කවුරු හරි මැරුණම ලබන සන්තෝෂය මොකක්ද..? : පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

 ඡායාරූපය:

කවුරු හරි මැරුණම ලබන සන්තෝෂය මොකක්ද..? : පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි

තෙල්දෙණියෙ-දිගන ප්‍රදේශයේ සිදුවීමේදී දැන් දෙපාර්ශයේම ඝාතන කිහිපයක් දක්වා ඔඩු දුවා තියනවා. ඔබ වහන්සේ ඉන්නේ කාගේ පැත්තෙද?


අපිට මේ ප්‍රශ්නෙදී පැත්තක් ගන්න බැහැ. අපි ඉන්න ඕන මධ්‍යස්ථව. අපිට මේ රට ගිනි ගන්න දෙන්න බැහැ. මේ රට නිවන්නයි ඕන.  


ඇත්තටම මේ මුස්ලිම් - සිංහල ජාතිවාදී ගැටුමක්මද?


ඉස්ලාම්ද  ක්‍රිස්තියානිද බෞද්ධද හින්දුද කියන දේ අදාළ නෑ. මේ හැමෝම මිනිස්සුනේ. යම්  යම් සිද්ධි වලදී මිනිස්සු මිනිස්සු ගහගන්නවා. මුස්ලිම් යාළුවෝ බෝතලයක්  කඩාගෙන බීල පස්සේ ගහගන්නවා. සිංහල සිංහල යාළුවොත් බෝතලයක් බීල ගහගන්නවා.  හැබැයි මුස්ලිම් මනුස්සයෙන් සිංහල මනුස්සයෙක් එක්ක ගහ ගත්තොත් ඒක ජාතිවාදී  ප්‍රශ්නයක් කියලා හංවඩු ගහනවා. මෙන්න මේක තමයි බරපතලම වැරැද්ද. මේ දේ තමා  අපි නිවැරදි කර ගත යුත්තේ.  


එක සිදුවීමක් පාදක කරගෙන පටන් ගත්ත කතාබහ, අන්තිමේ ලොකු ගැටුමක් බවට පත් වුනා. මේ තත්වයට වගකිව යුත්තේ කවුද?


තෙල්දෙනියෙ  සිදුවීම දක්වා පහුගිය කාලේ අම්පාර, අලුත්ගම වගේ නොයෙක් ප්‍රදේශවල සිදුවීම්  සාකච්ඡාවට බඳුන් වුනා. සිංහල සමාජයේ වගේම මුස්ලිම් සමාජයෙත් මේ සිඳුවීම්  ගැන අවධානයෙන් හිටපු පිරිස අතර යම් ආතතියක් තිබුනා. හැබැයි මේ සිද්ධියට  සම්පූර්ණ වගකීම බාරගන්න ඕන පොලිසිය.  


ඔබ වහන්සේ 4 වෙනිදා රාත්‍රියේ මියගිය සිංහල තරුණයගේ නිවසට වැඩම කළා. මොකක්ද මේ ගමනේ අරමුණ?


ඔව්.  මම එතනට ගියා. ඒ වෙලාව වෙනකොට මේ ප්‍රශ්නේ නිවිලා තිබුනේ. ඒ පන්සලේ  හාමුදුරුවෝ ආවේගශීලී තරුණ කොටස්වලින් බැනුම් අහගෙන පවා, මොනම හේතුවක්  නිසාවත් ගැටුම් ඇති කර නොගත යුතු බවට එකම ප්‍රතිපත්තියක හිටියා. අපේ වගකීම  විය යුත්තේ මේ මරණය නිසා  දුක් විඳින ඒ පවුලේ අයව රැක බලා ගැනීම කියන දේ  අපි අවධාරණය කළා. කඩයකට ගහලා, ගොඩනැගිල්ලකට ගහලා, පල්ලියකට ගහලා අපිට ලබන්න  පුළුවන් දෙයක් නැති බව අපි පැහැදිලි කරලා දුන්නා.   අපිට කළු ලපයක් පමණක් ඉතුරු වෙන බව ආවේගශීලි තරුණයන්ට කිව්වා.


ඔබ වහන්සේගේ වෙනස් වෙලා වගේ. හිටපු පැත්ත වෙනස් කරලවත්ද?


අපි  නියෝජනය කරන්නේ ජාතිකත්වය. ජාතිකත්වය කියන්නේ ගහ ගැනීම නෙමේනේ. මුස්ලිම්  මනුස්සයා මුස්ලිම් ජාතියට ආදරෙයි. සිංහලයා සිංහල ජාතියට ආදරෙයි. ඉස්සෙල්ලා  තමන්ගේ ජාතියට ආදරේ නම් තමා අනිත් ජාතීන්ට ආදරේ කරන්න පුළුවන් වෙන්නේ.  හැබැයි අපි කවදාවත් කිව්වේ නෑ, තමන්ගේ ජාතිය විතරයි පවතින්න ඕන කියලා. අපි  ජාතිවාදී නැහැ.
අපි හැමදාම කිව්වේ සිංහල සමාජයත්, සාම්ප්‍රදායික  ශ්‍රී ලාංකීය මුස්ලිම් සමාජයත් ඈත් කරන බහාබ්වාදී සංකල්පවලට ඉඩ දෙන්න එපා  කියලා. ඒ හරහා සිංහල සමාජය සැකයෙන් බලන්නේ සමස්ථ මුස්ලිම් සමාජය දිහා. අද  ඇති වෙලා තියන මේ තත්වයට හේතුවත් ඒකම තමා.


මේ සිදුවීම් පිටිපස්සේ දේශපාලන හස්ත තිබෙන බව රාවයක් තියනවා. කවුද ඇත්තට මේ දේශපාලන හස්තය?


අපිට  එක කියන්න තේරුමක් නෑ. ඇත්තටම රටේ නායකයාවත්, අගමැතිතුමාවත්,  විපක්ෂනායකතුමාවත්, මහින්ද රාජපක්ෂ මහත්තයාවත් මුස්ලිම් තරුණයො හතර දෙනාට  ලොරි රථ රියදුරාට පහර දෙන්න කියලා කිව්වේ නැහැනේ.  


එහෙනම් ඇයි ඔබ වහන්සේ පොලිසියට චෝදනා කරන්නේ?


පොලිසිය,  ගැටුමක් ඇති වුන බවත් පුද්ගලයෙන් පහර කෑමට ලක් වුන බවත් එක අයෙක් රෝහල් ගත  කරලා තිබුන බවත් දින 9ක් ඇවෑමෙන් ඔහු මරණයට පත් වුන බවත් ඒ පහරදුන්  පුද්ගලයන් අත් අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරලා තියන බවත්, මුලදිම  කිව්වා නම්, මාධ්‍ය හරහා රටටම දැන්වූවා නම් මේ ප්‍රශ්න ඇති නොවෙන්න තිබුනා.
මිනිස්සු හිතුවේ මෙච්චර ප්‍රශ්නයක් වෙලත් අත් අඩංගුවට නැත්තේ ඇයි කියන දේ. ඒ වෛරය හරහා තමා මේ ගැටුම් පටන් ගත්තේ.  


ඇත්තටම මොකක්ද මේකට දැන් විසඳුම?


සිංහල  සමාජයට සිංහල තරුණයෙකුත්, මුස්ලිම් සමාජයට මුස්ලිම් තරුණයෙකුත් නැති වුනා.  පොදුවේ ගත්තොත් මේ අපේ රටේ දරුවෝ. කවුරුහරි මැරිලා. දැන් අපි ලබනා සන්තෝෂය  මොකක්ද? මම යෝජනා කරන්නේ මේ මරණ දෙකවත් පදනම් කරගෙන, මේ වෙච්ච විපත්තිය  සම්පත්තියක් කරගෙන රටේ සියළු දේශපාලන නායකයෝ එක තැනකට එකතු වෙලා, අපිවත්,  මුස්ලිම් පාර්ශවයත් එකට කැඳවලා, මේක සාකච්ඡා කරලා විසඳුමකට එන්න අවශ්‍යයි.  


එහෙම නැත්නම් කී දවසක් මේ විදිහට යන්නද..


 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?