සබාගැබේ නාඩගම්වලට දෙන දඬුවම් ඇතිද?

 ඡායාරූපය:

සබාගැබේ නාඩගම්වලට දෙන දඬුවම් ඇතිද?

පාර්ලිමේන්තුවේ උත්තරීතර බව නිරූපණය වන්නේ මහජන නියෝජිතයන් කටයුතු කරන ආකාරය අනුව යැයි කිසිවෙකු උපකල්පනය කරන්නේ නම් මෙරට ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කටයුතු කරන ආකාරය පිළිබඳ නැවත සිතා බැලිය යුතුය. පාර්ලිමේන්තුවේ සභා ගර්භය මැදට පැන අශෝභන අන්දමින් හැසිරෙන, අසභ්‍ය කතා කියන, සෙංකෝලය උදුරාගෙන යාමට උත්සාහ කරන, මූලාසනයට කීකරු නොවන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගැන හැම පාර්ලිමේන්තු වාරයකදීම වාගේ අසන්නට දකින්නට ලැබෙන තත්ත්වයක් ඇතිවී තිබේ.

එහෙත් පාර්ලි‌‌මේන්තු මන්ත්‍රීවරුන් සභාගැ‌බේදී පිළිපැදිය යුතු හැසිරීම් රටාව සහ විවාදයන්හිදී පිළිපැදිය යුතු ක්‍රියා පිළි‌වෙත් නියාමනය කිරීමට ‘ස්ථාවර නියෝග’ නම් නීති සමුදායක් පාර්ලි‌මේන්තු‌ව සතුවේ. විවාදවලදී පිළිපැදිය යුතු නීති, කතාවක් පවත්වන සහ කතා ‌නොකරන මන්ත්‍රීවරුන්ට අදාළ නීති සහ සභාගැ‌බේදී පිළිපැදිය යුතු රීති ආදිය ස්ථාවර නි‌යෝගවල පැහැදිලිව සඳහන් වේ. නව ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන චර්යා ධර්ම පද්ධතිය ඉකුත් මාර්තු 07 වැනිදා පාර්ලිමේන්තුවේදී අනුමත වූ අතර එය පසුගිය අප්‍රේල් මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවීමකදී ඒ වෙනුවෙන් සාධාරණය ඉටුකිරීමට වරප්‍රසාද කමිටුවක් ද මෙම ස්ථාවර නියෝග යටතේම ක්‍රියාත්මක වේ.

තත්ත්වය එසේ තිබියදී පාර්ලිමේන්තු රැස්වීමකදී විනය විරෝධී සහ අශෝභන ලෙස හැසිරෙන මන්ත්‍රීවරයකුට ස්ථාවර නියෝග යටතේ දඬුවම් කළ හැකි වුවද යළි වරප්‍රසාද කමිටුවේදී ඔහුට ඒ වෙනුවෙන් රැකවරණයක් ලැබෙන තත්ත්වයක් තිබේද යන්න ප්‍රශ්නයකි. ස්ථාවර නියෝගවලින් විනය විරෝධී මන්ත්‍රීවරු මෙල්ල කිරීමට ලැබෙන්නේ කුමන බලයක්ද? නැත්නම් එවැන්නන් මෙල්ල කිරීමට එම නීති ප්‍රමාණවත් නැද්ද? මේ, ඒ පිළිබඳ කිහිප දෙ‍ෙනකු කළ අදහස් දැක්වීමකි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්] [නිර්මාණි බණ්ඩාරනායක]


සුව කරන්න බැරි ලෙඩක්

නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න

මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ හැසිරෙන්න ඕනේ ආකාරය අපේ රටෙන් ආරම්භ වුණ ඒවා නෙමෙයි. බ්‍රිතාන්‍යය ධනේශ්වර පාලනය යටතේ හැඳුණු පාර්ලිමේන්තු ක්‍රමවේදයක් තියෙනවා. ඒත් ඒ ක්‍රමයට පටහැනිව මේ රටේ මැති ඇමතිවරු පාර්ලිමේන්තුව කඩාකප්පල් කිරීම වඩා හොඳ යැයි කියා තමයි මේ වගේ කැරලිකාර විදියට හැසිරෙන්නේ. ඔවුන් එයින් බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුව කරගෙන යන්න බැහැ, ආණ්ඩුව ඉවරයි කියන මානසිකත්වයක් ජනතාව තුළ ඇති කරන්න. මේක නිට්ටාවටම සුව කරන්න බැරි ලෙඩක් කිව්වොත් හරියටම හරි. ෆැසිස්ට්වාදී මානසිකත්වයෙන් තමයි ඔවුන් මේවා කරන්නේ. පාර්ලිමේන්තුවේ නොමනා හැසිරීම ෆැසිස්ට්වාදීන්ගේ සටන් ක්‍රමයේ ලක්ෂණයක්. ඉස්සරත් සමහරු කිව්වා "පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනේ" කියලා. ඒකෙම තවත් එක දිගුවක් තමයි මේක.


සාමාන්‍ය දෙයක්

 පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

පාර්ලිමේන්තුවේ යම් යම් දිනවල උද්ගත වන නොසන්සුන්තාවයන් සහ අවුරුද්ද පුරාම කරන හරවත් විවාද ගණන් කරලා බැලුවාම අපිට පේනවා පාර්ලිමේන්තුවේ සභා ගර්භය තුළ ඒ වගේ නොසන්සුන්තාවයන් සිදුවෙලා තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් කියලා. කතානායකවරයාගේ ක්‍රියාකලාපය උඩ තමයි මේ වගේ නොසන්සුන්තාවයන් ඇති වෙන්නේ. ඒ අනුව මැති ඇමතිවරුන්ගේ යම් සීමාව ඉක්මවා යාම් තියෙනවා. පාර්ලිමේන්තුවේ චර්යා ධර්ම සම්මත කරලා තියෙනවා. ඒ අනුව තමයි වරප්‍රසාද කමිටුව රැස් වෙලා තීන්දු දෙන්නේ. එසේ තීන්දු දෙනවිට කමිටුව දකිනවා විශාල බරපතළ දේවල් සිද්ධ වෙලා නැහැ කියලා. ඒ නිසා තමයි ලිහිල් දඬුවම් ඔවුන්ට ලබාදෙන්නේ. පාර්ලිමේන්තුවේ නොසන්සුන් දේවල් ඇති වන විරල දවස් ටික විශේෂ කරලා දක්වන්න ඕනේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්.


දඟගෙයි නොදමා සිටීමේ වරද

ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

 පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට වරප්‍රසාද දෙන්නේ ජනතාවට සේවය කිරීමට මිසක් අනිත් අයට පරිභව කරන්න නෙමෙයි. වරප්‍රසාදවලට මුවාවෙලා ඔවුන් මේ නීතියත් එක්ක සෙල්ලම් කරන්න හදන්නේ. විමල් වීරවංශලා වගේ පාස්පෝට් හොරු එවෙලේම අත්අඩංගුවට නොගැනීමේ ඵලවිපාක තමයි මේ පේන්න තියෙන්නේ. විජයකලාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කතානායකවරයා ඉදිරියේ එහෙම හැසිරීම නීති විරෝධි. මම හිතන හැටියට ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි කරන මට්ටමට පත් කරන්න ඕනේ. විජයකලාලා නෙමෙයි ප්‍රභාකරන් කෙනෙක් හදන්න හදන්නේ මෙයාලයි. මේ අය නැති වුණු බලය ලබාගන්නයි මේ වගේ උප්පරවැට්ටි භාවිත කරන්නේ. දඟගෙයි දැමිය යුතු අය දඟගෙයි නොදමා සිටීමේ වරද තමයි මේ.


දැඩි දඬුවම් ඕනේ

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ හිටපු සභාපති, හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර

රටේ දේශපාලන සංස්කෘතිය පාර්ලිමේන්තුව තුළින් පිළිබිඹු වෙනවා. මමත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ සභාපති වෙලා හිටියා. මට මතකයි එවකට හිටපු අගමැතිවරයාට නියෝජ්‍ය ඇමතිවරයෙක් වතුර බෝතලයකින් ගැහුවා. අපේ කමිටුව රැස් වුණා. ඒත් දඬුවමක් දුන්නේ නැහැ. ඒ කාලේ නීති බොහොම ලිහිල්. නමුත් එදාට වඩා අද නීති ශක්තිමත්. එසේ විමර්ශනය කරන පළමු වතාව තමයි පසුගියදා සිදුවුණු සිදුවීම සම්බන්ධ විමර්ශනය. අපි බලමු ඒකේ ප්‍රතිඵල ඉදිරියේදී. මම හිතන විදියට මේ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දැඩි දඬුවම් කරන්න ඕනේ. එය ඉතාම නොමනා හැසිරීමක්. එවෙලේ විමල් වීරවංශ සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රිවරු කතානායකවරයාට කතා කරපු විදිහ නින්දිතයි.


දැඩි නීති ගෙන ආ යුතුයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කුමාරි විජේරත්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතා ආදර්ශවත් චරිතයක් විය යුතුයි. ඒ වගේම ඔහු තමාට ඡන්දය දුන් ජනතාවට අභිමානයක් විය යුතුයි. මේ තත්ත්වය පවත්වාගෙන යාමට නම් පාර්ලිමේන්තුවේ අශෝභන හා විනය විරෝධීව හැසිරෙන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග දැඩිවිය යුතුයි. අපි හිතමු එහෙම විනය විරෝධී ලෙස හැසිරුණු මන්ත්‍රීවරයකුට සතියක කාලයක් පාර්ලිමේන්තු සභාවට සහභාගි වීම තහනම් කළා කියලා. නමුත් ඒ සතිය පාර්ලිමේන්තුව රැස් නොවන සතියක් නම් ඒ දඬුවම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මගේ පෞද්ගලික අදහස නම් මීට වඩා දැඩි ලෙස විනය ක්‍රියාමාර්ග ගත යුතුයි. එහෙම නොවන තාක්කල් මේ පාර්ලිමේන්තුවේ විනය විරෝධී හැසිරීම් වළක්වාගත නොහැකියි.


ස්ථාවර නියෝග ශක්තිමත්

පත්කළ මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

දැන් තිබෙන අලුත් ස්ථාවර නියෝගවලින් විනය විරෝධීව හැසිරෙන මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා රැස්වීම සතියක් තහනම් කිරීමට වැඩි විනය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාර්ලිමේන්තු සභාවේ හැසිරෙන ආකාරය, සෙංකෝලය පැහැරගන්න හදන අවස්ථාවකදී වගේම ඊටත් වඩා බරපළෙ විනය විරෝධී ක්‍රියාවල යෙදුණු මන්ත්‍රීවරුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න අලුත් ස්ථාවර නියෝගවලින් පුළුවන්. සති හතරක් පාර්ලිමේන්තුව අත්හිටුවීම වගේ දැඩි ක්‍රියාමාර්ගත් ඒ අතර තියෙනවා.

මාතෘකා