කැබිනට් තීරණ

 ඡායාරූපය:

කැබිනට් තීරණ

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍යවරුන් විසින් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබිණි. එම යෝජනා අතුරින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබූ යෝජනා පහත සඳහන් වේ.

ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීම

ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂණ පද්ධතිය සවිමත් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 200ක අරමුදල් සම්පාදනය කරගැනීමට ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ. ඒ අනුව වසර 5 1/2ක කාලයක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, වසර 06ක සහන කාලයක් සහිතව වසර 33ක් තුළදී මෙම ණය මුදල පියවීමටත් එකඟ වී ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදී.

CICA සාමාජිකත්වය ලබාගැනීම

ආසියාවේ අන්තර්ක්‍රියා සහ විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ (CICA) සාමාජිකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

නවීනතම වෛද්‍ය උපකරණ සැපයීම

මහරගම ජාතික පිළිකා රෝහල සඳහා MRI ස්කෑන් යන්ත්‍රයක්ද මහනුවර ශික්ෂණ රෝහලට PET ස්කෑන් යන්ත්‍රයක්ද මිලට ගැනීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන අරමුදල් සලසා ගැනීමට ඔස්ට්‍රියාවේ Unicredit බැංකුව සමඟ සාකච්ඡා කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ළමයින් ආරක්ෂා කිරීමට සිද්ධි කළමනාකරණ මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීම

සියලු ආකාරයේ හිංසනයන්ගෙන් ළමයින් ආරක්ෂා කරගැනීම පිණිස පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් පි‍ළියෙල කරනු ලැබූ මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඔටාවා සම්මුතිය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය

ඔටාවා සම්මුතියේ විධිවිධාන ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම සඳහා වන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීමට උපදෙස් ලබා දීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

e ඉගෙනුම් සම්පත් නිර්මාණයට ජාතික මධ්‍යස්ථානයක් පිහිටුවීම

ශ්‍රී ලංකාවේ පාසල්වල තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය හා අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්ෂණ භාවිතය විධිමත් කිරීම සඳහා ආර්ථික සංවර්ධන සහයෝගිතා අරමුදල සහ අබුඩාබි අරමුදල මඟින් ඇමරිකානු ඩොලර් මිලියන 56.9ක අරමුදල් සලසා ගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රම බලකාය ආර්ථිකයේ කොටස්කරුවන් කරගැනීම සඳහා නව පනතක්

කම්කරු අයිතිවාසිකම්වලට කිසිදු අගතියක් නොවන පරිදි සාප්පු හා කාර්යාල සේවක පනත, පඩිපාලක සභා ආඥාපනත, කාන්තාවන්, තරුණයින් හා ළමුන් සේවයේ යෙදවීම පිළිබඳ පනත සහ ප්‍රසූතිකාධාර ආඥාපනත යන ව්‍යවස්ථා වෙනුවට සේවා නියුත්තිය පිළිබඳ නව පනතක් හඳුන්වා දීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ගමනාගමන මණ්ඩලය සඳහා නව බස්රථ 500ක් මිල දී ගැනීම

උස් පිටුපස ඇන්ද සහිත ආසන 50-54 නව බස්රථ 400ක් සහ ග්‍රාමීය මගී සේවාවන් සඳහා යෙදවීම වෙනුවෙන් ආසන 32-35 නව බස්රථ 100ක් මිල දී ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි මිල දී ගැනීම

කොළඹ තෝරාගත් නාගරික ප්‍රදේශවල එක් රැස්වන නාගරික ඝන අපද්‍රව්‍ය අරුවක්කාලු ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කිරීම සඳහා බහාලුම් වැගන් 34ක් හා බහාලුම් පෙට්ටි 94ක් මිල දී ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ භාවිතය සඳහා ගොඩනැඟිලි ඉදි කිරීම

පුත්තලම, ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවන් සඳහා නිවාස සංකීර්ණ 08ක් සහ කාමර 24කින් යුත් නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් ඉදිකිරීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?