වරෙන්තුකරුවන්ට රතු පලස් ඉල්ලන රාජපක්ෂලා

 ඡායාරූපය:

වරෙන්තුකරුවන්ට රතු පලස් ඉල්ලන රාජපක්ෂලා

ඒකාබද්ධ විපක්ෂය පත්ව සිටින 'මාරාන්තික'අර්බුදයේ තරම දැන් දැන් මොනවට පසක් වෙමින් තිබේ. ඒකාධිපති මිලිටරි පාලනයක් උවමනා වගට සමහරු යෝජනා කරද්දී, 'උම්මලකඩ කෑල්ලක්වත් නොකන අය' මාර්ගඵල ලැබුවන් යැයි ඩලස්ලා විශ්වාස කරති. ඔය අතරවාරයේ කුප්‍රකට මිග් යානා ගනුදෙනුවක් සම්බන්ධයෙන් අධිකරණය මඟින් වරෙන්තු නිකුත් වී ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට මෙරටට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම් දී ඇතැයි කසුකුසුවක් මතුව තිබේ.

ඉකුත් රාජපක්ෂ පාලන සමය 'තීරණාත්මක' මර්මස්ථාන වලට ස්වකීය ඥාතීන්, ගජමිතුරන්, පත් කිරීම හරි හරියට කළ කාල සමයකි. අදාල කාර්යයන්ට කිසිසේත් නොගැලපෙන, එහෙත් රෙජිමයේ හිත දිනූ අයට ලැබෙන 'සන්තෝසම්' බවට එවක 'තානාපති' සේවා තනතුරු පත් කරගෙන තිබිණි.

එවක, විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පත් කළ තානාපතිවරු 49 දෙනාගෙන් 35 දෙනෙකුම දේශපාලන පත්වීම් විය. ඉන් අති බහුතරය රාජපක්ෂලාගේ අය වූහ. සහමුලින්ම විදෙස් තානාපති සේවය සන්ධානයේ ශාඛා සමිති බවට පත් කළ මහින්ද, එයිනුත් වැදගත්ම රටවලට පත්කළේ 'තමන්ගේම'අයය. ඒ අනුව එවක ජනාධිපති මහින්දගේ මස්සිනා වූ ජාලිය වික්‍රමසූරියට අමෙරිකාව භාර දුන්නේය. තවත් මස්සිනෙක් වූ උදයංග වීරතුංගට රුසියාව භාර දුන්නේය.

අනෙක් තානාපතිවරු 32 දෙනාම රාජපක්ෂලාගේ සමීපතමයෝ වූහ.

මෙරට විදෙස් තානාපති සේවය සහමුලින්ම වනසා දමා එය අඳුරු ගුහාවක් කළේ එවකය. ඊටම සරිලන අමාත්‍යවරු සහ නි.අමාත්‍යවරු රංචුවක් මහින්ද සෙවනේ සිටියහ. තානාපතිලාට කණට ගැසුවේත්, හෝටල් කාමරවලදී ජනෙල්ොවලින් අනෙක් කාමරයට යන්න ගොස් බිමට වැටුණේත් එහෙම ඇමැතිලාය.

උදයංග වීරතුංග යනු රුසියාවේ තානාපතිකම් කළ කුප්‍රකට පුද්ගලයෙකි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මව, උදයංග වීරතුංගගේ මවගේ වැඩිමහල් සොහොයුරියය. වීරකැටිය, මැදමුලනේ උපත ලබා හැදී වැඩුණු ඔහු පසුව කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරීය.

වීරකැටියේ ඉපදීමත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සමීපතම ඥාතීත්වයත් හැරපියා ඔහුට රුසියන් තානාපතිකම් කරන්නට වෙනත් හේතුවක් තිබුණේ නැත. කීව් අගනුවර ව්‍යාපාරික කටයුතුවල නිරත වූ ඔහු තවත් ශ්‍රී ලාංකික මිතුරෙකු සමඟ එක් වී එහි ශ්‍රී ලාංකික බොජුන්හලක් ද පවත්වාගෙන ගියේය.

