මහා පිපිරුම

 ඡායාරූපය:

මහා පිපිරුම

අද ශ්‍රීලනිපයෙයි යූඑන්පියෙයි කේන්දර ගැලපෙන්නේ නෑ. නායකයෝ දෙන්නෙක්‌ ඉන්නවා. අරය කියන එක මෙයා කරන්නේ නෑ. මෙයා කියන එක අරය කරන්නේ නෑ. අන්තිමට දෙන්නගෙන් එක්‌කෙනෙක්‌වත් මුකුත් කරන්නේ නෑ.නායකයෝ දෙන්නෙක්ට පුළුවන්ද වැඩ කරන්න 'මීට මාස කිහිපයකට පෙර අත්තනගල්ලේ ගිය මහින්ද එහෙම කීවේය.මහින්දට කියන්න ඕනෑ වුණේ නායකයෝ දෙන්නෙක්ට පැවැත්මක් නෑ කියලා ය. ඔය කතාව මේ ආණ්ඩුව ආව මුල්ම දවස්වලත් මහින්දවාදීහු කීහ.'යහපාලන කැඳ හැලිය' කියා දැන්වීම් හදා එවක පහර දුන්නේ ඒකය.'වෙසක් පෝය දෙකයි.අපි ආණ්ඩුව පෙරළනවා ' මහින්ද එහෙමත් කීවේය. ඒකාබද්ධයේ කයිවාරුකාර මන්ත්‍රීවරු කීවේත් 'මේ යාදෙක නොරත රත'කියලා ය. නමුත් ආණ්ඩුව වසර තුනක් හැල්මේ දුවන්නේ ය. හැබැයි දැන් මහින්ද ආණ්ඩුවට කීව කතාව ඒකාබද්ධය පැත්තට කැරකිලා වාගේය.

'එහෙම කියන්නේ ඇයි?

කෙනෙකුට එහෙම අහන්නට බැරිකමක් නැත. එහෙම අහන අයට දෙන්නට තිබෙන්නේ 'පොහොට්ටුවට' වෙමින් තියෙන දේ දිහා බලන්න කියා ය. 'මොනවා වෙන්නද, ඔච්චර පොඩි කාලෙකින් පුංචි ඡන්දෙත් දින්නා. එහෙම හපන්කමක් කරපු පක්ෂයක් මේ රටේ කොහෙද තියෙන්නේ? 'එහෙම කියන අයට දෙන්න තිබෙන්නේ හරි සරළ උත්තරයක් ය. ජේ ආර් ජනාධිපති වුණේ සීයට පණස්දෙකක් අරගෙන ය. ඊට ටික කලකට පස්සේ 'කළු ජුලිය' ආවේය. ජේ ආර් කළු ජුලියෙන් පස්සේ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් හමු විය. ඊට කපුකම කළේ ගාමිණී දිසානායක ය.

'මහත්තයෝ මිනිස්සු ඔබතුමාට හොඳටම බනිනවා. ඔහොම ගියොත් ටික දවසකින් ඔබතුමා ගෙදර 'හාමුදුරුවෝ එහෙම කීවා ම ජේ.ආර්, ගාමිණී දෙස බැලුවේය. 'බලන්නකෝ ගාමිණී, මේ හාමුදුරුවෝ කියන කතාව. මට බනිනවා කියන ඔය මිනිස්සු ම නේද මීට ටික කාලෙකට කලින් මට සීයට පණස් දෙකක් දීලා ජනාධිපති කළේ 'ඒ නිසා විශාල ජයග්‍රහණ ආපහු හැරෙන්න ඒ හැටි කල් යන්න උවමනා නැත.

'ඔය කතාව පොහොට්ටුවට අදාළ වෙන්නේ කොහොමද? 'ඒක පොහොට්ටුවට අදාළ වෙන හැටි මේ දවස්වල පොහොට්ටුවට වෙලා තියෙන දේ දිහා බැලුවම හිතා ගන්නට පිළිවන. සීයට පණස් දෙකක් ගත්ත ජේ ආර් ට තරම් බලයක් පොහොට්ටුවට තිබ්බේ නැත. පොහොට්ටුවේ සැබෑ ජාතික ප්‍රතිශතය 40.66%ක් ය. එහෙත් මාධ්‍ය කීවේ එය සීයට හතළිස් හයක්ය කියාය. ගිය මැතිවරණයේ දී එජාප හා ශ්‍රිලනිපය සහිත ජාතික සභාග ආණ්ඩුවට අයත් පක්ෂවලට 42%ක් ලැබී ඇති අතර, පසුගිය ජනාධිපතිවරණයේ දී හංසයා ලකුණ යටතේ එක්වූ පක්ෂවලට 51%ක් ඡන්ද ලැබී ඇත.ආණ්ඩු හැදීමට කතා කරන මහින්ද රාජපක්ෂ මහතාට ලැබී ඇත්තේ 40%ක් පමණක් ය. එහෙම බැලුවමත් අර පුරාජේරු ජයග්‍රහණය පුස්සක් ය.

පුංචි ඡන්දය දින්න ගමන් පොහොට්ටුව 'උද්දාමයෙන්' උතුරා ගියේය. මේ ජයග්‍රහණයේ සතුටින් දෝරේ ගලා යමින් ඔවුන් කල්පනා කළේ තව වසර දෙකකට පසු තිබෙන ජනාධිපතිවරණයක් 'ගැන සිහින දකින්නටය. පොහොට්ටුවේ නායකයෝ කිහිප දෙනෙකි. 2020 'ජනපති සිහින' දකින කිහිප දෙනෙක්ම ඒ අතරය. ඒ සියලු දෙනාම ස්වකීය ව්‍යාපෘතිය බවට පත්කරගෙන සිටින්නේ '2020' ය. පුපුරායාම පටන් ගත්තේ එතැනින් ය. පැවැති රාජපක්ෂ පාලනයෙහි වැදගත් තනතුරු හෙබ වූ චමල්, බැසිල් සහ ගෝඨාභය යන රාජපක්ෂ සහෝදරයන් තිදෙනාම ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳ බලාපොරොත්තු තබා සිටිති. මේ සිහින එකිනෙකා පරයා යන තරම් විශාල ඒවාය.

පොහොට්ටුවේ නිල නායකයා වූ ජී.එල් පීරිස් පේන්නටවත් නැත. විමල් ලා වෙනම කල්ලියක ය. ගම්මන්පිල තව පැත්තකය. දිනේෂ් අතරමං වෙලාය. වාසු ගෝඨාට එරෙහිව කෙළින්ම කතා කරනවා ය. බැසිල්, ගෝඨා, චමල් එක පවුලේ අය වුණත් දැන් 'තරගය' උග්‍ර වෙලා ය. 'අපේ නායකයා මහින්ද 'කියා සමහරු කීවාට පොහොට්ටුව බැසිල්ගේ ය. මැයි රැලිය වේදිකාවේ වචන සියයකින්, අනූවක් බැසිල් වෙනුවෙන් ය. ගෝඨා වෙනම කල්ලියක ය. 'වියත් මඟ' ඔහුගේ ව්‍යාපෘතිය ය. වාසු කියන්නේ වියත් මඟ අපේ නෙවේ 'කියලා ය. 'ජයග්‍රහණය ආපහු හරවන බළල් අත් තියෙනවා 'කියා විමල් කියන්නේ බැසිල්ලා ගැන නොවෙන්නට බැරිය.

ශ්‍රීලනිප 16 කල්ලිය මහින්ද අගමැති කරන්න සිහින දකිද්දී, ගෝඨා ඔවුන් හමුවීම ප්‍රතික්ෂේප කරයි. එයින් කියවෙන්නේ 16 කල්ලිය එක්ක පයුරුපාසානමකට ගෝඨා සූදානම් නැති බවය. එහෙත් මහින්ද කියන්නේ 16 වුවමනා බව ය. බැසිල් ඉන්නේ 16 හිටියත් නැතැත් කමක් නෑ කියලා ය. ඒ නිසාම එස්. බීලා බැසිල්ට එරෙහි ප්‍රහාරයක් දියත් කර තිබේ. දයාසිරිලා ද ඊට රුකුල් දෙති. එස්. බී ගේ හඬ 'මහින්දගේ' හඬ බවක් පෙනෙන්නට තිබේ. මහින්ද දේශපාලනය කළේ 'සැළුන් දොරක්' තිබෙන කාමරයක ය. ඔහුගේ ඉලක්කය බලය මිස, ප්‍රතිපත්තිය නොවේ. කෘත්‍රිම රටාවකට ගොඩ නැගුණු මවා පෑමක් විනා රාජපක්ෂ පවුල අතර කියන තරමේ සමඟියක් නැත. ඉතිහාසය ඒ බව ඔප්පුකොට තිබේ.

රාජපක්ෂලා කියන්නේ තමන්ගේම අයට එරෙහිව පක්ෂ මාරු කරපු ඉතිහාසයක් තිබෙන පවුලක් ය.

වතාවක් මහින්ද ශ්‍රීලනිපයෙන් ඡන්දෙ ඉල්ලනකොට බැසිල් සහය දුන්නේ එක්සත් ජාතික පක්ෂයට ය. 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට පැවැති මහ මැතිවරණයෙන් හම්බන්තොට ආසනය දිනුවේ ඩී.එම්. රාජපක්ෂය. ඔහු මහින්ද රාජපක්ෂගේ ලොකු තාත්තාය. නිරූපමා රාජපක්ෂ කියන්නේ ඩී.එම්. රාජපක්ෂගේ මිණිපිරියයි. ඩී.එම්. හදිසියේ මිය ගියේය. ඒ නිසා පැවැති අතුරු මැතිවරණයෙන් 47 දී ඩී.ඒ. රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නේය. ඡන්දය ඉල්ලුවේ එජාපයෙනි. ඔහු මහින්දගේ පියාය.

1952 මහ මැතිවරණයෙන් ඩී.ඒ. ශ්‍රීලනිපයෙන් ඡන්දය ඉල්ලා, 1956 දී ඡන්දය ඉල්ලන්නේ මහජන එක්සත් පෙරමුණෙනි.

1960 මාර්තු මැතිවරණයට ඩී. ඒ. ඉදිරිපත් වන්නේ ශ්‍රීලනිපය අතහැර පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණෙනි. 1960 ජුලි මැතිවරණයේ දී ඔහු නැවත ශ්‍රීලනිපයට එන්නේය.

ඒ මහින්දගේ පියාය.

බැසිල් මහින්දගේ මල්ලිය. ඉකුත් ආණ්ඩුවේ යුව රජුය. 77 බැසිල් ඡන්දය ඉල්ලන්නේ ශ්‍රීලනිපයෙනි. 78 වෙනකොට බැසිල් මහින්ද දෙදෙනාම හිටියේ මැතිනිට එරෙහිව 13 කල්ලියේය. පසුව බැසිල් එජාපයටත් මහින්ද පුරුදු ශ්‍රීලනිපයටත් එක් වන්නේය. එතැන් සිට මැතිනි රාජපක්ෂලා 'මායිම්' නොකරන්නේය. 1982 දී පැවැති මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ බැසිල් එජාපයේය, මහින්ද ශ්‍රීලනිපයේය. හැබැයි මැතිනිය තෝරා ගන්නේ 'ශ්‍රීලනිප මුල් උරුමය තිබූ ' ඩී. එම් ගේ දියණිය 'නිරූපමා'ය. බලය වෙනුවෙන් පක්ෂ කඩන සහ පනින වැඩේට හොඳම උදාහරණය රාජපක්ෂලා ය.

ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල වැන්නවුන් සෘජුවම සිය කැමැත්ත ගෝඨාභය රාජපක්ෂ වෙත හැරෙද්දී, මහින්ද සිටින්නේ කර කියා ගන්නට දෙයක් නැතිවය. කෙළින්ම බැසිල් මැදිහත්ව තෝරාගත් පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා නියෝජිතයෝ බුරුතු පිටින් අපචාරවලය. බොහෝ දෙනෙකුට චෝදනා එල්ල වෙමින් ය. වාසු චමල් කරළියට ගේන්නට උත්සාහයකය.

මුහුද හත් ගවුවක් තිබිය දී අමුඩ ගසන එක නොකරන බව කියන්නේ මුහුදුකරේ මිනිස්සුය. රැල්ල බලා වැඩ කරන්නට ඔවුහු දනිති. එහෙත් මුහුද පේන මානෙකවත් නැතිව තියෙද්දී අමුඩ ගසන්නට ගොස් පොහොට්ටුව හත්පොළේ ගාගෙන සිටින බව කියන්නේ පොහොට්ටුවේම සමහරුය.

මිනිස්සු ගියවර එරෙහි වූයේ පවුල් වාදයට ය.මෙවරත් රාජපක්ෂලා අර අදින්නේ පවුල් පාලනය ගේන්නට ය. හැබැයි ඒක හිතන තරම් පහසු නැති බව පේන්නේ ඒ පවුලෙන්ම ආරම්භ වී තිබෙන කුණාටුව දකින විට ය.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා