ජේ.ආර් - ඩඩ්ලි මෛත්‍රී - රනිල්

 ඡායාරූපය:

ජේ.ආර් - ඩඩ්ලි මෛත්‍රී - රනිල්

සමහරු හිතාගෙන ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි එක්සත් ජාතික පක්ෂයයි කියන්නේ එකකට එකක් වෙනස් මඟක ගමන් කරන පක්ෂ දෙකක් කියලාය. ඒ මදිවට බොහෝ අය හිතන්නේ මේ පක්ෂවල නායකයෝ දිවිහිමියෙන් පක්ෂය වෙනුවෙන්ම ඉන්නවාය කියලාය. ඒත් ඒ කතන්දර ටිකක් අතිශයෝක්තියෙන් යුක්ත බව තේරෙන්නේ ඉතිහාසය දිහා බැලුවාමය.

බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂය, දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්නේ ඩී. ඒ. රාජපක්ෂත් එක්ක ඇවිත්ය. පක්ෂයක් හැරදමා යෑම පටන් ගන්නේ එහෙමය. එහෙම ගියත් බණ්ඩාරනායකටත්, රාජපක්ෂටත් යූ. ඇන්. පී. 'සලකුණු' තිබුණේය.

හැත්තෑ දෙක වෙනකොට එක්සත් ජාතික පක්ෂය හිටියේ පැරදිලාය. ඩඩ්ලියි. ජේ. ආරුයි දෙන්නා හිටියේ පක්ෂයේ බල ව්‍යාපෘතියේ 'බලය' තහවුරු කරගන්නා 'රණ්ඩුවකය'. ප්‍රශ්නෙ බේරාගත්තේ අධිකරණයට ගිහින්ය. දෙදෙනාම වෙනමත්,එකටත් රට වටා ගියේ පක්ෂය ශක්තිමත් කරන්නටය. ඒ දවස්වල කතාවක් ගියේ 'ජේ ආර්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට' යන්න ලෑස්ති වෙනවා කියලාය. කතාව බොරුවක්ම නොවුණේ ඒ දවස්වල ඩඩ්ලි එක්ක තිබ්බ රණ්ඩුවේ තරම දිහා බැලුවමය. එහෙත් දෙදෙනා අතර තරඟයක් තිබ්බ බව සමහරු කීය.

'ඔරිජිනල් යූඇන්පී' කීවට ජේ. ආර්. ද මුට්ටිය දමා තිබේ.

ආර්. ප්‍රේමදාස ගැන යූඇන්පී කාරයො කතා කරන්නේ 'තනි අලියා' කියලා හිතාගෙනය. එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයන්ගේ ලැයිස්තුවේ ප්‍රේමදාසට 'ලොකු' තැනක් තිබේ. ඒත් ප්‍රේමදාස 1972 පුරවැසි පෙරමුණ පිහිටුවාගෙන 'ගමනක්' ගියේය. නිවාස ඇමැති විදිහට ප්‍රේමදාස තැඹිලි පාට තෝරා ගත්තේය. කොළ පාට මැද තැඹිලිපාට යොදාගෙන ඔහු 'පුරවැසි පෙරමුණත්' හදාගෙන එක්සත් ජාතික පක්ෂය තුළ තමන්ට' ආවේණික' ගමනක් ගියේය.

ඊළඟ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස තමන්ට තැනක් නොලැබුණොත්, ඊළඟ පියවර ඔහු හදාගෙන සිටියේ එහෙමය. ලලිත් - ගාමිණී දෙන්නා ජේ.ආර්.ට වැඩ පෙන්නා පෙරට එනකොට ප්‍රේමදාසත් රටේ දුප්පත් ජනතාව අතර 'ආදරණීය' නායකයෙක් විය.

'මේ එක්සත් ජාතික පක්ෂයේ අපේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස අපි ආර්. ප්‍රේමදාස මහත්මයාව නම් කරනවා. ඔබට හඳුන්වා දෙනවා. එතුමා දුප්පත් ජනතාවගේ හදවත හඳුනන නායකයෙක්' කියලා ජේ.ආර්. ප්‍රේමදාසව පාක්ෂිකයාට හඳුන්වා දෙන්නේය. එහෙම නොදුන්නා නම් ප්‍රේමදාස 'විකල්පය' හදාගෙන හිටියේය.

ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි එක්සත් ජාතික පක්ෂයේ යෝධයන්ය. හැබැයි පක්ෂයෙන් නෙරපූ විට බොහෝ දෙනා හිතුවේ ඒ අය ශ්‍රී ලංකා එකට හේත්තුවෙයි කියලාය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටුවාගෙන ඔවුහු ටික කලකට හෝ පක්ෂයෙන් බැහැර වූහ. අනුර බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔටුන්න හිමි කුමරාය. ඔහුගේ ලේ පවා නිල්පාට යැයි කතාවක් තිබේ. ඔහු ඒ තරම්ම ශ්‍රී ලංකාකාරයෙක්ය. හැබැයි 'තාත්තාගේ මහගෙදරට යනවා' කියා ලියුමක් ලියා ඔහු එක්සත් ජාතික පක්ෂයට ගියේය. චන්ද්‍රිකා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'අරටුවක්'ය හැබැයි ඈ වෙනත් පක්ෂ හැදුවාය. ඒ මදිවට 2005 මහින්ද වෙනුවට එක්සත් ජාතික පක්ෂයේ රනිල්ට උදවු කළා කියා රාවයක් ගියේය. 2015 ඈ ප්‍රසිද්ධියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට එක්සත් ජාතික පක්ෂයට උදවු කළාය.

1982 ඔක්තෝබර් මාසයේ 20 වැනිදා ජනාධිපතිවරණය වෙලාවේ අනුරලා මෛත්‍රිපාල සේනානායකලා හිටියේ හෙක්ටර් කොබ්බෑකඩුව පරාජය කරන මෙහෙයුමකය. ඔවුන් උදවු කළේ ජේ.ආර්.ටය. අනුර - මෛත්‍රි කල්ලිය එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 'රොත්තක්' ගැලවිලා ගියහ. බැසිල් රාජපක්ෂ, මෛත්‍රිපාල සේනානායක, පී. බී. ජී. කළුගල්ල, ඇස්. ඩී. ආර්. ජයරත්න සහ හලීම් ඉෂාක් යන අය එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක ජේ. ආර්. ජයවර්ධන මහතාගේ වේදිකාවට ගොඩවූහ.

'ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයිති අපිට. එය රැකගන්නේ අපි. අපේ එකම ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්‍ෂා කරගන්න නම් ජේ. ආර්. ජයවර්ධන මහත්මයාට ඡන්දෙ දෙන්න කියන එක'.

බැසිල්ලා එදා ජේ. ආර්. ගේ වේදිකාවේ ඉඳලා කීවේ 'ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ' අපේක්‍ෂකයා පරද්දන්න කියලාය. එහෙව් බැසිල්ලා අද නොම්බර එකේ ශ්‍රී ලංකාකාරයෝය...!

පක්ෂ දෙක වෙනස් කියා කීවාට දෙකේම අයගේ තියෙන්නේ සමීප සබඳතාය. ඩී. එස්. පක්ෂ නායකකම ඩඩ්ලිට නොදී බණ්ඩාරනායකට දුන්නා නම් අදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැත.

මොකද එක්සත් ජාතික පක්ෂය හදනකොට ජේ. ආර්.ට වගේම තැනක් බණ්ඩාරනායකට තිබුණේය. ඔහු පක්ෂයේ උප සභාපතිය. ජේ. ආර්.ට හිමිවුණේ උප භාණ්ඩාගාරිකකමය. එහෙම බැලුවම බණ්ඩාරනායකට ඒ පක්ෂයේ ලොකු තැනක් තිබුණේය.

මෙහෙම කල්පනාවෙන් බැලුවම පක්ෂ දෙක අතර පෙනෙන 'බැඳීම්' වගේම නොපෙනෙන 'බැඳීම්ද' අපමණය. හේතුවකට හෝ අහේතුවකට දැන් මිනිස්සු බෙදිලාය. අවුරුදු හැටකට වඩා රට ආපස්සට ගෙන ගියේ මේ බෙදීමය. සංහිඳියා ආණ්ඩුව 'අච්චාරුවක්' සේ දකින්නේ 'බෙදී වෙන් වෙලා ඉන්න' 'කැමැති, මිනිස්සුය. එකට එක්වී ගමනක් යෑම තාමත්, අපිට 'ආගන්තුකය". සර්වජන ඡන්ද බලය ලැබූ ආසියාවේ මුල්ම රට අපි වුණත් තාමත් මනුස්ස ජීවිත තියෙන්නේ 'බෙදීම' නමැති තීරුවේ හිරවෙලාය'. ආණ්ඩුව හෙට පෙරළනවා, 'එහෙම කියන්නේ මේ සංහිඳියාව නොදිරවන අයය.

'ඇයි මරලා හරි ගත්තේ නැත්තේ' කියා අසන්නේ මේ එකතුව නොවැටහෙන අයය. ආණ්ඩුව පෙරළන්න හදන අයගේ අපේක්‍ෂාව කුමක්ද?

සරළම දේ බලය ගන්න එකය.

ලෝකයට ආදර්ශයක් දෙන්නට හැකි 'රටක්' හදන්නට ප්‍රධාන පක්ෂ දෙක එක්ව යන ගමන අතිශය වැදගත්ය. අවාසනාවකට බොහෝ දෙනා ඊට එරෙහිය. එහෙත් කරන්න අමාරුම වැඩේ ඒකය.මීට මාස දෙකකට පමණ පෙර ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවෙලා කීවේ සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තියක් ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත්ය.

මොනවා කීවත් දැන් පක්ෂ දෙක එක් වෙලාය. හැබැයි මේක බලහත්කාරයෙන් කළ විවාහයක්ය. ගැට ගැසී තිබෙන්නේ 'ලියවිල්ලක්' හින්දා වාගේය. එක්වූ දා සිටම කියන්නේ 'මේක ටික කාලයයි. අපි වෙනම ඉල්ලලා අපේ ආණ්ඩුවක් ළඟදීම හදනවා' කියලාය. ඒ කතා වෙන්ව ඉන්නවාට වඩා 'රිදෙන' කතාය.

ලෝකය දිනන රටක ජීවත් වෙන්න සහජීවය හදනවාද නැද්ද කියා මිනිස්සු තීන්දු කළ යුතුය. එහෙම නැතිව මොන කතන්දර කීවත් පලක් නැත.

ජාතියක් ලෙස රටට අහිමි වූ දෑ බොහෝය. එහි ප්‍රතිඵල රටට ගෙනාවේ වසර විසි තිස් ගාණක පසුබෑමක්ය.'වෙන්ව මරා ගන්නා' දේශපාලනය පසුගාමී ජාතියක් බිහි කළා විනා ඉදිරිගාමී රටක් ගොඩනැගුවේ නැත.

බෙදී වෙන්වීම ආත්මයකොට ගත් රටකට එකට එක් වීම 'අරුම පුදුම' මැජික් එකක්ය.

ප්‍රධාන පක්ෂ දෙක එකතු වීම බලලෝභී සමහරුන්ට රජ මඟුලක් විය. සාමුහිකත්වය වෙනුවට වෙන් වීම ප්‍රාර්ථනා කළ ඔවුහූ බොර දියේ මාළු බෑම පටන් ගත්හ.

'ඇන් ඇම්ට පුලුවන්ද හත් හවුල පෙරලන්න' කියා ඉස්සර ඩඩ්ලිගේ ජාතික ආණ්ඩුව කාලයේ ප්‍රසිද්ධ 'කියමනක්' තිබුණේය. 56 පෙරලියන් පසු සමහරු ඩඩ්ලිට කීවේ 'දැන් ගෙදර ගිහින් විවේක ගන්න' කියලාය. එහෙත් 64 දෙසැම්බර් 3වෙනිදා 56 ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී පරාජය කළ ඩඩ්ලි, 65 මාර්තු 22 මෙරට පළමු ජාතික ආණ්ඩුව හැදුවේය.

'පළමුවැනි ජාතික ආණ්ඩුව බිහිවෙයි. අලුත් අගමැති දිවුරුම් දෙයි. 'කියා 'දවස' පත්තරේ 'හෙඩිම' ලීවේය.

ඒ ආණ්ඩුව අවුරුදු 5ක්ම දිවුවේය.ඊට කලින් කිසිම ආණ්ඩුවක් නිල කාලය සම්පූර්ණ කළේ නැත. අරුමෝසම් නැති 'ලොකු ' වැඩ ප්‍රමාණයක් 65 ඩඩ්ලිගේ ආණ්ඩුව සිදු කළේය. හරිත විප්ලවය, මහවැලිය උතුරට හැරවීම, පොල්ගොල්ල හැරවුම, උකුවෙල බලාගාරය, හාල් සේරුවක් නොමිලේ සතිපතා ලබා දීම වැනි ජනතාවාදී වැඩ රැසක් ඒ ආණ්ඩුව ඉටු කළේය. කොල්වින්ලා, ඇන් ඇම් ලා දන්න කියන දහං ගැට ගැසුවේ ආණ්ඩුව පෙරලන්නය.

ඒත් කරන්න බැරි විය.

යහපාලන ආණ්ඩුවත් දැන් වසර තුනක් ඉක්මවා තිබේ. ඉතිරි වසර දෙකත් ගියොත් නිල කාලය සම්පූර්ණ කළ දෙවැනි ජාතික ආණ්ඩුව ලෙස ඉතිහාසගත වෙන්නේ මෛත්‍රී රනිල් ආණ්ඩුවය.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?