හිටිගමන් ඔහුගේ බඹරය වැල්ලේ කැරකුණේ, සිය ඥාතියා ජනපති වීමෙනි.

2006 වර්ෂයේදී ඔහු රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත්කරනු ලැබූ අතර 2015 මුල භාගය දක්වාම ඔහු එම තනතුර දැරුවේය.

වරක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රුසියානු සහ යුක්රේන සංචාරය කළ අවස්ථාවේ මොස්කව් නුවර සංචාරයේදී පැට්‍රිස් ලුමුම්බා මිත්‍රත්ව විශ්වවිද්‍යාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂට සම්මාන ආචාර්ය උපාධියක් ද පිරිනමන ලද්දේය. පසු කලෙක යෝෂිත රාජපක්ෂටද යුක්රේන රජයෙන් ශිෂ්‍යත්වයක් ලැබිණි.

ට්‍රෑජුල්ලා වැනි පාලකයෝ අකුරක්වත් නූගත් නමුත් 'මහාචාර්ය උපාධි' ලබා ගන්නට ප්‍රිය කළහ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට MiG-27 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේදී බරපතළ මූල්‍ය වංචාවක් සිදු වී ඇති බව පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී තිබූ අතර ඊට උදයංගගේ නම ඈඳී තිබිණ. මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට පොලිසිය ඔහුට චෝදනා කළේය.

අයථා අන්දමින් මුදල් ගරාගැනීම පිළිබඳව කදිම නිදසුනකි කුප්‍රකට මිග් ගනුදෙනුව. 2000දී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මිග් 27 ගුවන් යානා හතරක් 2006දී ගෝඨාභය රාපක්ෂගේ මැදිහත්වීමෙන් මිලදී ගන්නේ එක්සත් රාජධානියේ ලිපිනය සඳහන් වූ ව්‍යාජ සමාගමක් හරහා ඩොලර් මිලියන 10ක මුදලක් ගෙවමින්ය. මෙම ගනුදෙනුවේ අතරමැදියකු වූයේ මහින්ද රාජපක්ෂගේ මස්සිනා කෙනෙකු වූ උදයංග වීරතුංගය.

මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති උදයංගට අයත් දේපළ කිහිපයක් විකිණීම, උකස් කිරීම සහ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරක් තහනම් නියෝගයක් නිකුත් කළේය. ශ්‍රී ලංකාවේ ඔහු සතු බැංකු ගිණුම් ගණනාවක් අත්හිටුවීමට ද අධිකරණය එවක නියෝග කළේය.

එමතු නොව, යුක්රේනයේ සටන් වදින රුසියානු හිතවාදී බෙදුම්වාදී කැරලිකරුවන්ට ආයුධ සැපයූ බවට ද ඔහුට චෝදනා එල්ල විණි.

එවක තානාපතිවරු සිය භූමිකාව රට වෙනුවෙන් සිදුකරනවා වෙනුවට, කළේ ව්‍යාපාරය. ඒවා සීරුමාරුවට, සිදුකළ අතර ඊට කදිම සහයක් ආණ්ඩුවේ ඉහළින්ම ලැබිණි. එකී ආශිර්වාදය උදයංගට මොනවට ලැබිණි. ඔහුට තිබුණේ පැහෙන අස්වැන්න නෙලා ගැනීම පමණි.'තානාපති' තනතුර ඒ ගමන සඳහා ඔහුට 'කාපට්' ඇතිරිල්ලක් විය.

සාමාන්‍යයෙන් තානාපතිවරයකු සිය ධුරයේ කටයුතු කරන්නේ වසර තුනක පමණ කාලයක් වුවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඥාති සොහොයුරකු වීම හේතුවෙන් වසර අටක්ම තානාපති තනතුරේ කටයුතු කිරීමේ වරප්‍රසාදය ඔහුට හිමි විණි.

මිග් යානා මිලදී ගැනීමේ කටයුත්තෙහි සිදු වූ කුප්‍රකට වංචාවට උදයංගගේ නම ගැට ගැසුණි. ගනුදෙනුකාර බෙලිවියා හෝල්ඩිංග්ස් සමාගමට ව්‍යාජ ලන්ඩන් ලිපිනයක් පවා ලබා දෙමින් මේ 'හිරිකිත'ගනුදෙනුවේ 'සොරකම' සිදුවිය.

නව ආණ්ඩුව බිහිවීමත් සමඟ උදයංගලාගේ 'ප්‍රාර්ථනා' කන්ද සුණු විසුණු විය. ඒ එක්කම උදයංග ප්‍රමුඛ පෙළේ අපරාධකරුවකු වශයෙන් ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට ඇතුළත් කරනු ලැබීය. ඒ අනුව උදයංගට කිසිදු ආකාරයකින් නිත්‍යානුකුල ක්‍රමයකින් රටකට ඇතුළු වීමට හෝ සැඟවී සිටි රටින් පිටව යැමට නොහැකි තත්ත්වයක් උද්ගත විය. ලෝකයේ ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කරුවන්, මුල්‍ය වංචාකරුවන්, කොල්ලකරුවන්, ‍ජාත්‍යන්තර ජාලය හරහා වෙබ් අඩෙවිවලට රිංගා දත්ත සොරා ගන්නන්, මුහුදු කොල්ලකරුවන්, මුදල් ව්‍යාජ ලෙස මුද්‍රණය කරන්නන්, කළු සල්ලි උපයන්නන් ජාත්‍යන්තර රන් ජාවාරම්කරුවන් ඇතුළු විවිධ ආකාරයේ මුල්‍ය අපරාධකරුවන් මෙන්ම පාතාලය, ජාත්‍යන්තර ත්‍රස්තවාදින්, මාෆියා කල්ලි ඇතුළු ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට උදයංග විරතුංග ගේ නමද ඇතුළත් වීම එවක තානාපතිවරුන්ගේ තරම මොනවට කියාපාන්නක් විය.

මෙරටින් පළා ගොස් නොයෙකුත් රටවල සැඟ වී සිටින රතු නිවේදන නිකුත් කරන ලද ශ්‍රි ලාංකිකයන් තුන්සියයක පමණ පිරිසක් අපරාධකරුවන්ගේ ජාත්‍යන්තර ජාලයට ඇතුළත් කැර ඇත.

උදයංග නැමැති තානාපතිවරයාද එවැනි 'ගරුකටයුතු' තැනකට පත් විය.

මේ චෝදනාව 2012 එන විට ඔහු ඒ බව නොතකා, පුරුදු 'රාජ්‍ය බලයෙන්' මන්මත්ව සිටියේය. 2015 ජනාධිපතිවරණයට මුහුණ දුන් සිය ඥාතියා වූ මහින්ද දිනවන්නට යුක්‍රේනයේ සිට මෙරටට ආ උදයංග නුවර එළියේ ' ‘රැජිනගේ නිවහනේ' සිට මැතිවරණ ව්‍යාපාරයට දායක විය.

නමුත් 2015 නිහඬ විපලවය 'මහින්ද කඳවුර' සුණු විසුණු කළේය. ඒ අතර උදයංග අතුරුදන් විය. යහපාලන ආණ්ඩුව කළේ, රාජපක්ෂ ආණ්ඩුවෙන් පත්වීම් ලද විදේශගත ලංකා තානාපති කාර්යාල නිලධාරීන්ට පෙරළා ලංකාවට එන්නැ’යි දැනුම් දෙන එකය. සියල්ලෝම ඊට අනුගතව පෙරළා ආහ. එහෙත් උදයංග නාවේය.

එහෙව් උදයංග ගෙන්වීමට මහින්ද සැදී පැහැදී සිටී. ජාත්‍යන්තර වරෙන්තුකරුවෙක් රතු පලස් දමා ගෙන එන්නට මේ ආණ්ඩුව 'මිලිටරි රෙජිමයක්' නොවන බව ඔවුන් සිහියට

ගත යුතුය.

මාතෘකා