ඉදිරි වසර දෙකේදී ජීවන වියදම පාලනය කරනවා

 ඡායාරූපය:

ඉදිරි වසර දෙකේදී ජීවන වියදම පාලනය කරනවා

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

රටේ කඩා වැටුණු ආර්ථිකය 2015 දී භාරගෙන විවිධ කැපවීම් කරමින් එය ක්‍රමානුකූලව ගොඩනැගූ බවත්, මේ ආකාරයටම තවත් වසර 3ක් 4ක් රට ඉදිරියට ගෙන යමින් ජනතාවට විශාල වශයෙන් සහන ලබා දිය හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරේදා (01) මහනුවර, පන්විල, කැලෑබොක්ක රජයේ වතුයායේ ක්‍රීඩාපිටියේදී වතුකම්කරු ජනතාව වෙත ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

අද මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කවල ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමේ වැඩසටහන අපි ආරම්භ කළා. මෙය ආරම්භයක් පමණයි. මෙම වැඩසටහන යටතේ සියලුම වතු කම්කරුවන්ට පර්චස් 07ක භූමි ප්‍රමාණයක අයිතිය ලබා දෙනවා. ඒ වගේම ග්‍රාමීය ජනතාවටත් සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ භේදයකින් තොරව අපි ඉඩම් අයිතිය ලබාදෙනවා. මෙය අප ආණ්ඩුව සිදුකරන විශාලතම වැඩසටහනක්. අද වතුකරයේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමෙන් පසු ගම්මාන වල ජනතාවටත් ඉඩම් අයිතිය ලබාදීම අප ආරම්භ කරනවා.

1994 දී වතුකරයේ ජනතාවට නිවාස ලබාදීමට තීරණය කර සිටියදී අප පරාජයට පත්වුණා. නිවාස ලබාදීම ඉන් පසුව හීනයක් බවට පත්වුණා. නමුත් 2015 දී අප ලබාගත් ජයග්‍රහණයත් සමග එම වැඩකටයුත්ත අප දැන් නැවත වතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ වගේම දැන් අප ඔබට ලබා දෙන්නේ නිවාස පමණක් නොවෙයි. අංග සම්පූර්ණ ගම්මානත් ඔබට ලබා දෙනවා. වතුකරයේ ගම්මාන සඳහා පාසැල් 25ක දෙමළ මාධ්‍යයෙන් උසස් පෙළ විද්‍යාව විෂය ධාරාව හැදෑරීමට අවශ්‍ය වැඩ කටයුතු අප ආරම්භ කර තිබෙනවා. ඔබේ දරුවන්ට ඉදිරියට යාමට අවශ්‍ය මාර්ගය අප සකසා දී තිබෙනවා. නමුත් අප භාරගත්තේ පොලියත්, ණය වාරිකයත් ගෙවා ගැනීමට නොහැකිව තිබූ රටක්. රට පාලනය කිරීමට මුදල් නොමැතිව සිඟමන් යැදීමේ තත්ත්වයකට එම පාලකයින් පත්වූ නිසා ඔවුන් මැතිවරණයක් පැවැත්වුවා. අපි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා ලෙස තෝරාගනිමින් මැතිවරණය ජයග්‍රහණය කළා. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් නිර්මාණය කරමින් පාලනය ලබාගත්තා. එම අසීරු අවස්ථාවේත් අප පෙට්‍රල් මිල අඩු කරමින් ජනතාවට විශාල ලෙස සහන ලබා දුන්නා. අප කෙසේ හෝ එම අසීරු අවස්ථාවන්ට මුහුණ දුන්නා.

ඒ වගේම ජල ගැලීම සහ නියඟයක් රටේ ඇති වුණා. එවිට මිනිස්සුන්ට ආදායම් මාර්ග ඇතිවන්නේ නැහැ. වියළි කලාපයේ ජනතාව ණය බරින් මිරිකෙමින් සිටියා. රටේ ආර්ථිකය බිඳ වැටෙනු ඇතැයි එවිට ජනතාව කල්පනා කළා. නමුත් අපේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අප අපහසුවෙන් රට ඉදිරියට ගෙන ගියා. පොල් මිල රුපියල් 100 දක්වා වැඩි වුණා. අප ඒ අවස්ථාවේ පළාත් පාලන ආයතන මැතිවරණයත් පරාජයට පත්වුණා. නමුත් අප අනුගමනය කළ පියවරයන් සාර්ථක නිසා රටේ ආර්ථික තත්ත්වය නැවතත් පාලනය වී තිබෙනවා. ඇතැම් අවස්ථාවල ජීවන වියදම ඉහළ යනවා. නමුත් ඉදිරි වසර දෙකක කාලය තුළ මීටත් වඩා හොදින් ජීවන වියදම පාලනය කරමින් ඉදිරියට යාමට අපි බලාපොරොත්තු වෙනවා.

අපට රටක් ලෙස තව බොහෝ දුර යා යුතුයි. නමුත් අප සියලු දේවල් සිදුකළේ යම් සැලැස්මකට අනුවයි. අපි රටේ ජනතාවට බොරු කිව්වේ නැහැ. ජනතාවගෙන් බැනුම් ඇසුවා. විවේචන එල්ල වුණා. නමුත් දැන් ඒවායේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා. "ගම් පෙරළිය", "එන්ටර්ප්‍රයිස් ලංකා", "ස්වශක්ති", විමධ්‍යගත අයවැය ආදිය හරහා රුපියල් බිලියන 160 – 200 ක් පමණ මුදලක් මේ වසරේත් එන වසරේත් රටේ සංවර්ධනය වෙනුවෙන් අප වියදම් කරනවා.

මාර්ග සංවර්ධනය, වැව් ප්‍රතිසංස්කරණය මේ සියලු වැඩකටයුතු අප දැන් ආරම්භ කරනවා. කුඩා ව්‍යාපාර ආරම්භ කරනවා. "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ තම තමන්ගේ ව්‍යාපාර සඳහා අපි තවත් මුදල් ලබාදෙනවා. මේ වැඩකටයුතු ආරම්භ කිරීම ඉතා අපහසුයි. පළමු වසර 3 අප බඩගාගෙන හෝ බැණුම් අසමින් හෝ ඉදිරියට පැමිණියේ ඒ නිසයි. දැන් අපට එහි ප්‍රතිඵල ලබාදිය හැකියි. තවත් වසර 3ක් 4ක් මේ ආකාරයට රට ඉදිරියට යනවා නම් කිසිම ගැටලුවකින් තොරව අපට ජනතාවට මීටත් වඩා සහන ලබාදිය හැකියි.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශය හරහා ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. පාසැල් වලට පුටු මේස ලබාදීමටත් අප කටයුතු කරනවා. ඉදිරි වසර 05 තුළ එම හිඟයත් අවසන් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් බිලියන 100ක පමණ මුදලක් වැය වෙනවා.

සෞඛ්‍ය අංශයට අවධානය යොමු කිරීමේදී බෙහෙත් මිල විශාල ලෙස අඩුවී තිබෙනවා. ඒ වගේම අපි නව රෝහල් ඉදිකරනවා. රටේ තවත් ගැටලු ඇති බව අප දන්නවා. ප්‍රවාහන ගැටලු ආදිය පිළිබඳව අප හොදින් දැනුවත්. නමුත් සිංහලයා බේරාගැනීමට, සිංහලයා අනතුරේ යැයි ආදී බොරු සටන් පාඨ නොකියා අප වැඩකටයුතු කළ යුතුයි.

