විසඳුම් දීලා තියෙද්දී වර්ජන කිරීම වැරදියි

 ඡායාරූපය:

විසඳුම් දීලා තියෙද්දී වර්ජන කිරීම වැරදියි

අමාත්‍ය අබ්දුල් හලීම්

තැපැල් සේවයට බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා විසිරී පවතින තැපැල් සහ උප තැපැල් ස්ථාන සේවකයෝ පසුගිය 11 වැනිදා ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනයට මේ වන විට දින දහය ඉක්මවා තිබේ. එම වෘත්තිය ක්‍රියාමාර්ගය තුළ මෙරට බොහෝ ක්ෂේත්‍රවල දෛනික කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර මේ වන විටත් තැපැල් වෘත්තිය සමිති 25ක් නියෝජනය කරන තැපැල් සේවකයෝ විසිපන් දහසකට අධික සංඛ්‍යාවක් වැඩ වර්ජනයේ නිරතව සිටිති. මේ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයාගේ කාර්යභාරය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද තැපැල් ,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතා සමග ‘රැස‘ කළ සාකච්ඡාවකි මෙය.

 දින 10ක් ඉක්මවා ඇති තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වැඩ වර්ජනය මේ වන තෙක් අවසන් වී නැහැ. ඔබ මේ තත්ත්වයට වගකිව යුතුයි නේද?

මම ඒ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද වර්ජනයේ නිරත වෙලා ඉන්න වෘත්තිය සමිති සාමාජිකයන් හොඳින්ම දන්නවා මෙය මගේ තනි කැමැත්තෙන් විසඳාගත හැකි ප්‍රශ්නයක් නොවන බව. ඒ වගේම මම වැඩ වර්ජනයේ නියුතු වෘත්තිය සමිති සාමාජිකයන් වැරදියි කියන්නෙත් නැහැ. එයට හේතුව මෙම වැඩ වර්ජනයට හේතුව අද ඊයේ ඇති වූවක් නෙවෙයි. මෙම වර්ජනයට මූලික හේතුව වී තිබෙන්නේ තැපැල් සේවය සඳහා බඳවා ගැනීමේදී භාවිත කරන රාජ්‍ය පරිපාලන සේවා 06/2006 වක්‍ර ලේඛණයයි. එය තැපෑලට පමණක් බලපාන චක්‍ර ලේඛණයක් නෙවෙයි. පොදුවේ මුළු රාජ්‍ය සේවයටම බලපාන්නක්. එම නිසා ඒ සම්බන්ධව කටයුතු කිරීම ප්‍රමාද වුණේ විෂය භාර අමාත්‍යවරයා විදිහට මගේ වරදින් හෝ ප්‍රමාදයකින් නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අප වැටුප් කොමිසම, මහා භාණ්ඩාගාරය, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරලයි තිබුණේ.

 අමාත්‍යවරයා ලෙස ඔබගේ මැදහත්වීම ප්‍රමාණවත් නොවූ බවටයි ඇතැමුන් චෝදනා කරන්නේ?

එවැනි චෝදනාවක් කිරීම කිසිසේත්ම සාධාරණ නැහැ. සමහර අය විවිධ පටු අරමුණු ඇතිව සහ මෙම වැඩ වර්ජනය මුවාවෙන් රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් විවිධ අසත්‍ය ප්‍රකාශ කරනවා. නමුත් මම මේ දක්වා හැකි උපරිමයෙන් වැඩ වර්ජනය අවසන් කර ඔවුන්ට සාධාරණ විසඳුමක් ලබාදීම සඳහා මැදහත් වී තිබෙනවා. ඊයේ(18දා) අගමැති කාර්යාලයේදී මම, අමාත්‍යංශ ලේකම්තුමා සහ වෘත්තිය සමිති නායකයන් වැටුප් කොමිෂම් සභාවේ නිලධාරින් හමුවී මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කළා. එහිදී මේ දක්වා නොලැබුණු සුබවාදී පිළිතුරක් ඔවුන්ගෙන් අපිට ලැබුණා. ඒ අනුව තුන්වැනි පෙළ තැපැල් සේවා නිලධාරී තනතුර ඉවත් කර දෙවනි පෙළට හා පළමු පෙළ තැපැල් සේවා නිලධාරි තනතුරු වෙනුවෙන් සහ සමස්ථ තැපැල් සේවකයන් වෙනුවෙන් විශේෂ වැටුප් ක්‍රමයක් සකස් කරදීමට එකඟ වුණා. ඒ වගේම තැපෑල වෙනුවෙන් වෙනමම සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමටත් එකඟතාවය පළ වුණා. ඒ සඳහා වෘත්තිය සමිතිත් එකඟ වුණා.

 වර්ජනය හේතුවෙන් දස වැනි දිනය වන විට සිදුවී ඇති පාඩුව රුපියල් කෝටි 150 ඉක්මවා තිබෙනවා. ලක්ෂ 15කට අධික ලිපි සංඛ්‍යාවක් තැපෑලේ ගොඩගැසී තිබෙනවා. විදේශීය ලිපි පාර්සල් පමණක් කිලෝ 15000ක් පමණ වන බවත් වාර්තා වනවා. මේ තත්ත්වය තුළ ඔබ ගන්නා ඉදිරි පියවර කුමක්ද?

අගමැති කාර්යාලයේදී කළ සාකච්ඡාවෙන් පසුව වැටුප් කොමිෂම එකඟ වූ කරුණුවලට වෘත්තිය සමිති ද කැමැත්ත පළ කළා. නමුත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් ඔවුන් ඉවත් වී නැහැ. ඒ වගේම බොහෝදෙනෙක් අද දිනයේදිත් සේවයට වාර්තා කර නැහැ. එයට හේතුව ලෙස මම දකින්නේ සාකච්ඡාවේදී එකඟ වූ කරුණු සිදුවන කාලවකවානු සම්බන්ධයෙන් ඔවුන්ට විශ්වාසයක් නැති බවයි. ඒ වගේම ඔවුන් එම එකඟතාවයන් ලිඛිතව බලාපොරොත්තු වුණා. නමුත් ඒ අවස්ථාවේ එය ලිඛිතව ලබාදීමට අප කටයුතු කළේ නැහැ. වැඩ වර්ජනයට මූලික හේතුවක් බවට පත්වී තිබෙන රාජ්‍ය පරිපාලන සේවා 06/2006 වක්‍ර ලේඛණය වෙනස් කර තැපැල් සේවකයන් සඳහා වෙනම වැටුප් ක්‍රමයක් සකස් කිරීමේ ක්‍රමවේදය ක්ෂණිකව කළ හැක්කක් නෙවෙයි. එයට නිසි ක්‍රමවේදයක් සහ නිශ්චිත කාලයක් ගතවනවා. ඒ වගේම එය තැපැල් අමාත්‍යංශ්‍යට පමණක් කළ හැකි දෙයකුත් නෙවෙයි. මෙම තත්ත්වය වර්ජනයේ නිරත සේවකයන් සාධාරණව වටහාගත යුතුයි. කෙසේ වෙතත් අප ඊයේ සාකච්ඡාවේදී එකඟ වූ කරුණු වෘත්තිය සමිති වෙත ලිඛිතව ලබාදීමටත් පියවර ගන්නවා. මම විශ්වාස කරනවා ඔවුන් තවදුරටත් වර්ජනයේ නිරත නෙවෙයි හෙට වන විට සියල්ල යථා තත්ත්වයට පත් වෙයි කියා. එසේ නොවුණහොත් ගත හැකි ඊළඟ පියවර ජනාධිපතිතුමා විසින් මෙය අත්‍යවශ්‍ය සේවාවක් කොට ගැසට් නිවේදනයක් නිකුත් කිරීමයි. එය ජනාධිපතිවරයා සතු කාර්යභාරයක්. නමුත් මගේ විශ්වාසය ඉක්මණින් ඔවුන් වර්ජනය අවසන් කරනු ඇති බවයි. ඒ වගේම මම වර්ජනයේ නිරත සියලුම සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම සේවයට වාර්තා කරන ලෙස.

 විෂයභාර අමාත්‍යවරයා සහ තැපැල්පති අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති බව පැවසෙනවා. මෙය සත්‍යයක්ද?

එය මුළුමනින්ම අසත්‍ය මතයක්. එවැනි කිසිම මතභේදාත්මක තත්ත්වයක් හෝ ප්‍රශ්නයක් අප අතර නැහැ. තැපැල්පතිතුමා එතුමාගේ බලතල සහ වගකීම් අනුව කටයුතු කරනවා. විෂය භාර අමාත්‍යවරයා ලෙස මම මගේ බලතල සහ වගකීම් අනුව කටයුතු කරනවා. තැපැල්පතිතුමාටත් අමාත්‍යවරයා විදිහට මටත් අනෙකුත් පරිපාලන නිලධාරින් සියලුදෙනාටත් අවශ්‍ය මෙම වර්ජනය අවසන් කර තැපැල් කටයුතු ඉක්මණින් යථා තත්ත්වයට පත් කිරීමටයි.

 වර්ජනයට හේතු වූ කරුණු හැරුණු විට තැපෑල තුළ සේවකයන්ට බලපාන තවත් ප්‍රශ්න බොහොමයක් තිබෙනවා නේද?

මා දන්නා තරමට එවැනි වෙනත් ප්‍රශ්න තැපෑල තුළ නැහැ. වැඩ වර්ජනයට හේතු වූ මූලික කරුණු හැරුණු විට තවත් ප්‍රශ්න සේවකයන්ට තිබෙනවා නම් අපට ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න පුළුවන්. එසේ නැතිව එක්වරම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට යාම සාධාරණ නොවන බවයි මගේ අදහස.

 තැපෑල දියුණු කිරීම සම්බන්ධයෙන් ඔබේ ඉදිරි සැලසුම් මොනවාද?

මම පිළිගන්නවා ලෝකයේ දියුණු රටවල්වලට සාපේක්ෂව අපේ රටේ තැපෑල දියුණු නැති බව. නමුත් එයට සාධාරණ හේතු තිබෙන බවත් පිළිගත යුතුයි. මූලිකම හේතුව තමයි අපේ රටේ තැපෑල කියන්නේ ආදායම් ඉපයීමේ මාර්ගයක් විදිහට නොව මූලිකව සේවා සපයන මාර්ගයක් ලෙසටයි. මෙම තත්ත්වය ආදායම් ලබන තත්ත්වයට වැඩි දියුණු කිරිමේ අභියෝගය අප ඉදිරියේ තිබෙනවා. නමුත් මේ වන විට අප සැලකිය යුතු මට්ටමකට තැපෑල දියුණු කර තිබෙනවා. ජාලගත කිරීම් බොහෝ ප්‍රමාණයක් මේ වන විට සිදුකර තිබෙනවා. උප තැපැල් කාර්යාල ජාලගත කිරීම් ද ඉක්මණින් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.

 උප තැපැල් කාර්යාල පවත්වාගෙන යන්නේ පුද්ගලික නිවෙස්වල. කුලී ගෙවන්නේ උප තැපැල් ස්ථානාධිපතිවරු, ඒ අයගේ වියදමින්. මේකට විසඳුමක් නැද්ද?

උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික ඉඩම් වෙනුවට රජයේ ඉඩම් ලබාගෙන ඒවායේ කාර්යාල ඉදිකිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වනවා.

 එවැන්නක් ක්‍රියාත්මක කරන තුරු මේ ගැටළුවට ඇති විසඳුම කුමක්ද?

උප තැපැල් කාර්යාල පවත්වාගෙන යාම වෙනුවෙන් දිර්ඝ කාලයක් තිස්සේ ගෙවූ මුදල ග්‍රාමීය කාර්යාල සඳහා රුපියල් 500 දක්වාත් නාගරික කාර්යාල සඳහා රුපියල් 750 දක්වාත් පසුගිය කාලයේදී මා විසින් ඉහළ නැංවුවා. මේ මුදලත් ප්‍රමාණවත් නොවන බවට කෙනෙකුට තර්ක කළ හැකියි. නමුත් අපට ලැබෙන ප්‍රතිපාදන අනුවයි කටයුතු කරන්න සිදුවී තිබෙන්නේ. අමාත්‍යවරයා විදිහට මම උත්සාහ කරන්නේ හැකි උපරිමයෙන් තැපැල් සේවය ඉහළ නැංවීමට බව

කිව යුතුයි.

සාකච්ඡාව [සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා