අම්පාර, තෙල්දෙනිය, දිගන හරහා කරළියට පැමිණි ජාතිවාදී බිල්ලෝ

 ඡායාරූපය:

අම්පාර, තෙල්දෙනිය, දිගන හරහා කරළියට පැමිණි ජාතිවාදී බිල්ලෝ

'පෙති-පිටි' පටලවා ගැනීමේ සංනිවේදන දුර්වලතාවය 'ජාතිවාදී'ලැව් ගින්නක් බවට පත් කරගෙන 'යකා නැටුවේ'අම්පාරේදීය. එහි කූටප්‍රාප්තිය සටහන් වන්නේ 'තෙල්දෙනිය, දිගන'හරහා' ජාතිවාදී කුණාටු හිස ඔසවමිනි. පරෙවි පියාපත් හඬට වඩා වෙඩි හඬට 'ලොබ බඳින' තිරස්චීනයින් රටට ඉතිරි කරන්නට යන්නේ කුමක්ද?


මහනුවර සිදුවීමත් සමඟ, ජාතිවාදී කණ්ඩායම්  තම සුපුරුදු සෙල්ලම කරා යළි අවතීර්ණ වී ඇති බවක් පෙනෙන්නට ඇත. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගැන උස් හඬින් කථා කරමින් සුළු ආගමික කණ්ඩායම්, ප්‍රධාන ප්‍රවාහයට යටත් විය යුතු බව කියමින් “සිංහ නාද” පැවැත්වීමට ජාතිවාදී කණ්ඩායම් වලට ඇති අයිතිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රිය පරිසරයක් තුළ ඒ හැටි ගැටලුවක් නොමැති වුත් ගැටලුව වනුයේ එම “වීර කථා” ඔස්සේ රට ගෙනියමින් ඇති තැන පිළිබඳවය. එබැවින් මේ කාරණය පිළිබඳව සැහැල්ලුවෙන් හුස්ම ගැනීමේ හැකියාවක් වගකිවයුතු කිසිවෙකුට හෝ නොමැත. දීර්ඝ පැහැදිලි කිරීම් අවශ්‍ය නැත.
තැන තැන ඇතිව ඇති මෙබඳු සිදුවීම් කිසිසේත්ම හුදෙකලා සිද්ධි නොවන අතර, ඒ සියල්ල තුළ මනා සංවිධානාත්මක බවක් පෙනෙන්නට ඇත. මෙහිදී අප අමතක නොකළ යුතු වඩාත් වැදගත්ම කාරණය වනුයේ එදා අලුත්ගම දර්ගා නගරය තෙක් ව්‍යාප්ත වූයේ රටේ තැන තැන ඇතිවූ මෙවැනි තනි තනි “මතුවීම්” බවය. ඉතිහාසයට විශාල කළු පැල්ලමක් එක්කළ රටක් ලෙස ජාත්‍යන්තරය තුළ අප අවමානයට පත්කළ දර්ගා නගරය කේන්ද්‍ර කරගනිමින් ඇතිවූ එම “ජාතිවාදි වියරුව” නිසාවෙන්, අවම තරමින් සිවු දෙනකු මියගිය අතර 80කට වඩා වැඩි පිරිසක් තුවාලකරුවන් බවට පත්විය. සිදුවූ දේපළ විනාශය අතිමහත් වූ අතර මුස්ලිම් වැසියන් අටදහසක් සහ 2000කට වඩා වැඩි සිංහලයන් පිරිසක් දින ගණනක් අවතැන් භාවයට පත්කිරීමට එම සිදුවීම ප්‍රමාණවත් විණි. එබැවින් එබඳු විනාශයක් යළි සිහිනෙකින් හෝ අප අපේක්ෂා නොකළ යුතු තරම්ය.


භාවෝන්මාදී සටන් පාඨ


දශක කීපයක සිට සෑෙහන ප්‍රබලව කරළියට පැමිණ අැති සිංහල හා මුස්ලිම් ජන වර්ග අතර ෙනාරිස්සුම්තාව අප කියවිය යුත්ෙත් කෙෙස්ද? සිංහල බෞද්ධ ජාතිවාදීන්, මුස්ලිම් සමාජය දෙස මෙතරම් සැකයෙන් බලන්නේ ඇයි? මෙය විවේක බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතු තත්ත්වයකි. එවැනි සොයා බැලුමකදී කරුණු කාරණා ගණනාවක්ම අපට හමුවන මුත් මූලිකවම මෙම “වෛරය” නොඑසේ නම් සැකය නිර්මාණය වී ඇත්තේ කාරණා දෙකක් නිසා බව පෙනෙන්නට ඇත. ඉන් පළමුවැන්න මුස්ලිම්වරුන්ගේ ජනගහන වර්ධනයයි. දෙවැන්න ඔවුන් සතු ආර්ථික ශක්තියයි. මේ කාරණා දෙකම පහසුවෙන් කුළුගැන්විය හැකි භාවෝන්මාදී සටන් පාඨ දෙකකි. ඒ නිසාම මේ කාරණා අවධාරණය කරමින් සිංහල ජාතිය අබිබවමින් මුස්ලිම්වරුන් රටේ මහ ජාතිය වන දිනය වැඩි ඈතක නොවන බව කියමින් ජාතිවාදීහු දශක ගණනාවක් තිස්සේ මත පතුරුවමින් සිටිති. සිංහල ජනගහනයේ වර්ධනයට සාපේක්ෂව මෙරට මුස්ලිම් ජනගහනයේ යම් වර්ධනයක් පැවැතීම යනු පැහැදිලිවම සංස්කෘතික ගැටලුවකි. අනෙක් අතට මේ ගැන ඇතැමුන් මතු කරන කාරණා ද කිසිදු තාර්කික පදනමක් නොමැති ආචීර්ණ කල්පිත කාරණාය. එය වෙනම කථා කළයුතු මාතෘකාවකි.


වෙළෙඳාම ගත් විට එය මුස්ලිම්වරුන්ට අමුතු දෙයක් නොවේ. සුපැහැදිලිව ඔවුන් වෙළෙඳ ප්‍රජාවකි. එබැවින් ඔවුන්ගේ ආර්ථික ශක්තිය නොඑසේනම් වෙළෙඳාමට ඇති හැකියාව දෙස බලමින් ඇස් රතු කරගැන්ම තවදුරටත් අප නොකළ යුතු තරම් දෙයකි. තවත් අටුවාටීකා ටිප්පනි පැවැසීම අවශ්‍ය නොවේ. අදටත් මේ රටේ ආර්ථිකය හසුරුවන ප්‍රධාන ව්‍යාපාරිකයන්ගෙන් සාතිශය බහුතරය සිංහල බෞද්ධ නොවන ජනකොටස්වලින් පැමිණි අයය. එසේ වූවාය කියා ඒ කිසිවෙකුගෙන් මෙරටට අවැඩක් වූවා  කියා අප අසා නැත. රටේ දැනඋගත් සමාජයට මේ පිළිබඳ මනා අවබෝධයක් ඇතත් ක්ෂුද්‍ර තලයේ දී පහසුවෙන් මෙවැනි කාරණා “අලෙවි” කළ හැකිය. නැති රාක්ෂයකු මවමින් ජාතිවාදී කල්ලි අල්ලන්නට හදන ෙමම 'ජල්ලිය'තේරුම ගත යුත්තේ ප්‍රවේසමිනි..
කෙසේ වෙතත් මෑතක සිට සිංහල සමාජය හා මුස්ලිම් සමාජය අතර ගොඩනැ‍ඟෙමින් ඇති නොසන්සුන්තාව එක පිරිසකගේ නිර්මාණයක් යැයි කියන පටු තැනක අප නොමැත. සිංහල ජාතිවාදීන් මෙන්ම මුස්ලිම් ජාතිවාදිහු ද එය තරඟයට මෙන් පෝෂණය කළෝය. විශේෂයෙන්ම 80 දශකයේ සිට බිහි වූ මුස්ලිම් ජාතිවාදී දේශපාලන පක්ෂ ද සිංහල ජාතිවාදයට තරඟයට මෙන් ප්‍රතිචාර දැක්වීමට යෑම තත්ත්වය වඩාත් සංකීර්ණ තත්ත්වයට පත් කළේය. මෙම ජනවර්ග දෙක අතර, එකිනෙකා නුරුස්සන ගතියක් නිර්මාණය වීම විෂයයෙහි නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ගොඩනැඟුණු ජාතිවාදී මුහුණුවරින් ක්‍රියාත්මක මුස්ලිම් දේශපාලන පක්ෂ ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ බව නොරහසකි.


කකුලේ තුවාලය පෙන්නමින් හිඟාකන පුද්ගලයා තුවාලය සුව වෙනවාට කැමැති නැත. ඒ එසේ වුවහොත් එදා සිට තම රැකියාව අහිමි වී යන බැවිනි. ඒ නිසාම දේශපාලන බලය ලබාගැන්මේ පටු මාවතක් ලෙස ඇතැම්හු මෙම කුණු ගොඩම අවුස්සන්නට විය. ඔවුනට එය රසවත් ආහාරයක්ම විය.
ජාතිවාදයේ එම නැඟීම රටක් ලෙස අප බිහි කර ගත යුතුව තිබූ ශ්‍රී ලාංකික අනන්‍යතාව පිළිබඳ පරමාදර්ශය වසර ගණනාවක් පසුපසට රැගෙන යන ලදී. සිංහල හා මුස්ලිම් ජනකොටස් අතර විශාල බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීමට මෑතක සිට ජාතිවාදී උමතුවෙන් පෙළෙන්නන් කටයුතු කළ ද චිරාත් කාලයක සිට මෙම දෙපාර්ශ්වය අතර සෑහෙන සුහද සම්බන්ධතා පැවැති බවට ඉතිහාසගත තොරතුරු සාක්ෂි සපයති.
ඉස්ලාමය පහළ වීමට පෙර සිටම අරාබි ලේඛනවල ලංකාව ගැන සඳහන්ව තිබීම ගැන “ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය” මැයෙන් වූ ග්‍රන්ථයේ බොහෝ කරුණු දැක්වේ. මෙම ග්‍රන්ථයේ සංස්කරණ මණ්ඩලයේ සභාපතිත්වය දරා ඇත්තේ උපකුලපති සර් නිකලස් ආටිගල මහතා වන අතර එහි සංස්කරණ මණ්ඩලයේ මහාචාර්ය සෙනරත් පරණවිතාන, එස්. නඩේසන්, ඩබ්ලිව්. ජේ. එෆ්. ලබ්රෝයි, සහ සී. ඩබ්ලිව්. නිකලස් යන මහතුන් කටයුතු කර ඇත. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය පළ කළ එහි සිංහල පරිවර්තනයේ හැට දෙවන පිටුව ඒ පිළිබඳව මේ අයුරින් කරුණු දක්වා තිබේ:
"ඉස්ලාම් ආගම පහළ වීමට බොහෝ කලකට පෙර පටන් අරාබි සංචාරකයෝ ලංකාව ගැන දැන සිටියහ. ග්‍රීකයන්ට සහ රෝමන්වරුන්ට ද මේ රටේ තොරතුරු දැනගන්නට ලැබුණේ මේ අභීත අරාබි නාවිකයන්ගෙනි. එහෙත් අරාබිවරුන් විසින් ද, පසුව ඔවුන් ඇතුළු පොදු මුස්ලිම්වරුන් විසින් ද ලියන ලද පොත්වලට මෙරට තොරතුරු ඇතුළත් කරන ලද්දේ ඉස්ලාම් ආගම ඇතිවූ පසුය. පළමුවෙන්ම මෙබඳු දේශාටන වර්ණනයක් ලියන ලද්දේ සුලයීමාන් නමැත්තෙකු විසිනි.


ඉතිහාසගත සමඟිය


සියවසකට පමණ පසු (ක්‍රි. ව. 950) අබු සයියද් නමැත්තා ලියු සිල්සිලන්- අල් - තවාරිබ් නම් පොතට මේ විස්තරය ඇතුළත් කරන ලදී. ඉබ්න් බුර්දාද්බේ නමැත්තා තවත් පැරැණි ලේඛකයෙකි. 10 වැනි සියවසේ මැද හරියේදී මේ ප්‍රදේශවල සංචාරය කළ මසුදි නම් ලේඛකයා කලින් සිටි ලේඛකයන් ලියූ විස්තර ද, තම අත්දැකීම් ද ඇතුළත් කර පොතක් ලිවීය. ඊට නොබෝ කලකට පසු ඉග්තබ්රි, ඉබ්න් හව්කල්, මක්දිසී යන අය ද ලංකාව ගැන ලුහුඬින් සඳහන් කර ඇත. අල් බිරූති විසින් ඉන්දියාව ගැන ලියන ලද පොතේ ඇතැම් තැන්වල ලංකාව ගැන ද සඳහන් වෙයි. දොළොස් වන සියවසේ මැද හරියේදී ඉද්රීසී නම් සුප්‍රකට අරාබි ජාතික භූගෝල විද්‍යාඥයා පෙරදිග රටවල් පිළිබඳව එතෙක් හෙළි වී තිබුණු සියලුම කරුණු එකතු කළේය. ඔහු ලියූ පොතෙහි ලංකාව ගැන ද සඳහන් වෙයි. පසු කලෙක විසූ යාකූත්, කස්විනී, අබුල් පීඩා ආදි භූගෝල විද්‍යාඥයෝ ද ලංකාව ගැන සඳහන් කළහ. එහෙත් ලංකාව ගැන ලියූ සියලුම මුස්ලිම් ලේඛකයන් අතර ඉතා වැදගත් වනුයේ 14 වන සියවසේ මැද හරියේදී මේ දිවයිනට පැමිණි ඉබන් බතූතාය.
මේ හැරෙන්නට ශ්‍රී ලංකාවට අරාබි ලෝකය සමඟ පැවැති ඉපැරණි සබඳතා ගැන මෙම ග්‍රන්ථය කරුණු රැසක් හෙළි කර සිටී. මේ ග්‍රන්ථයේ 668 සහ 669 පිටුවල එන එක් සඳහනක් තුළින් පෙනී යන්නේ අප රටේ ආර්ථිකය ජාත්‍යන්තර සබඳතා තුළින් ශක්තිමත් කර ගැනීමට එදා යුගයේත් අප රටේ පාලකයන් වෑයම් කර ඇති ආකාරයයි. යාපහුවේ පළමු බුවනෙකබාහු රජතුමා වෙනුවෙන් අල්හාජ් අබු උඒමන් නමැති දූතයා ක්‍රි. ව. 1283 වැන්නේදී ඊජිප්තුවේ රජ වාසලට යවන ලද්දේය. සිංහල රජතුමා ඔහු අත යැවූ සන්දේශයේ මෙසේ සඳහන් වෙයි. “ලංකාව ඊජිප්තුවයි. ඊජිප්තුව ලංකාවයි. මගේ දූතයා ආපසු එන විට ඊජිප්තුවේ දූතයෙකු ඔහු සමඟ එනු ඇතැයි කියාත් මම බලාපොරොත්තු වෙමි. හැම වර්ගයකම මැණික් සහ මුතු අතිවිශාල ප්‍රමාණයක් මා සතුව තිබේ. නැව්, ඇතුන්, මුස්ලින් ආදී රෙදි, අගිල් (බකම්) සහ කුරුඳු වැනි සියලු වාණිජ වස්තු හින්දු වෙළෙඳුන් විසින් ඔබ වෙත ගෙනෙනු ලැබේ. තෝමර තැනීමට සුදුසු ලී ඇති ගස් මගේ රාජ්‍යයේ වැවෙයි. අවුරුදු පතා නැව් විස්සක් එවන්නැයි සුල්තාන් තුමා මට කියතොත් ඒවා සැපයීමට මට පුළුවන. තවද එතුමාගේ විජිතවල වෙළෙන්දන්ට මගේ රාජ්‍යයේ වෙළෙඳාම් කිරීමට පැමිණීමට සම්පූර්ණ නිදහස තිබේ. යේමනයේ කුමාරයාගේ දූතයෙක් මා බැහැදැකීමට පැමිණියේය. ඔහු පැමිණියේ තම ස්වාමියා වෙනුවෙන් සුහද සබඳකම් යෝජනා කිරීමටය. එහෙත් සුල්තාන් තුමා කෙරෙහි මා තුළ පවත්නා ආදරය නිසා මම ඔහු පිටත් කර යැවිමී. මට අයිති මාලිගා විසිහතක් තිබේ. ඒවායේ භාණ්ඩාගාර හැම වර්ගවලම මැණික්වලින් පිරී තිබේ. මුතුපර මගේ විජිතවලට අයත්ය. එයින් ගනු ලබන සියලු මුතු මා සතුය.”
බටහිර ජාතීන් මෙරට පැමිණි පසු ද එම තත්ත්වයේ වෙනසක් නොවීය. 1626 වසරේදී කොන්ස්ටන්ටයින් ඩී සා නමැති පෘතුගීසි ආණ්ඩුකාරවරයා මුහුදුබඩ පළාත්වල සිටි මුස්ලිම්වරු පලවා හැරීමට කටයුතු කළ අවස්ථාවේ ඔවුනට ආරක්ෂාව සැපයීමට ඉදිරිපත් වූයේ කන්ද උඩරට සිටි සෙනරත් රජතුමාය. ඒ අවස්ථාව මේ ජාතින් දෙක අතර තිබු ශක්තිමත් සහයෝගය පෙන්වන කැඩපතක් බඳුය. එපමණක් නොවේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව නිදහස් අරගලය ක්‍රියාත්මක වූ අවස්ථාවේදීත් ප්‍රජාවක් ලෙස මුස්ලිම්වරු එවකට සිටි ප්‍රධාන සිංහල නායකයන් සමඟ අත්වැල් බැඳ ගනිමින්, තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙළා දශමයකින් හෝ අඩු නොකර සිදුකරන ලදී.


සෘජු දැක්ම


ටි. බී. ජායා, ශ්‍රීමත් රසීක් ෆරිඩ් වැනි අනාගතය විහිදුවා ගිය පැහැදිලි ගැඹුරු දැක්මක් තිබු මුස්ලිම් නායකයන්ගේ ක්‍රියාකාරිත්වය ඊට සාක්ෂි සපයයි. එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය මෙරටට ඩොමිනීයන් තත්ත්වය ප්‍රදානය කිරීමට කටයුතු කළ අවස්ථාවේ ජී. ජී. පොන්නම්බලම්, වැනි ද්‍රවිඩ නායකයින් 50 : 50 ඉල්ලීම ඉදිරිපත් කරමින් එය දියාරු කිරීමට උත්සාහ කළ අතර තවදුරටත් ජාතින් අතර බෙදීම් සිදු කරමින් මෙරටට නිදහස ලබාදීම ප්‍රමාද කිරීම වෙනුවෙන් වූ යටත්විජිත පාලකයන්ගේ අවශ්‍යතාව සමඟ ද එය කදිමට පෑහුණි. සැබැවින්ම එය තීරණාත්මක මොහොතක් විය. පොන්නම්බලම්ගේ යෝජනාවට මුස්ලිම්වරුන් දක්වන ප්‍රතිචාරය දෙස අධිරාජ්‍යවාදීන් පමණක් නොව නිදහස් අරගලයේ සිටි සිංහල නායකයෝ ද දෑස් දල්වාගෙන බලා සිටියෝය. එක් පසෙකින් සුළු ජන කොටසක් ලෙස තම අනාගත ආරක්ෂාව පිළිබඳ ගැටලුවටත් අනෙක් පසින් තම මවුබිමේ නිදහස පිළිබඳ ගැටලුවටත් මැදිව සිටින මොහොතක සමස්ත ලංකා මුස්ලිම් ලීගයේ නායකයා ලෙස ටී. බී. ජායා මහතා ඩොමීනියන් තත්ත්වය පිළිබඳ යෝජනාව ඉදිරිපත් වූ මොහොතේ 1945 නොවැම්බර් 09 වැනිදා රාජ්‍ය මන්ත්‍රණ සභාව අමතමින් සිදුකළ ඓතිහාසික දේශනයේ උපුටා ගැනුමකි මේ.
“මුස්ලිම්වරු හැටියට අපේ අනාගත ආරක්ෂාව පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නිදහස පිළිබඳ ප්‍රශ්නයේදී කොන්දේසි පනවා නිදහස ලබාගැනීම ප්‍රමාද කරන්නට මේ රටේ මුස්ලිම් ජනතාව සූදානම් නැහැ. කොන්දේසි විරහිතව අප්‍රමාදව ශ්‍රී ලංකාවට නිදහස දිය යුතුයි කියන ස්ථාවරයේ මේ රටේ මුස්ලිම් ජනතාව ඉන්නවා.”
නිදහස දිනා ගැනීමෙන් අනතුරුව ද යම් යම් හුදෙකලා සිදුවීම් මධ්‍යයේ වුවද සිංහල, මුස්ලිම් දෙපාර්ශ්වය සහජීවනයෙන් යුතුව කටයුතු කළේය. ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධය පැවැති අවස්ථාවේදී ද මුස්ලිම්වරු “දකුණේ” පාලනය සමඟ සහයෝගයෙන් කටයුතු කළෝය. ශ්‍රී ලංකා යුද හමුදාව සතු ආරක්ෂක සංකීර්ණ බිඳ දමමින් ත්‍රස්තවාදය, 2000 වසරේදී පිම්මේ හිස ඔසවද්දී “මල්ටිබැරල්” අවි ලබා දෙමින් අපේ පිහිටට පැමිණියේ මුස්ලිම් රටක් වන පාකිස්තානයයි. ශ්‍රී ලංකාවේ හිතවතුන් ලෙස පෙනී සිටීම් කරන බොහෝ රටවල් පසුබසිද්දී පාකිස්තානය ඍජුව එම අඳුරු පැයේදී අප සමඟ සිටගත්තේය. යුද්ධය නිම වීමෙන් පසුවද ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ කාරණා සාකච්ඡා වෙද්දී ඉස්ලාමීය සහයෝගීතාවට අයත් බොහෝ රටවල් අප සමඟ එක පෙළට සිටගත්තේය. අප ඒ සියලු විස්තර සඳහන් කළේ මුස්ලිම්වරු යනු අපගේ සතුරෙකුට වඩා මිතුරෙකු බව පෙන්වීමටය. සැබවින්ම ෙම් ෙමාෙහාෙත් පවා අපේම රටේ ජීවත්වන සහෝදර ජනකොටසක් තමන්ගේ අනෙකා බවට පත් කරගනිමින් සිදුවන්නා වූ කල්ලිවල මෙම ඊනියා මැදිහත් වීම අනුමත කරනුයේ රටේ මුළු ජනගහනයෙන් අතිශය සුළුතරයක් පමණි.
ජාතියක් හැටියට සාතිශය වගාඩම්බර ඉතිහාසයක් ගැන පුරාජේරු වමාරන වර්තමානයක් අප සතුය. එහෙත් ඉතිහාසයේ යම් යම් වරද්දා ගැනීම් වර්තමානයට ඉතිරිකොට තිබෙන්නේ පිරියම් කොට ගත නොහැකි 'පැල්ලම්, කඩතොලු සහ කහට සලකුණුය'.


19 වෙනි සියවසේ, අධිරාජ්‍යවාදීන්ට සහමුලින් යටත් වූ පසු පවා අප සිටියේ හීන නොවූ උදාරම් මානසිකත්වයකිනි. රාජකාරි ක්‍රමය අහෝසිකොට ශ්‍රමයට මිලක් ගෙවීමේ ක්‍රමවේදයට අනුව වතු වැවිලි සඳහා 'සුද්දන්ගේ වතුවල' වැඩ කිරීමේ මදි පුංචිකමෙන් යුක්තව මෙරැටියෝ ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන්වන තුරුත් 'නෑසූ කන්ව, නොපෙනුනු දෙනෙත්ව උන්හ. අන්තිමට එකී ශ්‍රමිකයෝ මෙරට ආර්ථිකයේ සුක්කානමට කිට්ටු වූහ.
ඒෙස්, තමන්ගේ රටේ වතුවල වැඩ කිරීම මදිපුංචිකමක් සේ සැලකූ පරම්පරාවක නූතන උරුමකරුවෝ අරාබිය ඇතුලු රටවලින් මෙරට ආර්ථිකයේ පාදම සැකසීමට අද උපකාර පතයි. කොටින්ම කීවොත් ඒ රටවල කම්කරු සේවයේ යෙදී ලබන විනිමය මෙරට ජාතික ආර්ථිකයේ 'ලොකු ඉඩක්' සුරක්ෂිත කරයි. එකී අතිමහත් පංගුවට ඔවුනගේ දායක වීම යතුරු පැදියට යොදන තෙල් බිංදුව දක්වාම පැතිර පවතී. දිගින් දිගටම වචන නාස්ති කිරීම ෙමම සටහන තව තවත් දීර්ඝ කරන බැවින් අවසාන වශ‍ෙයන් මෙම කාරණය සඳහන් ෙකරුමට කැමැත්තෙමු.


යුද්ධය නිම වීමෙන් අනතුරුව රටේ සියලු ජන කොටස් අතර සංහිඳියාව නිර්මාණය කරලීම වෙනුවෙන් ස්වර්ණමය අවස්ථාවක් උදා විණි. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවීම තත්ත්වය තවත් සුබවාදී බවට පත් කළේය. එවන් පසුබිමක් මැද මෙබඳු හැසිරීම් කිසිසේත්ම අවශ්‍යතාව හා නොගැලපෙයි. තව දින කිහිපයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනුමට ජිනීවා මානව හිමිකම්  කොමිසම රැස්වීමට නියමිතය. මෙම හැසිරීම තවදුරටත් උත්සන්න වුවහොත් එය
ශ්‍රී ලංකාවට ගෙන එනුයේ වාසියකට වඩා අවාසියකි. එබැවින් මේ ප්‍රචණ්ඩත්වය පළමු අවස්ථාවේදීම පරාද කෙරුම හැමතින්ම වැදගත්ය.

මාතෘකා