එංගලන්තයේ උපන්නේ නම් කවදා හරි දවසක කම්කරු පක්ෂයෙන් අගමැති වෙන්න තිබ්බා. නැත්නම් මුදල් ඇමැති වෙන්න තිබ්බා” වරක් ලැස්කි එහෙම කීවේය  
ඒ කියන විදිහට ඔහු එංගලන්තයේ සිටියා නම් එහේ අගමැති කෙනෙක්ය.  


එහෙත් ඇන් ඇම් එංගලන්තයේ නොරැඳී ලංකාවට ආවේය. නාවානම් සමහරවිට ලැස්කිගේ අනාවැකිය 'හරියන්නට' ඉඩ තිබිණි.  
පසු කලෙක ඔහු සමාජවාදය කෙරෙහි නැඹුරු වූයේ ලැස්කිලා හරහාය.  
ඇන් ඇම් 1936 පෙබරවාරි 22 වෙනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දෙවැනි මැතිවරණයෙන් රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාසයේ තරඟ බිමට ආවේය.   
එදා ඇන්.ඇම්. කීවේ, “මේ රටේ ගම්මුලාදෑනි ක්‍රමය අහෝසි කළ යුතුය. එය විහිළුවකි. පාසල් සිසුන්ට දිවා ආහාරයක් රජය විසින් සැපයිය යුතුයි. ” යනුවෙනි. එදා ඔහු ඡන්ද 2975 කින් පරාජය කළේ ප්‍රබල තරඟකාරියක වූ ඇඩ්ලින් මොලමුරේ කුමාරිහාමිවය.  


ව්‍යාජ මහන්තත්තකම් වලින් යුක්තව මහ පොළවෙන් අඩි කිහිපයක් උඩ සිට දේශපාලනය කළ ඇතැමුන් අතරින් ඇන්. ඇම්ලා වෙනස් වෙන්නේ ඔවුන් මහපොළවේ දේශපාලනය කළ නිසාය.  


ගවයාට තණ නෑ - ගැමියනට ඉඩම් නෑ. රටට නිදහස නෑ. යන ජනප්‍රිය සටන් පාඨයේ සිට” ඩව්බිගින් දුෂ්ටයා පලවා හරිනු !”

වැනි උණුසුම් සටන්පාඨ දක්වාත්, පළල් තලයකට ඇන් ඇම්ලා රැගෙන ගියේය.  
එතෙක් මෙතෙක් රටේ විශිෂ්ටතම අය වැය ලේඛනය හැදුවේ ඔහුය. 70 දශකයේ ලොව මූල්‍ය අර්බුදයක පැටලී තිබියදී, ඇන්. ඇම්. ට මුදල් ඇමැතිකම බාර ගන්නට සිදුවූ අතර ‘පිටරට දේ අපට එපා, අප රට දේ වඩා හොදා’ යන්න පිළිගනිමින් දේශීය නිෂ්පාදන දියුණු කිරීමටත්, අපේ රටේ වැවිය හැකි සියලු දේ මෙරට වගා කිරීමටත් නව කර්මාන්ත ඇරඹීමටත් අනුබල දුන්නේය.1972 අයවැය වාර්තාවේ කෙලවර තිබූ යෝජනාව රටත් ලෝකයත් මවිතයට පත් කළේය.
ඒ රුපියල් සියයේ නෝට්ටු තහනම් කිරීමේ යෝජනාවය. පසුදින වන විට මුදල් නෝට්ටු මාරු කරන්නට බැංකු ඉදිරිපිට මහ දිගු ‍පෝලිම් ඇතිවිය.   
 ගෝනිවල, මෙට්ටවල මුදල් තොග සඟවා සිටි උදවිය මුදල් නෝට්ටු මාරු කරවා ගැනීමට දුප්පත් ජනයාට රුපියල් 300 බැගින් දී සියයට දහයේ කොමිස් මත මුදල් මාරු කරවා ගත්හ. උඩින් කඩාපාත් වූ මේ නිධානය දුප්පතුන්ට අරුමයක් විය. මුදල් මාරුකර දෙන විට තමන්ට කොමිස් ලැබෙන බැවින් අහිංසක ගැහැනු පිරිමි විශාල වශයෙන් ධනවතුන් වෙත ගොස් මෙසේ මුදල් මාරුකර දීමට දිගු ‍පොලීම්වල සිටියහ.  
 සඟවා තිබෙන මුදල් පිළිබඳ සංඛ්‍යා ‍ලේඛන හෙළිවීමෙන් බදු නොගෙවා සිටීමේ වරදට අසුවෙතැයි සිතා ගෝනි පිටින් මුදල් පිළිස්සීමේ සිද්ධීන්ද වාර්තා වූ අතර බොරැල්ල, දෙමටගොඩ, කොල්ලුපිටිය, බේරුවල ඇතුළු ප්‍රදේශ ගණනාවක මහා පරිමාණයෙන් මුදල් පිළිස්සීමේ ඡායාරූපද එදා පුවත්පත්වල පළවිය.   නරේන්ද්‍ර මෝඩි ඉන්දියාව භාරගෙන ටික කලකට පසුව ආන්දෝලනාත්මක වැඩක් කළේය.ඒ, රුපියල් පන්සියයේ නෝට්ටු තහනම් කිරීමේ තීන්දුවක් ගැනීමය. කලු සල්ලි එළියට අදින 'තීරණාත්මක'මෙහෙයුමක් බවට එය පත් විය. ඉන්දීය ආර්ථිකය 'නැවත' පණ පොවන තැනකට ගන්නට ඒ උපක්‍රමය සාර්ථක විය. එහෙත්, තීන්දුව ක්‍රියාත්මක කරත්දී රටේ දස දෙසින් ජනයා 'මෝඩිගේ'දෙමාපියන් පවා සිහි කළහ.  
නෝට්ටු තහනම් කරන කටයුත්ත මෝඩි කරන්නට දශක හතරකට පෙර ලෝකයේ මුල්ම වරට සිදුකළේ ලංකාවේය.  


ඔහු ගෙනා යම් යම් යෝජනා ගැන සමහරු උපහාසයෙන් කතා කළහ.  


පාසල් සිසුනට දිවා ආහාර ලබා දෙනු, කියා එකල ඇන් ඇම් ලා කියන විට සර් බාරොන් ජයතිලක කීවේ “පාසල් සිසුනට නොමිලේ ආහාර සැපයිය හැකිනම් පොල්ගස් උඩ තණකොළ වැවෙනු ඇතැයි' කියාය.  


ඇන් ඇම් ක්‍රීඩකයෙකි. ක්‍රිකට් ලෝලියෙකි. ලංකාවට ටෙස්ට් තත්වය ලබාගැනීමට පාදම සැකසුනේ ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිව සිටින විටය. ඔහු සම්භාව්‍ය සංගීතය ප්‍රියකළ තැනැත්තෙකි. බටහිර කළු ජාතික ගායකයකු වූ පෝල් රොබිසන්ගේ තැටි එකතුවක් ඔහු සතුවිය. ඇන්.ඇම්. හොඳ නළුවෙකි. ඔහු ලංකාවේ මුල්ම චිත්‍රපටය ලෙස සැලකිය යුතු “රාජකීය වික්‍රමයේ” රඟපෑවේය. ඇන්.ඇම් ගේ බිරිඳ ඔහුගෙන් වෙන් වූවාට පසු ඔහු සුරතලයෙකුට සමීප විය. ඒ සුරතලා ලේනෙකි. කලක් මතට ලොල්ව සිටි ඔහු පසුව ඉන් මිදුනි.  


1955 ඔක්තෝබර් 19 වෙනිදා පාර්ලිමේන්තුව අමතමින් පැය තුනක් තිස්සේ, ඇන්. ඇම් කල කතාව තුන්කල් දුටු ප්‍රාඥයෙකුගේ දෙසුමකි. භාෂාව හා ජාතිය පදනම් කරගත් මෙම ගැටලු ගැන අනාගත වැකියක් ඔහු කීය.  


