ඡායාරූපය:

ලසන්ත -නිල ඝාතකයින්ගේ නොනිල ගොදුර (තුන්වන කොටස)

ලසන්ත ඝාතනයට අදාළ පරීක්ෂණ වසර 7ක් පුරා ගල්කිස්ස පොලීසියෙන් හෝ ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් නිසියාකාරව සිදු නොවුණි. විටින් විට විවිධ ආයතන වෙත පරීක්ෂණ මාරුද කෙරුණි. අපරාධ පරීක්ෂකයින් ඉල්ලීම් කළද දුරකථන සංනිවේදන ආයතන දුරකථන කුලුනු තොරතුරු ලබා දීමද, ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීම් කරන ලද ලිපි ලේඛන තොරතුරු ලබා දීමද දිගින් දිගටම ප්‍රමාද කර ඇත. මෙවන් වටපිටාවක නව රජය විසින් දේශපාලන වේදිකා තුළ ලසන්ත ගැන දුන් මූලික ජන්ද පොරොන්දුවක් ඉටු කරන බව පෙන්වමින් නැවත අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට ඝාතන පරීක්ෂණය සක්‍රීය කරන ලෙස නියෝග ලබා දී තිබිණි. ඒ, 2015 පෙබරවාරි 26 වැනිදාය. ඒ අනුව ගත වූ වසර තුනක කාලය ගෙවුණේ ලසන්ත ඝාතනය පිළිබඳව මෙතෙක් හෙළි වුණු කරුණු නැවත සලකා බලමින් හා ගැටලුසහගත කරුණු නැවත අධිකරණය ඉදිරියේ තහවුරු කරමිනි. ලසන්ත ඝාතනයේ සාක්ෂි විනාශ කිරීමට අදාළව පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් බාරයේ සිටිති.

උපාලි තෙන්නකෝන්ට එල්ල වූ ප්‍රහාරය   

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ලසන්ත ඝාතනය සෙවීමේ අරමුණින් නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ කීත් නොයාර් පැහැරගෙන යෑම හා ‍රිවිර පුවත්පතේ පුධාන කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම පිළිබඳව නැවත පරීක්ෂා කර තිබේ. එහිදී ලසන්ත ඝාතනයට අදාළ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා අනුව එකම කල්ලියක් කීත් නොයාර්  පැහැරගැනීමටත්, ගම්පහ ඉඹුල්ගොඩදී උපාලි තෙන්නකෝන්ට පහර දීමටත්, ලසන්ත ඝාතනයටත් පැමිණ ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ වාර්තා කර තිබේ. කීත් පැහැර ගැනෙන්නේ 2008 මැයි 22 වැනිදාය. ලසන්ත ඝාතනය වන්නේ 2009 ජනවාරි 8 වැනිදාය. බිරිඳ සමග සිය රථයෙන් යමින් සිටියදී ඉඹුල්ගොඩදී උපාලි තෙන්නකෝන්ට පහර දෙන්නේ 2009 ජනවාරි 29 වැනිය. උපාලි තෙන්නකෝන් එහිදී දිවි ගලවා ගන්නේ ඔහුගේ බිරිඳගේ මැදිහත් වීමෙනි. නන්නාඳුනනන පිරිස පැමිණ තිබුණේ උපාලි පැහැර ගැනීමට හෝ ඝාතනය කිරීමටය. ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ උපාලි තෙන්නකෝන් පැහැරගැනීමය. එහෙත් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ විය. එනිසා සිදු වූයේ ඔවුන් ඔහුට මොට ආයුධයකින් පහර දීමය. එහිදී ප්‍රහාරය ඔහුගේ නාසයට වැදී තිබුණේ හිසට එල්ල වූ පහර වැරදී යෑමෙනි. ඔහුගේ බිරිඳද එයින් තුවාල ලබා තිබේ.

තම ජීවිතවලට එල්ල වූ තර්ජන හේතුවෙන් කීත් සේම උපාලිද සිය පවුල සමග විදේශගතව ජීවත් වේ. උපාලිට පහර දීම සම්බන්ධව කරන ලද පරීක්ෂණ අනුව ලසන්ත ඝාතනයට පැමිණි බවට සැක කරන මැරයින්ගේ දුරකථන අංක කීත්ව පැහැරගැනීමටත්, ලසන්ත ඝාතනය කිරීමටත්, උපාලිට එල්ල කරන ලද ප්‍රහාරයටත් සම්බන්ධ බවට අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි. ලසන්ත ඝාතන පරීක්ෂණ සිදු කිරීමේදී එම දුරකථන අංක 2009 ජනවාරි 1,5,6 සහ 7 යන දිනයන්හි උදෑසන වරුවේ ගම්පහ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ සහ සවස්වරුවේ කොළඹ හා රත්මලාන ආශ්‍රිතව සැරිසරා තිබේ.

ට්‍රිපෝලි කඳවුරේ සැකය

කීත් පැහැරගෙන යෑමට සහ උපාලිට පහරදීමට සැකපිට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේජර් බුලත්වත්ත සහ තවත් බුද්ධි අංශ නිලධාරින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බන්ධනාගාරගත කර පසුව මුදාහරින ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව එම සිදුවීම් සම්බන්ධව කරන ලද විමර්ශන අනුව කීත් නොයාර් රඳවාගෙන සිටි බවට සැක කෙරෙන ස්ථානය සෙවීමේදීද තවත් කරුණු හෙළි වී ඇත. පාලුගම දොම්පේ, අංක 152 දරන ස්ථානයේ පිහිටි ලංසියාවත්ත නැමැති නිවස 2007 වසරේ අවසන් කාලයේ සිට 2008 මුල් කාලය දක්වා යුද හමුදා බුද්ධි අංශයේ සාමාජිකයන් පිරිසක් බදු ගෙන සිට ඇත. මේජර් බුලත්වත්තගේ හෙවත් බුලත්වත්තේ වලව්වේ දිසානායක මුදියන්සේ රාලහාමිගේ ප්‍රභාත් සීවලී බණ්ඩාරනායක දිසානායක බුලත්වත්තගේ ඇතුළු ට්‍රිපෝලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති යුද හමුදා නිලධාරීන් වන පෝරුවල විදානගේ ධර්මසේන, ගල්ලෙන වන්නිගේ ජයන්ත හා ගල්බිඳින ඇල්ලේ ගෙදර ප්‍රියන්ත, කුමාර සෝමසූරිය යන. පිරිස එම නිවසේ සිට ඇත. එම නිවසේ බදු කාල සීමාවෙන් පසුව දොම්පේ ඉද්දමල්දෙණියේ පිහිටි බදුවත්ත වලව්ව නැමති ස්ථානය බදුගෙන 2008.03.14 සිට 2009. 03. 14 දක්වා රැඳී සිට ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කරන ලද විමර්ශන අනුව එම නිලධාරීන් කුමක් සඳහා එලෙස එහි රැඳී සිටියේද යන්න ප්‍රකාශ කිරීමට අපොහොසත්ව ඇති අතර, ඔවුන් කඳවුරුවලින් බැහැර යන විට සටහන් තැබිය යුතු වුවද ලේඛන පරීක්ෂා කිරීමේදී හෙළි වී ඇත්තේ කිසිදු සටහනක් නොතබා ඔවුන් ට්‍රිපෝලි කඳවුරෙන් බැහැරව ගොස් ඇති බවය. කීත් පැහැරගත් 2008 මැයි 22 වැනිදා යූ.ඩී. වීරරත්න හා එච්.ඒ.එච්. පෙරේරා ඇතුළු බුද්ධි නිලධාරීන් ට්‍රිපෝලි කඳවුරෙන් පිටට ගොස් ඇත්තේ එලෙසය.

මේජර් බුලත්වත්තගේ දුරකථන වාර්තා පිරික්සීමේදී එදින ඔහු රැඳී සිටි ප්‍රදේශවලම ඔවුන් සිට ඇති බව විමර්ශන නිලධාරීන් සනාථ කරගෙන තිබේ. එසේ රැඳී සිටීමට හේතුව විමසා තිබුණද ඊට පිළිතුරු සැපයීමට ඔවුන් අපොහොසත්ව තිබේ. ඔවුන් කීත් නොයාර් පැහැරගෙන ගිය දින සවස 6ට පමණ කඳවුරෙන් පිටත් වී එදිනම රාත්‍රී 10.45 පමණ වන විට නැවතත් කඳවුරට පැමිණ ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඔවුන් ගමන් කළ මාර්ගය දුරකථන කුලුනු මගින් විමර්ශනය කර තිබේ. ඔවුන් කොළඹ විශ්වවිද්‍යාලය, බොරැල්ල ජයරත්න මල් ශාලාව අවට ප්‍රදේශය, ක්වීන්ස් කැෆේ අවට ප්‍රදේශය, වැල්ලවත්ත අවට ප්‍රදේශය, දෙහිවල හා කොහුවල හරහා ගමන් කර අවසන් වී ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයෙනි. ඊට මාස 6කට පසුව ඝාතනය වූ ලසන්ත සහ ඉන් දින 23කට පසුව පහර කෑ උපාලි පසුපස පැමිණ තිබුණේද මෙම පිරිසම බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කරයි.

ඩයස් සහ බ්‍රයන්

මෙම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සොයාගෙන අධිකරණයට වාර්තා කර තිබූ අතර ලසන්තගේ රියැදුරු ඩයස් සම්බන්ධව තවත් කටයුතු කිහිපයක් ඒ අතරතුර සිදු කර තිබේ. ලසන්ත ඝාතනය වී වසර 9කට පසුව එම රියදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ගෙන්වා සටහන් ලබාගෙන තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලසන්ත ඝාතනය වූ සමයේදී ගෝඨාභය රාජපක්ෂ සහ ලසන්ත අතර විරසයක් තිබූ බවත්, ඊට හේතුව මිග් යානා ගනුදෙනුව හෙළි කිරීම බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත්ය. ඒ හේතුවෙන් යම් පිරිසක් ඔහු සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් එසේ නොකියන ලෙස තමන්ට තර්ජනය කළ බවටත් ප්‍රකාශයක් ලබා දී තිබේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔහු ප්‍රකාශ කළ පෙනුම ඇති තමන්ව පැහැර ගැනීමට පැමිණි අයගේ ජායාරූප පොලිස් දෙපාර්තුමේන්තුවේ චිත්‍ර ශිල්පීන් විසින් අඳිනු ලැබ මාධ්‍යයේ පළ කර ඇත. ඉන් පසුව ලසන්තගේ උද්‍යාන පාලක ලෙස කටයුතු කළ බ්‍රයන් නැමැත්තෙකු ගෙන්වා ප්‍රකාශ සටහන් කර තිබේ. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලසන්ත ඝාතනය වීමට පෙරදී පුද්ගලයෙකු පැමිණ සීඩී තැටියක් ඇතුළු ලිපි ලේඛන කීපයක් ලසන්තගේ කාමරයට දමන ලෙස දැන්වූ බවයි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප්‍රකාශ කර තිබේ. බ්‍රයන්ගේ විස්තර අනුව තවත් ජායාරූපයක් අැඳ 2016 පෙබරවාරි 17 මාධ්‍ය වෙත යොමු කර තිබේ.

