ගෝඨාගේ මසුරං කතා

 ඡායාරූපය:

ගෝඨාගේ මසුරං කතා

උත්සවයක් නිමාවී පිටතට එන ගෝඨාභය රාජපක්ෂ වෙත කිට්ටුවන මාධ්‍යවේදියෙක් මෙසේ ඇසීය.

"පුවත්පතක සඳහන් වෙනවා සර්, විශේෂ අධිකරණයට මුලින්ම සර්ව ගෙන්වනවා කියලා. ඒ ගැන මොකද හිතන්නේ?"

ගෝඨාභය මෙහෙම උත්තර දෙයි.

"ඒ ගැන බොහොම සන්තෝසයි. මුලින්ම ඇවිත් උසාවියට කරුණු පැහැදිලි කරන්න පුලුවන් එතකොට. ඉතිං මම ඉල්ලා හිටිනවා මට තියෙන නඩු මුලින්ම ගන්න කියලා."

බැලූ බැල්මට ගෝඨාගේ කතාව හරිම අපූරුය. එයින් වහනය වෙන්නේ 'මම බය නෑ, ගමු බලන්න' ආකාරයේ ස්වරූපයක්ය.

මේ වර්ගයේම කතාවක් වරක් විමල් වීරවංශ කීවේය.

‘හිරේ දාන්න මහත්තයෝ, හිරේ දාන්න.. හිර ගෙවල් සීයක දැම්මත් අපි මේ ගමන නවත්වන්නේ නෑ'

මෙහෙම කීව විමල් වීරවංශ සිරගත වූවාට පසු ඒ තිබ්බ වීරත්වය පෙන්නූයේ නැත.

'අපිව හිර කරනවො' කියා කෑගසන්නට පටන් ගත්තේය. කොයි කයිවාරුකාරයාගේත් තත්ත්වය ඕකය. සරත් ෆොන්සේකා මහින්දගේ ප්‍රතිවාදියා ලෙස ඡන්දය ඉල්ලීමම හේතුකොටගෙන ගොස් සිරගත කරන විට විමල්ලා 'කෝචෝක්' එකට සිනාසුනේය. හිටපු අගවිනිසුරු ශිරාණී බණ්ඩාරනායකට එරෙහිව මහින්දගේ ආණ්ඩුව කටයුතු කළ අන්දම මෑත ඉතිහාසය දන්නා අයට පවා මතකය. ගැහැනියක කක්කුස්සියට එන තෙක් රැක සිට වෙඩි තබා මැරූ උන්ද තේරීම් කාරක සභාවට පත්කොට 'කැකිල්ලේ තීන්දුවකින්' රාජපක්ෂලා අගවිනිසුරුවරිය එලවා දැමීය.

අගවිනිසුරු එලවන කටයුත්තේ මුල් පුරුක් වූයේ විමල්, මහින්දානන්ද, රෝහිත, තිලංග සහ පිටකොටුවේ මහින්ද කහඳගම වගේ අයය.

මතක තබා ගන්න, අගවිණිසුරුට එරෙහිව මහ පාරේ නඩු අහපු කල්ලිය 'අට පාස්' වුණේත් අමාරුවෙන්ය.

'දැන් ඉතිං අපි තුන්දෙනා ගැන ඔයාල බලාගන්න. මං අවුරුදු 30 ක් රාජ්‍ය සේවයේ සිටියා. දැන් මට යන්න දෙන්න. මම අවංකයි. බදු රහිත වාහන බලපත්‍රයක්වත් ගත්තේ නෑ. මම නිර්දෝෂියි. මම හැමවිටම ජනතාව සමගයි. ජනතාව අපේ පවුලේ අය රකිනු ඇතැයි මා සිතනවා. මා මුහුණ දුන් ප්‍රශ්නය ගැන අද හෙටම ප්‍රකාශයක් කරනවා”

කියා අගවිනිසුරුවරිය එළියට බැස්සාය. නිර්භීතව සියල්ලට මුහුණදුන් ඈ, කවදා හෝ සත්‍ය ජයගන්නා බවත් කීවාය.

ඈ නෙරපා හරිද්දී ඩෙඟා නැටූ ඇමැතිවරු වෙත දිට්ඨධම්ම වේදනීය කර්මය පල දෙන්න වසරක්වත් ගත වූයේ නැත. අන්තිමට සත්‍ය ජය ගත්තේය.

ගෝඨලාගේ, විමල්ලාගේ පුරාජේරු බයට කියන කවි සීපද බවට පත්වෙන්නේ ඔවුන් ඊට මුහුණ දුන් ආකාරය දෙස බලන විටය.

මැදමුලන ප්‍රදේශයේ ඉදිකළ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ගොඩනැගීමේදී රුපියල් ලක්ෂ 900කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවූ ගෝඨාභය රාජපක්ෂ පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන් අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සුදනම් විය. එහෙත්, එම අවස්ථාවේ අදාළ චෝදනා සම්බන්ධයෙන් පොදූ දේපොළ පනත යටතේ තමන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් ලබාගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකිවිය.

ඊට අමතරව,මිග් යානා ගනුදෙනුව, ඇවන්ගාඩ් සිද්ධිය සහ ඇපලෝ රෝහලේ කොටස් මිලදී ගැනීමේ දී සිදුව ඇතැයි කියන අක්‍රමිකතාවලට එරෙහිව ක්‍රියාත්මකවන පරීක්ෂණ වලට අදාළවද ඔහු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත තහනම් නියෝග ලබා ගත්තේය.

ඒ සමඟම අදාල නඩුව විභාග කිරීමේ කටයුතු වලින් ඊවා වනසුන්දර, ප්‍රියන්ත ජයවර්ධන සහ බුවනෙක අළුවිහාරේ, මුර්දු ප්‍රනාන්දු යන විනිසුරන් නඩුවෙන් ඉවත් වූහ.

ඒ අතර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින ඇවන්ගාඩ් නඩු විභාගය අත්හිටුවන මෙන් දන්වා අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම නඩු විභාගයට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් එම නියෝගය නිකුත් කරනු ලැබුවේ අචල වෙංගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන අභියාචනාධිකරණ විනිසුරු මණ්ඩලය විසිනි.

මෙහෙම බැලූ විට ගෝඨා නඩුවලට මුහුණ දෙනවා වෙනුවට සිදුකොට තිබෙන්නේ 'තහනම් නියෝග' ලබාගෙන 'නඩු විභාග' ඈතට දමා ගන්නා එකය.

එහෙවු ගෝඨා 'මුලින්ම මගේ නඩු අසන්නැයි' සිංහනාද පවත්වයි.

විශේෂ මහාධිකරණ භීතිකාව විමල්ලාට තදින්ම තිබේ. එය මුලුමහත් ඒකාබද්ධයම 'සීතල' කොට දමන තරමේ එකකි. මේ පනත ගෙන එනකොටම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අනෙක් පාර්ශ්වයයි.

ශ්‍රී ලංකාවේ අධිකරණයට ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ නඩු ප්‍රමාදයයි. ඇතැම් නඩු වසර දහය ඉක්මවමින් විභාග කෙරේ. මෙහි ප්‍රතිඵලය අධිකරණයට නොයා ගොඩින් බේරාගැනීමේ පිළිවෙතකට ජනයා නැඹුරු වීමය. ඇතැම් විට එය මිනීමැරුමකින් කෙළවර වෙයි. එය තවත් නඩුවක් ආරම්භ වීමකි.

මේ වග දැන දැනම නොදන්නා ගානට ඉන්නා විමල්ලා, දිනේෂ්ලා "විශේෂ මහාධිකරණ මුවහමට" තඩිබායි.

වරක් විපක්ෂයේ මන්ත්‍රීවරයකුව සිටියදී කරු ජයසූරිය මහතා තොරතුරු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මොහොතෙහි එය ජාතික ආරක්ෂාවට එල්ල වු බරපතළ තර්ජනයක් ලෙස, කෑමොර දෙමින් එරෙහි වූ දිනේෂ්ලා අද විශේෂ අධිකරණයට එරෙහි වීම අරුමයක් නොවේ.

අධිකරණය දුබලව තිබෙනවාට කැමැති වන්නේ අපරාධකරුවන්ය. වින්දිතයින් ඊට කැමැති නැත. දූෂණ වංචා හා අපරාධවලට එරෙහි කිසිදු මහජන නියෝජිතයකු හට මෙයට එරෙහි වීමේ හැකියාව නැත.

අවම තරමේ මේ මොහොතේ තමන්ට එරෙහිව එල්ලව තිබෙන චෝදනා ගැන උත්තර බඳින්නට මහින්දලාට යුතුකමක් තිබිණි. එහෙත්, සිය කල්ලියේ අන්තේවාසිකයින් ලවා 'මං සුදනා' වීමට උත්සහා කරනවා විනා මහින්දගෙන් 'නිව්යෝර්ක් ටයිම්ස්'හෙලිදරවුව ගැනවත් 'හා, හූවක්' නැත. කාලයේ වැලිතලාව විසින් එකී චෝදනාව වසා දමන තුරු මහින්ද වෙනත් ව්‍යාපෘතිවලට කරගසා සිටී.

ශත වර්ෂ එක හමාරකටත් වැඩි අඛණ්ඩ ඉතිහාසයක් තිබෙන නිව්යෝර්ක් ටයිම්ස් ලෝකයේ සම්භාව්‍ය ත්‍යාගයක් වන ‘පුලිට්සර්’ සම්මාන 125 ක් දිනූ පුවත්පතකි. ඒ අනුව ‘නිව් යෝර්ක් ටයිම්ස්’ යනු, ප්‍රවෘත්ති පැළ කරන කැලෑ පත්තරයක් නොවේ.

එහෙත් මහින්දවාදීහු එය 'තුට්ටු දෙකට දමා කතා කරති. එහෙවු අන්තවාදී පිරිසකගෙන් 'යහස්පත' පතන්නේ කෙලෙසද?

මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනකු යටතේ විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමේ යෝජනාව සාධාරණ සමාජයක් පතන යහපත් මිනිසුන්ගේ අස්වැසිල්ලට හේතුවකි.

එය දේශපාලන කෝවක දමා තමන්ට සිතැඟි සේ 'සුකුරුත්තමක්' නිර්මාණය කරගන්නට සමහරු කටයුතු කරති.

අල්ලපු වත්තේ පොල් ගෙඩියක් සොරකම් කළ කෙනෙකු සම්බන්ධයෙන් කටයුතු කරනවාට වඩා වේගයෙනුත්, කාර්යක්ෂමවත්, මිලියන හෝ බිලියන ගණනින් මහජන ධනය කොල්ල කෑ දේශපාලඥයෙකු හෝ නිලධාරියෙකු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක විය යුතුය. ඒ ගැන තර්කයක් නැත. එහෙත් ගෝඨලාගේ කරෙන් කල් ඇතිවම කෙහෙල් කැන වැට පනින්නේ ඇයි කියා කියන්නනම් දන්නේ නැත.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ දූෂණ චෝදනාවලට ලක්ව සිටින දේශපාලනඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙමිනි. ඒ අනුව දූෂණ සහ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා වත්මන් ආණ්ඩුව විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) පිහිටුවනු ලැබීය.

ඒකාබද්ධ විපක්ෂය විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හඳුන්වනු ලබන්නේ වත්මන් ආණ්ඩුව "පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ" එක් පියවරක් ලෙසය.

විශේෂ මහාධිකරණයට එරෙහි වූයේද එහෙමය.

එහෙම එරෙහිවන අතර 'මගේ නඩු මුලින්ම අහන්න' කියා ගෝඨා කියනවිට ඊට වඩා විහිලුවක් තවත් නැත.

[රාමචන්ද්‍ර]

මාතෘකා