රජ්ජුරුවන්ට ජනේලේ උළුවස්සේ එල්ලිලා කතා කරන්න සලස්වපු අපට දොරටු පාලකයෝ ලොකු නැහැ

 ඡායාරූපය:

රජ්ජුරුවන්ට ජනේලේ උළුවස්සේ එල්ලිලා කතා කරන්න සලස්වපු අපට දොරටු පාලකයෝ ලොකු නැහැ

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

මොකද හදිස්සියේම ජවිපෙට විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එක ගැන මතක් වුණේ?

හදිස්සියේ මතක් වුණේ නැහැ. මේ රටේ ජනාධිපතිවරු පස්දෙනෙක් ජනවරම අරන් පත් වෙලා තියෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. ඒත් හැම ජනාධිපති කෙනෙක්ම බලයට පත් වෙලා ටික කාලයක් යද්දි එයාලට ඒක අමතක වෙලා යනවා. බලයට තියෙන අසීමිත තණ්හාව නිසා ඊළඟ පාරත් ජනාධිපති ධූරයට එන්න බලාපොරොත්තු වෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම කියන්නේ අපේ ඉටු නොවුණු දේශපාලන ප්‍රතිසංස්කරණයක්. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන, රට ආරාජික කරන, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන ක්‍රමයක් මේක. ඒ නිසා ශිෂ්ට සම්පන්න දේශපාලන ගමනක් සඳහා ජනාධිපති ධූරයෙන් විධායක බලතල අහෝසි කළ යුතුයි.

විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියන පොරොන්දුව 1994 ඉඳලා අපි අහනවා. ඒත් කවුරුවත් විධායක ජනාධිපති ධූරය අහෝසි කළේ නැහැ නේද ?

ඔව්. බොරු පොරොන්දු දීලා බලයට පත් වුණු පාලකයෝ තමයි මේ රටේ ඉන්නේ. 1994දි චන්ද්‍රිකා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නවා කියන කොන්දේසිය පිට තමයි පත් වුණේ. ඒත් ඒක කළේ නැහැ. 2005 දි බලයට ආපු මහින්ද රාජපක්ෂත් ඒ දේම තමයි කළේ. ජවිපෙ අපි දකින දේ අනුව විධායක ජනාධිපති ධූරයෙන් පත් වෙන පාලකයන්ගෙන් රටට ඇති වෙන සෙතක් නැහැ. ඒ නිසයි අපි මේ විධායක බලතල අහෝසි කරන්න උත්සාහ කරන්නේ. ඒ පත් වුණු පාලකයන් ජනතාවට බොරු කළා වගේම ජවිපෙටත් බොරු කළා. මේ වකවානුවේ රට අරාජික වෙලා තියෙන්නේ. හේතුව ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකක වීම. ජනාධිපතිවරයාට අයත් පාර්ලිමේන්තුවක් තිබුණා නම් ඒ තුළින් බිහි වෙන්නේ ඒකාධිපතියෙක්. ජේ.ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද මේ හැමෝම ඒ ඒකාධිපති ක්‍රමයට ඍජුවම හෝ වක්‍රව යන්න උත්සාහ කළා. ඒ නිසා අපි හිතන විදියට මේ වෙලාව තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සුදුසුම වෙලාව.

විධායක ජනාධිපති ධූරය අහෝසි නොකිරීමේ වගකීමෙන් ජනාධිපතිවරු බලයට පත් කරන්න සහය දුන් ජනතා විමුක්ති පෙරමුණට ගැලවෙන්න බැහැ නේද?

නැහැ. ඒ සම්බන්ධයෙන් අපිට වගකීමක් නැහැ. මේ රටේ ජනාධිපති ධූරය හෙබවූයේ ජනතා විමුක්ති පෙරමුණෙන් පත් වුණු පාලකයෝ නෙමෙයි. මේ ඔක්කොම රටේ ජනතාව පත් කරපු පාලකයෝ. ජනතාව දේශපාලන වශයෙන් අනුවණ තීන්දු ගත්තාම රටක් වශයෙන් අපිට වන්දි ගෙවන්න වෙනවා. ජනතාවට, රටට සම්බන්ධ දේවල්වලට මිසක් දේශපාලකයන් කරන දේවල්වලට අපිට වගකීමක් ගන්න බැහැ.

විසිවෙනි සංශෝධනයට සහය පළ කළ ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් 20 වෙනි සංශෝධනයට විරුද්ධ බව ප්‍රකාශ කරලා තියෙනවා. ඔබ දකින විදිහට එයට හේතුව මොකක්ද?

ඒකාබද්ධ විපක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ. අපි දන්න විදිහට නම් මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට පක්ෂයි. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ නායකයෝ කියලා නැහැ 20 වෙනි සංශෝධනයට විරුද්ධයි කියලා. ඒකට විරුද්ධයි කියන්නේ තනි පුද්ගලයන්ගෙන් හැදුණු පක්ෂ විතරයි. උදය ගම්මන්පිල, විමල් වීරවංශ වගේ ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන පෙළේ දේශපාලන ධාරාවට අයත් නොවන අය මේකට විරුද්ධයි කියනවා. ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලන ධාරා වුණු එක්සත් ජාතික පක්ෂය, මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම, දෙමල ජාතික සංධානය, ජනතා විමුක්ති පෙරමුණ 20 වෙනි සංශෝධනයට විරුද්ධයි කියලා කොහෙවත් කියලා නැහැ.

විධායක ජනාධිපති ධූරය නිසා නෙමෙයි ද යුද්ධය ඉවර කරගන්න පුළුවන් වුණේ?

විධායක ජනාධිපති ධූරය නිසා නම් යුද්ධය ඉවර කරගන්න පුළුවන් වුණේ ජේ. ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා වගේ අයටත් ඒක කරන්න පුළුවන් වෙන්න තිබුණානේ. මේ රටේ යුද්ධයක් ඇති වෙන්න ප්‍රධාන හේතුව කැබිනට් එකේ කීමවත් නොසලකා ජේ. ආර්. ජයවර්ධන 87 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරපු එක. 2005 දි පත් වුණ මහින්ද රාජපක්ෂත් එල්.ටී.ටී.ඊ එකට සල්ලි දීලා තියෙනවා. විධායක ජනාධිපතිවරු තනතුර පාවිච්චි කරලා පාර්ලිමේන්තුවෙන් අහන්නේ නැතුව තීරණ ගත්ත නිසයි මේ වගේ ඛේදවාචකයක් රටට උදා වුණේ. ඒ නිසයි අපි කියන්නේ රටක් පාලනය කරන්න සාමූහික නායකත්වයක් අවශ්‍යයි කියලා.

විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය හදලා තියෙන්නේ වැස්සටවත් නීති විද්‍යාලයට ගිය කෙනෙක් නෙමෙයි කියලා නීතිඥ උදය ගම්මන්පිල කියනවා. ඇත්ත ද මේ කතාව?

උදය ගම්මන්පිල ප්‍රසිද්ධ අනිත් පුද්ගලයන්ව පහත් ලෙස සලකන කෙනෙක් හැටියට. ඒ වගේම එයා ඕනාවට වඩා තමන්ව විහින් පුම්බන්න හදන කෙනෙක්. 20 වෙනි සංශෝධනයට පක්ෂ ද නැද්ද කියන එකට කලින් කියන්න ඕනේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න පක්ෂ ද නැද්ද කියලා. උදය ගම්මන්පිල මේ සංශෝධනයේ අඩංගු දේවල් විවේචනය කරන්නේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවාට ඔහු විරුද්ධ නිසා. 20 වෙනි සංශෝධනය හදලා තියෙන්නේ ප්‍රවීණ විද්වත් මණ්ඩලයක් විසින්. පක්ෂයක් විදිහට ජවිපෙත් එක්ක කොහොමත් උගතුන් බුද්ධිමතුන් හිටියා. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් වැස්සටවත් ඉස්කෝලේ ගියාද නැද්ද කියන එක රටේ ජනතාව දන්නවා. මේ වගේ අනුවණ ප්‍රකාශ කරන පුද්ගලයන් පත් කරපු රටේ ජනතාව ගැන අපි කණගාටු වෙනවා.

හොරකම් කළත් ඒකාධිපතියෙක් ඕනේ කියන ජනතාව අතරට විධායක බලතල නැති ජනාධිපති කෙනෙක් ගැන සංකල්පය අරන් ගිහින් තේරුමක් තියෙනවා ද?

හොරකම් කළත් ඒකාධිපතියෙක් ඕනේ කියන ජනතාවක් රටේ බහුතරයේ නැහැ. නමුත් කොටසක් ඉන්නවා. ඒක අපිට පෙනුණා පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින්. ලක්ෂ 54ක් පොහොට්ටුවට ඡන්දෙ දුන්නත් ලක්ෂ 64ක් අනිත් පාර්ශ්වයට ඡන්දේ දීලා තිබුණා. මිනිස්සු මේකට තල්ලු වෙන්නේ දේශපාලන කලකිරීම නිසා. ඒත් මේ සංකල්පයෙන් රටේ ජනතාවගේ සවිඥානය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම 20 වෙනි සංශෝධනය සම්මත කරගන්න අපිට අමතර ලේසියකුත් තියෙනවා. රටේ ජනතාව දන්නවා විධායක ජනාධිපති ධූරයේ බලතලවලින් වෙන හානිය ගැන. ඒ වගේම අපේ රටට ඒකාධිපතියෙක් ආවාම ඒ කෙනාට ඉන්න දෙන්නෙත් නැහැ. උද්ඝෝෂණ කරලා, වැඩ වර්ජනය කරලා විරෝධය පළ කරනවා. ඒ නිසයි අපි දැන්ම ඉඳලාම යකෙක් ගෙන්නගන්න කලින් ඒ යකාව බෝතලය ඇතුළට දාලා වහන්න හදන්නේ.

ඒකාබද්ධ විපක්ෂය ගේන ජනාධිපති අපේක්ෂකයාට බයෙන් 20 වෙනි සංශෝධනයක් ගැන ජවිපෙ කතා කරනවා කියලා ඒකාබද්ධ විපක්ෂය කියනවා. ඇත්ත ද ඒ කතාව?

ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පුද්ගල චරිතවලට බය වෙලා තීන්දු තීරණ ගන්න පක්ෂයක් නෙමෙයි. රජ්ජුරුවන්ට ජනේලේ උළුවස්සේ එල්ලිලා කතා කරන්න සලස්වපු අපට දොරටු පාලකයෝ ලොකු නැහැ. මේ ධූරයට එන කෙනා සිදුහත් කුමාරයා වුණත් ආවට පස්සේ වෙනස් වෙනවා. මේ තනතුරෙයි වරද තියෙන්නේ. මිනිස්සු හිතනවා වගේ සුපිරි වීරයෝ කියලා කට්ටියක් නැහැ. සුපිරි වීරයෝ මෙතුවකට ඇවිල්ලත් නැහැ.

ඇයි විධායක ජනාධිපති කෙනෙක් වෙනුවට නාමික ජනාධිපති කෙනෙක් පත් කරන්නේ?

ඕනේම රටක ජනාධිපති තනතුරක් තියෙනවා රජවරු ඉන්න රටවල් හැරෙන්න. අගමැතිතුමන් යටතේ පාලනයක් තිබුණත් ජනාධිපති කෙනෙක් ඉන්නවා. ඒත් ඒ හැම රටක්ම පාලනය වෙන්නේ සාමූහික දේශපාලන ක්‍රමයක් යටතේ. සිංගප්පූරුව, ජපානය, ඉන්දියාව මේ හැම රටක්ම පාලනය වෙන්නේ මේ ක්‍රමය යටතේ. අගමැති කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි. මුළු කැබිනට් එකම ඔහු සමඟ ඉන්නවා. මේ සංශෝධනය හැටියට ජනාධිපති කෙනෙක් ඉන්නවා. බලතල තියෙනවා. හැබැයි විධායක බලතල අහෝසි කරලා තියෙන්නේ.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා පත් කරද්දි සහ ඉවත් කරද්දි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන බවට තියෙන විශ්වාසය මොකද්ද?

ජනාධිපතිවරණවලදි කොච්චර අය මුදලට විකිනෙනවා ද? විධායක ජනපති කෙනෙක් පත් කරද්දි විකිණෙනවා නම් ඒ විකිනුණු අය විකිණෙන්නේ ලැබෙන දේවල් අනුවනේ. මොකද විධායක ජනාධිපතිවරයා තමයි කැබිනට් මණ්ඩලය නම් කරන්නේ. ඉතින් මේ අලුත් ක්‍රමයේදී එහෙම මුදලට විකිණෙන්න තියෙන ඉඩකඩ ඉතා අඩුයි. ඒ වගේම මන්ත්‍රීවරුන් මුදලට විකිණෙන එක රටේ ධනේශ්වර දේශපාලනයේ පිරිහීම ඇතුළේ තියෙන ප්‍රශ්නයක්.

සමස්ත ඡන්දදායකයෝ ජනාධිපතිවරයා තේරීමට වඩා පාර්ලිමේන්තුවේ 225 දෙනෙක් ජනාධිපතිවරයා තේරීම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ කොහොම ද?

ඒකට තමයි යම් කිසි ක්‍රමවේදයක් පවතින්නේ. ජනතාව තෝරා පත් කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමයි මේ ක්‍රමයෙන් ජනාධිපතිවරයාව තෝරන්නේ. ඒක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වභාවය. තනි මිනිහාට මුළු රටක් දෙනවාට වඩා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හොඳයි

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා