වඳවෙන මසුන් හඳුනාගන්න ඌව සරසවියෙන් අපූරු වැඩක්

 ඡායාරූපය:

වඳවෙන මසුන් හඳුනාගන්න ඌව සරසවියෙන් අපූරු වැඩක්

ශ්‍රී ලංකාව අවට සාගර තීරයේ මත්ස්‍ය ප්‍රජාව අධික පරිභෝජනය හේතුවෙන් ඇතැම් විශේෂ මේ වනවිට දැඩි ලෙස තර්ජනයට ලක් වී ඇත. මේ හේතුවෙන් අනාගතයේදී මෙම සතුන් වඳවී යාමට සේම ධීවර කර්මාන්තයටද ඉතා අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. මෙම තත්ත්වය ආහාරය සඳහා ගන්නා මසුන්ට සහ විසිතුරු මසුන්ටද බලපා ඇත. කර්මාන්තයේ තිරසාර පැවැත්ම උදෙසා සහ ශ්‍රී ලංකාව අවට මුහුදේ වඳවීමේ තර්ජනයට ලක්වූ මත්ස්‍යයන් හඳුනාගැනීම සඳහා සංරක්ෂණ වර්ණ ක්‍රමයක් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් හඳුන්වා දී තිබේ. ඒ ගැන අදහස් දැක්වූයේ මෙම අදහසෙහි නිර්මාතෘවරයෙකු වන එම විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නුවන් ලියනගේය.

කොහොමද මේ අදහස මුලින්ම එන්නේ?

මම සහ කථිකාචාර්ය දුමින්ද සෙනෙවිරත්නට තමයි මේ අදහස මුලින්ම එන්නේ. අපි මුලින්ම කල්පනා කළා මාළු නරක් වුණාම පාරිභෝගිකයන් ඒ ගැන දැනගන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණයක් කරන්න ඕන කියන දේ. ඉන්පස්සේ පර්යේෂණ නිබන්ධනයක් විදියට මේ අදහස ක්‍රියාත්මක කරන්න කියලා ඒ වෙද්දි අවසන් වසර ඉගෙනුම ලැබූ දැනට සහකාර කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන චරිත ඩයස්ට සහ සහකාරතත්ත්ව පාලන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කරන ඩබ්. අසංක විතානගේට බාර දුන්නා. ඒ දෙන්නගේ පර්යේෂණ නිබන්ධනයේ කොටසක් විදියට තමයි මේක එළියට එන්නේ. මීට අමතරව හිටපු පරිගණක පද්ධති විශ්ලේෂක මංජුල හේරත් මේ වැඩේදි අපි සමඟ හිටියා.

ඒකට මුලාරම්භය ගත්තේ කොහොමද?

මේකෙදි සමස්ත පර්යේෂණය කොටස් දෙකකට වෙන් කරලා අපි ඒ දෙන්නට ලබාදුන්නා. ආහාරය සඳහා ලබාගන්නා මුහුදු මසුන් සහ විසිතුරු මුහුදු මසුන් පිළිබඳ පර්යේෂණ සිදුකළා.

සංරක්ෂණ වර්ණ ක්‍රමයක් කියලා කියන්නේ ඇයි?

අපි පාරිභෝගිකයන්ට උපදෙස් දෙනවා මොනවගේ මත්ස්‍යයන්ද පරිභෝජනයට සුදුසු සහ නුසුදුසු කියන දේ ගැන. නිදසුනක් විදියට රතු පැහැයෙන් කියන්නේ පරිභෝජනයට නුසුදුසුයි (Avoid), කහ පැහැයෙන් කියන්නේ නැවත සිතන්න (Think) සහ කොළ පැහැයෙන් කියන්නේ පරිභෝජනයට සුදුසුයි (Suit) කියන දේ.

මේ වෙබ් පිටුව භාවිතා කරන්න ඕන කොහොමද?

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ නිල වෙබ් අඩවියට ප්‍රවේශ වෙලා " ලංකා Fish" කියන වෙබ් පිටුවට ගිහින් මේ විස්තර දැනගන්න පුළුවන්.

තවදුරටත් විස්තර කළොත්?

මේකෙන් ආහාරයට ගන්න සතුන් සම්බන්ධයෙන් ලෙහෙසියෙන් හඳුනාගැනීම් කරන්න පුළුවන්. කොටින්ම අපි පරිභෝජනය කරන මත්ස්‍යයන් ආහාරයට ගැනීමට සුදුසුද නුසුදුසුද කියන දේ පිළිබඳ අදහසක් ගන්න පුළුවන්.

සුදුසු නුසුදුසු බවෙන් කියන්නේ විෂ සහිතයි කියන දේ නෙවෙයි නේද?

නැහැ. ඒ සතුන් කුමන සංරක්ෂණ මට්ටමක ඉන්නවද කියන දේ ගැන මේකෙදි කතා කරන්නේ. නිදසුනක් විදියට අපි මෙහෙම කියමු. මේ සිස්ටම් එක ඇතුළේ තියනවා මෝරු වර්ග හතක් ඇතුළත් කරලා. අපිට හොයන්න ඕන "කස මෝරා" කියලා හිතමු. ෆිෂ් ගෘප් එකට ඒ නම ඇතුළත් කළාම එම මත්ස්‍යයා සම්බන්ධ සියලුම තොරතුරු අපිට ලැබෙනවා. IUCN ආයතනයෙන් ප්‍රසිද්ධ කරපු තත්ත්වයන් සමඟ අපි එතැනදි පරික්ෂාවක් කරලා දෙනවා මෙම මත්සයා කුමන තත්ත්වයට අයත් ද කියන දේ.

ඒ තත්ත්වයන් මොනවද?

අධ්‍යයනය කර නැත, දත්ත ප්‍රමාණවත් නැත, තර්ජනයට ලක්වීමට ආසන්න, තර්ජනයට ලක්වෙමින් පවතින, තර්ජනයට ලක් වී ඇති, වඩාත් තර්ජනයට ලක් වී ඇති, ස්වාභාවික පරිසරයේ දැකගැනීමට නොහැකි, වඳවී ඇති ආදී ලෙස. එවිට ස්වයංක්‍රීයව අපේ වර්ණ ක්‍රමයෙන් පෙන්වනවා එය පරිභෝජනයට සුදුසුද නැද්ද යන්න. නිදසුනක් විදියට ඇටවල්ලා, සප්පරා සහ බලයා යන මත්ස්‍යයන් පරිභෝජනයට සුදුසු ලෙසත්, තෝරා, කළු කොප්පරා සහ කෙළවල්ලා යන මත්ස්‍යයන් පරිභෝජනයෙන් වැළකිය යුතු ගණයටත් අයත් බව පර්යේෂණයෙන් හඳුනාගෙන තියෙනවා.

මේ වෙබ් අඩවිය ඕනෙම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්ද?

දැනට ඉංග්‍රීසි භාෂාවෙන් විස්තර තියෙන්නේ. මොකද අපි මේක මුලින් හැදුවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට. ඒත් අපි ඉස්සරහට මේක වැඩිදියුණු කරලා මොබයිල් ඇප් එකක් විදියට හඳුන්වා දෙන්න ලෑස්තියි.

මොබයිල් ඇප් එක මොන කාලෙදි හඳුන්වා දෙන්න පුළුවන්ද?

අපි පුළුවන් තරම් ඉක්මණට ඒක ක්‍රියාත්මක කරනවා. ඒ ඇප් එක හරහා සාමාන්‍ය මිනිසුන්ට වගේම ධීවරයන්ටත් ඉදිරියේදී මත්ස්‍යයන් පිළිබඳ තොරතුරු දැනගත හැකියි. ඒ වගේම අපි ඒ ඇප් එක භාෂා තුනෙන්ම හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා.

[නදී මාණික්කගේ]

මාතෘකා