ලංකාව ඉන්දියන් සාගරයේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය කිරීම අපේ අරමුණයි

 ඡායාරූපය:

ලංකාව ඉන්දියන් සාගරයේ වෙළෙඳ කේන්ද්‍රස්ථානය කිරීම අපේ අරමුණයි

අගමැති රනිල් වික්‍රමසිංහ

යහපාලන රජය විසින් පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ කර්මාන්ත දියුණු කරමින් ආර්ථික වර්ධනය ගොඩනැගීමට කටයුතු කරන බවත් ආසියානු අප්‍රිකානු සංවර්ධනීය මාවත ඔස්සේ ඉන්දියන් සාගරයේ වෙළඳ කේන්ද්‍රස්ථානය කිරීමට බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා (01) ආචාර්ය සමන් කැලෑගම සැමරුම් උත්සවයට සහභාගී වෙමින් පැවසීය.

“අපේ රට පිහිටා තිබෙන්නේ ශීඝ්‍රයෙන් ව්‍යාප්තවන වෙළඳපොළක් මධ්‍යයේ වීම ව්‍යාපාරවලට ප්‍රබල වාසියක්. මම මේ කිව්වේ අපේ රටට නැගෙනහිරින් එනම් පෙරදිගින් අත්වන වාසි පිළිබඳව පමණයි. අපේ රටට බටහිරින් අත්වන වාසි ගැනත් අපි අවධානය යොමුකළ යුතුයි. නැගෙනහිර අප්‍රිකානු වෙරළාශ්‍රිතව නැගී ආ ජනගහනය දැන් අඩුවෙලා. ඒ සමග බැලුවාම බොහොමයක් කාරණා අතින් අපේ රට පෙරමුණ ගන්නවා.

අපේ රට උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක පිහිටා තිබීමේ වාසිය ප්‍රයෝජනයට ගන්නා ගමන්ම, අපි අපේ භෞතික සැලැස්ම, ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල ගැන අවධානය යොමු කිරීම අවශ්‍යයි. අපි හම්බන්තොට වරාය ගැන සලකා බැලුවොත් එය අත්හැර දමන්න කියලා අපට බලපෑම් එල්ල වුණත් එහි විශාල ප්‍රගතියක් අත්කර ගැනීමට අපට හැකිවුණා.

මම චීන අගමැති ලී සහ ජනාධිපති ෂි සමඟ මතභේදයට තුඩුදුන් වරාය ගැන එකඟතාවට ආවා. අපි අවධාරණය කළේ වරායේ කටයුතු අපි කරගෙන යන බවයි. ශ්‍රී ලංකාවට ඇවිත් මෙය නිරීක්ෂණය කරන්න කියලා මම චීන අගමැතිවරයාට ආරාධනා කළා. කෙසේ හෝ හම්බන්තොට වරාය අප සතු වුණා. කලින් නම් එය ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය වෙලා තමයි තිබුණේ. නමුත් ලබන වසරේ සිට හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවේ කාර්යබහුල වාණිජ වරායක් බවට පත්වෙනවා. මත්තල ගුවන් තොටුපොළත් වැඩි කාලයක් නොගොස්ම කාර්ය බහුල ගුවන් තොටුපළක් බවට පත් වෙනවා.

මේ සියල්ලක්ම අපට කළ හැකි වෙන්නේ රටේ සිදුකෙරන දැවැන්ත කර්මාන්තකරණ ක්‍රියාවලිය නිසයි. උදාහරණයක් විදියට ගම්පහ, කටුනායක සහ බියගම යන නගර ආශ්‍රිතව ඇතිවන කර්මාන්ත මගින් මෙය සිදුවෙනවා. චීන මර්චන්ට් සමාගම අපිට වරාය ඉදිකර දුන්නේ පිනට නොවෙයි. මෙය රටේ ආර්ථිකයට සජීවීව සම්බන්ධ වන වාණිජ වරායක් බවට පත්කිරීමට අපිට වගේම ඔවුන්ටත් අවශ්‍යයි. මෙහි ආරක්ෂාව ගත්කල එය සම්පූර්ණයෙන්ම පවතින්නේ ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ. නාවික හමුදාව සිය දක්ෂිණ සාගර හමුදා මූලස්ථානය හම්බන්තොට වෙත ගෙනයාමට කටයුතු කරනවා. චීන හමුදා කඳවුරු හම්බන්තොට ඉදිකළහොත් මොකද කරන්නේ කියලා මගෙන් වරක් අයෙක් ප්‍රශ්න කළා. මම කිව්වා හම්බන්තොට දැනටමත් පූර්ණ හමුදා ඒකකයක් ස්ථාපනය කර ඇති බව. චීන හමුදා කිසි විටෙක මෙහි ක්‍රියාත්මක වන්නේ නැහැ. වරාය අපේ හමුදා ආරක්ෂාව යටතේ පමණක් පවතින බව අපි චීනය දැනුවත් කර තිබෙනවා.

කොහොම නමුත් මේ හරහා හම්බන්තොට ආශ්‍රිතව දැවැන්ත කර්මාන්තපුරයක් බිහිවෙනවා. අපි දැනටමත් දක්ෂිණ සංවර්ධන නමින් වෙනම අමාත්‍යාංශයක් පිහිටුවා ඒ වැඩකටයුතු ආරම්භ කොට තිබෙනවා. හම්බන්තොට ප්‍රදේශය ආශ්‍රිතව කර්මාන්ත 15ක් ඇති කිරීමට අපේක්ෂා කරනවා. අපගේ ආයෝජන මණ්ඩලය චීනයට ගොස් මේ පිළිබඳ චීනයේ කර්මාන්තකරුවන් දැනුවත් කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. අපි අපේ දක්ෂිණ අධිවේගි මාර්ගය හරහා මහනුවර සහ හම්බන්තොට නගර යා කිරීමට අදහස් කරනවා. අධිවේගී මාර්ග සහ මහාමාර්ගවලින් එකිනෙකට සම්බන්ධවන එක් සම්පූර්ණ කලාපයක් බවට මෙම කලාපය පත්කිරීමට අපේක්ෂා කරනවා. මෙමගින් සමස්ත කලාපයම නාගරීකරණය වීමක් සිදුවෙනවා. ඒ සමගම දැනුම් මූලික කර්මාන්ත බිහිවීමත් සමග කර්මාන්තකරණයක් මේ පුරවරයේ දකින්නට පුළුවන්.

හම්බන්තොට ප්‍රදේශයේ ඉදිවන කර්මාන්තවලට අමතරව අපි මහනුවර ප්‍රදේශය ජපාන ආධාර මත සංවර්ධනය කිරීමට අදහස් කරනවා. ඒ ප්‍රදේශයේත් අර්ධ කර්මාන්තපුර ඉදිකෙරෙනු ඇති. මේ කටයුතු මාවතගමෙන් පටන්ගෙන බිංගිරිය ආදී ප්‍රදේශ ඔස්සේ ව්‍යාප්තවීමට නියමිතයි. අනෙක් පැත්තෙන් බස්නාහිර මහ නගර සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතිනවා. කොළඹ වරාය නගරය ආශ්‍රිතව මූල්‍ය මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු මේ වන විටත් සිදුවෙනවා. ඒ සමගම ගාල්ල සහ මාතර නගර කේන්ද්‍රකරගත් සංචාරක නිකේතන ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී තිබෙනවා.

මා ඒ සඳහන් කළ ව්‍යාපෘති රටේ දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවන ඒවා. දකුණ සහ බස්නාහිර පළාත්වලින් ඔබ්බට අනෙක් පළාත්වලත් මේ හා සමාන ව්‍යාපෘති රාශියක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙවැනි ව්‍යාපෘති තුළින් අප විදෙස් රටවලින් ලබා ගත් ණය මුදල් සෘජු විදේශ ආයෝජන බවට පෙරළීමක් සිදුවෙනවා. අපි ඉදිරියට පවත්වාගෙන යා යුත්තේ මෙවැනි ක්‍රියාවලියක්. එවන් ක්‍රියාවලියක් හරහා අපගේ අපනයන වර්ධනය වීම, අපගේ විදෙස් සංචිත වැඩිවීම වැනි කාරණා තුළින් අවසාන ප්‍රතිඵලය ලෙස අපගේ ණය ගෙවීම් අනුපාතය කළමණාකරණය කර ගැනීමට අපට හැකියාව ලැබෙනවා.

මීළඟට වැදගත් කාරණය නම් ඉන්දීය සාගර කලාපයේ පවතින භූ-දේශපාලනික තත්වයයි. මෙම කලාපයට කාලයක් කිසිවෙකුගේ අවධානය යොමු නොවී පැවතියත් අද වන විට ලෝක ආර්ථික දේශපාලනික සන්දර්භය තුළ ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙනවා. එය හුදෙක් නැව් ගමනාගමනය සඳහා වැදගත් වන්නක් පමණක් නොවේ. ආර්ථික සබඳතා අතින් මෙම කලාපය ඉතා වැදගත් වෙනවා. චීනයේ එක් තිරයක් එක් මාවතක් වැඩසටහන මගින් මෙම කලාපය ආශ්‍රිත සංවර්ධන වැඩපිළිවෙලක් ව්‍යාප්ත වෙමින් පවතින බව මනාව පිළිබිඹු වෙනවා.

අනෙක් පැත්තෙන් ජපානය සහ ඉන්දියාව දෙරට අතර සහයෝගය ගොඩනගාගෙන යනවා. ආසියානු - අප්‍රිකානු වර්ධනීය මාවත, සාගර කලාපීය නිදහස ආදී වැඩසටහනක් ද ඒ අතර වෙනවා. අප්‍රිකානු ආසියානු කලාපීය සංවර්ධනය ගත්තත්, එක් මාවතක් එක් තීරයක් වැඩසටහන ගත්තත් ශ්‍රී ලංකාව ඉතාමත් වාසිදායක ස්ථානයකයි පිහිටලා තිබෙන්නේ. ඒ සෑම පැත්තකින්ම අපිට ප්‍රතිලාභ අත්වන බව මට නිසැකයි. මේ සම්බන්ධයෙන් විවිධ මත පළවුවත් ඒ ඒ රටවල නායකයින් සාකච්ඡා පවත්වමින් සිටිනවා. වාණිජමය එදිරිවාදිකම් ඒ තරම් ගණන් ගත යුතු නැහැ. නමුත් ඒවා ඉන් එහාට පවත්වාගත යුතු නැහැ.

යුරෝපීයයන්ගේ අවධානයත් අපේ රට කෙරෙහි යොමුව තිබෙනවා. එක්සත් රාජධානිය, බ්‍රිතාන්‍යයෙන් වෙන්වූ පසුව යළිත් ඉන්දියානු සාගර කලාපයේ තම සබඳතා ශක්තිමත් කර ගැනීමට උනන්දු වෙනවා ඇති. රුසියාවත්, ෂැංහයි සහයෝගිතා කවුන්සිලය සමග සිය ගනුදෙනු පිළිබඳ මෑතකදී සාකච්ඡා කරන්නට යෙදුණා. ඒවා බොහෝම සාර්ථක සාකච්ඡා වුණා. එක්සත් ජනපදය, ඉන්දියානු ශාන්තිකර සහයෝගිතාව සමග සාකච්ඡා පැවැත්වූවත් එක්සත් ජනපදය මෙම එකමුතුවේ කුමන කාර්යභාරයක් ඉටු කරන්නේදැයි තවමත් ගැටලු සහගතයි. මොකද එක්සත් ජනපදය සහ මිත්‍ර රාජ්‍යය විසින් යුරෝපයේ මෙන්ම අප්‍රිකානු රටවල පනවා තිබෙන තීරු බදු හේතුවෙන් මෙම සබඳතා ගොඩනගා ගැනීම ගැටලුවක්ව පවතිනවා.

එසේ නම් අපේ අරමුණ වන්නේ පෞද්ගලික අංශය විසින් මෙහෙයවන වෙළඳ ආර්ථිකයක් තුළින් ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම” යැයි පැවසීය.

මාතෘකා