ප්‍රේමනාත් උදලාගම

එලෙස මහජන ඔත්තු ලබා ගැනීමේ අරමුණෙන් මාධ්‍ය වෙත යොමු කරන ලද ජායාරූපයට ඔත්තු 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ලැබී තිබේ. එයින් එක් අයෙකු ඊට පෙර යුද හමුදාවේ සේවය කර තිබීම හේතුවෙන් සැක සිතී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ගෙන්වා තිබේ. එහිදී අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුවට හෙළි වී ඇත්තේ සාජන් මේජර්වරයෙකු වූ ප්‍රේමනාත් උදලාගම නැමැති එම පුද්ගලයා ඊට පෙර යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව ක්‍රියාකාරීව කටයුතු කර ඇති සාමාජිකයෙකු බවයි. එමෙන්ම මිලේනියම් සිටි නිවසක පවත්වාගෙන ගිය රහසිගත ඒකකයේ සාමාජිකයෙකු ලෙසද ඔහු කටයුතු කළ පුද්ගලයෙකු බව වැඩිදුරටත් අනාවරණය වී තිබේ. උදලාගම පිළිබඳව තිබූ සාධාරණ සැකය හේතුවෙන් උදලාගම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට උදලාගම යොමු කරන ලදි. එහිදී ලසන්තගේ රියැදුරු, උද්‍යාන පාලක සහ උපාලි තෙන්නකෝන් යන තිදෙනාම තමන්ට තර්ජනය කිරීමට සහ පහර දීමට පැමිණියේ ප්‍රේමනාත් උදලාගම බවට හඳුනාගෙන තිබේ. ලසන්ත ඝාතනයට සහ උපාලි තෙන්නකෝන්ට පහර දීම යන නඩු විභාග දෙකේදීම ඔහු හඳුනාගත් නමුත්, ඔහුට පසුව අධිකරණයෙන් ඇප හිමි විය.

කැප්ටන් තිස්ස සහ ජයමාන්න  

මේ අතර එවකදී මාධ්‍යයට නිකුත් කර තිබූ එම දළ ජායාරූපය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රියැදුරු ලෙස කටයුතු කළ, වසීම් තාජුඩීන් ඝාතනය සහ තවත් මූල්‍ය වංචා කීපයකට චෝදනා ලත් කැප්ටන් තිස්ස විමලසිරිගේ පෙනුමට සමාන බවට මාධ්‍ය විවිධ වාර්තා පළ කළේය. මේ අතර 2016 ඔක්තෝබර් 14 වැනිදා ලිපියක් ලියමින් තමන් විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළ බවත්, ලසන්තගේ රියදුරුට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින තම මිත්‍ර ප්‍රේමනාත් උදලාගම ඊට සම්බන්ධ නැති බවත් සඳහන් කර ලිපියක් ලියා විශ්‍රාමික යුද හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ ඉලන්දරගේ ජයමාන්න ඔහුගේ නිවසේදී ගෙල වැලලාගෙන තිබිණි. එම නිලධාරියා සේවයෙන් විශ්‍රාම ගොස් තිබුණේ 2007 වසරේදී වන අතර ලසන්ත ඝාතනය වන්නේ 2009 වසරේදීය. එමෙන්ම ජයමාන්නද මිලේනියම් සිටිහි ආරක්ෂක නිවස්නක ආයුද ගභඩාවක් පවත්වාගෙන යෑමේ සිද්ධියට චෝදනා ලැබ සිටි පුද්ගලයෙකු බවත්, එසේ සියදිවි නසා ගැනීම ඔහු විසින්ම සිදු කරගත්තක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. එවකදී මාධ්‍ය වාර්තා කළේ ජයමාන්න මියයෑමට ප්‍රථම දින ගණනාවක් යුද හමුදා කඳවුරුවලට ගොස් ඇති බවයි. කෙසේ වෙතත් තොරතුරු වෙනත් පාර්ශ්වයකට හෙළි වීම වැළැක්වීම සඳහා අවශ්‍ය වුවහොත් සියදිවි නසා ගැනීම සඳහා බුද්ධි නිලධාරීන් පුහුණු කර තිබේ.   

යතුරු පැදි දෙක

මේ අතර ලසන්ත ඝාතනය වීමෙන් පසුව එවකදී ලසන්ත ඝාතනය සම්බන්ධව විවිධ මත පළ විය. ඒ අතරින් පළමුව කියැවුණේ ගෝඨාභය රාජපක්ෂ සහ මිග් යානා ගනුදෙනුව පිළිබඳවය. ඊට අමතරව කියැවුණේ එල්ටීටීඊය ලසන්තව ඝාතනය කළ බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවද ඒ පිළිබඳව විමර්ශනය කර තිබේ. ලසන්ත ඝාතනයෙන් පසුව 2009 ජනවාරි 27 වැනිදා යතුරු පැදි දෙකක් කිරුලපන ඇලෙන් ගොඩගෙන තිබේ. එම තොරතුර පෙත්සමක් ලෙස ලැබී තිබුණේ එවක පොලිස්පතිව සිටි ජයන්ත වික්‍රමරත්නටය. ඒ අනුව කළ දැනුම්දීමක් මත ගල්කිස්ස පොලිස් මූලස්ථානයේ අපරාධ අංශ ස්ථානාධිපති තිස්සසිරි සුගතපාල එම ගොඩගැනීම සඳහා කිමිදුම්කරුවන් යොමු කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මෙම සිදුවීම පිළිබඳව නැවත විමර්ශනය කර තිබෙන අතර එහිදී තහවුරු වී ඇත්තේ අදාළ පෙත්සම හිටපු පොලිස්පතිවරයාට ලැබී තිබී ඇත්තේ 2009 ජනවාරි 26 වැනිදා බවය. නමුත් ඒ ගැන ගල්කිස්ස පොලීසියට විමර්ශන ආරම්භ කරන ලෙස නියෝග  ලැබී ඇත්තේ ජනවාරි 25 වැනිදාය. 27 වැනිදා හමු වූ යතුරු පැදි දෙකෙහි අංක JF 6956 සහ UF 2635 වූ අතර ඊට පෙර අත්තිඩිය ඇලකින් ලසන්ත ලුහුබඳින ලද බවට සැක කළ HL5665 අංක දරන යතුරු පැදියක්ද හමු වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේවායෙහි චැසි අංක පරීක්ෂා කර තිබූ අතර ඒවායෙහි එල්ලා තිබී ඇති අංක තහඩුද තාවකාලිකව සැකසූ ව්‍යාජ ඒවා බවට තහවුරු වී තිබේ. ඒ අනුව කළ විමර්ශනවලදී සනාථ වී ඇත්තේ එම යතුරු පැදි දෙක පැහැරගෙන ඇත්තේ 2009 ජනවාරි 18 වැනිදා සෙට්ටිකුලම ප්‍රදේශයෙන් බවය.

දෙදෙනෙකුගේ ඝාතන

 අදාළ ලිපින ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තු අනාවරණය කරගෙන ඇත්තේ එහි පළමු අයිතිය වව්නියාවේ පුද්ගලයෙකුට අයත්ව තිබී පසුව එය සෙට්ටිකුලම පදිංචි විශ්නුකුමාර් නැමැති රත්තරන් බඩු ව්‍යාපාරිකයෙකුට විකුණූවක් බවය. ඒ අනුව කළ විමර්ශනයේදී ඔහුගේ බිරිඳ ප්‍රකාශ කර ඇත්තේ 2009 ජනවාරි 18 වැනිදා තම ස්වාමිපුරුෂයා තවත් පුද්ගලයෙකු සමග යතුරු පැදියෙන් යමින් සිටියදී කොළ පැහැති ජීප් රියකින් පැමිණි පිරිසක් යතුරු පැදිය සමගම පැහැරගෙන ගිය බව ඇසින් දුටුවන් ප්‍රකාශ කළ බවය. ඊට පසුදින එනම් ජනවාරි 19 වැනිදා අනුරාධපුරය ගම්බිරිස්වැව ප්‍රදේශයේදී හිසට වෙඩි තබා එම පුද්ගලයන් දෙදෙනා ඝාතනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සොයාගෙන තිබේ. ඒ අනුව ලසන්ත ඝාතනය වී දින 10 කට පසු පැහැරගැනුණු යතුරු පැදිය කොළඹ ගෙනවිත් ඇළට දමා මෙම ඝාතනය එල්ටීටීඊය කළ බව හැඟවීමට සිදු කළ තවත් අපරාධයක් බව පෙනෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ කරුණු දක්වා ඇත. ඊට හේතුව ලෙස ඔවුන් ප්‍රකාශ කරන්නේ එම කාලයේදී උතුරේ යුද්ධය  පැවති බැවින් මුරකපොලු හරහා යතුරු පැදියකින් කොළඹට ඒමට එල්ටීටීඊ සංවිධානයට නොහැකි බවත්, එමෙන්ම සාමාන්‍ය කිසිවෙකුටත් උතුරේ එවැනි කටයුත්තක් කිසිසේත්ම සිදු කළ නොහැකි බවත්ය. මේ පරස්පර කරුණු හේතුවෙන් ලසන්ත ඝාතනය එල්ටීටීඊය කළ බවට ඒත්තු ගැන්වීමට ගන්නා උත්සාහය අසත්‍යක් බවත්, සාක්ෂි යොමුවන්නේ එවකට ක්‍රියාත්මක වූ නිල නොවන කටයුතු කළ ආරක්ෂක අංශ කණ්ඩායමක් වෙත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

