උදාගම්මාන 2500 ඉලක්කයට යන විට බෞද්ධයන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරනවා

 ඡායාරූපය:

උදාගම්මාන 2500 ඉලක්කයට යන විට බෞද්ධයන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරනවා

ඇමැති සජිත් ප්‍රේමදාස

වැවයි, පන්සලයි, ගමයි, දාගැබයි යන තේමාව යටතේ උදාගම්මාන අවට වෙහෙර විහාර ඉදිකරමින් උදාගම්මාන 2500 ඉලක්කයට යන විට බෞද්ධයන් වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කළ හැකි බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 26 වැනිදා අනුරාධපුර නුවරගම “ප්‍රභාෂණගම” ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“අද සමාජයේ අතිමහත් බහුතර පුරවැසියන් සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ප්‍රායෝගික බෞද්ධයින් ලෙස දැවැන්ත ශාසනික සේවාවක් ඉටු කරනවා. ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ගම් නියම් ගම් සිසාරා වෙහෙර විහාරස්ථාන ඉදිකරන වැඩසටහන් සඳහා දායකත්වය, ශක්තිය ලබා දෙනවා. ගෞරවනීය මහා සංඝරත්නයට අවශ්‍ය සංඝාවාස, ධාතු මන්දිය, දහම් පාසල් ඉදිවන විට ඒ සෑම දේකටම දායකත්වය ලබා දෙන්නේ ප්‍රායෝගික බෞද්ධයනුයි. මේ ජන සමාජයේ අන්ත සුළුතරයක් වාචික බෞද්ධයින් ලෙස කටයුතු කරනවා. ඔවුන්ගේ බෞද්ධකම වචනයට පමණක් සීමා වී තිබෙනවා. ප්‍රායෝගික බෞද්ධයින් ලෙස සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා දැවැන්ත ශාසනික සංවර්ධන ක්‍රියාවලියක් අද අප සිදුකරනවා.

අද සමහරුන් ගමේ පන්සල දේශපාලන ආයුදයක් බවට පත් කරගෙන තිබෙනවා. තමන්ට ජනප්‍රිය වන්නට, ඉහළ පුටුවලට යන්නට අද ගමේ පන්සල ගොදුරක් බවට පත් කරගෙන තිබෙනවා. ජාතික අවශ්‍යතාවයට අපෙන් ඉටුවිය යුතු යුතුකම මෙයද කියා සැබෑ බෞද්ධයින් ලෙස අප සිතිය යුතුයි. වාචික බෞද්ධකමින් ඉවත්ව තමන්ගේ අත්මාර්ථකාමී ක්‍රියා උදෙසා ආගම ධර්මය, පූජනීය සිද්ධස්ථාන දේශපාලන ග්‍රහණයකට නොගෙන සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා ප්‍රායෝගික බෞද්ධයින් ලෙස කටයුතු කිරීම අපගේ වගකීමයි.

“වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංකල්පය මත ගමේ චෛත්‍ය ඉදිවන විට ගම සංවර්ධනය කරන්නටත් කටයුතු කරනවා. මංගල සමරවීර අමාත්‍යතුමන්ගේ “ගම්පෙරළිය” වැඩසටහන යටතේ මේ ගම්මානයේ වැවත් පිළිසකර කරනවා. චෛත්‍ය ඉදිවෙමින් යන විට දහම් පාසල කොතරම් ශක්තිමත්ව ක්‍රියාත්මක වනවාද? දරුවන් කොපමණ සිටිනවාද? ඔවුන්ට කුමන පහසුකම්ද තිබෙන්නේද? යන්න අප සොයා බලනවා. ඒ අඩුපාඩුකම් සොයා බලා දහම් පාසලක අවශ්‍යතාව තිබේ නම් දහම් පාසල් ශාලාවක් ඉදිකිරීමටත් ඉදිරියේදී කටයුතු කරනවා. “වැවයි දාගැබයි - ගමයි පන්සලයි” යන සංකල්පය බොහෝම අර්ථාන්විතව ප්‍රායෝගිකව මහ පොළොවේ ක්‍රියාත්මක කරනවා.

චාවික බෞද්ධයින් අද බෞද්ධ ආගම අනතුරේ යැයි පවසනවා. එම කණ්ඩායමට මෙරටේ බලය තිබෙන විට එක චෛත්‍යයක් නිර්මාණය කළාද කියා මා ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා. බෞද්ධ ආගම අනතුරේ කියන පිරිස හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක චෛත්‍යක් ඉදිකර නැහැ. ඔවුන් බෞද්ධ ආගම අනතුරේ යැයි පවසනුයේ සත්‍යවාදීව නොවෙයි. බෞද්ධ ආගම අනතුරේ නැති බව මා වගකීමෙන් පවසනවා. ගමේ පන්සල, බෞද්ධ ආගම දේශපාලනයට ඈදා ගැනීම තුළන් මුළු බෞද්ධ ආගමම අනතුරට පත්ව තිබෙනවා. හොඳ දෙයක් කරන්නට ගිය පසු බැණුම් අහන සම්ප්‍රදායක් අප රටේ තිබෙනවා. රණසිංහ ප්‍රේමදාස මගේ පියාණන් මෙරට ජනාධිපති තනතුර දැරුවේ දෙපැත්ත පත්තුවන විලක්කුවක් එක්කයි. උතුරේ, නැගෙනහිර සහ දකුණේ ත්‍රස්තවාදයෙන් විනාශ වූ දේශයක් එතුමා බාර ගත්තා. නමුත් බුද්ධ ශාසනයට මුල්තැන ලබා දෙන්නට එතුමන් මැලි වූයේ නැහැ. එතුමන් ගමට යන සෑම මොහොතකම ගමේ පන්සලට ගියා, අඩු පාඩුකම් සොයා පන්සලට උදව් කළා. එතුමන් බුද්ධ ශාසනය වෙනුවෙන් කළ සෑම සේවාවක් වෙනුවෙන්ම දේශප්‍රේමීන් යැයි කියා ගන්නා පිරිස එතුමාට විරුද්ධව පාද යාත්‍රා ගියා. පන්සල් යනවා වැඩියි කියා රණසිංහ ප්‍රේමදාස මහතාට චෝදනා එල්ල කළා. එසේ පැවසූ දේශප්‍රේමීත්වයෙන් මත් වූ පිරිස එදා මගේ පියාණන්ට පුෂ්පකුමාර කියා නමක්ද නිර්මාණය කළා. අද එය බොහෝ දෙනෙක්ට අමතකයි.

ධම්ම පදයේ ජන සමාජයේ තිබෙන එක්තර ගතියක් ලෙසට. “අසාරේ සාර මතිනෝ - සාරේචා සාර දස්සිනෝ - තේ සාරං නාධි ගච්ඡන්ති - මිත්‍යා සංකප්ප ගෝචරා” යනුවෙන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. සරු දේ නිසරුයි කියා පෙනී පෙනී කියනවා. හොඳ දෙයක් දැක දැක නරකයි කියනවා. හොඳ දෙයක් දකින විට එය නරකයි කියනවා. අපේ රටට සිදුව තිබෙන වින්නැහිය එයයි. එසේ සිටින විට කිසි විටක අපට ප්‍රගතියක් අත්වන්නේ නැහැ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ඒ බුදු වදන හොඳින් අනුගමනය කර සියලු දෙනා සරු දේ සරු දේ ලෙසත්, නිසරු දේ නිසරු දේ ලෙසත්, හොඳ දේ හොඳක් ලෙසටත්, නරක දේ නරකක් ලෙසටත් දකින්නට ඕනෑ.

කෙටි කාලයක් තුළ මේ චෛත්‍ය ඉදිකරන්න වාසනාව ශක්තිය ලැබෙවා කියා ප්‍රාර්ථනා කරනවා. දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍ය 25 ක් ස්ථාපනය කර සසුනට පුජා කිරීමෙන් පසුව ලබන වසරේ දිස්ත්‍රික්ක 25 තුළ චෛත්‍ය රාජයාණන් සියක් නමක් සම්බුද්ධ ශාසනයට පුජා කිරීමේ මහා පුණ්‍යකර්මය දියත් කරන්නට ඇප කැප වන බව මා සතුටින් ප්‍රකාශ කරනවා.

මාතෘකා