තමා උගත් පාසලට හැකි පමණින් සේවයක් කළ යුතුයි

 ඡායාරූපය:

තමා උගත් පාසලට හැකි පමණින් සේවයක් කළ යුතුයි

- අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

මගේ පාසල හොඳම පාසල යන්න" තේමා පාඨය කර ගනිමින් තමා උගත් පාසලට තමාට හැකි පමණින් සේවයක් කිරීමට අපි කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ පසුගිය 23 වැනිදා කොළඹ, රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායම විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බටහිර ගොඩනැගිල්ලේ උඩුමහලේ පන්ති කාමර නැවත විද්‍යාලයට භාරදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

“අද අපි රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායමේ අනුග්‍රහයෙන් විදුහලේ බටහිර ගොඩනැගිල්ලේ උඩුමහලේ පන්තිකාමර අලුත්වැඩියා කොට විදුහලට භාරදුන්නා. රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායමේ සංවර්ධන අරමුදලේ විධායක කමිටුවේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වජිර ගුණවර්ධන මහතා මෙම වැඩසටහනේ ඉතිහාසය සිහිපත් කර දුන්නා. එසේම රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ සමයේ අපි මුහුණ දුන් සිදුවීම්, අත්දැකීම් පිළිබඳ විස්තරයක් කළා. අපි පළමුවෙන්ම විදුහලට ඇතුළත් වූ සමය, අපගේ පළමු පන්ති භාර ආචාර්යවරුන් සහ ශිෂ්‍යනායක කෙන් බාලේන්ද්‍ර මහතා එදා කුඩා සිසුන් වූ අපට තරවටු කළ අන්දම යනාදී අතීත මතකයන් මේ අවස්ථාවේදී සිහියට නැගෙනවා.

අපට මෙම අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වුණේ යුද හමුදාවේ සහය ලැබුණු නිසයි. හිටපු හමුදාපතිතුමා ආරම්භ කළ වැඩසටහන වත්මන් හමුදාපතිවරයා ඉදිරියට ගෙන ගියා. එසේ නොවෙන්නට අපට මේ කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම නිසා මේ සඳහා කැපවීමෙන් කටයුතු කළ 60 කණ්ඩායමේ සියලු දෙනාටමත්, අලුත්වැඩියා කටයුතුවලට ශ්‍රම දායකත්වය ලබාදුන් යුද හමුදාවේ සියලු දෙනාටමත් ස්තූතිවන්ත වනවා.

මෙම කාර්යභාරය අප ඉටු කළේ විදුහලේ ආදි ශිෂ්‍යයන් වශයෙනුයි. මෙය රාජකීය විද්‍යාලයට පමණක් නොව දිවයිනේ ඕනෑම පාසලක ආදි ශිෂ්‍යයන්ට හොඳ ආදර්ශයක්. තමන්ගේ පාසල දියුණු කිරීම සඳහා අද බොහෝ දෙනා පෙළඹී සිටිනවා. අපේ සමහර මධ්‍ය මහා විද්‍යාලවලට අවුරුදු 50 කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා. ඒ වගේම සමහර පාසල්වලට අවුරුදු 30 කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. එදා ඒ පාසල්වල අධ්‍යාපනය ලබා පිටව ගිය සිසුන් අද දිවයිනේ මෙන්ම විදේශයන්හී ද විවිධ තනතුරු දරමින් රැඳී සිටිනවා. ඒ නිසා තමා උගත් පාසලට කිසියම් අන්දමකින් සේවයක් කරන්නට එහි අඩුපාඩු සපුරාදෙන්නට ඔවුනට හැකියාව තිබෙනවා.

"මගේ පාසල හොඳම පාසල යන්න" තේමා පාඨය කර ගනිමින් තමා උගත් පාසලට තමාට හැකි පමණින් සේවයක් කිරීමට අපි කටයුතු කළ යුතුයි. අධ්‍යාපන ඇමැතිතුමාගේ වැඩපිළිවෙළ "ළඟම පාසල හොඳම පාසල" වුණත් අපි, "අපේ පාසල හොඳම පාසල" වශයෙන් සලකා එම තේමා පාඨයන් දෙකම එකට එකතු කොට අපේ පාසල් පද්ධතිය දියුණු කළ යුතු වනවා. එම වගකීම හා යුතුකම ගැන අපි පාසල් දරුවන්ගේ දෙමාපියන්ටත්, ආදි ශිෂ්‍යයන්ටත් සිහිපත් කොට දිය යුතුව තිබෙනවා. එමගින් හොඳ සිසු පරපුරක් ජාතියට දායාද කළ හැකි වෙනවා.

මෙම කාර්යයේදී 60 කණ්ඩායමට සහය දැක්වූ යුද හමුදාවට, රාජකීය විද්‍යාලයේ සංගමයට, ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු ගුරු දෙගුරුන් සැමට නැවත වරක් මා ස්තූති කරනවා”

මාතෘකා