20 වැනි සංශෝධනයේ කිසිම තැනක බලය බෙදීමක් ගැන සඳහන් කර නෑ

 ඡායාරූපය:

20 වැනි සංශෝධනයේ කිසිම තැනක බලය බෙදීමක් ගැන සඳහන් කර නෑ

ජ.වි.පෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්

 

මහින්ද රජපක්ෂ බලයට පත්වී මහින්ද චින්තන පළමු වැඩපිළිවෙළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන්නා වූ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවට ජනතාවට පොරොන්දු වූවත් එය සිදු නොවූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පසුගියදා (09) පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

“ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපතිධුරය මුළු මනින්ම අහෝසි කිරීම සඳහා 1978 සිට මැදිහත් වූ පක‍්ෂයක්. අප පමණක් නොව තවත් පක‍ෂ ගණනාවක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට මැතිවරණවලදී, ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී ජනතාවට පොරොන්දු දුන්නා. නමුත් මෙතෙක් කල් එම කිසිදු ජනාධිපතිවරයෙක් එම ධුරය අහෝසි කළේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක‍්ෂකයා බවට පත්වුණේ විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමටයි. ඔහු දින සීයේ වැඩපිළිවෙළේදී ඉතා පැහැදිලිව එය අහෝසි කරන බවට පොරොන්දු වුණා. දින 100න් අලුත් රටක් යන ලියවිල්ල පැහැදිලිව සඳහන් කර තිබෙනවා 2015 අප්‍රේල් 20 වන දින වනවිට අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යූහයක් ක්‍රියාත්මක කරන බව.

මහින්ද රාජපක‍ෂ ජනාධිපතිවරයාගේ මහින්ද චින්තන ඉදිරි දැක්ම වැඩපිළිවෙළින්ද ජනාධිපතිධුරය අහෝසි කරන්න පොරොන්දු වුණා. එම වැඩපිළිවෙළේ පැහැදිලිව මෙහෙම සඳහන් කරලා තිබෙනවා. විධායක ජනාධිපතිධුරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප්‍රවේශම්කාරී වූවෙමි. අතීතයේදී විධායක ජනාධිපතිධුරය යොදා ගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට, මැතිවරණවලින් පත්වූ ආණ්ඩු පෙරළා දැමීමට, අධිකරණයට බාධා කිරීමට, පක‍ෂ තහනම් කිරීමට, උද්ඝෝෂණ මර්දනය කර ඝාතන සංස්කෘතියකට රට ගෙන යාමට, රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමට, අපරාධකරුවන් රැකීමට සහ ජාවාරම්කරුවන්ට සහන ලබාදීමටය. රට පාවාදෙන ගිවිසුම් ඇතිකර ගත්තේද විධායක ජනාධිපති ධුරය යොදාගෙනය. ඒ අනුව මහින්ද රාජපක‍ෂ මහතා පැහැදිලිව කියන්නේ රට පාවාදෙන ගිවිසුම් ඇතිකරගන්න විධායක ජනාධිපතිධුරය යොදාගත් බවයි.

රට බෙදනවා කියන කෑ ගහන බොහෝ අයට අද පළාත් සභා ක්‍රමය ආවේ කොහොමද කියලා අමතක වෙලා. ඉන්දු-ලංකා ගිවිසුම හරහා රජීව් ගාන්ධි විසින් එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බියවද්දලා අත අඹරලා තමයි පළාත් සභා ක්‍රමය අපේ රටට පැටෙව්වේ. ඉන්දීය මැදිහත්වීම වෙලාවේ ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයාව සිටි ඩික්සිත් මහත්තයා තමන් ලියූ කොළඹ භූමිකාව පොතේ ඒ ගැන සඳහන් කරලා තියෙනවා. එදා ජේ.ආර්.ගේ බිරිඳ ඔහුගෙන් විමසා සිටියේ මේ ගිවිසුම නිසා තම ස්වාමියාට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද කියන කාරණයයි. ස්වාමියාට ප්‍රශ්නයක් නැත්නම් ගිවිසුම අත්සන් කළාට කමක් නැහැ කියා ඇය කිවූ බව සඳහන් වෙනවා. ඒ විදිහට තමයි පළාත් සභා ක්‍රමය එන්නේ. ජේ.ආර්. නැමති තනි පුද්ගලයා මෙල්ල කරගෙන තමයි පළාත් සභා ආවේ.

තවත් සමහරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන එක ගැන කථා කරනවා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එනවාට අපි කැමතියි. නමුත් මේ මොහොතේ එය යථාර්ථය නොවෙයි. ඒ නිසා තමයි 20වැනි සංශෝධනය ගේන්නේ. 20වැනි සංශෝධනයේ කිසිදු තැනක බලය බෙදන හෝ රට කඩන වගන්ති කිසිවක් නැහැ. බිල්ලෝ මවන, කයිවාරුකාරයන්ට අපි කියනවා එහෙම වගන්තියක් තියෙනවා නම් පෙන්වන්න කියලා. දේශපාලන පරිණතකමක් නැති වාචාලකමට කටමැත දොඩවන්නේ නැතිව කරුණු සහිතව ප්‍රකාශ නිකුත් කරන්නේ නැතිව බොරු කියලා පච වෙන්න එපා කියලා අපි කියනවා. ඒ වගේම ඔවුන් කියනවා, කාරක සභා අවස්ථාවේ රට බෙදන යෝජනා ඇතුළත් කරනවා කියලා. අපි ඔවුන්ගෙන් අහන්න කැමතියි, කවුද ඒ යෝජනා ගේන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණ ගේන්නේ නැහැ. මහින්ද රාජපක‍ෂලා ගේනවාද? හකීම්ලා, මනෝ ගනේෂන්ලා දැනටමත් විස්සට විරුද්ධ නිසා ඔවුන් සංශෝධන ගේන්නේ නැහැ. එසේ නම් ටී.එන්.ඒ සංවිධානය හෝ යූ.ඇන්.පී.ය එම යෝජනා ගෙනාවත් ඔවුන්ට තුනෙන් දෙකේ බලයක් නැහැ. මොකද, ව්‍යවස්ථාවේ ඕනෑම සංශෝධනයකට තුනෙන් දෙකේ බහුතරයක් අවශ්‍ය වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ව්‍යවස්ථාවට ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. එතකොට රටේ ජනතාව රට බෙදන ව්‍යවස්ථාවකට ඡන්දය දෙනවද? අපි කියනවා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකත් අරගෙන ජනතාවගේ කැමැත්තෙන් මේ සංශෝධනය සම්මත කරගමු කියලා. එනිසා ඇතැම් කණ්ඩායම් තමන්ගේ අපරිණත මෝඩ තකතීරුකම ප්‍රදර්ශනය කරනවා. අපි ඒ අයට කියනවා පළමුවෙන්ම 20වැනි සංශෝධනයේ කෙටුම්පත කියවන්න කියලා.

විසිවෙනි සංශෝධනය එන්නත් කලින් රට බෙදනවා කියන මතය දැන් පරාජයට පත් වෙලා. හාමුදරුවන් වහන්සේලා පිරිසක් 20 එන්නත් පෙර සඟ සමුළුවක් පැවැත්වූවා. නමුත් අපි 20 පිළිබඳව නායක හාමුදුරුවන් වහන්සේලාට කරුණු පැහැදිලි කරමින් ඉන්නවා. දැන් උන් වහන්සේලා ඇත්ත තේරුම් ගනිිමින් ඉන්නවා. තවත් පිරිසක් තමන්ගේ දේශපාලන බල වුවමනාව වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. ඔවුන් අනාගතයේ තමන්ට ලැබේ යැයි සිතෙන මස් කට්ටක් වෙනුවෙන් කෑ මොර දෙනවා. රට බෙදනවා කියලා කියනවා නම් මනෝ ගනේෂන්ලා, රාවුෆ් හකීම්ලා ඇයි මේකට විරුද්ධ වෙන්නේ? ඒ නිසා ඒ බොරු තර්ක නිෂේධනය වෙලා යනවා. කාරක සභා අවස්ථාවේ රට බෙදන යෝජනා ඉදිරිපත් කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එවැනි යෝජනා ඉදිරිපත් වුවහොත් අපේ යෝජනාව ඉල්ලා අස්කර ගන්නවා”.

[අසේල ලියනගේ]

මාතෘකා