ලසන්ත නිල ඝාතකයින්ගේ නොනිල ගොදුර (දෙවන කොටස)

 ඡායාරූපය:

ලසන්ත නිල ඝාතකයින්ගේ නොනිල ගොදුර (දෙවන කොටස)

සන්ඩේ ලීඩර් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, 2008 ජනවාරි 8 වැනිදා අත්තිඩිය මලගල විද්‍යාලය ඉදිරිපිටදී ඝාතනය වීමෙන් පසුව පරීක්ෂණ ආරම්භ කරන ලද්දේ ගල්කිස්ස මූලස්ථාන පොලීසිය විසිනි. එම මූලික සාක්ෂි ලබා ගැනීම් පිළිබඳව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අධීක්ෂණය කර ඇත. ගල්කිස්ස පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපාල විසින් ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත සහ නඩු භාණ්ඩ වශයෙන් සොයා ගත් දෑ බල අපරාධ සටහන් පොතේ සටහන් කරනු ලැබ ඇති අතර,  එම පිටු ගලවා ඉවත් කරන ලෙස එවක ගල්කිස්ස ප්‍රදේශය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර පවසා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා තිබේ. ලසන්තට සිදු වූ දෙයම තමන්ටත් විය හැකි බවත්, තමන්ගේ දුවා දරුවන් පිළිබඳව සිතා එම සටහන් පොත් තමන්ට ලබාදෙන ලෙසත් නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළ බව  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ සාක්ෂි ලබාදෙමින් අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා ප්‍රකාශ කර තිබේ. පසුව  එම පිටු ගලවා දැමූ බවත්, උප පොලිස් පරීක්ෂක  තිස්සසිරි සුගතපාල විසින්   ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් අධිකාරී ඉදිරියේදී නියෝජ්‍ය පොලිස්පතිවරයාට එම සටහන් පොත් ලබා දී ඇති බවත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ ප්‍රකාශ කළ බව එම දෙපාර්තුමේන්තුව  බී 92/2009 යටතේ පවතින නඩු විභාගයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සඳහන් කර ඇත්තේ  2009 ජනවාරි 16 වැනිදායින් පසුව ලසන්තගේ ක්ෂේත්‍ර සටහන් පොත ගල්කිස්ස පොලීසිය තුළ නොතිබී ඇති බවයි.

පරීක්ෂණ සීඅයිඩීයට

ගල්කිස්ස පොලීසිය විසින් ඉන්පසුව ලසන්ත ඝාතන පරීක්ෂණ මන්දගාමීව කරගෙන ගොස් ඇති අතර,  එවක රජයට පැමිණි බලපෑම් හමුවේ 2009 නොවැම්බර් 25 වැනිදා එම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පවරා තිබේ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට එම පරීක්ෂණ දීර්ඝව සිදු කිරීමට අභිනවයෙන් පත් වූ එවක පොලිස්පති මහින්ද බාලසූරිය ඉඩ ලබා නොදී ඇති අතර, 2010 පෙබරවාරි 7 වැනිදා එම පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉවත් කර ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිෂ්ඨ යටතට පවරා තිබේ. ඒ අනුව එතෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් සොයාගන්නා ලද කරුණුද උපයෝගී කරගනිමින් පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රසන්න අල්විස් ප්‍රමුඛ කන්ඩායමක් පරීක්ෂණ පවත්වා තිබේ. ඒ අනුව ලසන්ත ඝාතනයට අදාළව ලසන්ත පසුපස නිතර සංසරණය වූ  දුරකථන දත්ත පරීක්ෂා කර සැකකටයුතු දුරකථන අංක 5ක් විමර්ශන අංශය විසින් සොයාගෙන තිබී ඇත.

2008 නොවැම්බර් 12 සහ 13 යන දිනයන්වලදී අදාළ දුරකථන අංක කොළඹ ඕල්කට් මාවතේ ස්ථානයකින් මිලදීගෙන තිබී ඇත. 811,812, 831, 861, සහ  951 යන අංකවලින් අවසන්වන එම අංක 5 මිලදීගෙන තිබුණේ නුවරඑළියේ පදිංචි පිචෛ ජේසුදාසන් නැමැති දෙමළ ජාතික පුද්ගලයෙකුට අයත් හැඳුනුම්පතකට බව එහිදී අනාවරණය  වී ඇත. ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය 2010 පෙබරවාරි 26 වැනිදා ඔහුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කර තිබී ඇත.

නුවරඑළිය ප්‍රදේශයේම ගරාජයක සාමාන්‍ය සේවකයෙකු වූ ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඊට පෙර දිනකදී පියවංශ නැමැති හිතවත් යුද හමුදා නිලධාරියෙකු විසින් තමන්ට අරක්කු බීමට දී හැඳුනුම්පත  රැගෙන ගොස් ඇති බවයි.

පියවංශ අත්අඩංගුවට

ජේසුදාසන්ගේ ප්‍රකාශය මත ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ට්‍රිපෝලි යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන ලද බුද්ධි අංශ සාමාජික කෝප්‍රල් කන්දෙගෙදර පියවංශ අත්අඩංගුවට ගෙන ඇති අතර රැඳවුම් නියෝගමත රඳවා තබා තිබී ඇත. ජේසුදාසන්ගේ හැඳුනුම්පතට වංචාකාරී ලෙස ලසන්ත ඝාතනයට සැක කළ දුරකථන අංක මිලදීගෙන තිබී ඇතත්, ජේසුදාසන් අත්අඩංගුවෙන් නිදහස් කර නොමැත. පසුව සිරමැදිරිය තුළම ඔහු මියගොස් සිට ඇත. කෝප්‍රල් කන්දෙගෙදර පියවංශ පසුව නීතිපති උපදෙස්මත නිදහස් වී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වර්තමානයේදී අධිකරණයට කරුණු වාර්තා කරමින් දන්වා තිබුණේ ඔහුව අත්අඩංගුවට ගෙන සිටි වකවානුවේදී රජයෙන් ඔහුට උත්සව දීමනා ඇතුළු වැටුප් ලබාදීමට කටයුතු කර තිබී ඇති බවයි.

17ක් අත්අඩංගුවට

2010 ජනවාරි 26 වැනිදා මෙරට 6වන ජනාධිපතිවරණය අවසන් වීමෙන් මසකට පසුව ලසන්ත ඝාතනයට සැකපිට පෙබරවාරි 26 වැනිදා කොහුවල යුද හමුදා කඳවුරේ සෙබළුන් 11 දෙනෙකුද, 26 වැනිදා තවත් 6දෙනෙකුද අත්අඩංගුවට ගන්නා ලදී. ඒ සියලුම සෙබළුන් එවක යුද හමුදාපති සහ ජනාධිපති අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකාගේ ආරක්ෂක  ආවේශන කටයුතු බාරව සිටි නිලධාරීන්ය. එහිදී ඔවුන්ව රජය පෙරළා දැමීමට කුමන්ත්‍රණ කිරීම යන චෝදනාව යටතේ රැඳවුම් නියෝග ලබාගෙන දින 6කට පසුව ඉන් 9දෙනෙකු පොලිස් ඇප මත මුදා හැර තිබේ. ඉතිරි 8දෙනා දින 11කට පසුව පොලිස් ඇප මත නිදහස් කර තිබේ. හදිසි නීතිය යටතේ පොලිස් ඇප මත එසේ නිදහස් කළ නොහැකි වුවත් කිසිඳු පැහැදිලි කරුණු දැක්වීමකින්  තොරව ඔවුන් නිදහස් කර ඇති බව අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර තිබේ. සරත් ෆොන්සේකාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ මේජර් ආනන්ද ප්‍රමුඛ එම ආවේශන කණ්ඩායම ලසන්ත ඝාතනය වෙනුවෙන් සැක බව ප්‍රකාශ කරමින් අත්අඩංගුවට ගැනීම මඟින්  සරත් ෆොන්සේකා වෙත එම චෝදනාව  එල්ල කිරීම සඳහා ගත් උත්සාහයක් බවට පෙනී යන බව වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කර ඇති බවත් පසුගිය සතියේදී මාධ්‍ය වාර්තා කරන ලදී. මෙවැනි එකිනෙකට පරස්පර විමර්ශන හා මන්දගාමී පරීක්ෂණ වසර 7ක් පුරා ක්‍රියාත්මක වී තිබූ අතර,  ලසන්ත ඝාතනය වෙනුවෙන් සාධාරණ සැකයන් සහිත කිසිවෙකුත් අත්අඩංගුවට ගැනීමක් එතෙක් සිදු නොවිණි.

