ආසන දෙකම දිනා ජේ.ආර්.වත් පැරැද්දූ කවුද මේ ආර්.ජී.

 ඡායාරූපය:

ආසන දෙකම දිනා ජේ.ආර්.වත් පැරැද්දූ කවුද මේ ආර්.ජී.

ජේ.ආර් යනු සාමාන්‍යයෙන් මෙරට සිටි බලවත්ම දේශපාලනඥයින් අතරෙහි පෙරමුණේම සිටින්නෙකි. විශේෂයෙන්ම 77 දැවැන්ත ජයග්‍රහණය උදෙසා එජාපය මෙහෙයවූ නියමුවා ඔහුය. ඉන් ඔබ්බට මෙරට ආර්ථික, දේශපාලනික සමාජ රටාව උඩු යටිකුරු කළ තීන්දු සහ හඳුන්වාදීම් 'රැසක්' ගත් නායකයෙකු ලෙසද ඔහු ප්‍රකටය.

කෙසේ වෙතත් ජේ.ආර් පවා සමහර අවස්ථාවල අනපේක්ෂිත පරාජයන් ලබා තිබේ. දේශපාලන පොරපිටියේ 'නාමධාරී' නොවන චරිත අබියස පවා ජේ.ආර්. පරාජයේ 'අමිහිර' විඳ දරා තිබේ.

ආර්.ජී. සේනානායක යනු, ජේ.ආර්.ව පරාජයට පත් කළ අයෙකි. ආර්.ජී. සේනානායක එෆ්. ආර්. සේනානායකයන්ගේ පුතනුවන්ය. ආර්.ජී. නමින් රිචඩ් ගෝඨාභය සේනානායක විය. ජේ.ආර්ද ජූනියස් රිචඩ් ජයවර්ධන නම් විය.

සේනානායකවරුන්ගේ දේශපාලන නිජ භූමිය වූ බෝතලේ වලව්වෙන් දේශපාලනයට පිවිසියද ආර්.ජී. ප්‍රචලිත වූයේ "බෝතලේ වලව්වේ වාමාංශිකයා" ලෙසය. චීනය එක්ක තිබූ හිතවත්කම ඊට හේතු විය.

රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නාරම්මල ආසනය සඳහා 1944.12.17 වෙනි දින පැවැති අතුරු මැතිවරණය සඳහා ඉදිරිපත්ව එය ජයගත් ආර්.ජී. 1947 පැවැති මහ මැතිවරණයේදි දඹදෙණි අසුනට තරග කොට එම අසුන ජයග්‍රහණය කළේය. එවක ඩී. එස්‌. සේනානායක රජයේ ආරක්‌ෂක හා විදේශ කටයුතු පිළිබඳ උප ඇමැති පදවියට පත්වූ ඔහු, 1952 මහ මැතිවරණයේදී නැවතත් දඹදෙණි අසුන ජයග්‍රහණය කොට හෙතෙම සිය ඥාති සොහොයුරු වූ ඩඩ්ලි සේනානායක රජයේ වෙළෙඳ ඇමැති ධුරයට පත්විය.

52 පාර්ලිමේන්තුවේ වාණිජ හා වෙළෙඳ ඇමැති ධුරයට පත් වෙච්ච ආර්.ජී. සේනානායක එක්ක ජේ.ආර්. හිටියේ හිත් නොහොඳින්ය. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට මුහුණ පෑ අවධියේ රතු චීනය හා ලංකාව අතර රබර්, සහල් ගිවිසුමකට අත්සන් කරන්නට චීනයට ගියේ ආර්.ජේ. සේනානායකය. ඒ ගිවිසුම නිසා රටට බලවත් වාසි ලැබුණේය.

කෙසේ වෙතත් ජේ.ආර්. ජයවර්ධන සහ ආර්.ජී. සේනානායක අතර කුමක්දෝ 'නොමනාප' හැඟීමක් තිබිණි. ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ මැතිනියගේ ඥති සොයුරියක වන එරින් සුබසිංහ නම් කුලඟන සමඟ විවාහ දිවියට පත්වූ ආර්. ජී. සේනානායක මහතා එයින්ම ජේ.ආර් සමඟ ඥාති සබදතාවයක් ගොඩනඟාගෙන සිටියේය.1954 වසරේ ආර්.ජී. සේනානායක මහතා සිටියේ කොතලාවල මහතාගේ ආණ්‌ඩුව යටතේය. එහෙත් වැඩිකලක් එහි නොරැඳුණු ආර්.ජී. ඉල්ලා අස්වී ස්වාධීන විය. ඉන්දියානු පුරවැසි ප්‍රශ්නය පිළිබඳ පාලක පක්ෂයේ නායකයන් සමඟ ඇති වූ මතවාදී ගැටුමක් උප නායක ජේ.ආර්. ජයවර්ධනයන් සමඟ පැසවමින් තිබූ විවිධ ප්‍රශ්නත් මුල්කර ගනිමින් එ.ජා.ප. යෙන් හා රජයෙන් ද ඉල්ලා අස්වුයේය.

ආර්.ජී. ගේ ඉල්ලා අස්වීම සහ ස්වාධීන වීම 'බෝනස්' වාසියක් බවට හරවා ගත්තේ එස්.ඩබ්.ආර්.ඩී බණ්ඩාරනායකය. 56 ආණ්ඩු පෙරලියකට ඉව අල්ලමින් පිටිය සකසමින් සිටි බණ්ඩාරනායක ආර්.ජී.ව දිනා ගන්නට වෑයම් කළේ ප්‍රතිවාදී කඳවුරේ ප්‍රබලයා වූ ජේ.ආර්.ව 'කැලණියන්' පරාජය කිරීමේ අරමුණද ඇතිවය.

56 මැතිවරණය තීරණාත්මක වූයේ එතෙක් එජාපයෙන් පිට පෙරමුණක් ආණ්ඩු කිරීම භාරගත් පළමු අවස්ථාව 56 මැතිවරණයෙන් පසු උදා වූ නිසාය. ඒ මැතිවරණයේදී සිදු වූ වඩාත් 'උණුසුම්' සිදුවීම වූයේ ජේ.ආර්. සහ ආර්.ජී. අතරය.

ජේ.ආර් 56 කැලණියෙන් මැතිවරණයට එජාපය හරහා ඉදිරිපත් වෙත්දී, ආර්.ජී ස්වාධීනව ජේ.ආර්.ගේ ප්‍රතිවාදියා ලෙස කැලණියට ඉදිරිපත් විය.ජේ.ආර්. අලියා ලකුණෙනුත්,ආර්. ජී. කුඩය ලකුණෙනුත් තරඟ කළේය. අනෙක් අතට දෙදෙනාම 'රිචඩ්' ලාය. සමහරු ජේ.ආර්.ට කීවේ 'යැංකි ඩිකී' කියලාය. ඒ ඇමෙරිකන් හිතවත් භාවය නිසාය. ආර්.ජී.ට කීවේ චීන ඩිකී කියලාය. ඔහු චීනයට හිතවත් වීම ඊට හේතුවය. මැතිවරණයේ වඩාත් 'පුදුමසහගත' සිදුවීම වූයේ ආර්.ජී. කැලණියට මෙන්ම දඹදෙණියටද තරඟ කිරීමය.

වේදිකා උණුසුම් වන උපහාස, චෝදනා, අභියෝග මතු විය. සිය නිජබිම බදු කැලණිය රැක ගන්නට ජේ.ආර්. නොතිත් වෑයමක් ගත් අතර ආර්.ජී.ද සිය 'හයිය' පෙන්වන්නට අවස්ථාව යොදා ගත්තේය.

56දී, ඩඩ්ලි සේනානායක ද එ.ජා.ප. නායකත්වයෙන් ඉවත්ව දේශපාලනයෙන් විශ්‍රාම ලබා සිටි අතර එ.ජා.ප. නායකත්වය ගෙන මැතිවරණය මෙහෙය වූයේ සර් ජෝන් කොතලාවලය.

"පුළුවන් නම් ආර්. ජී. කැලණියට ඇවිත් මා සමග ගැටී පෙන්නන්න" කියා ජේ.ආර්. මයිලපිටියේදී ආර්.ජී.ට පළමු ප්‍රහාරය එල්ල කළේය." මම කැලණිය තරග කරනුයේ ඡේ. ආර්. ජයවර්ධන සමග ඇති පුද්ගලික කෝන්තරයකට නොව ඡේ. ආර්. ගේ ඇමරිකානු ගැති පිළිවෙතට විරුද්ධව ඔහු පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වළකනු පිණිසයි' කියා ආර්.ජී සටනට බැස්සේය. දිනෙන් දින '56' සටන උණුසුම් විය.

"රටේ පොරය" බණ්‌ඩාරනායක කොතලාවල මහතාත් අතර වන අතර යැංකි ඩිකී සහ චීන ඩිකී අතර "කැලණි පොරය"පටන් ගත්තේ එහෙමය.

ආර්.ජී.ට එදිරිව ජේ.ආර්. තියුණු වාග් ප්‍රහාර එල්ල කළේය.

“ජේ. ආර්. ගේ ඇප සල්ලි බඳින්න වෙන්නේ එලිනා මැතිනියගේ බූදලෙන්. එතුමියගේ මුදල් රාජසන්තක වනවා දැකීම කණගාටුවට කරුණක්”

ආර්.ජී.ද වාග් ප්‍රහාරය එහෙම පටන් ගත්තේය.

කැලණියට තරඟ කරන අතරේම ආර්.ජී. දඹදෙනියටත් තරග කළේය. එහෙත්, එතෙක් මෙතෙක් කිසිවෙක් ආසන දෙකකට එකවර තරඟකොට නැත.

ආර්.ජී. පාරම්පරික බලකොටුව වූ දඹදෙනිය ගැනත් බැලුවේය. එහෙත් ඔහු වැඩි අවධානය යොමු කළේ කැලණිය දිනා ජේ.ආර්. පරාජය කරන්නටය. දෙතැනටම ඔහු ඉදිරිපත් වූයේ ස්වාධීනවය.

1950 - 56 යුගය බටහිරින් ආනයනය කරන ලද භාණ්ඩවලට ප්‍රමුඛත්වයක් ලද යුගයකි. වෙසෙසින්ම ජේ.ආර්. මුදල් අමාත්‍යවරයා ලෙස ඊට මඟ පෑදීය. එහෙත් ආර්.ජී. චීනෙට ලැදි අයෙකි. මැතිවරණයේදී මේ කතාවත් ආර්.ජී. වේදිකාවට ගෙනාවේය.

“ජේ.ආර්. හුළං පුරෝපු මිඩ්ලන්ඞ් පප්පා කෙනෙක් විතරයි. රැවටෙන්න එපා. එයාගෙ හුළං අපි ටික ටික අරිනවා”

ආර්.ජී කීවේය.

කැලණි පොරයේ තවත් අපූරු සිදුවීමක් වූයේ ඒ වනවිට දේශපාලනයෙන් තරමක් ඈත් වී සිටි ඩඩ්ලි සේනානායකගේ භූමිකාවය. කිසිවෙක් අපේක්ෂා නොකළ ලෙස ඩඩ්ලි කැලණියේ ආර්.ජී.ගේ වේදිකාවට ගොඩ වී ජේ.ආර්. ගේ ප්‍රතිවාදියා බවට පත් විය. අවසන් රැලියේදී ඩඩ්ලි ආර්.ජී. ගේ වේදිකාවට ගොඩවිය.

මැතිවරණ ප්‍රතිපලය දෙස රටම බලා සිටියහ. 56 පෙරලියේ ප්‍රතිපල සියල්ලෝම දනී. එහෙත් කැලණි ප්‍රතිපලය තීරණාත්මක විය.

'මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්, “කැලණිය ආසනය” '

යමක් කමක් තිබූ නිවෙස්වල තිබූ වෑර්ලස් වටා රොක් වූ සියල්ලෝම මොහොතකට නිහඬ වූහ.

ආර්. ජී. සේනානායක (ස්වාධීන) 37,023

ජේ. ආර්. ජයවර්ධන (එජාප) 14,187

වැඩි ඡන්ද 22,836

ගිනිකෙළි හඬින් පිරිසක් ආර්.ජී. ගේ ජය සමරද්දී, ස්වකීය දේශපාලන දැවැන්තයාගේ 'පරාජයෙන්' පිරිසක් තුෂ්නීම්භූත වූහ.

ඊට ටික වේලාවකට පසු ඊළඟ විමතිය'වෑර්ලස්' එකෙන් නිකුත් විය. ඒ 'දඹදෙනිය ආසනයේ' ප්‍රතිපලයයි.

දඹදෙණිය (1956)

ආර්. ජී. සේනානායක (ස්‌වාධීන) 26414

ඒ. ජී. පියදාස (එජාප) 1507

වැඩි ඡන්ද 24907

ආර්.ජී. ජයගත් වැඩි ඡන්ද ප්‍රතිශතය විශ්මයජනක විය.1956 වසරේ බණ්‌ඩාරනායක මහතාගේ රජයේ වෙළෙඳ ඇමැතිවරයා වූ ආර්.ජී. එම ආණ්ඩුවේ 'දක්ෂිණාංශික' අදහස් තිබූ කණ්ඩායමට බර අයෙකු විය.

කැලණියේ ජයෙන් සතුටු වූ ඔහු මෙහෙම කීය.

'"නරක්‌ වූ දත උගුල්ලන්නට ගොස්‌ ලෙඩා මැරුණා'

ඉන් අදහස් කළේ ඔහුට තරඟය තිබුණේ ජේ.ආර්. එක්ක මිස එජාපය එක්ක නොවන බවය.

කෙසේ වෙතත් 56 ආණ්ඩුව අතරමඟදී 'පාර මාරු' කළේය. බණ්ඩාරනායක ඝාතනයෙන් පසු දහනායක රජය තුල ආර්.ජී.ගේ අමාත්‍ය ධූරය ගැලවිණි.

කෙසේ වෙතත් 68 වසර වනවිට ඔහු සහමුලින්ම 'සිංහල' මතවාදයේ කොටු විය. සිංහල මහජන පක්‍ෂය පිහිටවූ ඔහු 1970 මහ මැතිවරණයට අපේක්‌ෂකයන් 51 දෙනකු එම පක්‍ෂයෙන් ඉදිරිපත් කළේය. එහෙත් එවකත් ජාතිවාදයට ඉඩක් තිබ්බේ නැත. ඔහුගේ පක්ෂයේ කිසිවෙකු එවර ජයග්‍රහණය නොකළ අතර, ආර්. ජී. සේනානායක මහතා දඹදෙණිය සහ ත්‍රිකුණාමලය යන ආසන දෙකට ඉදිරිපත් විය.

එහෙත් සිදුවූයේ කුමක්ද?

56දී, එකවර ආසන දෙකක්‌ ජයගෙන දේශපාලන ඉතිහාසයේ වාර්තාවක්‌ තැබූ ඔහු 1970 මහ මැතිවරණයේදී තමන් ඉදිරිපත් වූ ආසන දෙකෙන්ම පරාජය වීය. දෛවයේ සරදම ඒකය.

56 බණ්ඩාරනායකට ජයගන්නට පාර කැපූ ආර්.ජී. 1970 දෙසැම්බර් 22 වැනිදා අභාවප්‍රාප්ත වූයේ 'පරාජය'වූ දේශපාලනඥයෙකු ලෙසය. එහෙත් 56 ආර්.ජී.ට පරාජය වූ ජේ.ආර් 77 දැවැන්තම ජයග්‍රහණයක් ලබා ටික කලෙකින් පලමු විධායක ජනපති බවටද පත් විය.

සටහන [රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?