අවස්ථාවාදි‍‍යෝ | ඇස පාදන රැස


අවස්ථාවාදි‍‍යෝ

 ඡායාරූපය:

අවස්ථාවාදි‍‍යෝ

ලංකාවේ පරණම කැසට් කඩේට ගොඩ ව,වැඩියෙන්ම විකි‍ෙණන කැසට් එක කුමක්දැයි ඇසූ විට ඔහු දුන් පිළිතුර වූයේ'මහත්තයෝ මොන රැලි ආවත් හැමදාම විකිණෙන්නේ බෙග් මාස්ටර්ගේ කැසට් එක. හාමුදුරුවරු ඇවිත් ඉල්ලන්නෙත් ඒක'කියා ය.'


බෙග් මාස්ටර් ගීත දහස් ගණනක් ගයා තිබේ.ඉන් වැඩි  පංගුව බුදු ගුණ ගීතය.අලුත් අවුරුදු එන බව කොහා කියා පාද්දී,වෙසක් පොසොන් එන  වග කියා පාන්නේ බෙග් මාස්ටර්ගේ උච්ඡ ස්වරය ය.සුමධුර බණ පදයක් අද්දර ලබන  හික්මීම බෙග් මාස්ටර්ගේ බුදු ගුණ ගීයක් අද්දරද ලබන්නට ශ්‍රී ලාංකිකයින්   ඇබ්බැහිව සිටිය හ.


ඔබේ රා ගී මන කැළඹේදෝ-පිවිතුරු හදවත් පෑරේදෝ
එම විට පවසනු මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමී....


යනුවෙන් ගයන විට එය උපනිෂද් ස්වරයක් සේ වැළඳ ගත් සමාජයකි මේ.  


ප්‍රසංගයක් නිමව ජෝති, ක්ලැරන්ස්, නිහාල්, මිල්ටන් යනාදී  සියල්ලෝම එකම වාහනයේ එන්නේ බෙග් මාස්ටර්ද කැටුවය. අතරමඟ නතරව, සප්පායම්වන කඩය  සිංහලද, මුස්ලිම්ද, දෙමළද කියා ඔවුහූ සොයන්නේ නැත.මානව ගුණයෙන් හිත 'මත්'වූ  විට කාත් කවුරුවත් 'වඳ පෙති'දමන්නේද නැත.


ලෝකය  දික් විජය කරන්නට හිතාගෙන පෘතුගීසීන් සහ ලන්දේසීන් නැව් නැග්ගේ එක් අතක  බයිනෙත්තුවත් අනෙක් අතේ බයිබලයත් දරාගෙන ය. එහෙම මෙරටට ආව සමහරක් පෘතුගීසි  ත්‍රස්තයෝ සිංහල ගම් දනව් වනසා දමා තිබුණේ ආගම පලිහක්ව අත දරාගෙනය.කිරිකැටි  නොදරුවන් ඉහළට වීසිකොට අසිපත ඉහළට යොමා ගෙන සිටි සාහසිකයෝ කඩු තුඩ  පසාරුකරගෙන ගොස් මියෙන දරුවන් දෙස බලා ආහ්ලාදයක් ලැබූහ.ඔවුහූ ආගම ප්‍රචාරය  කළේ එහෙම ය. 'අසල්වැසියාටත් ප්‍රේම කරන්න' ඉගැන්වූ ජේසු තුමන් කිසිදාක එකී  ප්‍රචාරක ක්‍රමවේදය අනුදැක්කේ නැත.පුටුවක්  තමන් සන්තක කරගනු පිණිස, චූලෝදර මහෝදර දෙබෑයන් මහ සෙනග පිරිවරාගෙන දෙපස  බෙදී ලේ ගංගාවක කිමිදෙනු රිසින් බලා සිටියදී එය සංසිදුවනු පිනිස එතැනට වැඩිබව පැවසෙනුයේ බුදු  හිමියන් ය.ලේ වැකි ඉතිහාස කතා ලියවෙනවාට බුදු හිමි එකඟ වූයේ නැත.


'දෙවියන්ගේ  නාමයෙන්'හිංසාව'සමාජගත කරන මිලේච්ඡයින් තැන්හි තැන්හී සිටී.'අල්ලා  දෙවිදුන්' කිසිදාක අනෙකාගේ ලේ සොළවන්නට අනුදැන වදාරා නැත.
2500ක්  ඉක්ම වූ ඉතිහාසයේ 1915 වනතුරු වර්ගවාදී ගැටුමක් මෙරටින් වාර්තා වි  නැත. ඉන්දීය ආක්‍රමණිකයින් මෙරටට කඩා වැද රජකම් කළ ඉතිහාසයක් තිබේ. දෙමළ  රජවරු දශක හතර පහ මෙරට පාලනය කොට තිබේ. එහෙත් වර්ගවාදයක් තිබ්බේ නැත. ගැමුණු  වසර 26ක් රජකම් කරද්දී එළාර වසර 40ක් රට පාලනය කළේය. සිංහලේ අවසන් රජු ශ්‍රී  වික්‍රම රාජසිංහ ය.බ්‍රිතාන්‍ය ආක්‍රමනිකයා රට යටත් විජිතයක් බවට පත්  කරගන්නා තුරුම ඔහු රට පාලනය කළේය. කිසි විටෙක ජාතිවාදී ගැටුමක් තිබ්බේ නැත. මේ  සෑම විටෙකම මහ සඟරුවන ස්වකීය වගකීම අපූරුවට ඉටු කළහ.භික්ෂු සංඝයා ජාතියේ  මුරදේවතාවුන් ලෙස  මානව සමාජයේ බුහුමනට පාත්‍ර වන්නේ එකී විසල් වගකීම  මනාකොට ඉටු කළ නිසා ය. චිරාත් කාලයක් වාර්ගික  ගැටුමකින් තොරව ආ අවිච්ඡින්න ගමනට කණ කොකා හැඬුවේ 1915දීය. 1802 හිරු නොබසින  අධිරාජ්‍යයේ කොලනියක් බවට මේ කොදෙවුව පත් වීමත් සමඟ සියල්ල උඩු යටිකුරු  විය.එතෙක් මෙරට පාලනය කළ නායක්කාර්වංශික රජු සිහසුනෙන් නෙරපා හරින්නට  පිඹුරුපත් සැකසූ බ්‍රිතාන්‍ය ආක්‍රමණිකයින්ට උපකාර කළ පිරිස අතර  මුසල්මානුවන්ද වූහ. මෙරට සැලකිය යුතු මට්ටමේ ආර්ථික දේහයක උරුමය ඒ වනවිටත් මුස්ලිම් ප්‍රජාව අතර විතැන්ව පැවතින. ඉස්ලාම්  ආගම 'මත්පැනට'විරුද්ධය. එහෙත් උපක්‍රමශීලී ආක්‍රමනිකයෝ ක්‍රමානුකූලව රා  මැදීමේ වැඩි පංගුව මුස්ලිම් ප්‍රජාව වෙත තල්ලු කළහ. මහ සමාජය අඩපණ කිරීමේ  උපාය තවදුරටත් ශක්තිමත් කළ ආක්‍රමණිකයා වතු වැවිලි සේවයට ඉන්දීය කම්කරුවන්  රැගෙන ආහ.තුවාලය සිදු කළ ආක්‍රමණිකයා අනෙක් ආගන්තුක ජනවර්ගයා  හරහා එකී තුවාල වලට ලුණු ඉසින්නට පටන් ගත් හ.


ඒ ලුනු ඉසීමේ වැඩි පංගුව  උපායශීලීව කරගත්තේ මුස්ලිම් සංක්‍රමනිකයින් හරහා ය. අධ්‍යාපනය  හැරපියා සෙසු සියලු ආදායම් මාර්ගවල වැඩි පංගුව මුස්ලිම් ජනයා වෙත යොමු  කිරීම සිංහලයින් නුරුස්සන්නක් විය. ක්‍රමානුකූල වෛරයේ බිජුවට සිංහල  ප්‍රජාවගේ කූඩු තුළ වපුරන්නට ආක්‍රමනිකයා කටයුතු කළහ. මෙකී 'හිමි  අහිමි'ගැටුම ඊර්ෂියාවක්ව ඉන් ඔබ්බට, එකිනෙකා නුරුස්සන සුලු ගැටුමක් බවට  පරිවර්තනය වෙන්නට විය.
ඉතිහාසයේ පළමු පුපුරායාම සිදුවන්නේ  බ්‍රිතාන්‍යයන් විසින් 'සේව නූලට'ගිනි තැබීම හරහා ය. 1812 වන විට උඩරට  ගිවිසුම 'පුස්සක්'බවට පත් කරන්නට ඉංග්‍රීසීන් කටයුතු කළහ. එහි  කූටප්‍රාප්තිය, 1818 නොවැම්බර් 18 වැනිදා විශේෂ ප්‍රකාශනයක්‌ මගින් සිංහල  ජන ප්‍රධානීන්ගේ වරප්‍රසාද සහ බුද්ධාගමට තිබූ තැන අහිමි කිරීමය. එතෙක්  වාර්ෂිකව පැවැත්වුණු ගම්පොල, වලහාගොඩ දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට තහංචියක්  දමමින් බ්‍රිතාන්‍යයින් ගිනි කූර අතට ගත් හ. පෙරහැර මුස්‌ලිම් පල්ලි  ඉදිරිපිටින් යනවිට ඒවාට යාර 100ක්‌ තබා හේවිසි සහ තූර්ය වාදන නැවැත්විය  යුතු බව එවක දිසාපති මගින් නියෝග කිරීමෙන් 'කෝලහාලය ඇරඹින.


මේ  එරෙහිවීම කළේ, ලංකාවේ වෙරළබඩ ජීවත් වන ඉස්‌ලාමීය කොට්‌ඨාසයක්‌ වූ "මරක්‌කල"  ප්‍රජාවගෙන් පැවැතෙන ජනයා විසින්ය. දිගු නඩු විභාගයකින් අනතුරුව පෙරහැරට  අවසර ලැබිණ. අධිකරණ නියෝග ප්‍රකාරව 1915 වෙසක්‌ පුර පසළොස්‌වක පොහොය වූ 28  වැනිදා වලහාගොඩ දේවාල යේ පෙරහැර පැවැත්විය යුතු බව තීරණය කරන ලද අතර මුලින්  ඊට බාධා කළේ පෙරහැර අඹගමුව මාර්ගයේ ගමන් කරන විට පොලිසිය සමග සිටි මරක්‌කල  ප්‍රචණ්‌ඩකාරීන්  පෙරහැරට ගල් ගසන්නට වූහ. සමහරු ගල් පහරවල් ගසන ලද්දේ  මුස්‌ලිම් පල්ලියේ පඩිපෙළ මත සිටය. එතැන් සිට කෝලාහලය සත් දිනක් තුළ   බස්‌නාහිර  සහ වයඹ පළාත දක්වා ව්‍යාප්ත විය.