අවසානය

මේ වන විට ලසන්ත ඝාතනය වී වසර 9ක් ගතව තිබේ. මෙරට සිදු වූ අනෙකුත් බොහෝ ඝාතන සේම එම අපරාධයද විනිර්මුක්තියට ඉඩ තබමින් ඉතිහාසයට එක්වෙමින් තිබේ. මේ සියලු ඝාතනවලට සාක්ෂිවලින් චෝදනා ගොනු වන්නේ නිල යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වූ නොනිල ඝාතන කණ්ඩායම් වෙතය. රාජපක්ෂවරුන් ලසන්ත මරා දැමූ පසු ප්‍රසිද්ධ මාධ්‍යයෙන් ඇසුවේ 'ලසන්ත කවුද?' යන්නයි. මෙම ඝාතන සාමාන්‍ය අයෙකුට කළ නොහැකිය. එමෙන්ම ලසන්ත මහමඟ මරා දැමීඹට තරම් යුද හමුදාවට පුද්ගලික ප්‍රශ්නයක් තිබිය නොහැකිය. එමෙන්ම ඒවාට අණ දීමද සාමාන්‍ය අයෙකුට කළ නොහැකිය. සියලුම යුද සැලසුම් හා ජයග්‍රහණයන් තමන්ගේ බව එකල රාජපක්ෂවරු කීහ. එයම සරත් ෆොන්සේකාද කීහ. දෙගොල්ලෝම එකලත් වර්තමානයෙත් බලයේ සිටිති. කලින් කලට යුක්තිය ඒ ඒ අය වෙනුවෙන් වෙනස්ව ක්‍රියාත්මක වන බව මහජනතාව තුළ මේ වන විට සැක ඇති වී තිබේ.  

තවත් අතකින් යහපාලනය බලයට ආවේම මෙම ඝාතන කේවල් කරමිනි. එහෙත් එකල සේම මෙකලත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ඉල්ලා සිටින තොරතුරු ලබාදීම ආරක්ෂක අංශ මග හරිමින් සිටිති. අද රටේ සේනාධි නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. නීතිය බාර ඇමතිවරයා අගමැති රනිල් වික්‍රමසිංහය. ලසන්ත ඝාතනය ගැන තොරතුරු තවදුරටත් සඟවනවා නම් අත්අඩංගුවට ගැනීම් 'රණවිරු' නාමයෙන් වළකනවා නම් මේ රට තවදුරටත් යුක්තියෙන් දුර අපරාධ විනිර්මුක්තිය ‍රජ කරන රටක් බව පැහැදිලිය.

ලසන්ත ඔබට යුක්තිය ඉටු වනතුරු මාධ්‍ය සගයන් ලෙස අප බලා සිටිමු.