ඉර හඳ පවතින තාක් කල් දූපතක් පාර්ලිමේන්තුවට

 ඡායාරූපය:

ඉර හඳ පවතින තාක් කල් දූපතක් පාර්ලිමේන්තුවට

ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ පාර්ලිමේන්තු සංකීරණය මෙතෙක් කාලයක් පැවතියේ සන්නස් පත්‍රයක් යටතේ ලබාදුන් හිමිකමක් යටතේ ය. ඊට නිසි පරිදි ඉඩම් ඔප්පුවක් ලැබෙන්නට නියමිත බව පැවසිණ. මේ පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ රස කතාවයි.

‘ජයවද්දන පුරවර දනු මිතුරු තුමා’ යනුවෙන් තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් සැළලිහිණියාට කීවේ කෝට්ටේ පුරවරයේ සිට කැලණියේ විභීෂණ දෙවියන් වෙත සංදේශයක් යවන ගමන්මය.

කාරණය සාහිත්‍ය වර්ණනාත්මක සංසිද්ධියක් වූ නමුදු උක්ත කාරණය ඒ හැටියටම ඉටු කෙරෙන්නට එම සුවිශේෂ සංදේශය මඟින් ඇතිකළ වටාපිටාවේ අර්ථය වඩාත් අර්ථදායී කරන්නට සමත් වූ වග පසුව දක්නට ලැබිණ.

කෝට්ටේ රජ මාළිගයේ සියල්ලන්ගේම සිත් සතන් පිනා යන අන්දමේ කාර්යයක් ඉන් සිදුකෙරිණ. එසේ එදා කෝට්ටේ ජයවද්දනපුරය පුරා සත් දවසක් තිස්සේ මඟුල් කන්නට සුදුසු වූ කාරණයක් වශයෙන් ද එය ගණන් ගැණින.

එසේ - මෙසේ වූ හෙළ පුරාණයේ කාල පරාසයක් ගතවී ගොස් සුදු ජාතීන්ගේ පාලනය අවසානයේ ඉංග්‍රීසි ජාතිය විසින් මුළු දේශයම යටත් කරගෙන සිය පාලනය ගෙනයාමෙන් පසුව පුරා සියවසකට පසු වර්ෂ 1948 පෙබරවාරි 4 වැනිදා ලංකා මාතා තොමෝ නිදහස් සුවයෙන් යුතුව කල් ගතකිරීමේ ප්‍රීතිය භුක්ති වින්දාය.

ඈත අතීතයේ හෙළ ජාතික ජන වීරයන් තම දහදිය හා ලෙයද ඉන්පසුව අවසානයේ සිය ඇටකටුවලින් ද පොහොර කළ දේශයේ ජාතික නිදහස ලබාගැනීම උදෙසා මුල් වූ අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල, මොහොට්ටිවත්තේ ශ්‍රී ගුණානන්ද, රත්මලානේ ධම්මාලෝක, රත්මලානේ ධම්මාරාම ආදි පැවිදි මහා සංඝරත්නයගේ ද, ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා, ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන්තුමා, ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම් තුමා ඇතුළු ශ්‍රීමත් ජේම්ස් පීරිස්, ශ්‍රීමත් ඩී.බී. ජයතිලක, දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක, නීතිඥ ඊ.ඩබ්ලිව්. පෙරේරා, දොස්තර ඩබ්ලිව් ආතර් ද සිල්වා, නීතිඥ ජෝන් ද සිල්වා, ආතර් වී දියෙස් , ඩී. එස්. සේනානායක, ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ, ඇස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක වැනි ජාතික වීර පුරුෂයන් විසින් ද සිය කාලය, ශ්‍රමය හා ධනය ද යොදවමින් සිදුකරන ලද මහා මෙහෙවරකින් පසුව ඉංග්‍රීසි ආණ්ඩුවෙන් අප උදෙසා නිදහසක් ලබා ගැනීමටද අපේ ස්වදේශිකයන් යටතේ අපේම රටේ පාලනය අපේ ස්වදේශියන්ට ලැබීමට ඉඩ සැලසීම ද සැලකිය හැක්කේ මහා සම්පතක් හැටියටය.

තමන්ගේ රටවල අධිරාජ්‍යවාදීන් පලවා හැරීම උදෙසා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බිලි දීමටද, ලේ ගංගාවල පීනා යාමටද සමහරුන්ට ඉඩ සැලසුණු නමුදු මේ අපේ රටට ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබා ගැනීමට අපේ ජාතික නායකයන් කටයුතු කළේ එවන් විනාශයක් නොවන පරිද්දෙනි. මෙසේ ලබන ලද නිදහස වර්ෂ 1948 දී ගාලු මුවදොර පැවැති පැරණි රාජ සභා මන්ත්‍රී මණ්ඩල ගොඩනැගිල්ලේදී නව පාර්ලිමේන්තුව බවට පත්කර ගනිමිනි.

වර්ෂ 1947දී පැවැති මැතිවරණයෙන් වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් ලද පක්ෂ නායකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක ඩී. එස්. සේනානායක මැතිතුමෝ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය පදවිය හිමි කරගත්හ.

වර්ෂ 1952දී සේනානායක අගමැතිතුමා හදිසියේම අසුපිටින් වැටී අභාවප්‍රාප්ත වූ පසුව එතුමාගේ පුත්‍ර ඩඩ්ලි සේනානායක මැතිතුමෝ ලංකාවේ දෙවැනි අගමැතිපදවියට පත් වූහ. එතුමා ද නව මැතිවරණයකින් යළි බලයට පත් වුවද වාමාංශිකයන් විසින් කරන ලද 1953 හර්තාලය නිසා සේනානායක අගමැතිතුමෝ සිය ධුරයෙන් ඉල්ලා අස්වූහ. ඉන්පසුව ලංකාවේ තුන්වැනි අගමැතිවරයා වූයේ ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාය. වසර දෙකහමාරක රාජ්‍ය පාලනයෙන් පසුව එතුමෝ වර්ෂ 1956 මුලදී මැතිවරණයකට මුහුණ දුන්හ. මේ අවස්ථාවේදී තමන් තමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තනිව 1952දී බලයක් ලබාගන්නට නොහැකි වූ නිසාම බණ්ඩාරනායක මැතිතුමෝ 1956දී මැතිවරණයට මුහුණදුන්නේ පැවති රජයට විරුද්ධ බලවේග එකතු කරගනිමින් මහජන එක්සත් පෙරමුණ වශයෙනි. එහිදී ප්‍රධානත්වය දැරූ බණ්ඩාරනායක මැතිතුමෝ පැවැති රජයේ මන්ත්‍රී සංඛ්‍යාව අටකට සීමා කරමින් සුවිශේෂ ජයග්‍රහණයක් ලැබ 1956දී මහජන රජය පිහිටුවූහ. එතුමෝද 1959දී සිදු වූ ඝාතනයෙන් පසුව 1960 ජූලි මාසයේ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිතුමිය ලෝකයේ ප්‍රථම අගමැතිනිය වීමේ කතාවද දැන් ඉතිහාසයට එක්වී හමාරය.

මෙසේ කටයුතු කෙරෙමින් තිබියදී වර්ෂ 1965 ආණ්ඩුවෙන් යළිත් ඩඩ්ලි සේනානායක මැතිතුමා අගමැති පදවියට පත් වී වසර පහක්ම ලංකා රාජ්‍ය පාලනය දරමින් සුවිසල් සේවාවක් ඉටු කරන්නටද මුල් වූහ. එහෙත් ඩඩ්ලි සේනානායක මැතිතුමන් කවර අන්දමින් මහජන සෙත සඳහා කටයුතු කරන ලද නමුදු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිතුමිය සිය වාමාංශික පිරිස සමඟ එකතුව 1970දී ඩඩ්ලි සේනානායක රජය බිඳ දැමූහ.

මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදෙසා පැවති පැරණි පාර්ලිමේන්තුවේ ඉඩ පහසුකම් මදි බව පෙනුණ හෙයින් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිතුමිය ද අදාළ ඇමැතිවරු ද පාර්ලිමේන්තුවේ කථානායක ඇතුළු පිරිසද අලුත් පාර්ලිමේන්තුවක් ඉදිකරගැනීම සඳහා සියලු කටයුතු සම්පාදනය කළහ. එය දැන් තිබෙන පැරණි පාර්ලිමේන්තුවට පෙනෙන තෙක් මානයේය. වර්තමාන සමයේ ෂැන්ග්‍රිලා නම් වූ අලුත් තරු පහේ හෝටලය තිබෙන තැන ඉඩම මේ සඳහා තෝරගන්නා ලද්දේය.

එහෙත් එහි ඉදිකරන්නට මෙසේ සැලසුම් කරන ලද පාර්ලිමේන්තුව එතැනින් එහාට ඉදිකෙරුණේ නැත. වර්ෂ 1977දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැතිවරණයට මුහුණදුන් එක්සත් ජාතික පක්ෂය පැවති පාලක රජය අතිශයින් ම පහත් වූ තත්ත්වයට පත්කරන ලද්දේ ජනතා සහය ලැබීමෙනි. වර්ෂ 1956දී බණ්ඩාරනායක මැතිතුමා සිය ජන බලය යොදවා එවකට පාලක පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව අටකට සීමා කළා සේම, මෙවර 1977දී ජේ. ආර්. ජයවර්ධන මැතිතුමෝ සිය ජන බලය යොදවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව අටට බැස්සවීමද දෛවයේ සරදමකින් සිදුවූ හාස්කමක් ලෙස ද දැන් හැඳින්විය හැකිය.

එකළ සිරිමාවෝ අගමැති තුමිය යටතේ සිටි ශ්‍රිලනිපය, සම සමාජ, කොමියුනිස්ට් පක්ෂවල සමහර ඇත්තන් පවා දේශපාලන වශයෙන් සුන්නද්ධූලි වී යන තරමේ ප්‍රතිඵලයක් ලබාදෙන්නට වර්ෂ 1977 ඡන්දයේදී මහජනතාව සමත් වූහ. ශ්‍රීලනිපයට විරුද්ධ පක්ෂයේ නායකත්වය පවා අහිමි වූයේ මෙහිදීය.

ජේ. ආර්. ජයවර්ධන අගමැතිඳුන් යටතේ වර්ෂ 1977 පාර්ලිමේන්තුව රැස්වූයේ බේරුවල මන්ත්‍රීවර අල්හාජ් බාකිර් මාකර් මැතිතුමා කථානායක පදවියට පත්කර ගනිමිනි.

තමන්ට රටේ පොදු මහජනතාව අතරින් ලැබුණු අසීමිත බලතල ජනවරම අනුව රටේ ජනාධිපති තත්ත්වය විධායක ජනාධිපති ලෙස නීතිමය වශයෙන්ම පත්කර ගනිමින් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමෝ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති පදවියට පත්වූහ. මෙහිදී රණසිංහ ප්‍රේමදාස මැතිතුමෝ රටේ අග්‍රාමාත්‍ය පදවියට පත්වූහ.

මෙසේ මෙම කටයුතු කෙරීගෙන යන අවස්ථාවේදී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විශේෂයෙන්ම සිදුකළ එක්තරා මෙහෙවරක් නම් රටේ අගනුවර වන කොළඹ නගරය තුළ පවතින සුවිශේෂ ගොඩනැගිලි ඉන් ඉවත් කර තදාසන්න නගර කරා යැවීමේ කාරණයයි. මුලින්ම මෙතෙක් කල් ගාලුමුවදොර පැවති පාර්ලිමේන්තුව කෝට්ටේ ජයවර්ධනපුර සුදුසු බිම්කඩෙක ඉදිකිරීමට ද එතුමෝ සැලසුම් කළහ.

දියවන්නා ඔය අසලම පිහිටි දූවක් මේ සඳහා නියමිත ගොඩනැගිලි ඉදිකිරීමට සුදුසු යැයි තෝරාගන්නා ලද්දේය. අවට ප්‍රදේශයේ පැවති නිස්කලංක ප්‍රදේශයත්, ජලාශ්‍රිත ප්‍රදේශයත් නිසා මෙවන් වගකිව යුතු ඓතිහාසික ස්ථානයක් සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම මැනවැයි කාගෙනුත් සම්මත විය. එහෙයින් එහි අත්තිවාරම් ඉදිකර ගොඩනැගිලි සැලසුම් කර ඉදිකිරීම සුදුස්සන් වෙත පවරනු ලැබිණ.

රටක ප්‍රාණනාලිය වන් මැතිසබයක් උදෙසා මෙම ස්ථානය අතිශයින්ම ගැළපෙන බව පසුකලෙකදී ද වැඩිදෙනෙකුගෙන් කියවුණේ එය මෙවන් කටයුත්තක් සඳහාම වෙන්වී තිබුණ ස්ථානයක් ද වශයෙනි.

මෙහිදී මෙම නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කටයුතු කෙරෙමින් පවතිද්දී එහි ඇතුළත බිත්තිවල කලාගාරයක් වන් වූ විචිත්‍රකමින් යුතුව නිමා කළයුතු බවට ද එම කටයුත්තට මුල් වූ විද්වත් පිරිසකගේ අදහස විය. එහෙයින් එහි ඇතුළත සමහර බිත්තිවල ලා පැහැයෙන් යුතු සිතුවම් ඇඳීමටද අදහස් කෙරිණ. ඒ උදෙසා එකල මහා චිත්‍ර ශිල්පියෙකු ලෙස ප්‍රකට කීර්තියක් ඇතිව සිටි එල්. ටී. පී. මංජු ශ්‍රී මහතාගේ ආධාර උපකාර ලබාගන්නට ද තීරණය කෙරිණ. මෙකල මෙම කටයුත්ත සිදුකිරීම සඳහා මංජු ශ්‍රී මහතා සිය පුත්‍රයා වූ කුෂාන් මංජු ශ්‍රී මහතාගේ ද සහය ලබාගෙන එම කටයුතු නිමා කළහ.

ඒ සමඟම මන්ත්‍රීවරුන් රැස්වන පාර්ලිමේන්තු ලොබි ශාලාව උඩ වටේ රටේ විවිධ පළාත්වලින් සොයාගන්නා ලද කොඩි පිත්තල තහඩුවෙන් යුතුව නිමා කරගෙන සවි කර තිබිණ.

මෑත යුගයේදී ලංකාවේ ඉදිකළ කවර රාජ්‍ය මන්දිරයකට ද නොදෙවෙනි වන අන්දමින් මෙම නව පාර්ලිමේන්තු මන්දිරය නිමා වී විවෘත කෙරෙන අවස්ථාවේදී එවකට රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ආනන්ද තිස්ස ද අල්විස් මැතිතුමෝ එම දූවට සම්බන්ධව කියවුණු - සිදුවුණු තම කුඩා කාලයේ සිද්ධියක් ද එක්තරා පත්තරයකට ලියන ලද ලිපියක සඳහන් කර තිබුණා අපට මතකයය.

