වල් බූරු නිදහස

 ඡායාරූපය:

වල් බූරු නිදහස

අපරාධකරුවන් නිදොස් කරනවා

රජයේ ආයතනවලත් රජයට එරෙහි නාළිකා

මාධ්‍ය මර්දකයෝ නිදැල්ලේ

"අපි මාධ්‍ය නිදහස ලබා දුන්නේ දේශපාලඥයන්ගේ ඕනෑකම්වලට නටන්න නොවෙයි. නිවැරදි දේ ලෝකයට සමාජයට දෙන්නයි. අද අපිව අවහිර කරන අපේ වැඩවලට ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය ප්‍රධානනීන්ට මම බොහොම ගෞරවයෙන් කියනවා අපිට ගහලා, අපිව දුර්වල කරලා, අමාරුවෙන් ඔබලාට ලබා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හලන්න එපා කියලා මම කියනවා"

ඉහතින් උපුටා දැක් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළුගඟ දියවර මංගල්‍යයේදී කළ කතාවෙහි සංවේදී කොටසකි. මෙය මාධ්‍ය වෘත්තිකයන් අතර බැරෑරුම් ලෙස සාකච්ඡාවට ලක් විය යුත්තකි. එවැනි වෘත්තිකයන් හිඟ වුවද ඒ සාකච්ඡාව වැදගත් වනු නිසැකය.

ජනමාධ්‍ය යනු හතර වැනි ආණ්ඩුව යැයි කියනු ලැබේ.

ඒ අනුව ජනමාධ්‍ය රාජ්‍ය පාලනයේ හවුල් කාරයෝය.මෙහිදී රජය, ආණ්ඩුව සහ දේශපාලන පක්ෂවල ස්‍වභාවය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ නිරානුකූල අවබෝධයක් ජනමාධ්‍යවේදියාට අවශ්‍ය වේ. මේ ටික පටලාගත් කල සිදු වන්නේ අසත්‍ය පදනම් කරගත් වාර්තාකරණයෙන් පාඨකයා හෙවත් ජනතාව නොමග යැවීමය. අසත්‍යය සත්‍යය හැටියට සමාජගත වීමය.

පසුගිය දශකයක පමණ කාලය ගත් විට හිතන්නටවත් බැරි විදියේ රූපවාහිනී සහ FM නාළිකා රැසක් ප්‍රාදුර්භූත විය. මේ ඇතැම් නාළිකා කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘති බවට පත් විය. ඇතැම් පුවත්පත්වල උපත හා විපතද එසේමය. මේවායෙහි මාධ්‍යවේදීන් හැටියට සේවය කරන්නන්ගෙන් බහුතරයක් ජනමාධ්‍යවේදයේ අයන්නවත් නොදන්නා බවට විවාදයක් නැත. එහෙත් ඔවුහු රට, ජාතිය, ආගම යනාදී බොහෝ මාතෘකා පිළිබඳ ඔස්තාද්වරු වෙති.

නිවැරදි තොරතුරු වාර්තාකරණය රිටකින්වත් ඇල්ලීමට ඔවුහු සුදානම් නොවෙති. වහලා තම යදම්වලට ආදරය කරන්නාක් මෙන් වාර්තාකරණය යැයි වරදවා වටහාගත් භාවිතයෙහි දිගටම එල්ලී සිටිති.

රාජ්‍ය මාධ්‍ය ආයතනද මේ දෝෂයෙන් මුළුමන්ම මිදී නොමැත. මේවායෙහි සේවය කරන්නන්ගෙන් ඇතැම් අයද වැඩවසම් පන්නයේ ඒකාධිපතියකු රජකු යැයි ඔජවැඩූ මාධ්‍ය සංස්කෘතියක පෝෂණය ලැබූ අය වෙත්. පසුගිය වසරේ පැවති රාජ්‍ය උත්සවයක ජාතික ගීය සිංහල හා දෙමළ භාෂා දෙකින්ම ගායනා කිරීමට එරෙහි වන්නට තරම් පසුගාමී චින්තනයක ඔවුහූ පසු වූහ.

යුද්ධය අවසන් වීමෙන් පසුව ජයෝන්මාදය මාධ්‍යයෙහි අක්ෂය බවට පත් විය. රෙජීමය මෙය ජනමනසෙහි උන්මාදයක් බවට පත් කළේය. යුද්ධය සිංහල බෞද්ධ ජනතාවට එරෙහිව දෙමළ ජනතාව විසින් දිය කරන ලද්දක් බවත් යුද්ධ ජයග්‍රහණය සිංහල බෞද්ධයන්ගේ ජයක් බවත් ජනතාවට ඒත්තු ගන්වන ලද්දේ දේශපාලන අවස්ථාවාදය නිසාය.

දේශප්‍රේමයේ මුවාවෙන් රාජ්‍ය දේපළ කොල්ල කෑම, යුද්ධය ජයග්‍ර‍හණය කළේ තම හැකියාවෙන් නිසා පවුලේ සාමාජිකයන්ට සදාකල් පාලන බලය හිමි විය යුතු යැයි සිතා කටයුතු කිරීම, ආරක්ෂක අංශවල ඇතැම් කොටස් යොදවා විරුද්ධ මතධාරීන් හා සෘජු ප්‍රතිපත්ති ඇති මාධ්‍යවේදීන් ඝාතනය කිරීම රෙජීමයේ ලක්ෂණය විය.

මෙයට එරෙහිව සෙමින් හෝ මහජන ව්‍යාපාරයක් වර්ධනය වූයේ සිවිල් සංවිධානවල මූලිකත්වයෙනි. යහපාලන ආණ්ඩුව ගොඩ නැගීමේ තීරණාත්මක සාධකයක් බවට පත් වූයේ එයයි. එවකට රටේ පැවති ජනමාධ්‍ය ආයතන බහුතරයක් රෙජීමයේ මාධ්‍ය හැටියට හොඳින් හෝ නරකින් හැඩ ගස්වනු ලැබ තිබිණ. 2015 දේශපාලන පෙරළියෙන් පසුවද මාධ්‍ය සංස්කෘතියෙහි වෙනසක් සිදු වූයේ නැත. සිදුවූ එකම වෙනස රජෙකුගේ අනුහසකින් තොරව ක්‍රියාත්මක වීමේ නිදහස මාධ්‍යයට ලැබීමය. මේ නිදහසින් රාජ්‍ය මාධ්‍ය උපරිම ප්‍රයෝජනය ගැනීමට අසමත් විය. ඊට ප්‍රධාන වශයෙන් හේතු වූයේ මාධ්‍යවේදීන් එවැනි පූර්වාදර්ශ ලබා නොතිබීමයි.

ඉබිගමනෙන් හෝ යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කළ මහජන යහපතට හේතු වූ තොරතුරු පනත, ස්වාධීන කොමිෂන් සභා, අතරුදවූවන් පිළිබඳ කාර්යාලය, සංවර්ධන ව්‍යාපෘතිවලදී ටෙන්ඩර් පටිපාටිය නිවැරදි කිරීම, උගත් පාඩම් කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම යනාදී කටයුතු පිළිබඳ ප්‍රමාණවත් වාර්තාකරණයක් රාජ්‍ය මාධ්‍යයෙන් සිදු නොවීය. ඊනියා දේශප්‍රේමය වපුරමින් බිහිසුණු ඒකාධිපතිත්වයකට පාර කපමින් තිබූ මාධ්‍යවලට මේවායෙහි වටිනාකමක්ද නොපෙනිණ. රණවිරු වන්දනාව, ආගමික වහන්තරාවල් සහ මිථ්‍යාව සමාජගත කිරීමෙන් එපිට මාධ්‍ය භාවිතයක් ඔවුන් ප්‍රගුණ කර තිබුණේද නැත.

රෙජීමයට ගැති මාධ්‍ය සියල්ල මාධ්‍ය නිදහසින් අයුතු ප්‍රයෝජන ගත්තේය. එම ආයතන හැසිරුණේ රෙජීමයට තවමත් රාජ්‍ය බලය ඇතිය යන හැඟීමෙනි. මේ නිසා රජයේ හැම අලුත් වැසටහනක්ම සරදමට ලක් කිරීම හා විවේචනය කිරීම එම මාධ්‍යවල ලක්ෂණය බවට පත් විය.

බොහෝ රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක වන රූපවාහිනී තිර රාජ්‍ය මාධ්‍ය වෙනුවෙන් විවර වී නැත. එම ආයතනවල සේවය කරන්නන් සහ සේවාලාභීන් උදේ හවා දකින්නේ ආණ්ඩුවට පළු යන්න පහර දෙන වැඩසටහන්ය. මෙහිදී මේවා නරඹන අසන සැමගේම මනසෙහි චිත්‍රණය වන්නේ රටට කිසිවක් නොකරන, භික්ෂූන් හා රණවිරුවන් හිරේ දමන, රට බෙදන දේශද්‍රෝහී ආණ්ඩුවකි.

මීට ඇති විසඳුම රජයේ මාධ්‍යවලට අවස්ථාව දෙන දෙන මෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට නියෝග පැනවීම යැයි කිව යුතු නැත. අඩු තරමින් රජය ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ රාජ්‍ය නිලධාරීන් හා ආයතනවලට පැමිණෙන සේවාලාභීන් දැනුවත් කිරීම සඳහා රාජ්‍ය රූපවාහිනී නාළිකා සහ ගුවන් විදුලි නාළිකාවලට ඉඩ දිය යුතු යැයි රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කිරීමේ සදාචාරාත්මක අයිතිය රජයට තිබේ.

මෙසේ පවතින රික්තය පිරවෙන්නේ නොදැනීම රජයට එරෙහි විශාල ජනමතයක් නිර්මාණය වීමෙනි.

රෙජීමයෙහි මර්දනයට බියෙන් රට හැරගිය මාධ්‍යවේදීන්ගෙන් බොහෝ දෙනකු ආපසු පැමිණ නැත. ඇතැමුන් නව පරිසරයට අනුගත වී සිටින බව පෙනේ. ඇතැමුන් නගන චෝදනාව සාධාරණය.

"රාජපක්ෂ යුගයේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම ගැන පරීක්ෂණ කර දඬුවම් දීම තවම කෙරිලා නැහැ. පහරදීම් සම්බන්ධයෙනුත් එයමයි. රූපවාහිනී සේවකයන්ට ආයුධවලින් තුවාල කිරීමේ සිදුවීම් සඳහා වන්දි ගෙවීම පමණක් ප්‍රමාණවත් නෑ. නීතියෙන් දඬුවම් අවශ්‍යයි"

එතෙර සිටින මාධ්‍යවේදීන්ගේ චෝදනාවල පදනමක් ඇත. මාධ්‍ය මර්දකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීම යනු මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ පළමු පියවරයි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා