පාතාලය මැඩලන්න රජය හැකි සෑම පියවරක්ම ගන්නවා

 ඡායාරූපය:

පාතාලය මැඩලන්න රජය හැකි සෑම පියවරක්ම ගන්නවා

නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර

ජනාධිපතිතුමා ඔබ ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා වගේ නේද?

ඒ කිව්වේ?

ඔබතුමා නීතිය හා සාමය පිළිබඳ වැඩ බලන ඇමතිවරයා විදිහට පත්කළා නේද?

ආ... ඔව්. ඔව් ජනාධිපතිතුමා වගේම නීතිය හා සාමය පිළිබඳ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාත් මං ගැන විශ්වාසය පළ කරලා තියෙනවා. ඒ නිසා තමයි වැඩ බලන ඇමති විදිහට පත්කළේ.

ඇමතිකමක් ලැබෙන්න ප්‍රමාද වුණා වැඩියි කියල හිතෙන්නෙ නැද්ද?

නැහැ. ප්‍රමාදයක් වුණා කියල නම් මම හිතන්නෙ නැහැ. ඇමතිකමත් තිබුණත් නැතත් යහපාලන ආණ්ඩුව වෙනුවෙන් අපි හැමදාම පුළුවන් උපරිමයෙන් වැඩකළා.

ලැබුණු ඇමතිධුරය ගැන සතුටු වෙනවද?

ඔව්. අනිවාර්යයෙන්ම. මට මේ වගේ ඇමතිකමක් ලැබෙයි කියලා විශේෂ බලාපොරොත්තුවක් තියාගෙන හිටියේ නැහැ. පැවරෙන ඕනම වගකීමක් හැකි උපරිමයෙන් ඉටුකරන අධිෂ්ඨානය තමයි තිබුණේ. ඒ නිසා ලැබුණු අමාත්‍ය ධුරය සහ අමාත්‍යංශය ගැන සතුටු වෙනවා.

රට පුරාම අපරාධ රැල්ලක් ඇතිවෙමින් යනවා නේද?

මම හිතන්නේ පසුගිය දවස්වල ළඟ ළඟ එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. නමුත් ඒවා මැඬ පවත්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ක්ෂණිකව ගත්තා. අපාරධකරුවන් අත්අඩංගුවට ගන්න පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා කටයුතු කළා.

ජනතාව ප්‍රශ්න කරනවා ඇතැම් දේශපාලඥයන්ගේ අනුග්‍රහය ඒ අපරාධ කල්ලිවලට ලැබෙනවද කියලා?

නැහැ. ඒක වැරදි අදහසක්. දැන් ඉන්න දේශපාලඥයෝ එහෙම නැහැ. ඒ වගේම මේ තියෙන්නේ පහුගිය අවුරුදු දෙක තුනක කාලය ඇතුළත නිර්මාණය වූ පාතාලයක් සහ අපරාධ කල්ලි නෙවෙයි. ඒවා පෝෂණය කළ ඇතැම් දේශපාලඥයන් පහුගිය කාලයේ නම් හිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කිව්වේ ජනතාවට දැන් තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයාගන්න සිදුවෙලා කියලා.? ඒ කියන්නේ යහපාලන ආණ්ඩුව යටතේ ජාතික ආරක්ෂාව බිඳවැටිලද?

හිටපු ජනාධිපතිතුමා 2015ට පස්සේ ඉපදුණු කෙනෙක් නම් එහෙම කිව්වට කමක් නැහැ. තමා රට පාලනය කළ අවධිය ගැන අපිට වඩා එතුමාට අවබෝධයක් තියෙනවනේ. ඒ කාලේ රජයේ මැදිහත් වීම යටතේ ඇතැම් පාතාල කල්ලි ක්‍රියාත්මක වුණා. ඒක තමයි එදා තිබුණු බරපතළම තත්ත්වය. පොලිසියට හෝ අධිකරණයට ඔවුන් මැඬ පවත්වන්න හෝ ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් තිබුණේ නැහැ. නමුත් අද එහෙම තත්ත්වයක් නැහැ.

රජය විසින් පසුගියදා එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 14 දෙනකු රටට ඇතුළු වීම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළා. නමුත් මේක කරන්න ආණ්ඩුව ප්‍රමාද වුණා කියල තමයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ?

ආණ්ඩුවේ හැමදේම විවේචනය කරන එකනේ එයාලගෙ පුරුද්ද. හැමදේකම හොඳ පැත්ත වෙනුවට නරක පැත්තනේ එයාලා දකින්නේ. ඒ නිසා එයාලගේ ප්‍රකාශවලට උත්තර දෙන්න කාලය නාස්ති කරන එක තේරුමක් නැති වැඩක්.

යහපාලන ආණ්ඩුව පිරිසිදුයි කිව්වට අල්ලස් ගත්ත රාජ්‍ය නිලධාරින් සහ මිලියන ගණන් රත්තරන් හොරෙන් ගෙනාව ආගමන විගමන නිලධාරියකු ගැනත් පහුගිය දවස්වල වාර්තා වුණා නේද?

ඔවුන් රජයේ නිලධාරින් වූ පළියට අල්ලස් ගන්න හොරකම් කරන ආණ්ඩුවක් විදිහට සමස්ත ආණ්ඩුවටම චෝදනා කිරීම වැරදියි. රාජ්‍ය සේවය තුළ අපි රජයේ නිලධාරින්ට හොරකම් කරන්න හෝ අල්ලස් ගන්න අනුබල දෙන්නෙ නැහැ.

අපරාධ මැඬලන්න යන පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව ගැන මීට වඩා ආණ්ඩුව සිතිය යුතුයි නේද?

මාතර සිදුවීමේදී පොලිස් නිලධාරියෙක් ජීවිත පරිත්‍යාගයෙන් තමන්ගේ රාජකාරිය ඉටුකළා. ඔහු වෙනුවෙන් කළ හැකි උපරිම සාධාරණය ඉටු කරන්න අපි කටයුතු කරනවා. එවැනි අවංක එඩිතර නිලධාරින් පොලිස් දෙපාර්තමේන්තුවටම ලොකු ගෞරවයක්. මාතරදි පොලිසිය අත්අඩංගුවට ගත්තේ කාලයක් තිස්සේ නීතියෙන් සැඟවිලා හිටපු අපරාධකරුවන් පිරිසක්. පොලිස් නිලධාරින්ගේ ආරක්ෂාව ගැන පොලිස් දෙපාර්තමේන්තුවට වගකීමත් තිබෙනවා.

ඇතැම් සංඝයා වහන්සේලාගේ හැසිරීම සහ ප්‍රකාශය මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට තර්ජනයක් නෙවේද?

මම හිතන්නේ හිට්ලර්ගේ පාලනය ගැන දන්න ඒ ගැන අහල තියන කෙනෙක් නම් එවැනි කතා කියන්නත් බය වෙනවා. හිට්ලර් වගේ පාලකයෙක් හෝ නායකයෙක් මේ රටට තියා ලෝකයේ කිසිම රටකට බිහිවෙන්න එපා කියලා තමයි ඔහු ගැන දන්න අය කියන්නේ.කවුරුහරි කෙනෙක් මොන චේතනාවෙන් හරි අපේ රටට එවැනි නායකත්වයක් ප්‍රාර්ථනා කරනවා එය ඔහු තමාගේ ගෙල තමා විසින්ම කපාගැනීමක් හා සමානයි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා