පාර්ලිමේන්තුවේ අඩුවෙන්ම කතා කර, වැඩි යමක් කරන කථානායක

 ඡායාරූපය:

පාර්ලිමේන්තුවේ අඩුවෙන්ම කතා කර, වැඩි යමක් කරන කථානායක

ගරු කථානායක තනතුර ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂි මෙන්ම සම්භාවනීය තනතුරකි. ශ්‍රී ලංකාවේ පුරවැසි ප්‍රමුඛතා නාම ලේඛනයේ ජනාධිපතිවරයා පළවෙනි පුරවැසියා වන අතර අග්‍රාමාත්‍යවරයා දෙවැනි පුරවැසියා වේ. රටේ තුන්වැනි පුරවැසියා වන්නේ කථානායකවරයාය. පාර්ලිමේන්තු සම්ප්‍රදායේ උපත සිදුවූයේ මහා බ්‍රිතාන්‍යයේය. වසර 1415 ගතවෙත්ම බ්‍රිතාන්‍ය රාජ්‍ය පාලනය, රජුගේ පාලනයේ සිට පාර්ලිමේන්තු ක්‍රමය දක්වා විකාශය විය. මෙම රාජ්‍ය පාලන ක්‍රියාවලියේ පාර්ලිමේන්තු ක්‍රමය ආරම්භ වු මුල් වකවානුවේ දී පාර්ලිමේන්තුවේ මුලසුන ගනු ලැබුවේ රජු විසිනි. මෙහිදී රජ්ජුරුවන්ට කරුණු ඉදිරිපත් කිරීමටත්, තම තමන්ගේ දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමටත් ජනතාවට සෘජුව අවස්ථාවක් නොලැබිණි. එබැවින් ජනතා දුක්ගැනවිලි ආදිය දන්වා එම සේවය රජුට ඉටුකරනු ලැබුවේ රදළ පෙලපතින් පැවත ආ රාජකීය නියෝජිතයකු මඟිනි. එම නියෝජිතයා කථානායක (Speaker) නම් වූ, ධුරයෙන් බ්‍රිතාන්‍ය වැසියා පිළිගන්නා ලදී.

මෙම පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇති වීමත් සමඟ මසකට කිහිප වරක් රජතුමන්ට නිතර නිතර පාර්ලිමේන්තුවට පැමිණීමට තිබු අවකාශය අඩුවිය. එබැවින් රජුගේ නියෝජිතයා ලෙස මෙම රාජකීය නිලධාරියා වන කථානායක, පාර්ලිමේන්තුවේ මුලසුන ගැනීමට රජු විසින් පත් කරන ලද අතර, පසුකාලීනව කථානායක ධුරය පාර්ලිමේන්තුවට රජු විසින් පිරිනමා ඇත.

එසේම රාජ සභාවට (සභා ගර්භයට) රජු වෙනුවට රජුගේ මහත්වු තේජස පෙන්වීමට රාජකීය සෙංකෝලය කථානායකතුමන් පෙරටුව වේත්‍රධාරී විසින් ගෙන ඒමද මෙහිදී ආරම්භ විය. ඒ අනුව කථානායකවරයා රජු විසින් පාර්ලිමේන්තුවට ප්‍රදානය කළා සේම, රාජ්‍යත්වය සංකේතවත් කළ සෙංකෝලයත් හා ආරක්ෂකයා වශයෙන් වේත්‍රධාරීවරයාත් රජු විසින් පාර්ලිමේන්තුවට ප්‍රදානය කර ඇත.

පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කථානායක ධූරය ඉතා සම්භාවනීය ධුරයක් වශයෙන් පාර්ලිමේන්තු ක්‍රමය තුළ කිරුළු දැරීම තව තවත් වැඩි වූයේ, වසර 1642 දී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වු විශේෂ සිදුවීමකිනි. මෙම සිද්ධියට මුහුණ දුන්නේ එවකට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මුලසුන දැරූ “විලියම් ලෙන්තල්” කථානායකවරයාය. එයට හේතු වූයේ බ්‍රිතාන්‍යයේ රජකම් කළ “දෙවන ජේම්ස් රජුට” අවනත නොවූ රාජ්‍ය නියෝජිතයින් (මන්ත්‍රීවරුන්) පස් දෙනෙකු තමා ඉදිරියට පමුණුවන ලෙස කථානායකවරයාට නියෝගයක් නිකුත් කිරීම හේතුවෙනි.

මෙම රාජ ආඥාවට කථානායකවරයා වැඩි සැලකිල්ලක් නොදැක්වු බැවින්, රජුට වේදනාවක් ඇති වුවා මෙන්ම රාජ පරම්පරාවට අපහාස කළා යැයි හැඟීමක් ද ඇතිවූ බව කියැවේ. මෙම සිත් වේදනාව මුල්කර ගත් “ජේම්ස් රජු”ඉතා හදිසියේම පාර්ලිමේන්තුවට පැමිණ කථානායක අසුන සමීපයට ගොස් තමාගේ පැමිණීම සාධාරණය කර අදාළ මන්ත්‍රීවරුන් නොපමාව තමාට භාරදෙන ලෙස “ලෙන්තල්” කථානායකවරයාගෙන් ඉල්ලා ඇත.

මෙසේ රජු පාර්ලිමේන්තුවට පැමිණෙන බව කලින් දැන සිටි කථානායකවරයා චෝදනාවට ලක්වු මන්ත්‍රීවරුන් පස් දෙනා රජුට නොපෙනෙන ලෙස පාර්ලිමේන්තුව තුළ සඟවා තැබා ඇත. රජු හඩනගා කතා කරද්දීත් කථානායකවරයාගේ වූ නිහඬතාවය නිසා, එම පස්දෙනා නොපමාව තමාට භාරදෙන ලෙස නැවත නැවතත් කථානායකවරයාට රජතුමා අණ කර ඇත. මෙම අවස්ථාවේ කථානායකවරයා රජු අමතමින්, නිහතමානි ලෙස පහත දක්වන ‍‍‍ඓතිහාසික ප්‍රකාශය කළ බව ලෝක පාර්ලිමේන්තු ඉතිහාසය සම්බන්ධ ග්‍රන්ථයන්හි සඳහන්ව ඇත.

“ උතුමාණෙනි, මෙම සභාවේ සේවකයකු වන මට මෙම සභාව විසින් නියමකර ඇති පරිදි, ඔබ වහන්සේ මගෙන් අසන ලද පැණයට හා දුන් නියෝගයට පිළිතුරු වශයෙන් කීමට ඇත්තේ මෙම ස්ථානයේදී මට දැකීමට ඇස් හෝ ඇසීමට කන් හෝ නොමැති බව පමණකි”.

මෙම ඓතිහාසික ප්‍රකාශයෙන් රජු කෝප කීරීම වෙනුවට රජු නිහඬ කිරීම පිණිස, මෙන්ම රාජ්‍යත්වය හා පාර්ලිමේන්තුව අතර ඇති සබැඳියාව හා පරතරය රජුටම අවබෝධ කර ගැනීමට පදනමක් සකස් කරමින්, තමන් පත්වීම ලැබු පාර්ලිමේන්තුවේ ගරුත්වය හා සම්භාවනීයත්වය ආරක්ෂා කරමින්, කථානායක ධුරය අපක්ෂපාතී මෙන්ම සම්භාවනීය තත්ත්වයට පත් කිරීමට ලෙන්තල් කථානායකවරයා සමත්විය. මෙම නිර්භය ක්‍රියාවත් සමඟ කථානායක ධුරය පාර්ලිමේන්තු ක්‍රමය තුළ මහත් පිළිගැනීමට හේතුවිය.

මේ අයුරින් පාර්ලිමේන්තු ක්‍රමය දියුණුවෙන් දියුණුවට පත්වී පෝෂණය වීමෙන් පසු කථානායකවරයා පාර්ලිමේන්තුවේ නායකයා ලෙසත්, පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගේ බලතල හා වරප්‍රසාද ආරක්ෂා කරන්නා ලෙසත් නිරායාසයෙන්ම පත්වු අතර පාර්ලිමේන්තුවේ භාරකරුවා හා රැකවලා බවට පත්විය. තවද, පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය හා ව්‍යවස්ථාමය බලාධිකාරයේ සංකේතය බවට රාජකීය “සෙංකෝලය” බලාත්මක විය. ඒ සමඟම වේත්‍රධාරීවරයා කථානායකවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් වගකියන රාජ්‍ය නිලධාරීයා බවටද පත්විය.

කථානායකවරයා ඉතාමත් දර්ශනීය හා ගාම්භීර ස්වරූපයක් ගන්නේ එතුමාගේ රාජකීය නිළ ඇඳුමෙනි. මෙම නිළ ඇඳුම ඉතාමත් අඟනා එල්ලා හැලෙන රෙදි වර්ගයකින් නිමකර ඇත. තද කළු පාටින් සමන්විත මෙය රන් පැහැති පටි අල්ලා, ස්වර්ණ වර්ණ නූලෙන් වැඩදමා මසා ඇත. මෙය දිගු ලෝගුවක් වශයෙන් වේ. එසේම මෙම නිළ ඇඳුමේ අනෙක් කොටස වන්නේ හිස පළදනාවයි. ඇත් දළ, වර්ණයෙන් යුත් දුර්ලභ කෙඳි වර්ගයකින් සකසා ඇති මෙය රැලි සහිත වේ.

පොදුරාජ්‍ය මණඩලීය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුගමනය කරන සෑම රටකම කථානායකවරුන්ට මෙම නිළ ඇඳුම හිමිය. නමුත් මෙහි විශේෂත්වයක් වන්නේ මෙය පවත්නා සම්ප්‍රදායක් වශයෙන් භාවිතා කරනවා මිස එය පැළඳීම නීතියක් නොවීමයි. පාර්ලිමේන්තුවට පත්වූ කථානායකවරයකුට තම පෞද්ගලිකව අදහස අනුව නිළ ඇඳුම පැළඳීමට, නොපැළඳ සීටීමට හෝ මෝස්තරයේ යම් වෙනසක් කිරීමට තීරණය කළ හැකිය.

කථානායකවරුන් වෙනුවෙන් සභා ගර්භයට වෙන්ව තිබූ, නිල ආසන (පුටු) ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් අයුරින් ලියවී ඇත. මා, මෙහි සඳහන් කරන විශේෂ කථානායක අසුන 1949 ජනවාරි මස 11 වැනි දින ලංකාවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට මහා බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රී මණ්ඩලයෙන් ලබාදුන් ත්‍යාගයකි. මහා බ්‍රිතාන්‍ය‍යේ VI වැනි ජෝර්ජ් රජුගේ එකඟත්වය අනුව බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින් 11 දෙනෙකු ලංකාවට පැමිණ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකතුමන්ට මෙම ආසනය පාර්ලිමේන්තුවේදී පරිත්‍යාග කර ඇත.

මෙම ආසනය ඓතිහාසික වන්නේ, 2 වැනි ලෝක යුද්ධ සමයේ ජර්මනිය විසින් කිසිදු වග විභාගයකින් තොරව මහා බ්‍රිතාන්‍යට බෝම්බ හෙලීම හේතුවෙන් අර්ධ වශයෙන් විනාශ වූ බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩල ගොඩනැගිල්ලේ, වහලයේ ඕක් ලීයෙන් සාදා සවිකර තිබු බාල්කයක කොටසකින් මෙම ආසනය නිමවා තිබීමයි.

ඉහත කී, රාජකීය ආසනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා භාවිතා කරමින් තිබියදී, 1952 වසරේ දී ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ කථානායකවරට, නැවත වරක් දෙවැනි කථනායක ආසනයක් ත්‍යාගයක් වශයෙන් ලැබී ඇත. මෙය ශ්‍රී ලංකාවේ නිර්මාණය වූවකි. ශ්‍රී ලංකාවේ කළුවර ලී යොදා ගනිමින්, ලංකා බන්ධනාගාරයේ සිටි සිරකරුවන් විසින් ඉතාමත් අලංකාර සියුම් කැටයමින් ආසනය නිර්මාණය කර ඇත. මෙම ආසනයේ ඉදිරි පාද දෙකෙහි කාන්තාවන් දෙදෙනෙකු කැටයම් කර ඇත. මෙම ආසනය භාවිතා කර ඇත්තේ කථානායකවරුන් දෙදෙනෙකු පමණි. ඒ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ සහ එම්.ඒ.අබ්දුල් බාකීර් මාකාර් යන අයයි. (මෙම ආසන දෙකම පාර්ලිමේන්තුවේ ගැරියට ඇතුල් වන මාර්ගයේ, විශේෂිත පීඨිකාවක මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් මේ වන විට තැන්පත් කර ඇත.)

1982 වර්ෂයේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නව පාර්ලිමේන්තු මන්දිරය විවෘත වීමත් සමඟම එහි, සභා ගර්භයට නව කථානායක ආසනයක් හිමිවිය. අසුනේ සිරසට ශ්‍රී ලංකා ජනරජ ලාංඡනයෙන් යොදා ඇත. එසේම පාර්ලිමේන්තුවේ නව සැසිවාරයක් ජනාධිපතිවරයා උත්සව ශ්‍රීයෙන් විවෘත කර, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන දිනයේ දී, ජනාධිපතිවරයාට සභා ගර්භයේ අසුන් ගැනීමට සැකසුණ විශේෂිත ආසනයක් ද පාර්ලිමේන්තුවේ තිබේ. එය කථානායකවරයාට හිමි ආසනයෙන් වෙන් කර හඳුනා ගැනෙන්නේ එහි සිරස ජනාධිපතිතුවරයාට වෙන් වු, නිල සංකේතය ඔබ්බවා තිබීමෙනි.

පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙනුවෙන් නිල නිවාසයක්ද වෙන්ව ඇත. කථානායකවරයා පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මෙම නිල නිවාසයේ විශේෂයෙන් නවාතැන් ගනු ලබයි. පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ මුල්ම නිල නිවාසය වූයේ, කොල්ලුපිටිය මුහුදු වෙරළට මායිම් වු “මුම්ටාස් මහල්” නැමති සංස්කෘතික වටිනා කමක් ඇති පැරණි මන්දිරයයි. මෙය 1948 වසරේදී එවක සිටි කථානායකවරයා පරිත්‍යාගයක් වශයෙන් රජයට භාරගෙන ඇත. වර්තමාන පාර්ලිමේන්තුව ශ්‍රී ජයවර්ධනපුර ඉදිකිරීමෙන් පසු අඟනා මන්දිරයක් කථානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මන්දිරය සමීපයේ ඉතාමත් සුන්දර ලෙස නිමවා ඇත.

එසේම පාර්ලිමේන්තු මන්දිරය තුලද කථානායකවරයා වෙනුවෙන් විශේෂ කාර්යාල සංකීර්ණයක් ද ඇත. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඇත්තේ අසීමිත බලයකි. කථානායකවරයකුගේ බලතල හා වරප්‍රසාද පිළිබඳව, පාර්ලිමේන්තුව අමතමින් ඉතාමත් වටිනා කථාවක්, මහ මැතිවරණයෙන් පසු 3 වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේදී, (1994 අගෝස්තු මස 25 දින) නව කථානායකවරයා පිළිගනිමින් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකව සිටි ගාමිණී දිසානායක මහතා විසින් පවත්වන ලදී. එහි කොටසක් මෙසේ උපුටා දැක්වීමට අදහස් කරමි.

“ගරු කථායකතුමෙනි, තමුන්නාන්සේ අද පත්වී සිටින්නේ ඉතාම දීර්ඝ ඉතිහාසයක් ඇති කථානායක ධූරයටයි. පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ අඩුවෙන්ම කථා කරන මන්ත්‍රීවරයාට කථානායක කියන්නේ මොන හේතුවක් නිසාදැයි යම් කෙනෙක් ප්‍රශ්න කළොත් ඇත්ත වශයෙන්ම එයට වැදගත් හේතුවක් තිබෙනවා. තමුන්නාන්සේ ඔය කථානායක අසුනේ වාඩි වුණාට පසුව තමුන්නාන්සේට කථානායක කියා කියන්නේ, තමුන්නාන්සේ කථා කරන්නේ මුළු පාර්ලිමේන්තුව වෙනුවෙන්ම නිසයි. මේ පාර්ලිමේන්තුවේ ගෞරවය, මේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන්, මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමුන්නාන්සේ හඩ නගන නිසයි. තමුන්නාන්සේ කථානායක වශයෙන් හඳුන්වන්නේ”

(හැන්සාඩ් වාර්තාව 94.08.25 දින 6 වැනි ශිර්ෂය)

පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කථානායකවරයා පාර්ලිමේන්තු රැස්වීමක, සභාගර්භයේ මුලසුන ගැනීමට නියමිත වේලාවට පැමිණෙන්නේ පෙර ලිපියක සටහන් කළ පරිදි දර්ශනීය පෙරහරකිනි. මෙසේ සභාවට සම්ප්‍රාප්ත වන සිය අසුනේ අසුන් ගෙන, නැවත නැගී සිට දෙපාර්ශවයට ආචාර කර, “Order Please” ( “කාරුණිකව නිශ්ශබ්ද වන්න.”) යනුවෙන් පවසනු ලබයි. සභාව නිහඬ වූ පසුව, දිනට නියමිත න්‍යාය පත්‍රය අනුව රැස්වීමේ කටයුතු කථානායකවරයා ඉදිරියට කරගෙන යනු ලබයි.

කථානායකවරයාට පාර්ලිමේන්තුව සම්බන්ධ නීත්‍යනුකූලව බලතල ලැබී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග, පාර්ලිමේන්තුවේ බලතල හා වරප්‍රසාද පනත සහ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් හා පරිචය අනුවය. කථානායකවරයා පාර්ලිමේන්තුවේ ස්වාධීන පුද්ගලයකි. පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින කථානායකවරයාට තීරක ඡන්දයක් පාවිච්චි කිරීමට අවස්ථාව තිබේ.

පාර්ලිමේන්තුවේ විධායකයා වන කථානායකවරයා ජාතික හා අන්තර්ජාතික වශයෙන් පාර්ලිමේන්තුවේ නියෝජිතයා, ප්‍රකාශකයා පමණක් නොව සභාවේ අවසාන බලධාරියාද වේ. එසේම පාර්ලිමේන්තුවේ පැන නගින්නාවු සියලුම කරුණු හා කටයුතු සම්බන්ධයෙන් කථානායකවරයාගේ තීරණය අවසාන තීරණය වේ.

මෙම අතිශය වැදගත් වූ තනතුරේ ව්‍යවස්ථාපිත රාජකාරී කටයුතුවලින් කිහිපයක් වන්නේ, පනත් කෙටුම්පත්වල හෝ ප්‍රජා අශක්නුතාවයට භාජනය කිරීම හා මන්ත්‍රීවරයෙකු සභාවෙන් ඉවත්කර හැරීමට වූ යෝජනා සම්මතයක සහතිකය සටහන් කිරිමත්, ජනාධිපතිවරයා එම නිලයෙන් ඉවත් කිරීම පිළිබඳ යෝජනා සම්මතයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමත්, යම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි වගන්ති හා නොගැටෙන බවට වගබලා ගැනීමත් යන කරුණුය. එසේම, ජනාධිපතිවරයාට එරෙහි දෝශාභියෝග යෝජනාවක් පිළිගත හැක්කේ කථානායකවරයාට පමණි.

නිල බලයෙන්ම කථානායකවරයා පාර්ලිමේන්තුවේ සියලුම කාරක සභාවල සභාපතිවරයා වන අතර, පොදු රාජ්‍ය මණ්ඩල පාර්ලිමේන්තු සංගමය, අන්තර් පාර්ලිමේන්තු සංගමය හා සාර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවන්ගේ සභාපතිවරයාද වේ. තවද, පාර්ලිමේන්තු රීතිවල විශේෂයෙන් බලතල පැවරී නොමැති කරුණු සම්බන්ධයෙන් රීති හා නියෝග නිකුත් කිරීමට කථානායකවරයාට පූර්ණ වූ, බලතල ඇත.

තවද, කථානායකවරයාගේ භූමිකාවේ කෑපී පෙනෙන තවත් වැදගත් අවස්ථාවක් දැකිය හැකිය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 40 ව්‍යවස්ථාව වන, ජනාධිපතිවරයා විසින් ධූරය හිස් කිරීම සහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කළ ගැනීම යන ශීර්ෂය යටතේ, අංක 40 (ඇ) ඡේදයේ උප ඡේදය අනුව කථානායකවරයාට ජනාධිපති වශයෙන් වැඩ බැලීමට අවස්ථාව සලසා ඇත. එහි දැක්වෙන ආකාරයට එය සිදුවන්නේ හිස්වු ජනාධිපති ධූරය භාර ගැනීමට බලය පැවරෙන අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපති ධූරය භාරගත් පසුව එතුමාගෙන් හිස්වන අගමැති ධුරයට කැබිනට් අමාත්‍යවරයකු පත් කළ හැකිය. එහෙත්, ඒ වන විට යම් හෙයකින් අග්‍රාමාත්‍ය ධුරය හිස්ව පවතී නම් හෝ අග්‍රාමාත්‍යවරයාට ජනාධිපති ධුරයේ වැඩ බැලිමට නොහැකි හේතුවක් වන්නේ නම් කථානායකවරයා ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතුය.

කථානායකවරයකු සාමාන්‍යෙයන් තෝරාපත් කරගනු ලබන්නේ පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකිනි. මෙහිදී නිතරඟ යෙන් පත්වන්නේ නම් ඡන්දයට හේතුවක් නැත. එසේම, රහස් ඡන්දයක් පාර්ලිමේන්තුව තුල භාවිතා කරන්නේ ඉතා සීමිත අවස්ථාවලදී පමණි. විශේෂයෙන්ම අවස්ථා දෙකකදී පමණි. 1. ගරු කථානායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා සහ ගරු නියෝජ්‍ය කාරකසභාපතිතුමා තෝරා ගැනීමේදී සහ 2. පාර්ලිමේන්තුව මගින් ජනාධිපතිවරයා පත්කරන අවස්ථාවකදීය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම කථානායකවරයාවන්නේ සර්.ෆ්‍රැන්සිස් මොලමුරේ මැතිතුමාය. මෙතුමා 1931 ජුලි මස 07 වැනි දින සිට 1934 දෙසැම්බර් මස 10 වෙනි දක්වා එම ධුරය දරා ඇත. එම වකවානුව රාජ්‍ය මන්ත්‍රණ සභාව විය.

පසුගිය, 2015 සැප්තැම්බර් මස 01 දින පැවැත්වූ 8 වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමේදී නිතරඟයෙන් පාර්ලිමේන්තුවේ කතානායක වශයෙන් ගරු කරු ජයසූරිය මැතිතුමා තේරී පත්විය.

කථානායක කරු ජයසූරිය මැතිතුමා සම්බන්ධව මෙහිදී කතා කිරීමේදී, පාර්ලිමේන්තුවට අවංක හා සාධාරණ සේවාවක් ඉටුකරන මහත්මා ගති ඇත්තකු වශයෙන් හැඳින්වීම නිවැරදිය. .

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සංහිඳියාව පිළිබඳ අවශ්‍යතාවය හා වැදගත්කම මැනවින් අවබෝධ කරගත් මෙතුමා එය ගොඩනැංවීමට ජාති, ආගම් හා පක්‍ෂ භේදයකින් තොරව සියළු පක්‍ෂ නියෝජිතයින්ගේ හා සර්ව ආගමික නායකයින්ගේ සහයෝගය ලබා ගනිමින් පවත්වනු ලබන සාකච්ඡා හා වැඩමුළු මේ වන විට ඉතා සාර්ථක මට්ටමක පැවතීම ප්‍රශංසනීය වේ.

මෙම කටයුත්ත වෙනුවෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ඇති කිරීමටත් එතුමා උපදෙස් ලබා දී ඇති බව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා එක් සමුළුවක් අමතමින් කල කතාව සතුටට කරුණකි. කරු ජයසූරිය කථානායකවරයා මෙම උතුම් කටයුත්ත පාර්ලිමේන්තු භුමියට පමණ් සීමා නොකොට දිස්ත්‍රික් මට්ටමින් සමුළු පවත්වා රටේ ජනතාව දැනුවත් කර මුළු රටම වාද,හේද දුරැර සාම මාවතකට ගෙන ඒමට දක්වන උත්සහායට මෙරටේ ආගමික නායකයින්ගේ නොමද ප්‍රසාදය හිමි වීම අප රට වැසියන් ලැබූ භාග්‍යයයකි.

මේ අනුව කථානායකවරයා යනු, පක්‍ෂ භේදයකින් මිදුනු නායකයෙකි, යන අරුත තිර කිරීමක් බව සිතමි.

 

[පී. ලක්ෂ්මන් කුමාර - පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය]

මාතෘකා