එකල මේ දූව අසල බිම පෙදෙස මඩ සහිතව එරෙන තත්ත්වයේ පැවතිණ. අල්විස් මහතා කුඩා කාලයේ දිනෙක සවස් යාමයක එම පෙදෙස වෙත ගොස් ඇත. එවේලේ මෙම දරුවා එහි තරමක් මඩේ එරී ඇත. එහෙත් ඔහු එතැනින් ගොඩ එන්නට තැත් කරද්දී සිදුවුණේ තව තවත් මඩේ එරීමය. එහෙයින් ඔහු කළේ මඩෙන් ගොඩවන්නට උදව් ඉල්ලා කෑගැසීමය. එහෙත් ඔහුගේ කෑගැසීම කිසිවෙකුට අසන්නට ලැබී නැත.

අල්විස් දරුවා ටිකෙන් ටික මඩේ එරෙද්දී පරිසරය අඳුරු වෙන්නට පටන් ගැනිණ. මෙසේ පැයක් පමණ කාලයක් තිස්සේ කෑගසමින් සිටින අතරතුරදී හදිසියේම එක් ගැමියෙක් තමන්ගේ නැති වූ හරකෙකු සොයමින් එහි පැමිණියේය. ඔහුට මේ දරුවා දක්නට ලැබිණ.

ඔහු කළේ ඒ අසලට පැමිණ මේ දරුවාට සිදුවී තිබෙන විපත්තිය තේරුම්ගෙන වහාම දුවගොස් දිගු කඹයක් ගෙනැවිත් ගසක කෙළවරක් බැඳ අනෙක් කෙළවර දරුවාට දී මඩෙන් ගොඩ එන්නට කියා සිටීමය.

තවත් පැය භාගයක් හෝ සිටියානම් අඳුර ඇති වී දරුවා එතැනම මිය යන්නට ඉඩ තිබුණු බව හෙළිවිය.

එවේලේ එම ගැමියා පැමිණ තමන් මරණයෙන් මුදා නොගත්තා නම් පසුකලෙක ආනන්ද තිස්ස ද අල්විස් කෙනෙකු ඇතිවන්නට නොතිබුණු බවද එතුමෝ එම ලිපියෙහි සඳහන් කර තිබිණ.

මෙහිදී අද අපට කිව හැක්කේ මේ සියල්ලක්ම සිදුකෙරෙනුයේ දෛව බලය අනුවම බවය. කරන්නට ගිය ලෙසින්ම ගාලුමුවදොර නව පාර්ලිමේන්තුවක් ඉදිකිරීම සිදුවුණා නම් එහි තදබදය දැඩිව පැවතෙන්නටද ඉඩ තිබිණ. එකල ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ සුවිශේෂ කාර්යභාරයක් අනුව අගනුවරින් විශේෂ ගොඩනැගිලි තදාසන්න ප්‍රදේශ කරා යැවීමෙන් - දැන් ලබා තිබෙන සහනය කෙතරම් දැයි වටහා ගත හැකිය. එදා එසේ නොවුණා නම් අද ඇතිවන්නට තිබූ තදබදය ගැන සිතාගත නොහැකි තරම්ය.

එදා මඩේ එරී මියයන්නට තිබුණු ආනන්ද තිස්ස ද අල්විස් දරුවා පසුකලෙක මේ නව පාර්ලිමේන්තුවේ කථානායක ධුරය හොබවන්නට ද වාසනාවන්ත වූයේ එදා එම මඩ වඟුරේ නොගිලී ජීවත් වීමේ වාසනාව බව පමණක් නිසාම අද අපිට තේරුම් ගත හැකිය.

ඓතිහාසික වශයෙන් ද අතිශයින් වැදගත් වූ කෝට්ටේ ජයවර්ධනපුර රටේ නව අගනුවර වීමත් මෙම පාලනාධිකාරය යටතේ මෙසේ මන්ත්‍රී ඇත්තන්ගේ ප්‍රධාන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සුවිශේෂ වූ ඉඩමක් වෙන්ව තිබීම ද දෛවයේ සිදුවූ ආශ්චර්යජනක දෙයක් ලෙස ද අද අපට හැඳින්විය හැක්කේය.

[සෝමසිරි කස්තුරිආරච්චි]

මාතෘකා