අදේශපාලනික අවලාද

 ඡායාරූපය:

අදේශපාලනික අවලාද

'ඔබ සතුව ඇත්තේ මිටියක් පමණක් නම්, ඔබ සෑම ගැටලුවක්ම දකිනු ඇත්තේ ඇණයක් ලෙසය.' මෙසේ පැවසුවේ, සුප්‍රකට අවශ්‍යතා ධුරාවලිය ලොවට හඳුන්වාදුන් ඒබ්‍රහම් මැස්ලෝය.

'මිටිය සහ දෑකැත්ත' යන සංකේතය භාවිත කරන ලංකාවේ වමේ ව්‍යාපාරයේ වාග් භාවිතය පිළිබඳ සිදුවීමක් හේතුවෙන් නැවත වම භාවිත කරන අදේශපාලනික අවලාද ගැන කතාබහක් මතුව ඇත.

ජවිපෙ නායක අනුර දිසානායක විසින් ජානිපෙ නායක විමල් වීරවංශගේ පවුලේ මානසික රෝගීන් සිටින බවත්, ඒ හේතුවෙන් විමල් වීරවංශත් 'පිස්සෙකු' ලෙස හැසිරෙන බවත්, එය ලැජ්ජාවට කරුණක් බවත් ප්‍රකාශ කෙරිණ. මෙය ජානිපෙ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයට හිතවත් පිරිසගේ අඳෝනා, මැසිවිලි, ගැරහිලි, විස්සෝපවීම් අනුර දිසානායක ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ දෙසට එල්ල වීමට හේතුවක් බවට පත් වී ඇත. එසේම ශිෂ්ට වූ දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ජවිපෙ කෙරෙහි අල්ප මාත්‍රයක් හෝ බලාපොරොත්තුවක් සහිතව බලා ඉන්නා සුළුතරයක් වූ ඡන්ද දායකයාටද ජවිපෙ නායකයාගේ මෙම හැසිරීම ගැටලුවක් බවට පත්වූවා නිසැකය. ඊට හේතුව ජවිපෙ කෙරෙහි ඔවුන් මීට වඩා යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ නිසා විය යුතුය.

පාර්ලිමේන්තු හැසිරීම

මේ අතර පාර්ලිමේන්තුව තුළදී ජානිපෙ නායකයාගේ හැසිරීම පිළිබඳව කථානායකවරයා සහ පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ දෝෂදර්ශනයට ලක්වූයේ අද ඊයෙක නොවේ. පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු යැයි වීරවංශ කළ ප්‍රකාශය මෙන්ම කථානායකවරයාට 'පෙන්දා' වැනි වචන භාවිත කරමින් කළ පරිභවයන්, පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන කිසිදු දේශපාලඥයෙකු අනුමත කරාවිද යන්න සැක සහිතය.

ඉහත සිදුවීම ඇති වූ දිනයේද ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නැගී සිටි ජවිපෙ නායකයාට තම කතාව ඉදිරියට ගෙනයාමට නොදී දිගින් දිගටම විමල් වීරවංශ බාධා කළ බව පාර්ලිමේන්තුවේ පටිගතව තිබූ වීඩියෝපට නැරඹීමෙන් පැහැදිලි කරගත හැකිය. එම බාධාවන් අතරතුර ජවිපෙ නායකයාගේ පෞද්ගලික ජීවිතයද ඈඳා ගනිමින් අවලාද නැඟීමට ජානිපෙ නායකයා ක්‍රියා කරනු පැහැදිලිව අසන්නටද ලැබේ.

රූපාන්තරණය

විමල් වීරවංශගේ දේශපාලන ජීවිතයේ අතීතය පිරික්සා බැලීමෙන් මෙවන් පෞද්ගලික මඩ ප්‍රහාර ගැන ඔහු සතු අතීතය මැනවින් පැහැදිලි කරගත හැකිය. ජනතා විමුක්ති පෙරමුණේ සිටි අති දක්ෂම ප්‍රචාරක ලේකම්වරයා, ඉතිහාසයේ නින්දිතම ද්‍රෝහියා තෙක් පැමිණීමේ දේශපාලන සිතියම කෙබඳුද යන්න විමසා බැලීම අවශ්‍යය. වීරයා සහ ද්‍රෝහියා අතර වෙනස නිකම්ම නිකම් සාහිත්‍යමය `කෙස් ගසක්` පමණක්ද? එසේ නොමැතිනම්, අප නොදකින හෝ දකින්නට අකමැති වෙනත් කලාපයක පවතින සහමුලින්ම දේශපාලනික හේතුවක්ද? යන්න පිරික්සා බැලීමද අවශ්‍යය.

විමල් වීරවංශගේ විවේචකයෝ බහුතරය ඔහුගේ `පෙළපත්නාමය` ප්‍රශ්න කරති. සත්‍ය වශයෙන්ම `වීරසංගිලි පනික්කියලාගේ` යනුවෙන් වාසගමක් ඔහුට ඇත්දැයි අපි නොදනිමු. එය එසේ වුවත් එහි ඇති ප්‍රශ්නයක් නැත. (අනෙක් අතට - වීරවංශගේ සත්‍ය පෙළපත්නාමය වීරවංශම යැයි සිතමු. එසේ හෙයින් ඔහුගේ දේශපාලන වියරුව `හොඳ` වෙනවාද?) එවැන්නක් මතුකිරීමේ `අරමුණ`, වීරවංශ `අඩු කුලේ` අයකු බව ඒත්තු ගැන්වීම නම්, එය බල්ලාගේ අසූචි වලින් ඌටම ගැසීමක් වැනිය. එකක්, වීරවංශ නඩත්තු කිරීමට ආශා කරන පසුගාමීත්වයේම පදාසයක් වන `කුල කතාන්දරය` නැවත සමාජගත කිරීම එයින් සිදුවෙයි. අනෙක, ඒ වීරවංශගේම භාෂාවයි. ඔහු කී දෙනෙකුගේ ජාතිය - වර්ගය පිරිහෙළමින් කතාකරනවාද?

රවී කරුණානායකට ඔහු කියන්නේ රවින්ද්‍ර සන්ද්‍රේෂ් කියාය. ප්‍රභාකරන්ට ඔහු කියන්නේ පිරබාහරන්ය. ද්‍රවිඩ නම සිංහලට වර නඟා එසේ කීමෙන් ප්‍රභාකරන්ගේ දෙමළ ජාතිකවාදී ආස්ථානය සිංහල භාෂා අවියෙන් දෙපළු වන්නේ යැයි ගුණදාස අමරසේකර ඔහුට කීවාද යන්න පැහැදිලි නැත.

කෙනෙකුගේ සිංහල නොවන බව - බෞද්ධ නොවන බව හුවා දැක්වීමට වීරවංශ ඉතා කැමැතිය. ඇතැම් විට ඒ, මහා දේශපාලනයේ ජාතිවාදී බලපෑමට අමතරව, ඔහු මුහුණ දුන් කිසියම් ක්ෂුද්‍ර සමාජ පීඩනයක ප්‍රති පීඩනය විය හැකි මුත් අප ඔහුට එරෙහිව පසුගාමී අවි නොඑසවිය යුතුය. මන්ද යත්, එයින් ඇතැම් විට `වීරවංශ` නමැති දේශපාලනඥයා වැට්ටවිය හැකි මුත් `වීරවංශ` නමැති පසුගාමී වර්ගවාදී සංකේතය යළි යළිත් ස්ථාපිත විය හැකිය.

වීරවංශ බිහිවීමට හේතු විමසන ලද ඇතැම් සංවාදයන්හිදී `ජවිපෙ මානව සම්පත් හිඟය නිසා සාපේක්ෂ හැකියාවන් පෙන්වූ වීරවංශ වැන්නන් ඉහළට ආ බව` නිතර කියැවේ. එය අසත්‍යයක්ම නොවන මුත් සම්පූර්ණ සත්‍යයද නොවේ. ජවිපෙ අනුදත් දේශපාලන මතවාදයන් සමඟ හොඳින්ම පෑහුණු - ඒ මතවාද විසින් තෝරන ලද ක්‍රියාමාර්ග සමඟ මැනවින් බද්ධ වූ පුද්ගලයා වීරවංශය. පක්ෂයේ මතය ජාතිවාදයේ පිළිකන්නට යනවිට හොඳම සද්දයට හිමිකම් කීවේ වීරවංශ නිසා ඔහු `වීරයා` විය. ගුණදාස අමරසේකරලා - ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුළු පිරිස සමඟ යෙදුණු දේශපාලන සංසර්ගයේදී ඔහු දක්ෂතම රමණයේ යෙදෙන්නා විය.

අනෙක් අතට. ජනතා විමුක්ති පෙරමුණට 'විජේවීර' වැනි කථිකයකු ඕනෑවිය. වීරවංශ ඒ නාඩිය අල්ලාගත්තේය. විජේවීරගේ කතා ශෛලිය මුල් කාලයේ අමු අමුවේ කොපි කර, පස්සේ කාලයක එයින් තමන්ගේම ශෛලියක් හදාගත්තේය. පක්ෂය ඉවසා සිටියේය. පන්තියට මතය ගෙනයන්නට 'කටක්' උවමනා නිසා ඉවසා සිටියේය. ඒ කතාවලට සාමාජික අත්පොළසන් නාදය එන්න එන්නට වැඩිවන විටත් ජවිපෙ ඉවසා සිටියේය. 'සහෝදරත්වය නොවැ' කියමින් ඉවසා සිටියේය. ඒ කතාවලට ටිකෙන් ටික - බිඳෙන් බිඳ ජාතිවාදය, සංස්කෘතික පසුගාමීත්වය, ග්‍රාම්‍යත්වය මුහු වන විට කිසිවකුටත් එය හැඟුණේ - දැනුණේ නැත.

වරක් හෙන්රි පේද්‍රිස් පිටියේ පැවැති රැළියකදී, වීරවංශ චන්ද්‍රිකාගේ පුත්‍රයා සහ දියණිය චන්ද්‍රිකා හිතවාදීන්ට ඈඳමින් කතාවක් කළේය. 'දැන් චන්ද්‍රිකා නෝනා හැම එකටම ජේවීපී එක වගකිව යුතුයි කියනව. හත්වලාමේ, හෙට අනිද්දට ඔය අරලියගහ මන්දිරේ දිහාවේ කරක් ගහනකොට සනත් ගොයියා අතින් යසෝදරාට මොනව හරි වුණොත් - මංගල උන්නැහෙ අතින් විමුක්තිට මොනව හරි වුණොත් ඒකටත් කියයි ජේවීපී එක වගකියන්න ඕන කියල' යනුවෙන් ජවිපෙ පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයා හඬනගා කියද්දී පාක්ෂිකයෝ ඔල්වරසන් දුන්නෝය. ඇත්තටම හූ කියා ගතයුතුව තිබුණේ තමන්ටමය. තමන්ගේම අදහස් වලටය. තමන්ගේම පසුගාමීත්වයයට. තමාගේම නොදියුණු දෘෂ්ඨීන්වලට ඔවුහු චන්ද්‍රිකාට සනත්ට මංගලට හූ කීවෝය.

ගරිල්ලා මාකටින්

වීරවංශ ගරිල්ලා ඇඳුමේ කොළ පාටට තොප්පියක් දමන්නට පටන්ගත්තේය. එකල ජනප්‍රිය වූ 'ටයිටැනික් කොල්ලාගේ කට් එක' ට කොණ්ඩය කපා සිටි ඔහු 'හරියට නිකං චේ වගේ' විය. දෙපැත්තට පහළට වැටෙන ඒ කොණ්ඩයට අර තොප්පිය දැමූ විට 'ටොප්' ය. ජවිපෙ සාමාජිකයෝ ඔහුට අපමණ ආදරය කරන්නට පටන්ගත්හ. ජීවමාන 'චේ' ජවිපෙ සිටියා බඳුවිය. නමුත් මැයි දින පෙළපාලියට විවිධ වර්ගයේ - විවිධ වර්ණයේ 'තොප්පි' නොපැළඳ පක්ෂයෙන් සපයන 'රතු තොප්පි' පමණක් පළඳින ලෙස අනෙක් සාමාජිකයන්ට 'උපදෙස්' ලැබිණ.

මේ කාරණාව 'තොප්පියකට' ලඝු කරගත යුතු නැත. වමේ පක්ෂ නායකයකු සමානයන් අතර ප්‍රමුඛයකු විය යුතු මිස අසමානයන් අතර විශේෂිතයකු නොවිය යුතුය. එහෙත් වීරවංශට එන්නත් වූයේ එය නොව ඊට සම්පූර්ණයෙන් ප්‍රතිවිරුද්ධ අදේශපාලනයයි. ඒ අදේශපාලන එන්නත තුළ තිබූ පසුගාමී රසායනයන්, සන්ධාන දේශපාලනයත් සමඟ, ධනේශ්වර නායකයන්ගේ ඇසුරත් සමඟ, ධනේශ්වර ජාතිකවාදී 'බුද්ධිමතුන්ගේ' ඇසුරත් සමඟ, රජගෙවල්වල පස්පෑගීමත් සමඟ, විශාල මන්දිරවල ටයිල් මත ඇවිද යාමත් සමඟ, සක්‍රීය වන්නට පටන්ගත්තේය. සෑම අනිවාර්යක්ම අහම්බයක් නොවන මුත් සෑම අහම්බයක්ම අනිවාර්යක් වන බව 'දර්ශනය' උගන්වද්දී ජවිපෙ සාමාජිකයාට කියා දුන්නේය.

ඒ නිදසුන 'වීරවංශ නමැති ළමයා'ටද අදාළය. ළමයාගේ දක්ෂකම්වලට වශී වූ ගෙදර ඇත්තන් අහක බලාගෙන සිටිද්දී ඇරියස් ගොඩක් සමඟ සිටි ළමයා අපයෝජනයට ලක්විය. අද විමල් වීරවංශ යනු බොහෝවිට ඔහුටමත් පිළිකුල දනවන දේශපාලන ක්ෂුද්‍ර ප්‍රාණියෙකි. ඔහු වැනි ග්‍රාම්‍ය කථිකයකු කිසිඳු පක්ෂයක නැත. ඔහු වැනි සෝබනකාරයකු කිසිඳු පක්ෂයක නැත. එහෙත් විමල් වීරවංශලා කොහෙන් හෝ මතුවිය හැකිය. එය වළක්වාලන්නටනම් අර 'අදේශපාලන එන්නත' භාවිතාවෙන් ඉවත්කළ යුතුය. එන්නත ඉවත් කරනවා වෙනුවට පෙරළා එම එන්නත තමන්ට එන්නත් කරගැනීමට වර්තමාන ජවිපෙ නායකයා කටයුතු කරනවා නම් එයට සපුරා විරුද්ධ විය යුතුය. 'යහපත්' වූ දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් පෙළගැසී 'තවමත්' බලාපොරොත්තු සහගතව ඉන්නා 'බුද්ධිමත්' ඡන්ද දායකයා ඒ වෙනුවෙන් පෙළගැසිය යුතුය.

[කුමාර වීරසිංහ] [මොහොමඩ් සිල්මි]

මාතෘකා