නැවත පරීක්ෂණ  සීඅයිඩීයට

2015 ජනවාරි 8ට  ලසන්ත ඝාතනය වී වසර 6ක් ගතවන තැන  යහපාලන ජනාධිපතිවරයා සහ ආණ්ඩුව බලයට පත්විය. මැතිවරණ වේදිකා තුළ මෙම පාලකයන් ලසන්ත ඝාතනය පිළිබඳව විවිධ මත හා චෝදනා එල්ල කරමින් පරීක්ෂණ නැවත ආරම්භ කරන බවට ප්‍රතිඥා දෙන ලදී. ඒ අනුව නව රජයට ආ බලපෑම් මත 2015 පෙබරවාරි 25 වැනිදා නැවතත් ලසන්ත ඝාතන පරීක්ෂණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත පවරන ලදී. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී. එස් තිසේරාගේ අධීක්ෂණයෙන් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් පරීක්ෂණ කටයුතු නැවත ආරම්භ කරන ලදී. එහිදී 2009 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන අංශය කරන ලද පරීක්ෂණ නැවත සලකා බලා තිබේ. ලසන්තගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල තිබූ පරස්පරතා හේතුවෙන් 2016 සැප්තැම්බර් 27 වැනිදා සිරුර ගොඩගත් අතර අධිකරණ වෛද්‍ය මණ්ඩලය 2017 මාර්තු 20 වැනිදා අධිකරණයට වාර්තා කළේ ලසන්ත ඝාතනය වී ඇත්තේ වෙඩි තැබීමකින් නොව උල් ආයුධයකින් කරන ලද පහරදීමක් අනුව හිසට සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් බවය. එම අවිය විදේශයන්හි ගවයන් හා බැටලුවන් මැරීමට යොදා ගන්නක් බව කියැවුණද එය මෙරට නිර්මාණය කරන ලද්දක්දැයි  මේවනවිට  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට සැක මතුව ඇති බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

දුරකථන පරීක්ෂණ

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඩයලොග් ආයතනයෙන් අදාළ සැක සහිත දුරකථන කුලුනු වාර්තා ඉල්ලා තිබුණ්ද එම ඉල්ලීම් දිගින් දිගටම මඟ හැර තිබී ඇත. විදුලි සංදේශ නියාමන පනත අනුව වසර 11 යනතුරු අදාළ දත්ත ලබාදීමට සමාගම් බැඳී සිටිය යුතු වුවද එලෙස මඟහැර තිබී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව දිගින් දිගටම කරන ලද ඉල්ලීම් හා අධිකරණය නියෝග මත එම සැකකටයුතු දුරකථන වාර්තා ලබා දී තිබේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පෙනී ගොස් ඇත්තේ එම අංක 5 උදෑසන කාලයේදී ගම්පහ ඉඹුල්ගොඩ ආදී ප්‍රදේශවලත්,  සවස් කාලයේදී ලසන්තගේ නිවස හා කාර්යාලය අවට ප්‍රදේශවලත් සැරිසරා කොළඹ ට්‍රිපෝලි යුද හමුදා කඳවුරු ප්‍රදේශයෙන් අවසන්ව  ඇති බවයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ලසන්ත ඝාතනය වූ කාලවකවානුවල සිදු වූ පැහැර ගැනීම් හා ඝාතනයන් පිළිබඳව සොයා තිබේ.

