පළමු පුංචි ඡන්දය | ඇස පාදන රැස


පළමු පුංචි ඡන්දය

 ඡායාරූපය:

පළමු පුංචි ඡන්දය

1987 දී ප්‍රාදේශීය සභා පිහිටුවා තිබුණ ද සභිකයින් පත්ව සිටියේ නාමකරණයෙනි. එහෙත් ලංකාවේ පළමු පළාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 1991 මැයි 11 වැනිදාය. එය ජාතික මැතිවරණයක් තරම් 'ලොකුවට'දැනුනේ එක්තරා ආකාරයක නවමු අත්දැකීමක්ද වූ නිසාය. සභික ධුර 3542ක්‌ වෙනුවෙන් තරඟ වැදී සිටි මුළු අපේක්‌ෂකයින් ගණන 13,000කට ආසන්න පිරිසක් තරඟ වැදුනෝය. ඒ වනවිට උතුරු නැගෙනහිර දරුණු ගැටුම් පැවැති අතර දකුණේ දෙවැනි තරුණ කැරැල්ල 'ඔපරේෂන් කම්බයින්' හරහා නිමාකොට තිබුණා විතරය. ඒ අනුව නවතම ජනමතය උරගා බලන්නට එජාප ආණ්ඩුවට උවමනා විය.

උතුර - නැගෙනහිර හැර සෙසු පළාත් හතේ පිහිටි දිස්‌ත්‍රික්‌ක 17හි ස්‌ථාන 18කදී නාමයෝජනා බාරගන්නා ලද්දේ 1991 මාර්තු 21 සිට 28 වෙනිදා දක්‌වා කාලයේදීය. ඡන්ද විමසීම මැයි 11 වෙනිදා පෙ.ව. 7.00 සිට ප.ව. 4.00 දක්‌වා ඡන්ද මධ්‍යස්‌ථාන 750කදී සිදුකෙරිණි. එහිදී ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි මුළු ඡන්දදායකයින් පිරිස 86,25,145 දෙනෙකි.

සමානුපාතික අපේක්‌ෂක ලැයිස්‌තු ක්‍රමය යටතේ මැතිවරණය පැවැති අතර, මැතිවරණයට තරඟ කිරීමේ අපේක්‌ෂාවෙන් දේශපාලන පක්‌ෂ හා ස්‌වාධීන කණ්‌ඩායම් විසින් භාරදී තිබූ නාමයෝජනා පත්‍ර 74ක්‌ම මෙම මැතිවරණයේදී ප්‍රතික්‌ෂේප විය.

එවක, කුඩාම පළාත් පාලන ආයතනය වූයේ  කඩුගන්නාව නගර සභාවය.අවාසනාවට ශ්‍රී ල.නි.ප. නාමයෝජනා පත්‍රය කඩුගන්නාවෙන් ප්‍රතික්‌ෂේප විය, ඉතිරිව තිබුනේ එ.ජා.ප. නාමයෝජනා පත්‍රය පමණි. ඒ හේතුවෙන් එහි නාගරික මන්ත්‍රී ධුර නවයම එ.ජා.ප.යට නිතරඟයෙන්ම හිමිවිය. එය සමානුපාතික මැතිවරණ ක්‍රමය මෙරටට හඳුන්වා දීමෙන් පසුව  නිතරඟයෙන් මන්ත්‍රීවරු තේරීපත්වූ පළමු අවස්‌ථාව ලෙස සැලකිණි.

මැතිවරණ ක්‍රමයේ සහ නාමයෝජනා භාරගැනීමේ සංකීර්ණ ක්‍රමවේදය හේතුවෙන් මෙතරම් නාමයෝජනා ප්‍රමාණයක් ප්‍රතික්ෂේප වී තිබිණි.ඒ එක්කම, තරුණ අපේක්‌ෂකයින්ගේ නියෝජනය උදෙසා  හඳුන්වා දී තිබූ ප්‍රමිතීන් සම්පූර්ණ කිරීමට බොහෝ පක්‌ෂ හා කණ්‌ඩායම් අපොහොසත් වූහ. එහෙත් අති විශාල තරුණ පිරිසක් මැතිවරණයට ඉදිරිපත්ව සිටියහ. එය ගණනින් 5500කට ආසන්නය.

