රටට ඕනේ ඒකාධිපතියෙක් කියනවා නම් ඒක වැරදියි

 ඡායාරූපය:

රටට ඕනේ ඒකාධිපතියෙක් කියනවා නම් ඒක වැරදියි

ජනාධිපතිවරයා නිකවැරටියේදී අවධාරණය කරයි

වත්මන් රජය දරුවන් සුරක්ෂිත කිරීම, පරිසරය රක්ෂණය, දේශීය ආහාර නිෂ්පාදනය, මත්ද්‍රව්‍ය නිවාරණය යන කරුණුවලට ජාතික වැදගත් කමක් ඇතිව මුල්තැන දී තිබෙන බවත්, ජාතියක් ගොඩ නැගීමට ඒ ජාතියේ සංස්කෘතිය සහ දේශීයත්වය වැදගත් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ පසුගියදා නිකවැරටිය කොටවෙහෙර වෙහෙරපුර ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

“ශ්‍රී ලාංකීය සංස්කෘතියේ සිරිත් විරිත් සම්ප්‍රදායන් ඉතා බලවත්. නමුත් අද බොහෝ වෙලාවට අපි ලෝකය දකින්නේ අන්තර්ජාලයෙන්. අපට හමුවෙන මාධ්‍යත් එක්ක බොහෝ වෙලාවට මංමුළා වෙනවා. ජාතියක් ගොඩනගන්න ඒ ජාතියේ සංස්කෘතිය වැදගත්.

ඒ ව්‍යාපෘති මේ ගම්මාන වල ක්‍රියාත්මක කිරීම ඉතා වැගත්. ඒ නිසාම දරුවන් දෙමාපියන් අතර ගම්බද නැත්නම් නගරබද පවුලක් වශයෙන් පවුල් ජීවිතයේ වටිනාකම් තියෙන්නෙ. ඒ ප්‍රතිපත්තිවලට ප්‍රමුඛතාව දීලා ඒවා හඳුනාගෙන ඒවා ඇගයීමට ලක් කරමින් ඒවා සඳහා කැපවීමක් තුළ පුද්ගලික ජීවිත වගේම පොදු සමාජ තත්ත්වයන් ඉහළ වටිනාකමින් කරගෙන යන්න පුළුවන් වෙනවා. මා එන විට මට මතක් කරපු කාරණයක් තමයි මොරගහකන්ද ජලාශයෙන් එන ජලය මේ නිකවැරටිය කොටවෙහෙර ප්‍රදේශයට ලැබෙන්නේ නැහැ කියන එක.

මේක අදියර දෙකකින් ක්‍රියාත්මක වෙන්නෙ. දැන් පළමු අදියර ඉවර වෙන්න ළඟයි. ඒ එක්ක දෙවන අදියර අනිකුත් කොටස් වලට මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙනවා. මේක විශාල ව්‍යාපෘතියක්. මොරගහකන්ද මහ ඇළවල් තුන වගේම වැව් 2400 ව්‍යාපෘතිය ඔබ දන්නවා දැන් ලංකාවේ තිබෙන විශාලම ව්‍යාපෘතියයි. මොරගහකන්ද ජලාශයට කළුගඟ ජලාශයෙන් ජලය ගේන්න කිලෝ මීටර් 7 ක මාර්ගය දැනට ඉදිවෙමින් පවතිනවා. රජයක් විධියට කෘෂිකර්ම, වාරිමාර්ග ක්ෂේත්‍රයේ වගේම අනිකුත් විවිධ ක්ෂේත්‍රවල ඉතා විශාල වැඩ කොටසක් අපි රජයක් විදියට කරලා තිබෙනවා. ඒ වගේ හෙට දිනයේත් සිදු කරනවා. මේ රටේ කිසිම කාලෙක නොතිබුණ තරම් ජාත්‍යන්තර මිත්‍රශීලිභාවයක් ඇතිකරගෙන, නිදහසෙන් පසු ලංකාවේ අන්තර්ජාතික වශයෙන් වැඩිම ජාත්‍යන්තර සහයෝගතාවය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරලා තිබෙන්නේ මේ අවුරුදු තුනහමාර තුළයි.

හිටපු පාලනය ප්‍රධාන වශයෙන් තමුන්නාන්සේලාගේ හෘද සාක්ෂියෙන් අහන්න ඕනෙ තව අවුරුදු දෙකක් බලයේ ඉන්න ඉතිරිව තිබියදී මැතිවරණයකට ගියෙ ඇයි කියලා. ඒ මැතිවරණයට ගියේ මුහුණ දෙන්න බැරි ප්‍රශ්න දෙකක් නිසා. එකක් තමයි අන්තර්ජාතික වශයෙන් ඇති ප්‍රශ්න විසදා ගන්න බැරිව. අනික තමයි එදා ඇතිවෙච්ච විදේශ ණය. විදේශ ණය කන්දරාවත් එක්ක ඇතිවන ආර්ථික අර්බුදය. මේ ප්‍රශ්න දෙක නිසා තමයි අවුරුදු දෙකකට කලින් මැතිවරණයකට ගියේ. අපි ආණ්ඩුව අරගෙන ඒ ප්‍රශ්න දෙකට මුහුණ දුන්නා. ඒ ප්‍රශ්න විසඳලා තියෙනවා. සමාජය තුළ තිබෙන වැරදි දේවල් නිවැරදි කරලා තියෙනවා. ආණ්ඩුවක් විදියට ඉදිරියට ඇවිත් තියෙනවා.

දේශපාලන විරුද්ධවාදීන් නොයෙක් දේවල් කියනවා මේවා ජනතාව විනාශ කරන දේවල් මේවා රටක ජනතාවගේ හිතට නොදැමිය යුතු දේවල්. යහපත් දේවල් නෙමෙයි මේවා. ජනතාව ඒවා දැක්කාම ඇතිවෙන්නේ කඩා වැටීමක්. ජාතියක් විදියට, රටක් විදියට ගොඩ නැගෙන්න අධිෂ්ඨානශීලි බව, කැපවීම, අවංක බව තිබිය යුතුයි.

ජනතාව නොමඟ යවන විදියට මාධ්‍ය නිදහස පාවිච්චි කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය වැරදි විදියට පාවිච්චි කරනවා නම් අද සමාජයට පෙන්නුම් කරන්න යන දේ ගැන අපි කණගාටු වෙනවා. මේ සියලු තත්ත්වයන් තුළ ආණ්ඩුවක් විදියට මේ කියන සංවර්ධන වැඩසටහන් කෘෂිකර්මාන්තයේ සෞඛ්‍ය අංශවල විශාල වැඩ කොටසක් ආණ්ඩුවක් විදියට කරලා තියෙනවා.

දේශපාලන විරුද්ධවාදීන් නොයෙකුත් දේවල් කියනවා. හවසට රූපවාහිනිය බලපුවාම මේ රටේ ආණ්ඩුවක් නැතිවා වගේ මේ දීලා තියෙන නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය විශේෂයෙන් මාධ්‍ය නිදහස. අද රටේ විරුද්ධ දේශපාලන පක්ෂ වල වැඩ කරන අය ආණ්ඩුවට විරුද්ධව මොනතරම් පාවිච්චි කරනවද කියන එක. ආණ්ඩුවට විරුද්ධව කතා කරන දේවල් දේශපාලකයන් අතර ඇති අරවුල් තමයි මාධ්‍යවල පෙන්වන්නේ. රටක් සංවර්ධනය වෙන්න අවශ්‍ය ජනතාව දිරිමත් කරන ජනතාවගේ බලාපොරොත්තු ඉෂ්ටකරන හොඳ යහපත් සිතුවිලි එක්ක යහපත් සමාජයක තිබිය යුතු යහපත් සංස්කාතියක්,සදාචාරයක්, විනයක් සහිත බව මාධ්‍ය තුළ ඉස්මතු කරන්නෙ නැහැ. මාධ්‍ය තුළ ඉස්මතු කරන්නේ හැම වෙලාවෙම අරවුල්, හැමවෙලාවෙම අසමගිකම්, භේදකාරි තත්ත්වයන් මේක රටකට කරන බරපතළ විනාශයක් ඒ බව කියන්න ඕනෙ.

2015 ජනවාරි 8 වෙනිදා මේ ජනතාව මේ රටේ ජනතාව මාව ජනාධිපතිවරයා ලෙසට පත්කර ගත්තෙ තමුන්නාන්සේලාත් ඡන්දය දුන්නේ ආහාර ඉල්ලලා නෙමෙයි. රස්සාවල් ඉල්ලලා නෙවෙයි. 2015 ජනවාරි 8 ඉල්ලුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස. සැකෙන් බියෙන් තොරව ජීවත්වීමේ අයිතිය. අද නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සියයට දෙසීය ගණනක් ඉටුකරලා තියෙනවා. ඒ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මොනතරම් වැරදි විදියට පාවිච්චි වෙනවද කියලා තමුන්නාන්සේලා දන්නවා. ඒ නිසා තමයි සමහරු කියන්නෙ මේ ආණ්ඩුව සැර මදි කියලා. කොන්ද පණ නැහැ කියලා. මම දැක්කා ස්වාමීන් වහන්සේලා කීප නමක් කියලා තිබුණා මාධ්‍ය වල ඒකාධිපති පාලකයෙක් ඕනේ මේ රටට. අපේ හාමුදුරුවනේ මට සමාවෙන්න. මම බෞද්ධයෙක් විදියට ගෞරවනීය සංඝරත්නයට ගරු කරනවා. ඔබ වහන්සේලා යම් තැනක අනුශාසනාවක් කරනවා නම් මේ රටට ඒකාධිපතියෙක් ඕනේ කියලා අපි වරද්ද ගන්න තැනක් ඒක. ඒකාධිපතියෙකුගේ ස්වරූපය ගැන මේ රටේ ජනතාවට යම් ප්‍රමාණයක දැනීමක් තියෙනවා.

ඒ 2015 ජනවාරි 8 වෙනිදාට කලින්. දැන් ඒක අමතක වෙලා තිබෙනවා. ඒකයි තද පාලකයෝ ඉල්ලන්නෙ. පාලන ඒකාධිපති ස්වරූපයකට යනවා කියලා තමයි 2015 ජනවාරි 8 වෙනිදා වෙනසක් කරමු යයි කියපු එක අමතක කරන්න එපා. මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. කිසිසේත්ම ඉඩදෙන්නෙ නැහැ. මම තමුන්නාන්සේලාට පැහැදිලිව කියන්න ඕනේ ආපු පාර වරද්ද ගන්න ලැස්ති වෙන්න එපා. පාර වරද්ද ගෙන මහ වලක වැටෙන්න ලැස්ති වෙන්න එපා.

අද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරලා නිදහස දීලා විශේෂයෙන් මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා, මානව හිමිකම් ශක්තිමත් කරලා ඒ සියලු දේ දුන්නාම ඒ සියලු දේ අද වැරදි විදියට පාවිච්චි වෙනවා. ඒ දුන්න ආයුධයෙන්ම අපට ගහනවා. බණ්ඩාරනායක අගමැතිතුමාටත් මට කීව කතාවම තමයි කීවේ. බණ්ඩාරනායක අගමැතිතුමාටත් ඒ කාලේ සෙවල බණ්ඩා කීවා. කොන්ද පණ නැහැ කීවා. එහෙම කියලා තමයි බණ්ඩාරනායක අගමැතිතුමාව මරලා දැම්මේ. අදත් ඒ ස්වරූපයට හැසිරෙනවා. බණ්ඩාරනායක මහත්මයාට පාවිච්චි කරපු වචන මටත් පාවිච්චි වෙනවා. බණ්ඩාරනායක අගමැතිතුමා අවුරුදු තුනහමාරක් බලයේ හිටපු නායකයෙක්.

පොදු ජනතාවගේ හදවත් ඇතුළේ අදත් සිටින්නේ පුංචි මිනිහා වෙනුවෙන් සමාජ පරිවර්තනයක් කරපු ප්‍රධාන දේශපාලන නායකයන්ගෙන් එක්කෙනෙක්. එසේම රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිතුමාත් අනෙක් නායකයනුත් ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කටයුතු කළා. මූලික වශයෙන් අද තිබෙන සමාජ තත්ත්වයන් වැරදි විදියට පාවිච්චිකරලා ඔය ඉල්ලන ආඥාදායකයො ඉල්ලන හමුදා පාලකයෝ හොඳයි කියන අය. ඒ අත්දැකීම් පිළිබද අවබෝධයක් නොතිබුණ නිසයි ඒ වගේ කතා කියන්නේ. මේ රටේ බුද්ධිමතුන් ඉන්නවා. උගත් තරුණ පරපුරක් ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ප්‍රබුද්ධ සමාජයක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන දේශල්‍පාලනඥයින් රාශියක් ඉන්නවා.ඒ අයත් එක්ක ඔය ඉල්ලන ඒකාධිපතියෝ ඔය ඉල්ලන හමුදා පාලකයෝ මේ රටේ ඇති වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. ඒක මම තමුන්නාන්සේලට පැහැදිලිව කියන්න ඕනේ” යැයි ජනාධිපතිවරයා පැවසීය.

[නිමාෂා සඳරුවනි]

මාතෘකා