දේශපාලන වාසි ගන්න දරුවන්ගේ අධ්‍යාපනය භාවිත කිරීම හෙළා දකිනවා

 ඡායාරූපය:

දේශපාලන වාසි ගන්න දරුවන්ගේ අධ්‍යාපනය භාවිත කිරීම හෙළා දකිනවා

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්

අධ්‍යාපන අමාත්‍යංශය විසින් සේවා ව්‍යවස්ථාවට පටහැනිව පත්වීම් ලබාදීම සිදුකරන බව පවසමින් ඊට විරෝධය පළ කරමින් ලබන 4 වැනිදා ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට ගුරු-විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව සහ ලංකා ගුරු සංගමය සූදානමින් සිටී. ඒ සම්බන්ධයෙන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සමග රැස සමග කළ සාකච්ඡාවකි මෙය.

ගුරු වෘත්තිය සමිති විසින් ලබන 4 වැනිදා ගනු ලබන වෘත්තිය ක්‍රියා මාර්ගයට හේතුව සේවා ව්‍යවස්ථාවට පටහැනිව පත්වීම් ලබාදීම බව ඔවුන් පවසනවා. ඒ පිළිබඳ ඔබ දැනුවත්ද?

අනිවාර්යයෙන්ම. අපි කිසිම පත්වීමක්,උසස්වීමක් සේවා ව්‍යවස්ථාවට පටහැනිව දීලා නැහැ. පහුගිය ආණ්ඩුව කාලේ තිබුණු දේශපාලන දඩයම නිසා උසස්වීම් ලැබිය යුතු අයට ඒ උසස් වීම් ලබාදීම අසාධාරණ ලෙස පැහැර හැර තිබුණා. ඒ නිසා යහපාලන ආණ්ඩුව විදිහට අපිට සාධාරණ වගකීමක් තිබෙනවා ඔවුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. නමුත් අපි එය සිදුකළේ නිසි ක්‍රමවේදයක් ඇතිව සාධාරණ ක්‍රමවේදයකටයි. ඒ පත්වීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් ස්වාධීන කමිටු පත්කරලා ඒ කමිටුවලින් ලැබුණු නිර්දේශ මත සාධාරණ ආකාරයටයි අපි ඒ උසස්වීම් ලබාදුන්නේ. ඉල්ලපු හැම කෙනාටම දීලාත් නැහැ. 11, 000ක් විතර ඉල්ලලා තිබුණා. නමුත් 1020 ක් වගේ සංඛ්‍යාවකට තමයි දුන්නේ. ගිය ආණ්ඩුව් දේශපාලන පළිගැනීම්වලින් උසස්වීම් ගත්ත අය තමයි ඔය කාරණය සම්බන්ධයෙන් අද ගොඩක් කෑ ගහන්නේ. පහුගිය ආණ්ඩුව කාලයේ කෙටි කාලයක් තුළ හයදහස් ගාණකට උසස්වීම් දීලා තිබුණා. අපි අවුරුදු 20කට පස්සේ ඇවිත් දීලා තියෙන්නේ දාහයි. ‍ඒ නිසා ඕක පදනම් විරහිත චෝදනාවක්. අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ අසාධාරණකම් කරන්නේ නැහැ. ඔවැනි කතා කියන්නේ දේශපාලන කුහකකමටයි.

නමුත් එම වෘත්තිය ක්‍රියාමාර්ගය තුළ අසීරුතාවයට ලක්වන්නේ පාසල් දරුවන්. ඒ වෙනුවෙන් අමාත්‍යංශය ගන්නා පියවර කුමක්ද?

වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීම වෘත්තිය සමිති සාමාජිකයන්ගේ අයිතියක් නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. ඔවැනි දේවල් සිදුකරන්නේ අධ්‍යාපනයේ දියුණුව හෝ යහපත වෙනුවෙන් නෙවෙයි. තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර තමයි ඒ ඔස්සේ ක්‍රියාත්මක කරන්නේ. ඒ සඳහා පාසල් දරුවන් ප්‍රයෝජනයට ගන්නවා නම් ඒක ඔවුන්ගේ කාර්යයක්. දේශපාලඥයෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් පටු දේශපාලන වාසි සඳහා දරුවන්ගේ අධ්‍යාපනය භාවිත කිරීමට උත්සාහ කිරීම කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. එවැනි දේවල් අපි පිළිකුලෙන් යුතුව බැහැර කරනවා.

ග්‍රාමීය පාසල්වල විසඳිය යුතු ප්‍රශ්න රාශියක් තිබෙන විට පාසල් සිසුන්ට ‘ටැබ්“ ලබාදීම විහිළුවක් බවටත් ඇතැම් පාර්ශ්ව චෝදනා කරනවා නේද?

මේ වන විට අපි ග්‍රාමීය පාසල්වල තිබූ ප්‍රශ්න රාශියක් විසඳා තිබෙනවා. අපි මේ ආණ්ඩුව භාරගන්නකොට මේ රටේ පාසල් දහදාහෙන් සියයට 60 කට විතරයි විදුලිය තිබුණේ. අපි ඒ සංඛ්‍යාව සියයට 97 ක් දක්වා ඉහළට ගෙනාවා. ඒ වගේම පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කළා. පාසල් වැසිකිළි පද්ධතිය 26000 දක්වා වැඩිකළා. පිරිසිදු පානීය ජලය දීලා ලබාදුන්නා. ළඟම පාසල හොඳම පාසල බවට පත්කර තිබෙනවා. ගොඩනැගිලි දහස් ගාණක් ලබාදී තියෙනවා. විද්‍යාගාර තිබුණේ නැති පාසල්වලට විද්‍යාගාර 3000ක් ලබාදී තිබෙනවා. ඒ අතර ජංගම විද්‍යාගාර 73ක් තිබෙනවා. පුස්තකාලවලට මිලියන 700ක පොත් ලබාදී තිබෙනවා. විදුහල්පතිවරුන් සඳහා පුරප්පාඩු 4000ක් තිබුණා. කිසිම දේශපාලන භේදයකින් තොරව අපි විදුහල්පතිවරු පුහුණු කරලා පාසල් පද්ධතියට ඇතුළු කරලා තියෙනවා. ඒ වගේම ගුරුවරු දහස් ගාණක් බඳවා ගත්තා. පළාත් සභාවලටත් ගුරුවරු ගන්න මුදල් ලබාදුන්නා. මේ වන විට ගුරු හිඟය අවම වෙමින් තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අධ්‍යාපන ඇමති විදිහට ඉන්නකොට පරිගණක ගේන්න යෝජනා කරද්දිත් ඔය වගේම එක එක කතා කියලා විරෝධතා මතුකර තිබෙනවා. නමුත් එදා ඒ කතා ගැන හිතලා පරිගණක ගෙන ඒම නතර කළා. තවමත් ලංකාවට පරිගණක ඇවිල්ලා නැහැ. මෙවැනි දේවල් දිහා විවෘත මනසකින් වගේම පුළුල් දැක්මකින් බැලිය යුතුයි. අපි දන්නවා අද ලෝකය ඉතා ඉක්මනින් දියුණු වෙනවා. කොරියාව, ජපානය වගේම ඉන්දියාවේ පවා මෙවැනි දේවල් සිදුවෙනවා. නවීන තාක්ෂණය සමග අපේ අධ්‍යාපනයත් ඉදිරියට යා යුතුයි.

නමුත් නවීන තාක්ෂණය තුළින් පාසල් දරුවන් අනිසි දේවල්වලට යොමුවන බවටත් චෝදනාවක් තිබෙනවා?

අවබෝධයකින් තොරව දරුවන් නවීන තාක්ෂණය සමග කටයුතු කිරීමෙන් එසේ විය හැකියි. නමුත් අපි දරුවන්ට තාක්ෂණික උපාංග ලබාදීමේදී අනවශ්‍ය දේවල්වලට පිවිසීමට , භාවිත කිරීමට දරුවන්ට තිබෙන අවස්ථාව අහුරා ඒවා ලබාදිය යුතුයි. ටැබ් ලබාදීමේදී අපි එවැනි ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය කරනවා. ඒ ආකාරයට තමයි අපි ඒ කටයුත්ත සැලසුම් කර තිබෙන්නේ. සාමාන්‍යයෙන් මොන දේ කරන්න ගියත් චෝදනා එල්ල වීම සාමාන්‍ය දෙයක්නේ. පසුගිය දවස්වල අධ්‍යාපන අමාත්‍යංශය ඉතිහාසය විෂයය පාසල් විෂය නිර්දේශයෙන් ඉවත් කරන්න සූදානම් වෙනවා කියලත් විවිධ අසත්‍ය මත ප්‍රචාරය කළානේ. මහා සංඝරත්නය පවා නොමඟ කරන ප්‍රකාශ සමහරු කළා. ඒවා විවිධ පාර්ශ්ව විවිධ පටු අරමුණු ඇතිව කරන ප්‍රකාශ. ඒ නිසා ඒවා පිළිබඳ අප අධෛර්යය විය යුතු නැති බවයි මගේ හැඟීම.

සිසු රක්ෂණාවරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධ නවතම තත්ත්වය කුමක්ද?

කියන්න සතුටුයි. එම වැඩ පිළිවෙළ ඉතාම හොඳින් ක්‍රියාත්මක වනවා. කාඩ්පතක් මට්ටමට එය දියුණු වෙලා තියෙනවා.ඒ වගේම මේ වෙද්දි දරුවන් එයින් ප්‍රතිලාභ ලබන්නත් පටන් අරගෙන තියෙනවා. එය පාසල් දරුවන්ගේ මාපියන්ට විශාල ශක්තියක් බවට පත්වී තිබෙනවා.

පාසල්වල විනය පිරිහී තිබෙන බවට කොළඹ අගරදගුරු අතිගරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කර තිබෙනවා. අධ්‍යාපන අමැතිවරයා විදිහට ඒ ප්‍රකාශය ගැන ඔබට වගකීමක් තිබෙනවා නේද?

ඇත්තම තත්ත්වය තමයි පාසල්වල විතරක් නෙවෙයි සමාජයේ හැම තැනම විනය පිරිහීමක් දකින්නට තිබෙනවා. ඒ වගේම එය එකපාරම සිදුවූ දෙයක් නෙවෙයි. කාලයක් තිස්සේ තමයි ඒ පිරිහීම සිදුවෙලා තියෙන්නෙ. පාසල්වල විනය පිරිහීමට දේශපාලඥයෝ, ආගමික නායකයෝ වගේම වෙනත් සමාජ වෘත්තිකයන් පවා වගකිව යුතුයි. පාසල්වල විනය හදන්න අපි පුළුවන් උපරිමයෙන් කටයුතු කරනවා. නමුත් ඒ සඳහා දෙමාපියන්ගේත් ලොකු වගකීමක් තිබෙනවා. අනිත් කාරණාව විනය පිරිහීමෙන් අපට පේන වැදගත් කරුණ තමයි ආගමික නැඹුරුවත් අද අපේ සමාජයෙන් ඈත්වෙලා තියෙනවා කියන එක. ඒක එක ආගමකට විතරක් බලපාන දෙයක් නෙවෙයි.ආගම , ආගමට තිබෙන නැඹුරුව සහ ආගමේ කාර්යභාරය කියන දේ දැන් සමාජය තුළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙන බවයි මගේ හැඟීම.

එම තත්ත්වය තුළ දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?

දහම් පාසල් අධ්‍යාපනයට කෙසේ හෝ පාසල් දරුවන් නැඹුරු කිරීම කළ යුතුම කාර්යයක් බවට පත්වී තිබෙනවා. ඒ අනුව දරුවන් තුළ දහම් පාසල් යාමේ නැඹුරුවක් ඇති කිරීමට ඒ සඳහා ලකුණු දීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට අපි සැලසුම් කරගෙන යනවා. ඉදිරියේදී එය සිදුවේවි.

ඒ වගේම බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට මම ඉදිරිපත් කළ යෝජනාවට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමත් අප ලැබූ එක්තරා ජයග්‍රහණයක්. මේ වන විට දිවයින පුරා දසසිල් මාතාවන් 4000කට අධික ප්‍රමාණයක් සිටිනවා. 1979 අංක 64 දරණ පිරිවෙන් පනත අනුව බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කිරීමට මෙතෙක් ප්‍රතිපාදන තිබුණේ නැහැ. නමුත් පිරිවෙන් අධ්‍යාපන මණ්ඩලයේ එකඟත්වය මත පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා. එය මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී දස සීල මාතාවන් වෙනුවෙන් පළාතකට එකක් බැගින් බෞද්ධ දස සීල මාතා අධ්‍යාපන ආයතන ආරම්භ කෙරෙනවා. ඒ වගේම එම ආයතනවලට පිරිවෙන් සඳහා ලබාදෙන ගුරු වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද ද ලබාදීමට නියමිතයි. එය අපේ රටේ බෞද්ධ අධ්‍යාපනයේ පුනර්ජීවනයට උපකාරී වන බවත් මගේ විශ්වාසයයි.

විභාග පැවැත්වෙන දින වකවානු ඉදිරියේදී වෙනස් වීමක් සිදුවනවාද?

උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග දෙකම දෙසැම්බර් මාසයේ පවත්වන්නට සැලසුමක් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරමින් සිටිනවා. නමුත් හදිසියේ එවැන්නක් සිදුවන්නේ නැහැ. 5 වසර ශිෂ්‍යත්වය විභාගයත් කලින් නියම කරගත් ආකාරයට අගෝස්තු මස 5 වැනිදා පැවැත්වෙනවා.

වඩා ඵලදායී හා ගුණාත්මක අධ්‍යාපන සේවයක් ඇතිකිරීම සඳහා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත ඉදිරි සැලසුම් මොනවාද?

අනාගත ලෝකයට ගැලපෙන ආකාරයට පාසල් විෂය මාලා නවීකරණය කිරීමේ කටයුතු මේ වනවිටත් අප විසින් ආරම්භ කර තිබෙනවා. එහිදී ඉතිහාසය, සාහිත්‍යය භාෂාව, දේශීයත්වය සහ අපේකම සුරැකීමේ වගකීමට මුල්තැනක් ලබාදෙනවා. සමහර විට ඉතිහාසයට වෙන්කරන කාල පරිච්ඡේද ගණන වැඩි කරන්නත් ඉඩ තිබෙනවා. එය පදනම් විරහිත අසත්‍ය ප්‍රකාශ පතුරන විවේචකයන්ට හොඳ පිළිතුරක් වේවි.

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]

මාතෘකා