අසාර්ථක දෙවැනි කැරැල්ලෙන් පසු ඒ වනවිට තරුණ ප්‍රජාව දැඩි 'කම්පන' සමයක් ගතකරමින් සිටියහ. මැතිවරණයට තරඟ කිරීම සඳහා ඉදිරිපත්වූ දේශපාලන පක්‌ෂ ගණන 11කි. එ. ජා. ප, ශ්‍රී ල.නි.ප, ල.ස.ස.ප., ම.එ.පෙ, කො.ප, ශ්‍රී ල.ම.ප, ල.ක.කො, බ.නි.පෙ, න.ස.ස.ප, ශ්‍රී ල.මු.කො. සහ ශ්‍රී ල.ප්‍ර.පෙ. එම පක්‌ෂ විය. එහිදී, එ.ජා.ප.ය අලියා ලකුණින් ආයතන 234කට තරඟ කරත්දී ශ්‍රී ල.නි.ප.ය අත ලකුනින් ආයතන 202කට තරඟ කළහ. ශ්‍රීලනිපය 'අතින්' තරඟ කළ අවසන් මැතිවරණයද එයයි.  ශ්‍රී ල.ම.ප. ආයතන 120කටත්, ශ්‍රී ල.මු.කො. ආයතන 65කටත්, න.ස.ස.ප. ආයතන 43කටත්, ම.එ.පෙ. ආයතන 18කටත්, බ.නි.පෙ. ආයතන 12කටත්, ල.ස.ස.ප. ආයතන 10 කටත්, කො.ප. ආයතන 06කටත්, ල.ක.කො. ආයතන 02කට සහ ශ්‍රී ල.ප්‍ර.පෙ. ආයතන 02කටත් තරඟ කළ අතර, ස්‌වාධීන කණ්‌ඩායම් 100ක්‌  පළාත් පාලන ආයතන 75කට තරඟ කළහ.  ප්‍රතික්ෂේප වූ නාමයෝජනා සඳහා කිසිවෙක් අධිකරණමය පිහිට පැතුවේ නැත.

එවර කොළඹට එජාපය සමග තරඟ කරන්නට ශ්‍රිලනිපය ආවේ සංධාන ගතවය. එ.ජා.ප.යේ කොළඹ නගරාධිපති ධුර අපේක්‌ෂකයා වූයේ රත්නසිරි රාජපක්‌ෂ වූ අතර, විපක්‌ෂයෙන් ඊට තරඟ කළේ ඒ. එච්. එම්. ෆවුසි (ශ්‍රී ල.නි.ප.) ය.
එ.ජා.ප.ය හා ශ්‍රී ල.නි.ප. ආයතන 199කදී තරඟ කළේ ප්‍රතිවාදීව හමුවෙමිනි.  ඡන්දය පැවති ආයතනවලින් 84%කදීම ඒ තරඟය දැකගත හැකි විය. පළාත් පාලන ආයතන 33එකට ශ්‍රීලනිපය සෘජුව තරඟ කළේ නැත. කෙසේ වෙතත් සෙසු බොහෝ පක්ෂ ස්වකීය ප්‍රතිවාදියා ලෙස සැලකුවේ එජාපයයි.

නුවරඑළිය ප්‍රාදේශීය සභාව සඳහා එජාපය සහ ශ්‍රීලනිපය තරඟ කළේ ඔවුන්ගේ පක්ෂ ලකුණු වලින් නොවේ.

මැතිවරණ අවදිය වනවිට එජාපය සිටියේ 14වසරක් බලය සතු කරගෙනය. ඒ වනවිට ශ්‍රීලනිපය වසර 14ක් විපක්ෂයේය. එබැවින් දෙපාර්ශ්වයටම ඒ මැතිවරණය තීරණාත්මක වුයේ තමන්ගේ 'තැන' හඳුනාගත හැකි අවස්ථාවක් නිසාය.

එක් අතකින් ඒ වනවිට එජාපය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වයෙන් ප්‍රබලව සිටි අතර, ඊට සාපේක්ෂව ශ්‍රීලනිපය සිටියේ ෙභ්ද බින්න වෙලාය.

මැතිවරණ සටනේ වේදිකා රත්වුණේ රණසිංහ ප්‍රේමදාස, සිරිමාවෝ බණ්ඩාරනායක, ඔසී අබේගුණසේකර, දිනේෂ් ගුණවර්ධන, බර්නාඩ් සොයිසා, බැටී වීරකෝන්, ඩිව් ගුණසේකර, පීටර් කෙනමන් හා කේ. පී. සිල්වා, වාසුදේව නානායක්‌කාර හා ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න යන අය ය. එකිනෙකා තියුණු මැතිවරණ සටනක යෙදුන නමුත් එජාපය වේගයෙන් 'රැල්ල' නතුකරගෙන සිටියහ. මැයි 08 වෙනිදා මැදියම් රැයේ සියලු ප්‍රචාරක කටයුතු නිමා විය.

ඡන්දය දී තිබූ මුළු ඡන්දදායකයින් ගණන 62,93,929 දෙනෙකි. එය ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන් 72.97% ක ප්‍රතිශතයකි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන්ද 588,939 ක්‌ හෙවත් 9.36% ක්‌ තරම් ඉහළ සැලකිය යුතු ප්‍රතිශතයක්‌ ප්‍රතික්‌ෂේප වී තිබුණි.1991 පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් එ.ජා.ප.යට ඡන්ද 29,10,438 ක්‌ හෙවත් 51.02% ක ඡන්ද ප්‍රතිශතයක්‌ හිමිවිය. ශ්‍රී ල.නි.ප.ට හිමිවූයේ ඡන්ද 19,96,820 ක්‌ හෙවත් 35,00% ක ප්‍රතිශතයක්‌ පමණි. ඒ අනුව ජයග්‍රාහී එ.ජා.ප.යට හිමිවූ වැඩි ඡන්ද සංඛ්‍යාව 913,618 කි. එහිදී රටේ සියලුම පළාත් පාලන ආයතනවලින් එ.ජා.ප.යට නියෝජිත ධුර 1985 ක්‌ද, ශ්‍රී ල.නි.ප.ය ට  නියෝජිත ධුර 1156 ක්‌ද හිමිවිය. මැතිවරණය පැවති මහ නගර සභා 10න් 09ක්‌ම ජයග්‍රහණය කිරීමට සමත්වූයේ එ.ජා.ප.යයි.  ශ්‍රී ල.නි.ප.ට ජයගත හැකිවූයේ රත්නපුර මහනගර සභාව පමණි. නගර සභා 33න්ද 28ක්‌ම එ.ජා.ප.ය ජයගන්නා විට, ශ්‍රී ල.නි.ප.ට දිනාගත හැකිවූයේ නගර සභා 02ක්‌ පමණි. ප්‍රාදේශීය සභාවලින්ද බහුතරයක බලය අල්ලාගෙන තිබුණේ පාලක එ.ජා.ප.යයි. ඔවුන්ට ප්‍රාදේශීය සභා 153 කම බලය හිමිවන විට, ශ්‍රී ල.නි.ප.ට හිමිවූයේ ප්‍රාදේශීය සභා 33ක්‌ පමණි. අකුරැස්‌ස ප්‍රාදේශීය සභාවට එ.ජා.ප.යෙන් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්‌ෂේපවූ පසු ඔවුන් කළේ ඊට "හාවා" ලකුණ යටතේ තරඟ කොට ශ්‍රීලනිපය පරාජය කළේය.

මේ මැතිවරණයේදී දිවයිනෙන්ම වැඩිම මනාප (56,724) හිමිකරගෙන තිබුණේ කොළඹ මහ නගර සභාවට ඒකාබද්ධ විපක්‌ෂයේ ස්‌වාධීන කණ්‌ඩායමෙන් තරඟ කළ පුරපති අපේක්‌ෂක ඒ. එච්. එම්. ෆවුසි (ශ්‍රී ල.නි.ප.) ය. එ.ජා.ප.යෙන් කොළඹට තරඟකොට මනාප 30,872 ක්‌ ලබාගත් රත්නසිරි රාජපක්‌ෂ මහතා දිවයිනේ දෙවැනි වැඩිම මනාප ලාභියා විය.එහෙත් සභාව ජයගෙන තිබුණේ එජාපය ය. සමානුපාතික කුසපත් ඇදීමෙන් ජයග්‍රාහකයා තෝරාගැනීමේ ක්‍රමයක්ද මෙහිදී සිදුවිය. හබරාදුව ප්‍රාදේශීය සභාවට එ.ජා.ප.යෙන් තරග කළ ඊ. කේ. නන්දසිරි හා ඒ. කරුණාපාල දෙදෙනාම මනාප 1916 බැගින් සමානව ලබාගෙන සිටි නිසාය.