“පක්ෂය පටන් ගත් මුල් අවදියේ සිටම අපි මේ ප්‍රතිපත්තියෙහි එල්බ ගත්තේ එය නිවැරැදි නිසාය. අපි තවමත් එම ප්‍රතිපත්තියෙහි සිටිමු. කොතරම් ජනප්‍රියතාවයෙන් ඈත් වුවද එහි නිවැරදිභාවය ගැන මට විශ්වාසය. දේශපාලන වශයෙන් මේ අවස්ථාවේදී අපට අවාසි වුවත් ලංකා සමසමාජ පක්ෂයේ පාක්ෂිකයන් වන අපි ඇතිවන තත්ත්වයට මුහුණ දීමට සැරසී සිටිමු


අපට එක්සත් ජාතියක් අවශ්‍ය නැද්ද යන්න ඉතාමත් වැදගත් දෙය මෙයයි. වෙනස් වෙනස් සභ්‍යත්වයන් හා භාෂාවන්ගෙන් නොබෙදි සිටීම අපට අවශ්‍ය නම් අප විසින් එම අරමුණු ඉටු කර ගැනීමට ක්‍රියා කළ යුතුය... මගේ යෝජනාවෙන් අදහස් කරන්නේ කොටින්ම මෙන්න මේ ටිකය. සිංහල කතා කරන ප්‍රදේශයක සිටින දෙමළ අයෙකුට තමාගේ වුවමනාවන් රජය මඟින් කරගන්න විට ඔහුගේ භාෂාවෙන් කරගන්නා අතර, දෙමළ ප්‍රදේශයක සිටින සිංහලයකුට ද ඔහුගේ භාෂාවෙන් වැඩ කර ගැනීමට අවස්ථාවක් තිබිය යුතුය. මම වචන ගැන නොව අදහස් ගැන පෙනී සිටිමි. යමකු සමතැන් යන වචනයට මේ අදහස ඇති වෙනස් වචනයක් යෙදීමට රිසි නම් මම විරුද්ධ නොවෙමි”  
අදත් රට දුක් විඳින්නේ මේවා නොකළ හින්දාය.  


1936 දී පැවති රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් රුවන්වැල්ල අසුන ජයගෙන රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වූ එන්. එම්. 1977 දක්‌වාම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුව සිටිමින් අපරාජිතව වසර 40ක්‌ එකදිගටම පාර්ලිමේන්තුවේ සිට වාර්තාවක්‌ පිහිටුවීය.  
තමන්ගේ එදිනෙදා වියහියදම් පොතක සටහන් කර අය වැය ලේඛනයක් තබාගැනීම ඇන් ඇම් ගේ පුරුද්දක් වූ අතර, වාමාංශිකයෙකු වුවද හෙතෙම උදේ සවස බුදුන් වැඳීමද පුරුද්දක්ව කළේය.  
සමඟි පෙරමුණු ආණ්ඩුව ගොඩදැම්මේ ඇන් ඇම්ය. එහෙත් කොයි කෙසේ වෙතත් පසු කලෙක ඔහු හා මැතිණිය අතර ගැටුම් මතු විය. පොරොන්දු වූ ප්‍රකාරව ඇන් ඇම්ට මුදල් ඇමතිකම දුන්නද 'නිදහසේ' කරන්නට ඉඩක් ලැබුනේ නැත. ඈ එය සංශෝධනය කරමින් ඇන් ඇම් ව මුදල් අමාත්‍යධූරයෙන් නෙරපුවාය.  
 ජනාධිපති විලියම් ගොපල්ලව මහතාගේ අත්සනින් යුතුව 1975 සැප්තැම්බර් 02 වැනි දින ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුදල් ඇමැති ධූරයෙන් ඉවත් කෙරෙන පහත සඳහන් ලිපිය ජනාධිපති කාර්යාලයෙන් නිකුත් කෙරිණ.  
ජනාධිපති කාර්යාලය  
ජනාධිපති මන්දිරය  
කොළඹ - ශ්‍රී ලංකාව  
ඉවත්කිරීම  
ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති විලියම් ගොපල්ලව වන මම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 96/(අ) වගන්තියෙන් මා වෙත පැවරී ඇති බලතල යටතේ හා ප්‍රකාර. ආචාර්ය නානායක්කාර පතිරණගේ මාටින් පෙරේරා වන ඔබ මුදල් අමාත්‍ය ධූරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි මෙයින් ඉවත් කරමි.  
1975 ක් වූ සැප්තැම්බර් මස දෙවෙනිදා අ:භා: 4.00ට කොළඹදි.  
වි. ගොපල්ලව  
ජනාධිපති.  