මේ සියලු  ගැටුම් මැද එවක ආණ්ඩුව හිටියේ ඒක පාර්ශවික ස්ථාවරයකය. ශ්‍රීමත් රොබට්‌  චාමස්‌ ආණ්‌ඩුකාරයා යුද නීතිය පැවරීමත් සමඟ පොලිසිය දුටු තැන හිතු හිතූ ලෙස  වෙඩි තැබූහ. සිරගෙවල්වල ඉඩ ඇහිරෙන තුරු සිරකරුවන් ගාල් කොට ඒවාට දැමිය  නොහැකි පිරිසට වෙඩි තබා මැරීය. පසුව පැවැති නඩු විභාගයේදී සිංහලයන්ට විරුද්ධව සාක්‍ෂි දෙන්නට සිදු වූයේ මුස්‌ලිම් සාක්‍ෂිකරුවන්ටය. උපක්‍රමශීලී ආක්‍රමණිකයා වයිරයේ බිජු වැපිරුවේ එහෙමය. 1915  කලබලයේදී සිදු වූ ජීවිත හානියට වඩා දේපළ හානිය විශාලය.මියගිය සිංහලයින්  ගණන 1000 ඉක්‌ම වූ බවත් සිංහලයන්ගේ පහරදීම් නිසා මුස්‌ලිම්වරුන් 25ක්‌  මියගොස් බවත් හෙළි විය. සිංහලයන් 412 යුද්ධාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එයින් 358ක්‌ වරදකරුවෝ වූහ. ඔවුන් අතුරින් 83 කට වෙඩි තබා මරණ ලද්දේය. ඊට  පසු මෙරට සිදු වූ බිහිසුණු අපරාධය පටන් ගන්නේ 89 කලු ජූලියෙනි. ශ්‍රීලංකාව  වනාහී බිහිසුණු කොදෙවුවක් බවට ලෝකයා හංවඩු ගසන තැනට එකී කලු ජුලිය පත්  විය. වාර්ගික වියරුවේ කුණාටුව පටන් ගන්නේ එහෙමය. මේ බොහෝ අවස්ථාවල  සංහිඳියාව උදෙසා ක්‍රියාත්මක විය යුතු පාර්ශව සිදු කළේ ඇවිලෙන ගින්නට  පිදුරු දැමීම හෝ ඇවිලෙන ගින්න දෙස පැත්තකට වී හූල්ලමින් බලා සිටීමය. පක්ෂ  දේශපාලනයේ කඩතුරාවෙන් වැසී ප්‍රශ්න දෙස බැලීමේ නැඹුරුතාවය ආගමික සංස්ථාව  වෙතද පැතිරී යාම හේතුකොටගෙන වල්මත් වූයේ 'රට ය'. 1915  සිට ඉකුත් දා මහනුවර හටගත් ගැටුම දක්වා අතුරු ගැටුම් රාශියක් මෙරට  සංහිඳියාවට භාදා ඇති කළහ. ඒ ගැටුම් ආශ්‍රිතව සැඟවී තිබූ දේශපාලන න්‍යායපත්‍ර  රටට ඉතිරි කළේ පරාදීන බව සහ වියරුවේ ගිනිදැල් විතර ය.තිස් වසරක් වෙඩි බෙහෙත් දුර්ගන්දය අත් වින්ද ජාතියක් සහජීවනයෙන් ගොඩනැංවීමේ කාර්ය කාටත්  පැවරී තිබෙන අත්නොහැරිය හැකි වගකීමකි. සෑම ජාතියක්‌ සතුවම එහි සාමාජිකයන් විසින් නිර්මාණය  කරගන්නා ලද සංස්‌කෘතියක්‌ පවතී.තමාගේ අඇස් මට්ටමින් අනෙකාගේ සංස්කෘතිය දෙස  නොබලනතාක් කල් අනෙකාගේ හැඟීම් වැටහෙන්නේ නැත.බඩ වියත යැපෙන්නට දෙයක්  නැතත්,ජාතිකත්වය වෙනුවෙන් උදාරම් දොඩන්නට මිනිසුන් සමත් ය. යුද්ධය අවි මතින් ආරම්භ වන්නට පෙරාතුව ආරම්භ වන්නේ හදවත් තුලය.ඒ නිසා නිමා කළ යුත්තේ හදවතේ උපදින යුද්ධය ය. ජාතිවාදය උමතුවක් මිස යශෝරාවයක් නොවේ.

 

මාතෘකා