ඒ අතරම කොළඹ සම්පූර්ණයෙන් දියුණු කිරීම සඳහා අප අලුත් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ලෝකයේ විශාලතම පිහිනුම් තටාකය බාරගැනීමට අපට සිදුවුණා. නමුත් ඉදිරියේදී එයට නැව් පැමිණෙනවා. තවත් වසර කිහිපයකින් එය විශාල වරායක් බවට පත්වෙනවා. ඒ වගේම මොණරුන් පමණක් සිටින ගුවන් තොටුපළක් අප බාර ගත්තා. එම ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පෙරවරුවේත් පස්වරුවේත් පැමිණියේ මොණරුන් පමණයි. ඉන් ඇතුළු වුණෙත් පිට වුණෙත් මොණරුන් පමණයි. එම නිසා අප එය වී ගබඩාවක් කළා. නමුත් මේ වසර අවසානයේදී එයටත් ගුවන්යානා පැමිණීමට නියමිතයි. තවත් එවැනි පව් විශාල ගණනාවක් ගෙවීමට අපට සිදුවෙනවා.

මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය ඉදිකිරීමට එදා සිටි පාලකයින් කටයුතු කර තිබෙන්නේ පරංගියා කෝට්ටේ ගිය ආකාරයකටයි. මාතර සිට හම්බන්තොට දක්වා මාර්ගය සැලසුම් කර තිබෙන්නේ බෙලිඅත්ත හරහායි. ඒ ඉදිකිරීම් සඳහා වැය වන සියලු මුදල් අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම මාර්ගය අතරමැද කැලෑවක් ද තිබෙනවා. නමුත් මාධ්‍ය මේවා විකාශය කරන්නේ නැහැ. අප හොරු බව නම් මාධ්‍ය සැමවිටම විකාශය කරනවා.

මේ සියලු ගැටලුවලට විසඳුම් සොයා ගනිමින් අප ඉදිරියට ගමන් කරනවා. කොළඹ විශාල මහනගරයක් බවට පත්වෙනවා. කොළඹ සිට හම්බන්තොට දක්වා නාගරික තීරුවක් ඇතිකර තිබෙනවා. කොළඹ සිට නුවර දක්වා මධ්‍යම අධිවේගී මාර්ගය ඇතිකරනවා. එම අධිවේගී මාර්ගය ඔබට ලබා දුන්නේ මහා මාර්ග අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් කිරිඇල්ල මැතිතුමා බව මම ඔබට පවසනවා. නුවර සංවර්ධනය භාරගන්නා ලෙස අප එතුමාට පැවසුවා. තවත් වසර 02ක් තුළ නුවර සංවර්ධනය වෙනස් වෙනවා. ඉදිරියේදී නුවර නගරයෙන් පිටත සහ නගරය තුළ පර්චසයක මිල රුපියල් ලක්‍ෂ 100කට පමණ ආසන්න වෙයි. නමුත් හිට්ලර් ගේ වැඩිමහල් සහෝදරයා ඉල්ලුවොත් ඔබ ඒ ඉඩම් විකුණන්නේ කීයටද?

නව නිවාස සංචාරකයින් සඳහා කුලී පදනම මත ලබාදීම දැන් විශාල වශයෙන් සිදුකරනවා. ඒවා දියුණු කිරීමට අවශ්‍ය වැඩසටහන් අප ඉදිරියේදී සිදු කරනවා. නමුත් තවත් අපට රැකියා ප්‍රශ්නය 100% කින් විසඳීමට නොහැකි වුණා. අප එයත් ඉටු කරනවා. අප මේ රටේ ජනතාවට බලාපොරොත්තු දිය යුතුයි. ඉඩම් අයිතිය, රැකියා අයිතිය ලබා දිය යුතුයි. බෝගම්බර ඉදිරියේදී විශාල සංචාරක නගරයක් බවට පත්වෙනවා. ගාල්ල, මහනුවර සංචාරක කලාප බවට පත්වෙනවා. මේ වැඩකටයුතු අප ඉදිරියට ගෙන ගියත් මහනුවර නයිට් රේස් පැවැත්වීමට නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ දියුණුව අප ඉදිරියට ගෙන යා යුතුයි. මෙම වැඩකටයුතු පිළිබඳව රටේ විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය පළ කරන්නේ නැහැ.

මාතෘකා