ඒ වෙනුවට මැතිණිය යෝජනා කළ තනතුරු වූයේ   
ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාට  
1. දේශීය හා විදේශීය වෙළඳාම හෝ  
2. සෞඛ්‍ය, හෝ  
3. නාවික හා සංචාරක යන තුනෙන් එකක්.   
ලෙස්ලි ගුණවර්ධනට  
1. ධීවර, හෝ  
2. තැපැල් හා විදුලි පණිවුඩ, හෝ   
3. කම්කරු යන තුනෙන් එකක්ය.  
ඉන් ඇන් ඇම්ලාගෙන් වැඩ ගැනීම හමාර විය. වරක් ඇන් ඇම් මුදල් ඇමැතිව සිටියදී බදුල්ලේ සිට කොළඹ බලා එන්නට දුම්රියට නැංගේය.පළමු පංතියේ හෝ දෙවන පංතියේ අසුනක් ඔහුට ලබාගත නොහැකි විය. ඔහුට සිදුවුණේ තුන්වන මැදිරියේ සෙනඟ මැද තෙරපෙමින් එන්නටය. අතරමඟදී දහඩිය පෙරාගත් මිනිසෙක් ඇන් ඇම්ව හඳුනා ගත්තේය. වහාම ඇන් ඇම් වෙත ආ ඔහු 'මගේ දෙයියෝ ඇන් ඇම් මහත්තෙයෝ, ඔහොම යන්න බෑ ඔබතුමාට... එන්න අපි වෙන මැදිරියකට යමු' කියා පෙරැත්ත කළේය. පෙරැත්තයෙන් බේරෙන්න බැරි තැන ඇන් ඇම් ඔහු සමඟ අනෙක් මැදිරියට ගියේය.
පසු කලෙක පස්සර මන්ත්‍රී සෝමපාල සෙනෙවිරත්න යනු එදා ඇන් ඇම්ට අසුනක් සොයා දුන් දුප්පත් මිනිසා ය.ජේ ආර් ජයවර්ධන මහතා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන විට එන් එම් සිටියේ අසනීපවය. ව්‍යවස්ථාවේ අනතුර කල් වේලා දුටු ඇන් ඇම් තමා සමීපයේ සිටි ඔස්මන්ඩ් ජයරත්න සමඟ මෙහෙම කියා තිබේ.  
 ‘ඔසි මේ මනුස්සයා කරන්න යන දේ කොච්චර භයානකද කියලා දන්නවද? සියලූම ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ටික අල්ලාගෙන, අසීමිත බලයක් තනි පුද්ගලයකුට පවරාගන්න යන්නේ, ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම. ආයිත් පාර්ලිමේන්තුවට, අධිකරණයට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ… මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය හමුවේ එල්ලවන අභියෝග ගැන දැඩි ලෙස කලබලවී සිටින ඇන්. ඇම්. විධායක ජනාධිපති හමුවේ සෙසු දේශපාලන ක්‍රීයාකාරීත්වයන්ට අත්වන ඉරණම පිළිබඳව අපූරු පැහැදිළි කිරීමක් මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නට කර ඇත. ‘ඔසි බලන්න මේ මිනිහාගේ බලය නිසා පාර්ලිමේන්තුවේ ජනතා නියෝජිතයන්ට වෙනදේ. ජනතා නියෝජිතයන්ගේ අභිමානයත්, ගෞරවයත් මේ මහා බලයක් ඉදිරියේ නැතිවෙලා යනවා. ඒ විතරක්ද ජනතා නියෝජිතයන්ට වෙන්නේ දේශපාලන ඇබිත්තයෝ වෙන්න. ජනාධිපතිට නමස්කාර කරගෙන ඔහුට අවනතව දෙන දෙයකින් සෑහීමකට පත්වෙන්න… ඕක තමයි ලංකාවේ අනාගත දේශපාලනය වෙන්නේ… මට කියන්නේ මේක දැක දැක අහක බලන් ඉන්නද? මිනිස්සුන්ට මේක ගැන අනතුර අඟවන එක මගේ වගකීමක්, ඉතුරු ටික අනෙක් අය බලාගන්න ඕනේ’…කියා පවසා තිබේ.  
එදා ඔහු කී දේ අද අකුරක් නෑර යථාවක් වී තිබේ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?