ජෝන්ගේ ආණ්ඩුවේ අරුම පුදුම පරාජය

 ඡායාරූපය:

ජෝන්ගේ ආණ්ඩුවේ අරුම පුදුම පරාජය

වර්ෂ 1951දී ආණ්ඩු පක්ෂයෙන් හා තමන් දැරූ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන්ද ඉල්ලා අස් වූ බණ්ඩාරනායක මැතිතුමෝ තමන්ට හිතැති ජාතික නායකයන් කිහිප දෙනෙකුද සමඟ ‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය’ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගත්හ. ඉන්පසුව වර්ෂ 1952දී මහමැතිවරණයක් පැවැත්වූ අවස්ථාවේදී එතුමෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තනිවම මැතිවරණයට මුහුණ දුන්හ. එහෙත් එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන නවයක් (09) පමණක් අයත් වීමය. එම යුගයේ විරුද්ධ පක්ෂයේ නායකයාව සිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාගේ නව ලංකා සමසමාජ පක්ෂයටද ලැබුණේ ආසන නවයක් පමණි. එහෙයින්ම විරුද්ධ පක්ෂයේ නායකත්වය ලැබෙන්නේ කාටද යන ප්‍රශ්නයක්ද ඇති විය. මේ වනවිට වර්ෂ හතක තහනම් නියෝගයක් නිසා විප්ලවකාරී සමසමාජ පක්ෂයේ නායක පිලිප් ගුණවර්ධන මැතිතුමන්ට පාර්ලිමේන්තුවට තේරි පත්වීමේ අවස්ථාව නොලැබිණ. එහෙත් මෙවරද 1952 අවිස්සාවේල්ල මන්ත්‍රීවරිය බවට පත් වී සිටියේ එතුමාගේ බිරිඳ වන කුසුමා ගුණවර්ධන මැතිණියයි. මෙම අවස්ථාවේදී පාර්ලිමේන්තුව රැස් වූ විට විරුද්ධ පක්ෂයේ නායකයා තෝරාගැනීමේ අවස්ථාවේදී ‘ඔබ ඡන්දය දිය යුත්තේ බණ්ඩාරනායක මැතිතුමාටයි’ යනුවෙන් පිලිප් ගුණවර්ධන මහතා තම මැතිණියට පවසා ඇත.

 ඒ අනුව වර්ෂ 1952දී පාර්ලිමේන්තුවේදී විරුද්ධ පක්ෂයේ නායකත්වය ලැබුණේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාටය. මේ හේතුව නිසාම තමන්ගේ පැරණි සමසමාජ සහයකයා වූ පිලිප් ගුණවර්ධන මැතිතුමා සමඟ ආචාර්ය ඇන්. ඇම් පෙරේරා මහතා තව තවත් සතුරුකම් දැක්වූහ.

වර්ෂ 1952න් පසුව මැතිවරණයක් පවත්වන්නට තිබුණේ අවුරුදු 5කින් - 1957දී ය. එහෙත් ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමා වර්ෂ 1956 මුලදීම පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවූහ. මේ වනවිට වර්ෂ 1952 තමන් තනි පක්ෂයෙන් ඉදිරිපත් වී ලද පරාජය ගැන මෙනෙහි කළ බණ්ඩාරනායක මැතිතුමා පාලනයේ සිටි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේග එකතු කිරීමේ සාර්ථක මෙහෙවරක යෙදී සිටියහ.

ඒ අනුව එතුමන් මුලින්ම ළං කරගන්නා ලද්දේ 1952දී තමනට විරුද්ධ පක්ෂයේ නායකයා වීමට සහය දුන් පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ එතුමාගේ විප්ලවකාරී සමසමාජ පක්ෂයයි. ඉතිරි ආණ්ඩු පක්ෂ විරෝධී බලවේග සියල්ලම එකතු කර එයට ‘මහජන එක්සත් පෙරමුණ’ නාමය යොදා ඒ යටතේ මැතිවරණයට මුහුණ දී සාර්ථක ප්‍රතිඵල ලබාගන්නට හැකිවිය.

වර්ෂ 1956දී බණ්ඩාරනායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණයට මුහුණදුන් ‘මහජන එක්සත් පෙරමුණට’ ජයග්‍රාහීව ‘මහජන රජයක්’ පිහිටුවන්නට අවස්ථාව සැලසුණේ එසේය. ලංකාවේ තුන්වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් තෝරනු පිණිස අප්‍රේල් මස 5, 7 සහ 10 වැනි දිනයන්හි පවත්වන ලද මහා මන්ත්‍රී තරඟයේ ප්‍රතිඵලය වූයේ සර් ජෝන් කොතලාවල මහතාගේ නායකත්වය යටතේ පැවති ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයට පත්වීමෙන්, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව මන්ත්‍රී තරඟයේදී ඉදිරිපත් වීම පිණිස, පක්ෂ කීපයකින් යුක්තව සංවිධානය වූ මහජන එක්සත් පෙරමුණේ නායකත්වය ගෙන එය මෙහෙයවූ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැති වශයෙන් බලයට පත්වීමය.

කිසිම රටක දේශපාලන ඉතිහාසයෙහි කිසිම දේශපාලන පක්ෂයක්, මේ වතාවේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී තරඟයට මූණ පෑ තරම් විශ්වාසයකින් මන්ත්‍රී තරඟයකට මූණ පෑවේ නැතැයිද, අන්තිමේදී එතරම් අන්ත පරාජයකට පත්වී යැයිද සිතිය නොහැකි තරම්ය. ආරම්භයේ පටන් අවසානය දක්වාම එය ගරා වැටිල්ලකි. එමෙන්ම බණ්ඩාරනායක මහතාත් ඒ මහතාගේ මහජන එක්සත් පෙරමුණු අනුගාමිකයනුත් ලැබූ ජයග්‍රහණයන් ගැන ඔවුන් තරම් අන් කිසිවකු පුදුම වී යැයිද සිතිය නොහැකිය.

1952දී තෝරා පත් කරනු ලැබූ දෙවැනි පාර්ලිමේන්තුව, එහි සම්පූර්ණ කාලසීමාව වූ 1957 දක්වාම පැවැත්විය හැකිව තිබුණේය. එහෙත් ලංකාවේ රාජ්‍ය භාෂාව පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රබල මතභේදයක් පැන නැගුණෙත්, ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වකීය එක්සත් ජාතික පක්ෂය තීරණය කරගත් ප්‍රතිපත්තිය අනුමත කරන මහජනයාගෙන් අධිකාරී බලයක් ලබාගැනීම පිණිස, පාර්ලිමේන්තුවේ නියම කාලසීමාව ඉකුත් වෙන්නටත් මත්තෙන් ඡන්ද විමසීමක් පැවැත්වීමට සර් ජෝන් කොතලාවල මහතා තීරණය කළේය.

එක්සත් ජාතික පක්ෂය 1952 දී පාර්ලිමේන්තුවේ බලයට පත් කරන ලද්දේ එකල අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වය යටතේය. ඔවුන් බලයට පත් කරන ලද්දේ සිංහල, දෙමළ යන භාෂා දෙකම රටේ රාජ්‍ය භාෂා බවට පත්කිරීමේ කැමැත්ත උඩය. 1953 ඔක්තෝබර් මාසයේදී ඩඩ්ලි සේනානායක මහතා ඉල්ලා අස්වීමෙන් පසුව අගමැති වූ සර් ජෝන් කොතලාවල මහතාගේ අගමැති පදවිය යටතේද මේ ප්‍රතිපත්තිය පවත්වාගෙන එනු ලැබීය.

1955 අග හරියේදී භාෂා ප්‍රශ්නය වඩ වඩාත් වේගවත් වන්නට විය. සිංහල භාෂාව පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතු යැයි මහත් උද්ඝෝෂණයක් හා ව්‍යාපාරයක්ද රට මුළුල්ලේම පැතිරෙන්නට වූයේය.

මේ ව්‍යාපාරයට පාර්ලිමේන්තුවෙන් බැහැර භික්ෂූන් වහන්සේලා අතුරෙන් ප්‍රබල පිරිසකගේ අනුබලය ලැබුණු අතර පාර්ලිමේන්තුව තුළ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වය යටතේ පවත්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද, විප්ලවකාරී සමසමාජ පක්ෂයේද, සිංහල භාෂා පෙරමුණ වශයෙන් සංවිධානය වූ වාමාංශික ස්වාධීන මන්ත්‍රීවරුන් කීපදෙනාගේද අනුබලය ලැබිණ.

නව ලංකා සමසමාජ පක්ෂය හා කොමියුනිස්ට් පක්ෂයද, රාජ්‍ය භාෂා වශයෙන් සිංහල හා ද්‍රවිඩ භාෂාවන්ට ‘සම තත්ත්වය’ ලැබිය යුතු යැයි කියන ස්වකීය ප්‍රතිපත්තියෙහි තරයේම එලඹ සිටියාහුය. භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් මතු වූ මේ ව්‍යාපාරයන් නිසා ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට ප්‍රශ්න කීපයකටම මුහුණ පාන්නට සිදුවිය. පැන නැගුණු රළ වේගය සමඟ ඉදිරියට යෑමට නම් පක්ෂයේ භාෂා ප්‍රතිපත්තිය වෙනස් නොකර බැරි බව පැහැදිලි වූයේය.

සිංහල, දෙමළ යන භාෂා දෙකටම රට මුළුල්ලේම සම තත්ත්වය ලැබෙන පරිදි ඒ භාෂා දෙක රාජ්‍ය භාෂා බවට පත් කරනු පිණිස ලංකාවේ (ආණ්ඩුක්‍රම) රාජාඥා පණත අප්‍රමාදව සංශෝධනය කළ යුතුයැයි 1955 ඔක්තෝබර් 19 වැනිදා නව ලංකා සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් භාෂා ප්‍රශ්නය ඉතාම උග්‍ර අවස්ථාවකට පත්වූයේය.

යෝජනාව විවාදයට භාජන වූ නමුත් එහි කෙළවරක් නොවීය. එහෙත් එය සමාජ විප්ලවයක ආරම්භය වූයේය. එම විප්ලවය මහජන ඡන්දයේ මාර්ගයෙන් එයින් හය මාසයකට පසු කුළු ගැන්වු‍ණේය.

ආචාර්ය පෙරේරා මහතාගේ යෝජනාව පාර්ලිමේන්තු විවාදයට භාජන වූවාත් සමඟම වාගේ එක්සත් ජාතික පක්ෂය භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට පටන්ගති. එහි (සිංහල) සාමාජිකයන් දෙදෙනෙක්,“සිංහල පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය” කියන යෝජනාවක් පක්ෂයේ වාර්ෂික සම්මේලනය වෙත ඉදිරිපත් කරනු පිණිස කල් දුන්හ. වාර්ෂික සම්මේලන වාරය 1956 පෙබරවාරි 18 වැනිදා පැවැත්වීමට නියමව තිබුණි.

ඒ අතර වාරයෙහි එක්සත් ජාතික පක්ෂයේ ද්‍රවිඩ සභිකයෝද ක්‍රියාකාරී වූහ. සිංහලය පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කරන ලෙස ඉල්ලීමෙන්, පක්ෂය පිළිගත් භාෂා ප්‍රතිපත්තිය වෙනස් කිරීමට දරන ලද ප්‍රයත්නයෙන් උදහසට පත් වූ ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිංහලය පමණක් රාජ්‍ය භාෂාව කරනු ලැබුවහොත් වෙනම ද්‍රවිඩ රාජ්‍යයක් ඉල්ලන්නට සූදානම් වූහ. සුළු ජාතීන්ට මූලික අයිතිවාසිකම් පිරිනැමෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලන්නට වූ ඔවුහු ප්‍රතිවිරුද්ධ යෝජනාද ඉදිරිපත් කරන්නට වූහ.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍ය විධායක මණ්ඩලය එම යෝජනා වාර්ෂික සම්මේලනය වෙත ඉදිරිපත් කිරීමට අකමැති විය. එහි ප්‍රතිඵලය වූයේ තැපැල් හා ගුවන්විදුලි ඇමතිවර ඇස්. නටේසන් මහතා ඇතුළු ද්‍රවිඩ භාෂාව කතා කරන මන්ත්‍රීවරුන් සත්දෙනෙකු 1956 ජනවාරි 19 වැනිදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලා අස්වීමය. අනික් ද්‍රවිඩ මන්ත්‍රීවරුද එයින් දින කිහිපයකට පසු ඉල්ලා අස් වූහ.

“සිංහලය පමණක් ලංකාවේ රාජ්‍ය භාෂාව විය යුතුය” කියන යෝජනාව එක්සත් ජාතික පක්ෂය විසින් 1956 පෙබරවාරි 18 වැනිදා කැලණියේ ස්වකීය වාර්ෂික සම්මේලන වාරයේදී සමාන ඡන්දයෙන්ම සම්මත කරගන්නා ලදි.

සිංහලය රාජ්‍ය භාෂාව කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂය කරගත් එම තීරණය ක්‍රියාවේ යෙදවීම සඳහා මහජනයාගෙන් අධිකාරී බලය ලබාගැනීමට, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මන්ත්‍රී තරඟයක් පවත්වන ලෙස එම තීරණය කරගත් කෙණෙහිම සර් ජෝන් කොතලාවල මහතා අග්‍රාණ්ඩුකාර ධුරන්ධර සර් ඔලිවර් ගුණතිලක මහතාට උපදෙස් දුන්නේය. අග්‍රාණ්ඩුකාරතුමාද එවිගසම ලංකාවේ දෙවෙනි පාර්ලිමේන්තුව 1956 පෙබරවාරි 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිමින් ප්‍රකාශයක් නිකුත් කළේය. අභිනව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තේරීම සඳහා නාම යෝජනා ඉදිරිපත් කිරීම 1956 මාර්තු 8 වැනිදාට මන්ත්‍රී තරඟ ඡන්ද විමසීම 1956 අප්‍රේල් මාසයටද නියම කරන ලදි. ආණ්ඩු පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට තවත් වාරයකට බලය ලබාගත හැකි වේයැයි සැලකිය හැකි වන පරිදි දේශපාලන තත්ත්වය එම පක්ෂයට වාසි සහගතව පැවති බවක්ද පෙනෙන්නට තිබුණි. ඒ අවස්ථාවේදී පැවැත්තේ “සිංහලය පමණක්ය” යන උද්ඝෝෂණයයි. විරුද්ධ පක්ෂද මේ ප්‍රබල ප්‍රශ්නය උඩ බෙදී සිටියහ. ඉතා උසස් තත්ත්වයෙන් සංවිධානය වී තිබුණු ආණ්ඩු පක්ෂයද ඡන්ද විමසීමට සූදානම්ව සිටියේය. එහෙයින් පාර්ලිමේන්තු වාරයෙන් අවුරුද්දක් ඉතිරිව තිබියදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් අතර කණගාටුවක් ඇති නොවීය. එහෙත් එබඳු හදිසි ඡන්ද විමසීමක් නොපවත්වන ලෙස සාමාන්‍ය මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක්ම අගමැතිතුමාට අවවාද කළහ.

ලංකාව එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට ඇතුළත් කර ගැනීම නිසා ආණ්ඩුව කෙරේ මහජන සැලකිල්ල හා ගෞරවය වැඩිවෙමින් පැවැත්තේ යැයිද විශ්වාස කරන ලදි. මහා මන්ත්‍රී තරඟයෙන් මසක් ගත වූ විට බුද්ධ ජයන්තිය පැවැත්වීමට තිබුණා පමණක් නොව ඒ සඳහා වැඩකටයුතු සියල්ලක්ම සූදානම් කර තිබුණි. එපමණකුත් නොව පිටරටවල් සමඟ කරන ලද වෙළඳාමෙන් ලංකාවට ඉතා විශාල වාසි ලැබෙමින්ද තිබුණේය. එතරම් වාසි සහගත සුභ තත්ත්වයන් පවතිද්දී මහා මන්ත්‍රී තරඟයකට මූණපාන ආණ්ඩු පක්ෂයක් ලේසියෙන් පරාජය කළ නොහැකි යැයිද සලකන ලදි. එය වූ කලී සර් ජෝන් කොතලාවල මහතාගේ හා ඒ මහතාගේ උපදේශකයන්ගේද විශ්වාසය විය. ඔවුන් පරාජය කිරීමට තරම් හේතුවන තත්ත්වයක් මතුවේ යැයි ඔවුහු විශ්වාස නොකළාහුය. දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් ස්වකීය රටටත් මිත්‍ර පක්ෂයටත් ජය අත්කරදීමෙහි පුරෝගාමී වූ වින්ස්ටන් චර්චිල් යුද්ධ ජයග්‍රහණයෙන් පසුව පැවැත්වුණු මහා මන්ත්‍රී තරඟයෙන් පරාජය වීම පිළිබඳ පාඩමවත්, තමන් පරාජය වීමට හේතු වන කරුණු පැන නගීවි දැයි සිතීමට තරම්වත් පෙළඹවීමක් නොවීය.

තවත් පස් අවුරුද්දකට ඔවුන් බලයට පත්වීමට තිබුණේ දින කීපයක පරහක් පමණි. සර් ජෝන් කොතලාවල මහතා එම පිරිස 1956 මහා මන්ත්‍රී තරඟයට මූණපෑවේ එතරම් විශ්වාසයක් ඇතුවය. එහෙත් ඔවුන්ගේ විශ්වාසය මිත්‍යා විශ්වාසයක් බව ඔවුන්ට පෙනී යන්ට තිබුණේ දවස් කීපයකි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මන්ත්‍රී තරඟ ව්‍යාපාරය ඉහළ මිම්මෙන්ම පටන් ගැණුනි. සර් ජෝන් කොතලාවල මහතා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රට මුළුල්ලේම ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යන අතර බණ්ඩාරනායක මහතාද ස්වකීය මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් මුළු රටෙහිම ව්‍යාපාරයක් ගෙන ගියේය.

සර් ජෝන් කොතලාවල මහතා කොතැනකට ගියත් ඒ මහතාගේ කතා ඇසීම පිණිස සෙනඟ රැස්වූයේ දහස් ගණනිනි. එහෙත් පසුව මන්ත්‍රී තරඟ ප්‍රතිඵලවලින් පෙනී ගිය පරිදි ඔවුන්ට සර් ජෝන් කොතලාවල මහතාගේ වචන ඒත්තු නොගිය බවද ඒ මහතාගේ අඩිපාරේ ගමන් කිරීමට ඔවුන් සූදානම් නැති බවද සැලකිය හැකිය.

සිංහලය ලංකාවේ රාජ්‍ය භාෂාව කිරීමට ආණ්ඩුක්‍රම පනත සංශෝධනය කරනු පිණිස ස්වකීය පක්ෂයට ආසන 68ක්ම සර් ජෝන් කොතලාවල මහතා ඉල්ලා සිටි නමුත් අන්තිමේදී ලැබුණේ ආසන 8කි. අනික් අතට බණ්ඩාරනායක මහතා ඡන්දදායක කොට්ඨාශයෙන් කොට්ඨාශයට යමින් ව්‍යාපාරය පවත්වාගෙන ගියේය. ඒ මහතාගේ ව්‍යාපාරය වෙනස්ය. බණ්ඩාරනායක මහතා කතා කළේ රටේ ඊළඟ අගමැති වන්නේ තමාය යන විශ්වාසයෙනි. එහෙත් ඒ මහතා ස්වකීය ප්‍රතිපාක්ෂිකයන්ගේ විනාශයට හේතු වූ ඕනෑවට වැඩි විශ්වාසයත්, කොහොම නමුත් දිනන්නෙමැයි යන විශ්වාසයත් දැක්වූයේ නැත. බණ්ඩාරනායක මහතාගේ ව්‍යක්ත කථිකත්වය ඒ මහතාගේ ප්‍රතිපාක්ෂිකයා වූ සර් ජෝන් කොතලාවල මහතාගේ කථිකත්වය යටපත් කරගෙන මහ ඉහළින් නැඟ ගියේය. පොදු මහජනයාද විශාල සංඛ්‍යා වශයෙන් බණ්ඩාරනායක මහතා ගිය ගිය සෑම තැනම රොක්වන්නට වූහ.

බණ්ඩාරනායක මහතාට ස්වකීය ප්‍රතිපාක්ෂිකයාට වඩා වාසි සහගත තත්ත්වයන් කීපයක්ම තිබුණේය. එක්සත් ජාතික පක්ෂය බලයෙන් නෙරපා දැමීම පිණිස විරුද්ධ පක්ෂ සියල්ලම ප්‍රථම වරට එක්සත් වූහ. එක්සත් භික්ෂු මණ්ඩලය තුළ සංවිධානය වූ භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව රට මුළුල්ලේම උද්යෝගීමත් ව්‍යාපාරයක් ගෙන ගියහ.

ලබන සතිය හා සබැඳේ..

[සෝමසිරි කස්තුරි ආරච්චි]

සංස්කරණය [රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා