රේල් පීලි

 ඡායාරූපය:

රේල් පීලි

'මා ඉතා ගෞරවයෙන් ඉල්ලනවා මා ගැන මගේ හෘද සාක්ෂිය ගැන විශ්වාසය තියන්න කියලා. මම ප්‍රභූ, ධනපති පවුලක කෙ‍ෙනක් නොවෙයි. ආචාර්ය, මහාචාර්ය ‍ෛනකුත් නොවෙයි. මේ රටේ වෙලේ, පැලේ හැදුණු කුඹුරේ, නියරේ ඇවිදපු දුප්පත් ගොවියකුගේ පුතෙක්. මම ඔක්ස්ෆර්ඩ් ගිහින් නැහැ. මම දීර්ඝ කාලීන දේශපාලනයේ නිරත වූවෙක්.

අවුරුදු 49ක් ඊට අයත්. මම ආණ්ඩුවෙන් එළියට බැස්සේ මගේ පවුලේ පස්දෙනකුගේ ජීවිතය ජාතියට පූජා කරලයි. මේ මැතිවරණයේ එන අභියෝග ගැන දන්නවා. මහින්ද රාජපක්ෂ වැනි කෙනෙකු සමඟ සටනට යන අපේක්ෂකයකුට තිබෙන අභියෝග පැහැදිලියි. මගේ ආරක්ෂාව ඉවත් කරලා මාව තනි කළාට කමක් නැහැ. මගේ ආරක්ෂාව ජනතාවට බාරයි.'

මෙහෙම කීවේ මෛත්‍රීය. ඒ මීට අවුරුදු දෙකකට කලින් සිරිකොතදීය. පනස‍ෙදෙකේ සිට දෙකට බෙදිලා මරාගත්ත පක්ෂ දෙකක් එකට එක් කිරීමේ වැඩේ මෙන්ම වසර ගාණක් ඒකාධිපති ගමනක් ගිය පාලනයක් ගෙදර යැවීමේ 'වෙඩිමුරයද' එකට තියමින් ඔහු එහෙම කීවේය.

පක්ෂය වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු මිනිසා, පක්ෂය වෙනුවෙන් හිරබත් කෑ මිනිසා, පක්ෂය වෙනුවෙන් වැඩ කළ වරදට උසස් පෙළ ලියන්නට මාංචු දාගෙන විභාග ශාලාවට ගිය මිනිසා, රබර් සෙරෙප්පු දෙකක්වත් නැතිව පක්ෂය ගොඩනඟන්නට ගමින් ගමට ගිය මිනිසා, ඩාලි පාරේ පක්ෂ කාර්යාලයේ කාඩ්බෝඩ් එළාගෙන නිදමින් පක්ෂය ගොඩනැඟූ මිනිසා, කුඩා පැල්පතේ සිට පක්ෂයේ මලේකම් දක්වා ආව මිනිසා අන්තිමට පක්ෂයේ ඒකාධිපති වියරුවට එරෙහිව 'පොදු අපේක්ෂකයා' විය.

ඔහුට ඕන වුණේ වියරු පාලනය ආපසු හරවන්නටය. ඒකාධිපති දූෂිත රටාව වෙනස් කරන්නටය. මහින්දගේ ආණ්ඩුවට එරෙහිව කිසිවෙකුත් 'මීක්' නොකියන කාලෙක මේ පුංචි මිනිසා ගත්තේ මිහිපිට මිනිහෙක් ලෙහෙසියෙන් ගන්නා තීන්දුවක් නොවේය.

අනෙක් අතට ඔහු ආවේ තමන් දිව‍ෙහිමියෙන් ආදරය කළ පක්ෂයෙන්ය.

'අපි ඉස්කෝලේ යන ගමන් නොකා නොබී විස්කිරිඤ්ඤා කකා මේ ආණ්ඩුව හැදුවේ. අන්තිමට අපිට සිද්ධ වුණේ ඇටකටු කඩාගෙන, තුවාල කරගෙන, අවුරුදු එකහමාරක් විතර හිරගෙදර ලගින්නයි. මම බණ්ඩාරනායක මැතිනියටවත්, වෙන කාටවත් දොස් කියන්නේ නෑ. මම එදත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ. අදත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ'

මේ කතාව කීවේත් වෙන කවුරුවත් නොව, මෛත්‍රිපාල සිරිසේනය. එහෙම කීවේ අද ඊයේ නොවේ හැත්තෑ දෙකේදීය. 71 අප්‍රේල් 05 පොළොන්නරුව පොලිසියට පහර දුන්නා යයි කියන චේගුවේරාකාරයන් අතර මෛත්‍රිත් සිටියා යැයි ආණ්ඩුවේ පොලිසිය සැක කළේය. චේගුවේරා කල්ලියේ කොල්ලකු ලෙස හංවඩු ගසා මෛත්‍රිව අවුරුද්දයි මාස තුනක් හිරේට දැම්මේ මැතිනියගේ ආණ්ඩුව කාලයේය. මෛත්‍රි නොමැරී බේරුණේ අනූ නවයෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව තියෙද්දීත් මෛත්‍රිට උසස් පෙළ කරන්න වුණේ හිරේ ඉන්නා ගමන්ය. නිකන් නොවේ. මාංචුත් දාගෙනමය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ක මෛත්‍රි දේශපාලනය කළේ ඉස්කෝලේ කොල්ලා කාලයේ සිටමය. මෛත්‍රි ඒ වෙනකොටත් පක්‍ෂය වෙනුවෙන් වැඩ කළ ශ්‍රී ලංකා කාරයෙකි. පක්‍ෂය වෙනුවෙන් වැඩ කරලා පක්‍ෂයේ ආණ්ඩුවක්ම තියෙද්දී හිරේ යන්න වෙච්ච වෙනත් පාක්‍ෂිකයෙකු ලෝකයේ කොහේවත් ඉන්නවාද කියලා නම් දන්නේ නැත.

අවුරුද්දයි මාස තුනකට පස්සේ එළියට ආව මෛත්‍රි දිහා ශ්‍රී ලංකාකාරයෝම බැලුවේ නුහුරටය.

'මම මේ තරම් පක්‍ෂය වෙනුවෙන් නැහිලත් මම දිහා අපේම අය බලන්නේ චේගුවේරකාරයෙක් දිහා බලනවා වගේ'

මෛත්‍රි එවක පොළොන්නරුවේ මන්ත්‍රි ලීලාරත්න විජේසිංහ මන්ත්‍රිවරයාට කීවේ අන්තයටම කලකිරීමෙන්ය.

එහෙත් එහෙම වුණා කියා මෛත්‍රි පක්‍ෂය අත්හැරියේ නැත. පක්‍ෂය වෙනුවෙන් කට්ට කෑවේය.

2015 මෛත්‍රී එළියට එන්නේ එහෙම ආදරය කළ පක්ෂයෙනි.

හැත්තෑ හය වෙනකොට සමඟි පෙරමුණු ආණ්ඩුව අභ්‍යන්තර අරගල මැද තිබුණේ සෙලවෙමින්ය. එවකට මෛත්‍රි ශ්‍රී ලනිපයේ තරුණ සංවිධානයේ ක්‍රියාකාරිකයෙකි. එහි ජාතික සංවිධායක වූ අනුර බණ්ඩාරනායක රටවටා රැගෙන යන වැඩේදී මෛත්‍රිටද තිබුණේ 'ලොකු වැඩක්' පැවරිලාය. අනුර පොළොන්නරුවට ගේන්න මුල් වුයේ මෛත්‍රිය. තරුණ සමුළුව පොළොන්නරුව තෝපාවැව මහ විදුහලේ පැවැත්වුණේ සෑහෙන සෙනඟක් මැදය. මෛත්‍රි කතා කරන්නට පටන් ගනිද්දීම ලැබුණේ නොනවතින හූවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ දේශපාලනය පටන් ගනිද්දීම මෛත්‍රිට ලැබුණේ හූවය. එහෙම බැලුවම මෛත්‍රි නිල වශයෙන් පක්‍ෂයේ සෘජු දේශපාලන වැඩ පටන් ගත්තේ පාක්‍ෂිකයන්ගේම 'හූවෙනි'.

අසූඑකේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පොළොන්නරුවේ සංවිධායකකම මෛත්‍රිට ලැබුණේය. ඒ වෙනකොට හයෙන් පහක බලයක් ගෙන 'රජකම් කරමින්' හිටියේ යූ.එන්.පී.යයි. පක්‍ෂය ගොඩනඟන්නට පාක්‍ෂිකයන් සොයා ගෙන් ගෙට ගිය මෛත්‍රිට උපහාස කළේ පාක්‍ෂිකයෝමය. ගැරහුවේත් පාක්‍ෂිකයෝමය. 'යන්න බයිසිකලයක්වත් නෑ. ගෙදර මනුස්සයෙක්ට වාඩිවෙන්න පුටුවක්වත් නෑ. එහෙව් තමුසේ කොහොමද නෙල්සන් වගේ යෝධයෝ පරද්දන්නේ?' කියා ඇසූ ශ්‍රී ලංකාකාරයෝ බොහෝ විය. එහෙත් එහෙම වුණා කියා මෛත්‍රි පක්‍ෂය අත්හැරියේ නැත. සියල්ල දරාගෙන මෛත්‍රි පක්‍ෂය වෙනුවෙන් දුක්වින්දේය.

අසූ හතරේ ඔක්තෝබරයේ පැවැති මින්නේරිය අතුරු මැතිවරණයේදී මෛත්‍රිට සිදුවූයේ පක්‍ෂයේම අර්බුදයේ ඉත්තෙක් වෙන්නටය. ශ්‍රී ලනිපයෙන් බෙදුණු විජය-චන්ද්‍රිකා මහජන පක්‍ෂය හදාගෙන අතුරු මැතිවරණයට ඉදිරිපත්වූ අතර ශ්‍රීලපනිය වෙනම ඉල්ලුවේය. ඡන්ද ප්‍රතිඵලයෙන් වුණේ ශ්‍රීලනිපය 3ට වැටෙන එකය.

එහෙත් මෛත්‍රි පක්‍ෂය එක්ක සිටියේය.

83 මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ පක්‍ෂය තිබුණේ අනුර පිලයි, මැතිනියගේ පිලයි ලෙස දෙකට බෙදිලාය. මුල්කිරිගල ඡන්දෙට චමල් දාන්න මැතිනිය දඟලද්දී නිරූපමා දාන්න අනුර දැඟලුවේය. මෛත්‍රි අනුරගේ කාර්ය මණ්ඩලයේ සිටියත් මැතිනියගේ තීරණයට එකඟව උන්නේය. මෙයින් කිපුණු අනුර කළේ මෛත්‍රිව කාර්ය මණ්ඩලයෙන් ඉවත් කරන එකය. පසුවදා කාර්යාලයට යද්දී මෛත්‍රිගේ පුටුව තිබුණේ නැත.

94 පොදු පෙරමුණු ආණ්ඩුව ආවමත් මෛත්‍රිට වුණේ කැපිල්ලකි. වාරිමාර්ග හා විදුලිබල නියෝජ්‍ය ඇමැතිකම ඔහුගේ නම ඉදිරියෙන් තිබුණත් අන්තිමට ලැබුණේ විදුලි බලය හැලුණු 'වාරිමාර්ග නියෝජ්‍ය ඇමැතිකම'ය. එහෙත් එහෙම වුණා කියා මෛත්‍රි පක්‍ෂය අතෑරියේ නැත. මෛත්‍රි පක්‍ෂය වෙනුවෙන් සිටියේය.

ධර්මසිරි සේනානායක අභාවප්‍රාප්ත වුණාම පක්‍ෂ මහ ලේකම්කම හිමිවෙන්නට නියමිතව සිටියේ මෛත්‍රිටය. එහෙත් පක්‍ෂ නායිකාව වූ චන්ද්‍රිකාගේ ආශීර්වාදය ලැබුණේ එස්.බී.ටය. පක්‍ෂ නායිකාව එස්.බී.ට විවෘතවම උදවු කළාය. මධ්‍යම කාරක සභාවේ ඡන්දය විමසන වේලාවේ ඈ අත ඉස්සුවේ එස්.බී. වෙනුවෙන්ය. අන්තිමට රොස්මිඩ් ප්ලේස්වල සිටි මැතිනිය මෛත්‍රිගේ පරාජය අසා කම්පිතව හඬා වැටුණාය. එහෙම දිනපු එස්.බී. නැවතුණේ එජාපයේය. ලස්සනම වැඩේ වුණේ ඊට පස්සේ චන්ද්‍රිකාම මෛත්‍රිව පක්‍ෂ ලේකම්කමට යෝජනා කිරීමය.

එදත් මෛත්‍රිට පක්‍ෂයෙන් ලැබුණේ කැපිල්ලය. කඳුළු පුරවාගෙන මෛත්‍රි පක්‍ෂය වෙනුවෙන් දුක්වින්දේය.

2004 සන්ධාන ආණ්ඩුවේ අගමැතිකම මහින්දට දෙන්න මෛත්‍රි කෙළින් හිටගත්තේය. 2005 ජනාධිපති අපේක්‍ෂක කම මහින්දට අරන් දෙන්න මෛත්‍රි කෙළින් හිටගත්තේය. ඒ මදිවට දැන් මහින්ද ගාව 'ආරක්‍ෂකයන්' වගේ ඉන්න නඩේ බොහෝමයක් දෙනා 2005 - 2010 ජනාධිපතිවරණ සටනේදී 'හොරගල් අහුලද්දී' මෛත්‍රි මහින්දව කරේ තියාගෙන ගියේය.

පක්‍ෂය ඇතුළේ ඉස්සරහට එන්න මෛත්‍රිට තරම් අවහිරයක් මහින්දට තිබුණේ නැත. පවුල් පසුබිමද තිබුණේ මහින්දට වාසිදායක විදියටය. ශ්‍රීලනිපය හදන්න බණ්ඩාරනායක මහතා එක්ක පිටිපස්සෙන් ආව ඩී.ඒ.රාජපක්‍ෂ මහින්දගේ පියා වෙච්ච එකද වාසියක් විය. ඒ මදිවට අනුර බණ්ඩාරනායක මහින්දගේ හිත මිතුරාය. ඒ සේරම තිබුණේ මහින්දට වාසි වෙන විදියටය. ඉතින් මහින්ද කොහොමත් බැට් කළේ වාසිදායක පිටියකය.

එහෙත් පක්‍ෂයේ නායකත්වය අරන් ජනාධිපති වෙලත් පක්‍ෂයට සැලකුවේ නෑ කියන චෝදනාවෙන් ගැලවෙන්න මහින්දට අමාරුය.

'මහින්ද පක්‍ෂයට සලකන්නේ නෑ. එයා සලකන්නේ යූ.එන්.පී. කාරයන්ටයි, විමල්ටයි විතරයි'

මහින්දගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාකාරයෝ කීවේ එහෙමය. ඒ දවස්වල කැබිනට් එක දිහා බැලුවම ඒ කතාවේ බොරුවක් පේන්නට තිබුණේද නැත. බැසිල් හැරුණු කොට 'බර ඇමැතිකම්' සේරම තිබුණේ පිටින් ආව අයටය. පක්‍ෂය වෙනුවෙන් කැපවුණු ජ්‍යෙෂ්ඨයන්ට සිද්ධ වුණේ කොනකට වී ඉන්නටය. සුපිරි ශ්‍රී ලංකාකාරයෝ ගොන්නක්ම තල්ලු වුණේ 'ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු' ගොඩටය. ඒ අය උන්නේ හූල්ලමිනි.

අඩු තරමේ අවුරුදු 20කට කිට්ටුව ආණ්ඩු කරලත් පක්‍ෂයට හරි හමන් මූලස්ථානයක්වත් හදාගන්නට මහින්දට බැරි වුණා කියා කියන්නේ පාක්‍ෂිකයෝය.

ශ්‍රී ලංකාකාරයෝ මෛත්‍රිට බනින්නේ ඔහු පක්‍ෂයෙන් ඉවත් වී ගිහින් පක්‍ෂයේ අපේක්‍ෂකයාට එදිරිව ඡන්දය ඉල්ලුවා කියාය. හැබැයි පැරැදුණු පක්‍ෂයේ බොහෝදෙ‍ෙනකුට ඇමැතිකම් ලබාදී පාක්‍ෂිකයාට නොපැරදුණු ගාණට ඉන්න ඉඩ ලබාදුන්නේ මෛත්‍රි බව ඒ අය සිතන්නේ නැත. ආණ්ඩුවක් වෙනස් වූ ගමන් මේ රටේ උඩ සිට පහළට සිද්ධවෙන අලකලංචි නොදන්නා කෙනෙක් නැත. අසීමිත දේශපාලන පළිගැනීම් අස්සේ බොහෝ ‍ෛනකුට විඳින්නට වෙන මානසික හා ශාරීරික කම්පන ගැන අපේ රටට ඇත්තේ කප් ගැසූ ඉතිහාසයක්ය.

වසර විස්සකට පස්සේ ශ්‍රී ලනිපය පරාජය වුවත් එසේ වූ බවක් නොදැණෙන ගාණට පාක්‍ෂිකයන්ට ඉන්නට පුළුවන් වී තිබෙන්නේ මෛත්‍රි නිසා බව ගොඩක් අයට අමතකය. පක්‍ෂය අත්හැර දමා තමාට ඡන්දය දුන් අය ගැන විතරක් හිතුවා නම් අද ශ්‍රී ලංකාකාරයෝ ඉන්නේ කොතැනද කියා හිතා ගන්නත් බැරිය. එහෙම බැලුවම පක්‍ෂයේ හිටපු මහින්දට වඩා පක්‍ෂයෙන් ගියා කියන මෛත්‍රි පක්‍ෂය රැකලාය.

ඔහු ආණ්ඩුව හැදුවේ එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙලාය. වසර විස්සක් බලය නොලැබ සිටි එජාපයට බලය ගන්න ශ්‍රීලනිපයේ මහලේකම් උදවු කළේය. විසි වසරකට පස්සේ එජාපය ආණ්ඩුවක් හැදුවේ එහෙමය.

ආණ්ඩුව හැදුවේ අමුතු විදිහකටය. ඒ කියන්නේ පක්ෂ දෙකම එකතු වෙලාය. සියල්ලටම වඩා වටින්නේ ඒකය. පක්ෂ දෙක දෙකක් බව ඇත්තය. එකකට එකක් නොපෑහෙන රේල් පීලි දෙකක් බව නොදන්න කෙනෙක් නැත. එහෙත් ජනතාව පටවාගත් දුම්රියට ධාවනය වන්නට ඒ රේල් පීලි දෙක එහෙම තිබීම වරදක් ද? එන දුම්රිය කුඩුසංකායම් වෙන්න කියා රේල් පීලි දෙක් වෙන් වෙනවා නම් ඉතිං ජනතාවට දෙයියංගේම පිහිටය.

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා