මානව හිමිකම් ප්‍රවර්ධනය අැගයීමට ලක්වීම

 ඡායාරූපය:

මානව හිමිකම් ප්‍රවර්ධනය අැගයීමට ලක්වීම

2018 වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ ප්‍රගතිය සැලකිල්ලට ගනිමින් මානව හිමිකම් කොමිසම ඒ ශ්‍රේණියට උසස් කිරීම සියලු රටවැසියන්ගේ ප්‍රමෝදයට හේතුවක් විය යුතුය. එහෙත් ජනදිවියට මෙයින් ඇති යහපත් බලපෑම එතරම් සංවාදයට ලක් නොවන සෙයකි. ජනමාධ්‍යයටද එය මාතෘකාවක් නොවන්නේ එය ජනප්‍රිය විෂයයක් නොවන හෙයිනි. රාජ්‍යය මර්දන යන්ත්‍රය පණ ගන්වන ඕනෑම අවධියක මානව හිමිකම් පිළිබඳ උනන්දුව අලුත් වේ. ඉන් පසු එය යටපත් වෙයි. මානව හිමිකම් ආරක්ෂා කිරීමේ නීතිය හා සම්ප්‍රදාය බලවත් ලෙස සමාජයට කාවදින තත්වයක් නිර්මාණය වුව හොත් මෙවැනි නැඟීම් බැසීම් ඇති නොවනු ඇත. එහෙයින් මෙය පසුගාමී රාජ්‍යයක ලක්ෂණයක් ලෙස පිළිගැනීමට සිදු වෙයි.

සක්‍රීය වීම

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ වත්මන් ප්‍රගතිය දිගු කාලීන ක්‍රියාවලියකි. එහෙත් ආචාර්ය දීපිකා උඩුගම එහි සභාපති ධුරයට පත්වීමෙන් පසුව විශාල වෙනසක් සිදු විය.

1996 අංක 21 දරන පනතින් සම්මත කරන ලද කොමිෂන් සභා අතර මානව හිමිකම් කොමිෂන් සභාවද වෙයි. පොලිස්, අධිකරණ කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වය පිළිබඳ තවමත් ඇත්තේ යහපත් නොවන ප්‍රතිචාරය. ඊට ඉතිහාසයක් ඇත. 17 වැනි සංශෝධනය ස්වාධීන කොමිෂන් සභාවල ක්‍රියාකාරිත්වයට මග පෑදුවේය. එකල ආණ්ඩුව සහ ජනාධිපති පක්ෂ දෙකකය. අද මෙනි. ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපති නියෝජිතයකු නම් කිරීම කල්මරන තත්වයක් උද්ගත විය. පක්ෂයේ අරමුණු පොදු අරමුණට හරස් විය.

ද්විත්ව බලය පිළිබඳ ආරවුල නිමා කරමින් ජනාධිපතිනිය අමාත්‍යාංශ තුනක් පවරාගනිමින් ආණ්ඩුවේ බෙල්ල හිර කළේය. ඊළඟ ජනාධිපතිවරණය සඳහා මහින්ද රාජපක්ෂ මහතා නම් කෙරිණ. ඔහු ජයග්‍රහණය කළ පසු 17 වැනි සංශෝධනය බල රහිත කිරීම සඳහා 18 වැනි සංශෝධනය ගෙනාවේය. ස්වාධීන කොමිෂන් සභා බලපෑම්වලින් තොරව ක්‍රියාත්මක වීම සඳහා අනුබලය දුන් නීතිය වෙනස් විය. මේ අනුව කොමිෂන් සභා සාමාජිකයන් පත් කිරීම ජනාධිපතිගේ පුද්ගලික අභිමතය පරිදි සිදු විය. එසේ පත් වූ කොමිෂන් සභාවලින් අපක්ෂපාතී ක්‍රියාකාරිත්වයක් අපේක්ෂා කළ හැකිද? මේ වනාහී විධායකයේ හස්තයට සියලු රාජ්‍ය ආයතන යටපත් කිරීමේ දැනුවත් ක්‍රියාදාමයකි.

සුදු වෑන්

රෙජීමය රට පාලනය කළ සමයෙහි මානව හිමිකම් කඩවීම් සාමාන්‍ය ලක්ෂණයක් බවට පත් විය.මානව හිමිකම් කොමිසමට කළ හැකි දෙයක් නොවීය. එහි ස්වාධීන ක්‍රියාකාරිත්වය විනාශ කර තිබිණ. මිනිස් ඝාතන, අතුරුදන් කිරීම්, පහරදීම්,දේපොළ බලෙන් පවරා ගැනීම් සුලබ විය. සුදුවෑන් භිතීකාව රට දෙවනත් කළේය. යුද්ධය තීරණාත්මක තැනකට ඒමේදී මේ තත්ත්වය වඩාත් බිහිසුණු විය. 1989 දෙවැනි කැරැල්ලේදී රාජ්‍ය මර්දනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට ගිය මහින්ද රාජපක්ෂ රාජ්‍ය නායකයා බවට පත්ව සිටියද රාජ්‍ය මර්දනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසමට කරුණු කී සමාජ ක්‍රියාධරයන් රාජද්‍රෝහීන් හැටියට නම් කිරීමට ඔහු පසුබට නොවීය. යුද්ධය නිසා වැන්දඹුවන් බවට පත් වූ උතුරු නැගෙනහිර ජීවත්වන ලක්ෂය ඉක්මවූ වැන්දඹුවන්ගේ අයිතිවාසිකම් නොසලකා හරින ලදි. ඔවුන්ගෙන් ඇතැම්හු සමූහ දුෂණයටද ලක්ව සිටියහ.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පත් කළ උගත් පාඩම් කොමිසමේදී යුද සමයේ සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය විය.

උගත් පාඩම්

පැහැර ගැනීම්, බලහත්කාර අතුරුදන් කිරීම්, අත්තනෝමතික රඳවා ගැනීම්, බාලයන් යුද කටයුතුවලට බඳවා ගැනීම්, නීතියෙන් බැහැරව දඬුවම් දීම්, ප්‍රකාශනයේ, ගමන් බිමන් යෑමේ, එක් රැස් වීමේ, ඇදහීමේ සහ මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීම් යනාදී වශයෙන් පැමිණිලි ගණනාවක් ඉදිරිපත් විය. සරණාගතයන්ගේ අයිතිවාසිකම්, සැලකිල්ලට ගැනිණ. මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ චෝදනා ආරක්ෂක අංශවලට මෙන්ම එටීටීඊයටද එල්ල විය. සමගි සන්ධානය ඇති කළ හැක්කේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීමෙන් බව උගත් පාඩම් කොමිසම නිර්දේශ කළේය.

අතුරුදන් කිරීම්, පැහැරගැනීම් පිළිබඳ මානව හිසිකම් කොමිසමට හා රතු කුරුසයට දැනුම් දී ඇති බවට මහජනයා සාක්ෂි දුන්නේය. දේශපාලන බලපෑම් නිසා පරීක්ෂණ නොකෙරෙන බවට කොමිසමට පැමිණිලි ලැබිණ.

මානව අයිතිවාසිකම් නීතිය අනුව අත්අඩංගුවට ගැනුණු පුද්ගලයන් වහාම මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතුය.

රැඳවුම් ස්ථාන පවුලේ අයටත් මානව හිමිකම් කොමිසමටත් දැනුම් දිය යතුය. නිදහස් කිරීම උසාවියෙන් කළ යුතුය. අතුරුදන් වීම් යළි ඇති නොවීමට නීති සකස් කළ යුතු යැයි කොමිසම අවධාරණය කළේය.

එහෙත් මේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රෙජීමය උනන්දු නොවීය. ඒවා ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටි අය ද්‍රෝහීන් ලෙස නම් කෙරිණ.

තනි බලය

ඔවුන්ට වැදගත් වූයේ ඊනියා දේශප්‍රේමය අඩයාළමක් කරගනිමින් මර්දනය පවත්වා ගෙන යෑමය.

ජනවාරි 8 විප්ලවයෙන් අපේක්ෂා කළ එක් වැදගත් දෙයක් වූයේ මානව හිමිකම් සුරකින දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමය.

19 වැනි ව්‍යවස්ථාව ඊට මංපෙත් පාදා දුන්නේය. කොමිෂන් සභාවලට සාමාජිකයන් ජනපති විසින් පත් කිරීමේ ක්‍රමය වෙනස් විය. එය පැවරුණේ ව්‍යවස්ථාදායක සභාවටය.

ස්වාධීන නියාමනය පිළිබඳ යාන්ත්‍රනය පණ ගැන්විණ. අලුත් කොමිෂන් සභාවලින් වඩාත් සක්‍රීය කොමිසම බවට මානව හිමිකම් කොමිසම මහජන විශ්වාසය දිනාගත්තේය.

2017 ජූනි මස 2 වැනි දින මුස්ලිම් සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන්ට එරෙහිව ක්‍රියාත්මක වන ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා පියවර ගන්නැයි මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටියේය. එමෙන්ම 2014දී අලුත්ගම ප්‍රහාරයට සම්බන්ධවූවන් නීතිය හමුවට ගේන්නැයි ඉල්ලා සිටියේය. පොලිස් නිලධාරීන් අතින් සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සෘජුවම පෙනී සිටියේය.

මානව හිමිකම් පිළිබඳ වාර්ෂික වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රගතිය පසසන බ්‍රිතාන්‍ය රජය ජාතීන් අතර සහයෝගය සහ සමකාමීන්ගේ අයිතින් පිළිබඳ ශ්‍රීලංකා රජය මීට වඩා උනන්දු විය යුතු බව ප්‍රකාශ කළේය. අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමද ඉතා වැදගත් පියවරකි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අවධාරණය කර ඇත්තේ බලය විමධ්‍යගත කිරීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත [pta] ඉවත් කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බවය. මේවා ආරක්ෂක අංශ දංගෙඩියට යැවීමක් ලෙස අර්ථ දැක්වීම පරාජිත පාර්ශ්වවල දුබල උත්සාහයක් පමණි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?