ළඟ එන පළාත් සභා ඡන්දය

 ඡායාරූපය:

ළඟ එන පළාත් සභා ඡන්දය

මීළඟ පළාත් පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික මිශ්‍ර ක්‍රමයට පැවැත්වීම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ බහුතරයක කැමැත්ත ලැබී ඇතැයි මනෝ ගනේෂන් ඇමතිවරයා පවසයි. මේ අතර මැතිවරණ කොමසාරිස්වරයා අපේක්ෂකයන් මුදල් වියදම් කරන ආකාරය පිළිබඳව විපරම් කිරීම සඳහා පියවර ගනිමින් සිටී. මේ අන්දමට ලබන දෙසැම්බරයේ පළාත් සභා කිහිපයක ඡන්දය පැවැත්වීමේ සූදානමක් පවතී. නැගෙනහිර, සබරගමුව සහ උතුරු මැද පළාත් සභාවල නිල කාලය අවසන් වන හෙයින් වෙනත් බාධක නොමැති නිසා ඡන්දය කල් දැමීමේ වුවමනාවක් ආණ්ඩුවට තිබිය නොහැක.

උගත් පාඩම්

මෙහිදී අපගේ අවධානය යොමු වන්නේ පසුගිය පළාත් පාලන ඡන්දයේ අත්දැකීම්ද සිහිපත් කරමින් ඊළඟ මැතිවරණය සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කිරීම කෙරෙහිය. පළාත්සභාවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඇති වී තිබූ කතිකාව නැවත මතු කිරීම කෙරෙහිය.

ප්‍රමාද වී පැවති පළාත් පාලන මැතිවරණයෙන් බොහෝ වෙනස්කම් අපේක්ෂා කෙරිණ. කාන්තා නියෝජනය ඉහළ යෑම එක් සාධනීය ප්‍රතිපලයකි. එහෙත් දූෂිතයන් වෙනුවට යහපත් පුද්ගලයන් තෝරාපත් කරගත යුතුය යන බලගතු අභිලාෂය එක්තරා ආකාරයකට පරාජය වූ සෙයකි. පත්වූ සියලු දෙනා දූෂිතයන් යැයි එයින් අදහස් නොවේ. එහෙත් නව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් කෙටි කලකට පසුව ලද අත්දැකීම් අනුව හැඟෙන්නේ මේ බොහෝ මහජන නියෝජිතයන් සුපුරුදු රාමුවෙන් පිට පැනීමට අකමැති බවය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නාම යෝජනා ලැයිස්තුවෙන් ඇතැම් නම් ඉවත් කළේ උසාවියෙන් වරදකරුවන් වී සිටීම සැලකිල්ලට ගනිමිනි.

පත් වූ පළාත් පාලන නියෝජිතයන්ගෙන් බහුතරය පොහොට්ටුවෙන් ජයග්‍රහණය කළ අය වෙත්. මොවුන් සැලකිය යුතු පිරිසක් බලය අයුතු ලෙස පාවිචිචි කරමින් අයථා අයුරින් ධනය ඉපයූ අය වෙත්. මීට වසර කිහිපයකට පෙර පක්ෂ මූලස්ථානයට ප්‍රාදේශීය සභාපතිවරු කැඳවූ නායකයෙක් මෙසේද ප්‍රකාශ කළ බව ප්‍රකට විය.

"තමුසෙලා කරන මගුලක් අහු නොවන්න කරනවලා"

‘අහුනොවන්න කරගන්න’ යැයි ගෝලයන්ට උපදෙස් දුන් නායකයන් ගෙදර යැවීමට ඡන්දය දුන් ඡන්ද දායකයන්ම සුපුරුදු පළාත් පාලන නියෝජිතයන් පත් කිරීමට ඡන්දය දීම ඡන්ද දායකයන්ගේ විචාරවත් බව පිළිබඳ ගැටලුවකි.

කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා වෙඩි ප්‍රහාරයකින් මියයෑම සහ ඔහුගේ පාතාල සම්බන්ධතා කරළියට පැමිණීම ඡන්දදායකයන්ගේ ඇස් අරවන්නක් විය යුතුය. සදාචාරවත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමේදී ඡන්දදායකයාට පැවරෙන වගකීම සුළුපටු නොවේ. එසේ හෙයින් පසුගිය පළාත් පාලන ඡන්දයේ අත්දැකීම්ද සැලකිල්ලට ගනිමින් ළඟ එන පළාත් සභා ඡන්දයේදී අඩියක්වත් ඉදිරියට තැබීම ඔවුන්ගේ උර මත පැටවෙන වගකීමකි.

සීමා පැනවීම

එන ඡන්දයේදී මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාකාරිත්වයද වැදගත්ය. එහි සභාපතිවරයා මෙසේ පවසයි.

1. අපේක්ෂකයා මැතිවරණයේදී තමා වියදම් කරන්නට යන මුදල් ප්‍රමාණය

2. එම මුදල් තමන්ට ලැබුණු ආකාරය

3. මැතිවරණයේදී එම මුදල් වැය කරන ආකාරය

යන මේ සියල්ල නිවැරදිව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දිය යුතුය. කොමිසමේ සභාපතිවරයාගේ අරමුණ වන්නේ වියදම් සීමාවක් සලකුණු කිරීමය. ඇති හැකි අපේක්ෂකයන් නිසා සෙසු අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදු වන බව ඔහුගේ අදහසයි. මෙය ඉතා වැදගත් ප්‍රවේශයකි. සර්වජන ඡන්දය ලැබීමෙන් පසුව වත්මන දක්වාම ඇති ගැටලුවක් වන්නේ ඡන්දදායකයා තම වගකීම නොදැන සිටීමය. එහිදී ක්‍රියාත්මක වන්නේ ධනයට, බලයට, කුලයට හා ප්‍රාදේශීයවාදයට යට වන වහල් චින්තනයකි. රටවැසියකු වෙනුවට මිනිස් බාග නිර්මාණය වී තිබීමේ ප්‍රතිඵලය එයයි.

60,70 දශකවලට සාපේක්ෂව වත්මනෙහි පවතින්නේ බුද්ධිමය වශයෙන් නායගිය අවිචාරවත් මැද පන්තියකි. ඔවුන්ගෙන් ප්‍රබුද්ධ තෝරාගැනීමක් අපේක්ෂා කළ නොහැක. ජාතිවාදයේ සහ දේශප්‍රේමයේ විස පිඹීම සඳහා පහළ සමාජ තීරුවලට ඉන්ධන සපයන්නේ එකී මැද පන්තියයි. මහජන නියෝජිතයන් තෝරා ගැනීමේදී ඔවුන්ගේ මැදිහත්වීමද තීරණාත්මකය.

මෙවර පළාත් සභා ඡන්දයේදී යෝජිත ව්‍යවස්ථාව අඩයාළමක් කරගනිමින් බලතල බෙදීම රට බෙදීමක් හැටියට හොරණෑ පිඹීමේ අවකාශය වැඩිය. මේ සඳහා දැනටමත් උල්පන්දම් දෙමින් සිටින්නේ 13ට එහා ගිය බල බෙදීමක් ගැන ඉන්දියාවට පම්පෝරි ගැසූ නායකයන් වීම හාස්‍යජනක කරුණකි.

පළාත් පාලන බහුතරයක බලය උදුරා ගැනීම සඳහා ජාතිවාදය ඇවිස්සූ බලවේග නිසා ඉතා වැදගත් වූ කතිකාවත් යටපත් විය. ඒවා පළාත් සභා ඡන්දයට වෙසෙසින්ම අදාළය. ඉන් එකක් වන්නේ පළාත් සභාවේ නව ප්‍රඥප්ති අනුමත කරගැනීමේ අභියෝගයයි. දෙවැන්න මූල්‍ය ලේකම්ගේ ක්‍රියාකාරිත්වයයි.

මධ්‍යම ආණ්ඩුවේ බලතල සහ පළාත් සභාවේ බලතල අර්ථකතනය කිරීම තවත් යෝජනාවකි. පළාත් රාජ්‍ය සේවය සහ මධ්‍යම ආණ්ඩුවේ රාජ්‍ය සේවය අතර හැලහැප්පිලි තිබේ. පළාතෙන් උපයන බදු ආදායම් එම පළාත තුළ සාධාරණ ලෙස ආයෝජනය කිරීමට මධ්‍යම ආණ්ඩුව කටයුතු නොකිරීමේ චෝදනාවද පවතී.

යට යන සංවාද

13 වැනි සංශෝධනය යටතේ බලතල බෙදීමේදී පළාත් සභාවලට දුන් බලය ප්‍රමාණවත් නොවීම සහ පැවරූ බලය ආපසු ගැනීමද සාකච්ඡාවට ලක්ව ඇත. ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවටද වැදගත් යෝජනා රැසක් ඉදිරිපත් විය. ආණ්ඩුකාරයා ජනපතිගේ නියෝජිතයා නිසා ප්‍රධාන ඇමතිගේ සහ ඇමති මණ්ඩලයේ බලතල යොදාගත් බවට එක් චෝදනාවකි. ආණ්ඩුකාරයා කටයුතු කළ යුත්තේ මහජන නියෝජිතයන්ගේ අදහස් අනුවය. සමගාමී ලැයිස්තුව සීමා කරමින් බලය නිසි අයුරින් පැවරීම කාලෝචිත යෝජනාවකි.13 වැනි සංශෝධනය ක්‍රියාත්මක නොවීම නීතිය හා සම්ප්‍රදාය පිළිබඳ ගැටලුවකි. ඉඩම් බලතල ලබාදීමද ඉමහත් විවාදාපන්න මාතෘකාවකි. මේ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීම් පළාත් සභා ආරම්භ වූ අවධියෙහි වයඹ පළාත් සභාවට පවතී. යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්නය විසඳනු වෙනුවට රාජ්‍ය අනුග්‍රහය යටතේ ඉඩම් අයිතිය හා ජන සංයුතිය වෙනස් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වීම ජනතාවගේ කනස්සල්ලට හේතු විය. අර්ථාන්විත බලය පැවරීමකදී ඉඩම් පිළිබඳ බලය ද පැවරිය යුතු බව ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳ මහජන අදහස් කමිටුවද යෝජනා කරයි. එහෙත් ඉඩම් හා පොලිස් බලතල ලබාදීම ගිනි ගන්නාසුලු සංවේදී මාතෘකාය. පළාත් පොලිස් කොමිසම සහ පළාත් ඉඩම් කොමිසම මේ ගැටලු නිරාකරණය කිරීම සම්බන්ධයෙන් යෝජිත ව්‍යුහයෝ වෙත්. මෙහිදී පළාත් පොලිස් සේවයේ විනය, ස්ථාන මාරු යනාදිය තීන්දු කිරීමේ බලය පළාත් පොලිස් කොමිසමට පැවරෙයි. පළාත් ඉඩම් කොමිසමද ගැටලු නිරාකරණය කිරීමේ ව්‍යුහයකි. කෙසේ නමුත් මේවා යෝජනා මිස ව්‍යවස්ථාපිත අදහස් නොවේ.

මේ කතිකාවත පුළුල් කිරීම පළාත් සභා ඡන්දයට පෙර අවධියෙහි වැදගත් දේශපාලන අභ්‍යාසයක් වනු නිසැකය. එසේ නොවුණහොත් සිදු වනු ඇත්තේ ජාතිවාදීන්ගේ හා අවස්ථාවාදීන්ගේ ඝෝෂාවෙන් ඡන්දදායක දෑස් ගිණිකන වැටීම පමණි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා