අපි පාතාලය හුරතල් කරන්නේ නැහැ | ඇස පාදන රැස


අපි පාතාලය හුරතල් කරන්නේ නැහැ

 ඡායාරූපය:

අපි පාතාලය හුරතල් කරන්නේ නැහැ

නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර

ඊයේ දිනයේදී නව රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය. එහිදී රාජ්‍ය පරිපාලන හා කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරටය. වත්මන් දේශපාලන පිළිබඳව සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විමසීමට අපි නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාරව සම්බන්ධ කරගත්තෙමු.

ඇමතිතුමා දැන් සතුටින්ද ඉන්නේ?

ඔව්. මම හැමදාම සතුටින් හිටියේ. ලැබුණු ඇමතිකමත් එක්ක දැන් තවත් සතුටින් ඉන්නේ.

නියෝජ්‍ය ඇමතිකමක් ගත්තාට පස්සෙ කරන පළමු පුවත්පත් සාකච්ඡාව මේක නේද?

ඔව්. නියෝජ්‍ය ඇමති ධූරය ලැබුණාට පස්සේ කරන පළවෙනි පුවත්පත් සාකච්ඡාව තමයි මේක.

ඔබ බලාපොරොත්තු වුණේ මේ වගේ ඇමතිකමක් ද?

මම මේ ඇමතිකම විශේෂයෙන් බලාපොරොත්තු වුණා කියන්න බැහැ. ඒත් දෙන ඕනේම වගකීමක් ඉෂ්ට කිරීමේ වගකීම මගේ හිතේ තිබුණා. මට ලැබුණේ ඉතාම හොඳ අමාත්‍යංශයක්. අපේ පක්ෂයේ ‍ෙජ්‍යෂ්ඨ ඇමතිවරයෙක් රංජිත් මද්දුමබණ්ඩාර කියන්නේ. ඉතින් එතුමා එක්ක වැඩ කරන්න ලැබීම මගේ වාසනාවක් කියලා මම හිතනවා.

හිතෙන්නේ නැද්ද දැන් ආණ්ඩුවට නියෝජ්‍ය ඇමතිකම් වැඩියි කියලා?

මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කැබිනට් ඇමති ධූර 48 ක් සහ නියෝජ්‍ය ඇමති ධූර 45ක් දෙන්නත් අනුමැතිය අරන් තියෙන්නේ. මේ ආණ්ඩුවට එහෙම අනවශ්‍ය ඇමතිකම් නැහැ. ඒත් සමහර මාධ්‍යවලින් උත්සාහ කරනවා මේ ආණ්ඩුව නිකනුත් ඇමතිකම් දෙනවා, මේවා අනවශ්‍යයි අනං මනං කියලා ජනතාවට ආණ්ඩුව ගැන තියන සුබවාදී මතය වෙනස් කරන්න හදනවා. ඇමතිකම් දෙන්නේ හේතුවක් ඇතුව. ආණ්ඩුවේ හිටපු ඇමතිවරු 16 දෙනෙක් ඉවත් වෙලා විපක්ෂයට ගියා. ඉතින් ඒ පුරප්පාඩු සඳහා තමයි මේ නියෝජ්‍ය ඇමති ධූර දෙන්නේ. ඒ නිසා ඒකට කාටවත් චෝදනා කරන්න බැහැ.

ඔබට හිමි වෙලා තියෙන්නේ තීරණාත්මක නියෝජ්‍ය ඇමතිකමක්. දැන් හොරු අල්ලන්න වැඩේට මැදිහත් වෙන්න පුළුවන් ද?

ඔව්. ඇත්තටම මේක වගකීම් රාශියක් සහිත අමාත්‍යංශයක්. නමුත් මම ආවා කියලා විශේෂයක් නැහැ, දැනටමත් ඒ හොරු අල්ලන වැඩකටයුතු සිදුවෙමින් පවතිනවා. නීතිය හා සාමය ඇමතිතුමා ඒ සඳහා වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. පහුගිය කාලේ විවිධ දේවල් නිසා යටගැහුණු විමර්ශන මේ වෙද්දි සිදු කෙරෙමින් පවතිනවා. මට තියෙන්නේ ඇමතිතුමාගේ වැඩකටයුතුවලට එතුමාට සහයෝගය ලබාදෙන්න.

පාතාලය තැනින් තැන හිස ඔසවලා කියනවා. මොකද්ද ඒකට ගන්න ක්‍රියාමාර්ගය?

මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තාම කල් වැඩියි කියලා හිතෙනවා. පසුගිය කාලේ සිදුවුණු යම් යම් සිදුවීම් කීපයක් දිහා බැලුවාම පේනවා පාතාලය නැවත සක්‍රීය වෙලා කියලා. ඒත් මේ රජයේ කවුරුත් පාතාලය හුරතල් කරන්නේ, පාතාලයට කිරි පොවන්නේ නැහැ. ඒ නිසා අපිට ඒ සඳහා නීති දැඩි කරන්න බාධාවක් නැහැ. ඇමතිතුමා දැනටමත් ඒ සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන්න කියලා උපදෙස් දීලා තියෙන්නේ.

බැඳුම්කරය මුල් කරගෙන ආණ්ඩුවට දැඩි ප්‍රහාර එල්ල වෙනවා. ආණ්ඩුවේ බහුතරයක නම් ඒකට ඈදිලා නේද?

බැඳුම්කරය ඉස්සරහට දාලා ආණ්ඩුවට හැමෝම චෝදනා කරනවා. ඒත් තාම සැබෑ තත්ත්වය හෙළි වෙලා නැහැ. බැඳුම්කරය ගැන විරෝධ ආකල්පයක් ආණ්ඩුවට ඇති වෙලා තියෙන්නේ වැරදි අවබෝධය නිසා. ඒකේ සැබෑ තොරතුරු හෙළි කරන්න කාලයක් ගත වෙයි. දැනට පවතින තත්ත්වය තාවකාලිකයි. ඇත්ත දැනගන්න තව ටිකක් හැමෝටම බලාගෙන ඉන්න වෙයි.

සමහරු කියනවා බැඳුම්කර ගනුදෙනු නිසා මේ ආණ්ඩුව මුලදිම කිරි කළයට ගොම එකතු කරගත්තා කියලා. දැන් කියනවා මුළු කිරි කළේම ගොම කියලා. ඒක ඇත්ත ද?

පහුගිය කාලේ හොරු බැඳුම්කරේට මුවා වෙලා එයාලාගේ හෙළුව වහගත්තා. දැන් දැන් හොරු කවුද කියලා හෙළි වෙමින් පවතිනවා. බැඳුම්කර හොරු විතරක් නෙමෙයි ඊට කලින් හොරකම් කරපු අයටත් ඉදිරියේදී දඬුවම් ලැබෙයි. එයාලා මෙච්චර කල් බැඳුම්කරේට වැහිලා හිටියේ. ඒ අයට නීතිය ඉතා ඉක්මණින් ක්‍රියාත්මක වෙයි.

රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ගැටලු උග්‍ර වෙලා තියෙනවා. සාම්ප්‍රදායික ක්‍රම නිසා රාජ්‍ය සේවය දුර්වලයි කියනවා. මේ වසර දෙකේදිවත් මේ ස්වභාවය වෙනස් කරන්න පුළුවන් වෙයි ද?

රාජ්‍ය සේවය වඩා පහසුව ජනතාවගේ හිත සුව පිණිස සුබවාදීව කරන එක වැදගත්. මොකද අපි ඇතුළු අනෙකුත් රාජ්‍ය සේවා නිලධාරීන් යැපෙන්නේ ජනතාවගේ මුදල්වලින් නිසා. රාජ්‍ය සේවයේ යම් මන්දගාමී තත්ත්වයක් තිබුණා. නමුත් සමහර රාජ්‍ය ආයතන මේ වන විට කාර්යක්ෂම වෙලා තියෙනවා. ඒකට ඒ ආයතනවල පරිපාලනයත් හේතුවක්. රාජ්‍ය සේවය ජනතාවට පහසු ලෙස නිර්මාණය කරන එක රාජ්‍ය සේවකයන්ගේ ආකල්පමය ලෙස වෙනස් විය යුතු එකක්. ඒ නිසා ලංකාවේ රාජ්‍ය සේවය සාධනීය මට්ටමකට ගන්න, කාර්යක්ෂම කරන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුවේ ආයු කාලය 60% ක් ඉවරයි. ඉතුරු 40% නියෝජ්‍ය ඇමතිකමෙන් සේවයක් කරන පුළුවන් ද?

මේ ආණ්ඩුවේ ආයු කාලය සියයට හැටක් ඉවර වුණාට මේ ආණ්ඩුව සක්‍රීයව වැඩ කරන කාලේ තමයි අපිට නියෝජ්‍ය ඇමතිකම් ලැබුණේ. ඒ නිසා අපිට ජනතාවට වැඩිපුර සේවය කරන්න පුළුවන් කාලයක් මේක. ආණ්ඩුව සැලසුම් කරපු දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක වෙන්න නියමිතයි. ඒ වගේම ණය කළමනාකරණය නිසා රටේ ආර්ථිකයත් ඉදිරි පියවර රාශියක් තියලා තියෙන්නේ. ඒ නිසා අපිට වැඩ ගොඩක් කරන්න පුළුවන් ඉදිරි වසර දෙක ඇතුළත. ඒ වගේම අපි ඇමතිකම් නැතුවත් වැඩ කළා. ඒ නිසා අපිට ජනතා සේවය කරන්න තනතුරු ඕනේම නැහැ.

ආණ්ඩුවෙන් ඉවත් වුණ දාසයදෙනාගේ කණ්ඩායම ආණ්ඩුවේ ගමනට කකුලෙන් අදිනවා කියලා හිතෙන්නේ නැද්ද?

දාසය දෙනාගේ කණ්ඩායම දැන් යහපාලන ආණ්ඩුවේ අය නෙමෙයි. ඒ අය ආණ්ඩුවේ ඉද්දි කළෙත් අපේ කකුලෙන් අදින එක. ඒ නිසා ඒ පිරිස ආණ්ඩුවෙන් ගිය එක මම දකින්නේ සුබවාදී විදිහට. දැන් අපිට මේ ගමන තවත් ශක්තිමත්ව සහ සාමූහිකව යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

ඒ අය ආණ්ඩුවෙන් ඉවත් වුණාට තවමත් ආණ්ඩුවේ ඉන්නවා වගේ නේද?

නැහැ. ඒ අයට අපේ වැඩවලට කොහෙත්ම ඇඟිලි ගහන්න බැහැ. ඒ අය විපක්ෂයේ මන්ත්‍රීවරු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේවල්වලට එයාලාට මැදිහත් වෙන්න පුළුවන් ඇති. ඒත් මේ ආණ්ඩුව එයාලව කිසිම දෙයකට සම්බන්ධ කරගන්නේ නැහැ.

ඔබ හිතන විදිහට යහපාලනය ගෙන්න මුල් වෙච්ච අරමුණු මේ වෙනකොට ඉටුවෙලා තියෙනවා ද?

බහුතරයක් මේ වෙනකොට ඉටු කරලා තියෙනවා. ඇතැම් පොරොන්දු මේ වෙනවිට ඉටු වෙමින් පවතිනවා. ඒ වගේම මම කලින් කිව්වා වගේ පසුගිය කාලේ ගත වුණේ ආණ්ඩුවේ ව්‍යාපෘති සැලසුම් කරන්න. දැන් ඒවා ක්‍රියාත්මක වීමේ අදියරේ තියෙන්නේ.

යහපාලනය ගැන බොහෝදෙනාගේ තියෙන්නේ සතුටට වඩා අසතුටක් නේද?

නැහැ. ඒක බොරු කතාවක්. මාධ්‍යවලින් හදපු විකෘති කතාවක් ඒක. පසුගිය දිනක ඇතිවුණු සුලිසුළඟ නිසා මගේ ආසනේ නිවාස 103කට අලාභානි වුණා. ඒත් ඒ සිදුවීම වෙලා පැය 48ක් යන්නත් කලින් වන්දි ගෙවීම් කළා අපි. වෙන කිසිම ආණ්ඩුවක් එහෙම කඩිනමින් වන්දි මුදල් ලබාදීලා නැහැ. මේ අණ්ඩුව ජනතාවට සහන ගොඩක් සලසලා තියෙනවා. මිනිස්සු ඒවා භුක්ති විඳිනවා. ඒ අතර සමහරු චෝදනා කරනවා. ඒත් මේ ආණ්ඩුව කරපු වැඩ ටික තේරෙන්නේ වෙන ආණ්ඩුවක් ආපු දවසට.

මොකක්ද 2020දි කරන්න හිතාගෙන ඉන්නේ?

පක්ෂයක් ලෙස අපි 2020ට අවශ්‍ය වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කරනවා. 2015 දි බලය ගන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරපු උපක්‍රමශීලී විදිහටම 2020දිත් එජාපය කටයුතු කරනවා.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා