සෑම ගම්මානයක් තුළම විශාල දියුණුවක් ඇති කිරීම රජයේ අරමුණයි

 ඡායාරූපය:

සෑම ගම්මානයක් තුළම විශාල දියුණුවක් ඇති කිරීම රජයේ අරමුණයි

ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රජයේ අරමුණ සෑම ගම්මානයක් තුළම විශාල දියුණුවක් ඇති කිරීම බවත්, පසුගිය රජය යටතේ ගමට සිදු වූ අසාධාරණය නැවත අත්වීමට වත්මන් රජය ඉඩ නොතබන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (15) නිකවැරටියේදී ගම්පෙරළිය වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

වන්නිහත්පත්තුවේ වැව් ප්‍රතිසංස්කරණය පරම්පරා 06කට පසුව ආරම්භ කරමින් මම අද පළමු පස් පිඩැල්ල කැපුවා. අද අප එම වැඩකටයුත්ත ආරම්භ කළේ මෙම මඩත්ත වැව මූලික කරගෙනයි. අපේ පියාගේ පාර්ශ්වයේ මුතුන් මිත්තන් ජීවත් වූයේ හුළුගල්ල සහ දෙව්බැඳිපත්තුව ප්‍රදේශවලයි. 1818දී කැරැල්ල හේතුවෙන් වෙල්ලස්ස මෙන් මේ ප්‍රදේශයත් විනාශ වී ගියා. මේ ප්‍රදේශවල ජනතාව මරා දැම්මා. අපේ මුතුන් මිත්තන් මේ ප්‍රදේශය අතහැර කුරුණෑගල ප්‍රදේශයට සංක්‍රමණය වුණා. ඔවුන් එහිදී නීතිය ඉගෙන ගත්තා. නීතීඥවරුන් බවට පත් වුණා.

වන්නිහත්පත්තුව පැවතුණේ කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙසයි. මේ ප්‍රදේශයේ එදා සිටම පැවතුණේ වියළි කලාපීය දේශගුණයක්. වසර 40කට පෙර එක්සත් ජාතික පක්ෂයේ වන්නිනායක මන්ත්‍රීතුමාගේ කාලයේ සිට මේ ප්‍රදේශයේ සංවර්ධනය අපි ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමට හැකියාව ලැබුණා. අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි අවධියේ මේ ප්‍රදේශයේ පාසැල්වලට අවධානය යොමු කරන්නට මට හැකියාව ලැබුණා. ප්‍රාදේශීය ලේකම් කාර්යාල 02ක් පමණක් තිබූ නිකවැරටිය ප්‍රදේශයට දැන් අපේ පාලනය යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 04ක් ලබා දීමට කටයුතු කළා.

අද ආරම්භ කරන "ගම්පෙරළිය”, "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” වැඩසටහන් ශ්‍රී ලංකාවේ සෑම ගම්මානයකටම අදාළ වෙනවා. මෙය අපේ ආර්ථික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර ලෙස මා හඳුන්වනවා. මෙම සැලසුම් සකස් කිරීම වෙනුවෙන් මුදල් අමාත්‍යතුමාත් එතුමාගේ නිලධාරීහුත් විශාල උත්සාහයක් යොදවා තිබෙනවා. අපේ අරමුණ සෑම ගම්මානයක් තුළම විශාල දියුණුවක් ඇති කිරීමයි.

මේ වන විට රටේ ගම්මාන ගණනාවක් දැඩි නියඟය හේතුවෙන් පීඩා විඳිනවා. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික භාණ්ඩ අලෙවිය අඩු වී තිබෙනවා. 30% කින් රටේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා. සමස්තයක් ලෙස රටේ මුදල් පරිහරණය අඩු වී තිබෙනවා.

ග්‍රාමීය මාර්ග ඉදිකිරීමට වෙනත් ගම්මානවල කම්කරුවන් පැමිණෙන්නේ නැහැ. එම ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී වන්නේ ග්‍රාමීය ජනතාවමයි. ගමේ මාර්ග ඉදිකිරීමට ජපානය, චීනය හෝ කොළඹ ප්‍රධාන පෙළේ සමාගම් පැමිණෙන්නේ නැහැ. ග්‍රාමීය ගොඩනැගිලි ඉදිකිරීම් ආදියේදීත් තත්ත්වය එසේමයි. එම නිසා ඒ සියලු මුදල් ගමට ලබාදීමට අප තීරණය කර තිබෙනවා. මේ සියලු වැඩසටහන් හරහා ග්‍රාමීය මට්ටමේ මුදල් පරිහරණය වැඩි වෙනවා. වසරක් පමණ ගත වනවිට එම තත්ත්වය ඉහළ යනවා. ගමේ ආර්ථිකය ශක්තිමත් වීමත් සිදුවෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාව අත ගැවසෙන මුදල් ප්‍රමාණය ඉහළ යනවා. ග්‍රාමීය මට්ටමේ යටිතල පහසුකම් ප්‍රමාණය වැඩි වෙනවා. මඩත්ත වැව ප්‍රතිසංස්කරණය කිරීම මෙහිදී සිදු වෙනවා. එමෙන්ම හුළුගල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳවත් මම ඔබට පැවසුවා. ගම්පෙරළිය වැඩසටහන යටතේ වැව් ප්‍රතිසංස්කරණය කිරීමේදී ඒවායෙන් ඉවත් වන මඩ සහ වැලි පිටස්තර ව්‍යාපාරිකයන්ට ඩැහැ ගැනීමට අපි ඉඩ තබන්නේ නැහැ. එම මඩ සහ වැලි ලබාගැනීමට ග්‍රාමීය ව්‍යාපාරිකයාට හැකියාව ලැබෙනවා. එමගින් ලැබෙන මුදල් ගමේ ගොවි සංවිධානයේ අරමුදලකට බැර කළ හැකියි. එම මුදල් ආරක්ෂා කිරීමට විශේෂ නීතියක් සැකසීමටත් මුදල් අමාත්‍යතුමාත්, ලේකම්තුමාත් කටයුතු කරමින් සිටිනවා.

මෙම වැව් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ රොන් මඩ, වැලි ආදිය විකිණීමෙන් විශාල මුදලක් උපයාගැනීමට හැකියාව තිබෙනවා. එම නිසා මුදල් අමාත්‍යංශය, වාරිමාර්ග අමාත්‍යංශයත් අපේ අමාත්‍යංශයත් වයඹ සංවර්ධන අමාත්‍යංශයත් එකතු කරමින් ගොවි සංවිධානවල අදහස් ලබා ගනිමින් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා හැකියි.

පසුගිය රජය යටතේ මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුණේ නැහැ. මේ සම්පත් සියල්ල පිටස්තර කොන්ත්‍රාත්කරුවන් දේශපාලන හිතවත්කම් මත ඒ සියල්ල ඩැහැගෙන ගියා. ඒ අසාධාරණය නැවත ගමට අත්වීමට අපි ඉඩ තියන්නේ නැහැ. මේ වනවිට වියළි කලාපීය ජනතාවට තමන් ලබාගෙන ඇති ණය විශාල ගැටලුවක් වී තිබෙනවා. වර්ෂාව නොමැතිකමෙන් පසුගිය කන්න 04 ම අස්වනු නෙලීමට නොහැකි වී තිබෙනවා. මේ නිසා එම ණය අඩු කිරීමට හෝ ඉවත් කිරීමට අප කටයුතු කරනවා. අප මෙම වැඩසටහන ගම්පෙරළිය ලෙස හඳුන්වන්නේ එවැනි සැබෑ පෙරළියක් රට තුළ ඇති වන නිසායි. වැව් ප්‍රතිසංස්කරණය කරනවා පමණක් නොව ඉන් ලැබෙන මුදල ගොවීන්ට ලබාදීමත් මෙහිදී සිදු කරනවා. මෙය අප ආර්ථික වැඩපිළිවෙලේ දෙවන අදියර බව කිව යුතුයි.

පළමු අදියර ලෙස අප භාර ගත්තේ ඉතා අපහසු තත්ත්වයක තිබූ රටක් ඉදිරියට ගෙන යෑමටයි. අප රට භාරගන්නා අවධියේ මෙතරම් වැඩසටහන් ප්‍රමාණයක් කිරීමට තරම් ප්‍රමාණවත් මුදල්, මුදල් අමාත්‍යංශය සතුව තිබුණේ නැහැ. ණය බර වැඩි වී ණය වාරිකය ගෙවා ගැනීමටවත් නොහැකි තත්ත්වයක් ඒ කාලයේ ඇතිවී තිබුණා. කෙසේ හෝ අප මේ වනවිට ණය මුදල ගෙවමින් සිටිනවා. අප බංකොලොත්භාවයට පත් වුණොත් අපේ රටට වෙනත් කිසිම රටක් ණය මුදල් හෝ ආධාර ලබා දෙන්නේ නැහැ. "ගම්පෙරළිය", "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන් හරහා ගමට මුදල් ලබාදීම අප ආරම්භ කර තිබෙනවා. ඒ වගේම ජනාධිපතිතුමා යටතේ ක්‍රියාත්මක වන "ග්‍රාමශක්ති" වැඩසටහන හරහාත් ගමට අවශ්‍ය මුදල් ලැබෙනවා. ගල්ගමුව ප්‍රදේශයේ සංචාරක කලාපයක් ඇති කරනවා. එය වටා ජීවත් වන මේ ප්‍රදේශයේ ජනතාවට සංචාරකයින් වෙනුවෙන් වන ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා. බිංගිරිය කර්මාන්ත කලාපයේ වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා.

මාවතගම වෙළඳකලාපයක් ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. නුවර අති විශාල සංචාරක, තොරතුරු තාක්ෂණ කලාප ඉදි කරනවා. තාක්ෂණ දැනුම ලබා දෙන මධ්‍යස්ථානයක් ද එහි ඉදිකරනවා. ඉරණවිල සංචාරක කලාපයක්, කළුතර කර්මාන්ත කලාපයක්, ගාල්ල සංචාරක කලාප 03ක් මාතලේ සංචාරක කලාප 03 ක් ඉදිකිරීමට කටයුතු කරනවා.

මාතර, හම්බන්තොට ප්‍රදේශවලත් සංචාරක කලාප ඉදිකරනවා. මෙම වැඩකටයුතු රාශිය පළමු වසර පහ වෙනුවෙන් ඉතා ප්‍රමාණවත්. මේවා ආරම්භ කරමින් රැකියා ලබාදෙමින්, පුහුණුව ලබාදෙමින් ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කළ යුතුයි.

රට සංවර්ධනය කිරීමේ අපහසුම අදියර පළමු අදියර වූ අතර දෙවන අදියරේදී ජනතාවට යම් සහන ලබා දීමට අපට හැකි වුණා. තුන්වන අදියරේ අප රට සම්පූර්ණයෙන්ම ගොඩනැගීමට බලාපොරොත්තු වෙනවා. එය ආරම්භ කරමින් අද ගම්පෙරළිය වැඩසටහන මෙහිදී ආරම්භ කළා. නැවත රටේ ජනතාවට අපහසුතා විඳීමට අප ඉඩ තබන්නේ නැහැ. මෙම වැඩසටහන මෙහෙයවීම සඳහා මුදල් අමාත්‍යවරයා ගන්නා උත්සාහය අප අගය කළ යුතුයි. ලේකම්තුමා සහ රාජ්‍ය අමාත්‍යතුමාත් ඒ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කරනවා.

අද අප ආරම්භ කළ මෙම විශේෂ වැඩසටහන වෙනුවෙන් යූ.එන්.පී, ශ්‍රි ලංකා. පොහොට්ටු බේදයකින් තොරව අප එක්විය යුතුයි. එම මුදල් ලබා දෙන්නේ ගම වෙනුවෙන් බව මම අවසාන වශයෙන් පවසනවා.

මාතෘකා