කීත් නොයාර් පැහැරගැනීම

2008 මැයි 22 වැනිදා රාතියේදී  නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘව සිටි කීත් නොයාර් අංක PC - 2023 දරන  මෝටර් රථයෙන්  52, වෛද්‍ය පාර දෙහිවල  ස්ථානයේ පිහිටි සිය නිවසට ගොස් තිබුණේ රිවිර මීඩියා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියාව සිටි ක්‍රිෂාන්ත කුරේ සහ නේෂන් පුවත්පතේ එවක සිටි කර්තෘ ලලිත් අලහකෝන් සමග ඩුප්ලිකේශන් පාරේ අවන්හලකින් රාත්‍රී ආහර ගැනීමෙන් පසුවය. රාත්‍රී 9.30ත් 10ත් අතරදී තම නිවසේ ගේට්ටුව ආසන්නයට පැමිණීමත් සමග  සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් කීත්ව පැහැරගෙන ගොස් තිබූ අතර එම තොරතුර සැලවීමත් සමග ලලිත් අලහකෝන් හිටපු ජනාධිපතිවරයාට දුරකථනයෙන් කතා කර තිබේ. එවෙලෙහි ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදක්වා ඇති අතර එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ  අංකය වන 0773501626ට අමතා තමන් ලලිත් අලහකෝන් බවත්, නේෂන් පුවත්පතේ කීත් නොයාර්ව පැහැරගෙන ගොස් තිබෙන බවත්, එම  පැහැරගැනීම සිදුකර ඇත්තේ යුද හමුදාවේ පිරිසක් බවත් ප්‍රකාශ කර තිබේ. එහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ‘ඕකට හමුදාවට ඇඟිල්ල දික්කරන්න එපා.  ඕක ගෑනු කේස් එකක්’ යනුවෙන් පවසා ඇති බව එම පරීක්ෂණය සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දන්වා ඇත. පසුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලලිත් අමතා ‘එම ස්ථානයට  කොළඹ  අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක  එනු ඇති බව, ප්‍රකාශ කර තිබේ.  

ක්‍රිෂාන්ත කුරේ විසින් ඒ වන විට වගකිවයුතු පාර්ශ්ව දැනුවත් කර තිබී ඇති අතර, කීත්ගේ 0773688908 දරන දුරකථනය දොම්පේ - දෙකටන ප්‍රදේශයේ ක්‍රියාත්මකවන බව ඩයලොග් ආයතනයේ ඇති සම්බන්ධතා මගින් තහවුරු කරගෙන තිබී ඇත. එවකට කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායක එම මොහොතේ කීත් නොයාර්ගේ නිවසට පැමිණ ලලිත් අලහකෝන්ගෙන් විස්තර විමසා ඇති අතර, එහිදී අනුර සේනානායක  පවසා ඇත්තේ ‘ කීත  පැය දෙකක් තුළ ආපසු එනු ඇති බවත්, තමන් ඔහුව සෙවීම සඳහා  කණ්ඩායමක් යොදවා ඇති බවයි.  මේ අතර ක්‍රිෂාන්ත කුරේ සහකාර පොලිස් අධිකාරී නුවන් වෙදසිංහ සමග දොම්පේ ප්‍රදේශය බලා ගොස් ඇත. මැයි 23 වැනිදා පාන්දර 4ට පමණ නැවත කීත් නොයාර් තම නිවසට පැමිණ තිබූ අතර ඔහුව පැහැරගත්තේ කවුද, කුමක් සඳහාද යන්න තහවුරු නොවේ.  

දුරකථන අංක වාර්තාව

කීත්ගේ පැහැරගැනීම පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට දුරකථන වාර්තා විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව අධිකරණයේදී අනාවරණය වූයේ  ලලිත් අලහකෝන් විසින් හිටපු ආරක්ෂක ලේකම්වරයාට දුරකතනයෙන් අමතා මේ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ භාවිත කළ අංක 0773501626 දරන දුරකතනයෙන් එවක පොලිස්පති ජයන්ත වික්‍රමරත්න  භාවිතෙ කළ 0773263650 අංක දරන දුරකතනයට රාත්‍රී 11.36ට ඇමතුමක් ලබාගෙන ඇති බවත්, ඉන්පසුව ආරක්ෂක ලේකම්වරයාගේ අංකයෙන් රාත්‍රී 11.39ට ජාතික බුද්ධි ප්‍රධානී ලෙස කටයුතු කළ විශ්‍රාමික  මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ භාවිත කළ  0777562873 අංක දරන දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇති බවයි.

ඒ අතර පොලිස්පති ජයන්ත වික්‍රමරත්න  විසින් එවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුර සේනානායකගේ නිවසේ අංක 0112867826  දරන දුරකතනයට රාත්‍රී 11.51ට අමතා තිබෙන බව අධිකරණයට වාර්තා කර ඇත. ඉන්පසුව ජාතික බුද්ධි ප්‍රධානී විසින් රාත්‍රී 11.41ට එවකට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂව සිටි එවකට බ්‍රිගේඩියර්  අමල් කරුණාසේකරට යුද හමුදාව මගින් ලබා දී ඇති  0773613496 අංක දරන දුරකතනයට ඇමතුමක් ලබා දී ඇත. ඉන් පසුව යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින්  ට්‍රිපෝලි  කඳවුරේ පිහිටුවා තිබූ යුද හමුදා බුද්ධි අනුඛණ්ඩයට යුද හමුදාව මගින් නිකුත් කර තිබූ  0773501951 දරන දුරකතනයට රාත්‍රී 11.47ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වන විට අමල් කරුණාසේකරගේ දුරකතනය ජාවත්ත ප්‍රදේශයේ  තිබී ඇති අතර, ට්‍රිපෝලි  කඳවුරට ලබා දී තිබූ දුරකතනය මල්වාන ප්‍රදේශයේ තිබී ඇත. බුද්ධි අධ්‍යක්ෂ අමල් කරුණාසේකර විසින් ඔහුට ලබා දී තිබූ දුරකතනයෙන් ට්‍රිපෝලි කඳවුරේ පිහිටුවා තිබූ බුද්ධි අනුඛණ්ඩයේ අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කළ මේජර් බුලත්වත්ත  විසින් ඔහුගේ නමින් ලබාගෙන තිබූ  0773186436 අංක දරන දුරකතනයට රාත්‍රී 11.48 ට ඇමතුමක් ලබාගෙන ඇත. ඒ වනවිට මේජර් බුලත්වත්තගේ දුරකතනය තිබී ඇත්තේ මල්වාන, දෙකටන ප්‍රදේශයේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ නේෂන් පුවත්පතේ සෙන්පති නමින් ආරක්ෂක  කොලම ලියූ   කීත් නොයාර් පැහැරගෙන ගොස් රඳවාගෙන තිබුණේ ගම්පහ මල්වානේ දෙකටන ප්‍රදේශයේ බවයි. ඒ අනුව එවකදී මේජර් බුලත්වත්තගේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබුණද පසුව මුදා හැරිණි.  

රිවිර පුවත්පතේ එවකට සිටි කර්තෘ උපාලි තෙන්නකෝන් පැහැරගෙන යෑම සහ ලසන්ත ඝාතනයට ට්‍රිපෝලි යුද හමුදා කඳවුරේ බුද්ධි කණ්ඩායමක් වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සැකය එල්ල වීම, ලසන්ත ඝාතනය එල්ටීටීඊ සංවිධානයට පැවරීම සඳහා උතුරේ දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ යතුරු පැදි කිරුළපන ඇළට ගෙනවිත් දැමීම ඇතුළු අධිකරණයයේදී පසුගිය සතිය දක්වා අනාවරණය වූ තොරතුරුවල ඉතිරි කොටස හෙට පළ වේ.