අස්වැන්න

 ඡායාරූපය:

අස්වැන්න

මාළු කඩයක් දැමූ වෙළෙන්දෙක් ගාවට ආව හිතවතුන් කිහිප දෙනෙකු කීවේ,

'ඇයි මේ මෙච්චර හොඳ මාළු විකුණද්දී පොඩි බෝඩ් ලෑල්ලක් දාන්නේ නැත්තේ?' කියාය.

හිතවතුන්ගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්න වෙළෙන්දා අලුත් බෝඩ් එකක් දැම්මේය. එහි තිබුණේ මෙවැන්නකි.

'මෙහි අලුත් මාළු විකිණීමට තිබේ.'

දවසක් පණ්ඩිතයින් කිහිපදෙනෙක් ඇවිත් බෝඩ් එක දිහා බලා මෙහෙම කීවේය.

'මෙහි අලුත් මාළු විකිණීමට තිබේ කියලා' කියන්න ඕන නෑ. තියෙන්නේ මෙහෙ බව මිනිස්සු දන්නවනේ. ඒ හින්දා 'මෙහි' කියන කෑල්ල මකන්න.'

පණ්ඩිතයෝ කී පරිදිම වෙළෙන්දා 'මෙහි' වචනය කපා දැම්මේය. දැන් ඉතිරි 'අලුත් මාළු විකිණීමට තිබේ' කියලාය. ඊට පසුදා අර පණ්ඩිතයෝම නැවත ආහ.

'ඔහේ කොහොමත් පරණ මාළු විකුණන්නේ නෑනේ. ඉතින් 'අලුත්' කෑල්ල කපලා දාන්න.'

වෙළෙන්දා ඒ වචනෙත් කපා දැම්මේය.

දැන් ඉතිරි 'මාළු විකිණීමට තිබේ' යන්නය.

පසුදා නැවත අර පණ්ඩිතයෝ බෝඩ් එකේ වරදක් දැක්කේය.

'මෙතන ඉතින් විකුණන්නේ මාළු විතරයිනේ. ඉතින් 'විකිණීමට තිබේ' කියලා තිබ්බම ඇතිනේ.'

එය ඇසූ වෙළෙන්දා 'මාළු' වචනයත් මකා දැම්මේය. දැන් ඉතිරි 'විකිණීමට තිබේ' විතරය.

ඊට පසුදා නැවත ආව පණ්ඩිතයෝ මෙහෙම කීය.

'ඔහේ කොහොමත් නිකන් දෙන්නේ නෑනේ. ඉතින් 'විකිණීමට' කියලා ලියන්න ඕන නෑ.'

වෙළෙන්දා 'විකිණීමට' වචනය මකා 'තිබේ' වචනය ඉතිරි කළේය. අන්තිමට පසුදින නැවත පැමිණි පණ්ඩිතයෝ මෙහෙම කීවේය.

'තිබේ' කියලා බෝඩ් එකක් ඇයි මේ. තියෙන හින්දනේ කඩේ ඇරලා තියෙන්නේ. මේ විකාර බෝඩ් එක අයින් කරන්න.'

අන්තිම වෙළෙන්දා 'තිබේ' වචනයත් මකා දමා බෝඩ් එක වීසිකොට දැම්මේය. සතියකට විතර පස්සේ වෙළෙන්දා කඩෙත් වසා දැම්මේය.'යහපාලන ආණ්ඩුව' නැමැති බෝඩ් එක ගැනත් දැන් එක එක පණ්ඩිතයෝ එක එක අර්ථකථන ඉදිරිපත් කරනවාය. සමහරු කියන්නේ පක්ෂ දෙක වෙන්ව යා යුතුයි කියලාය. තව සමහරු කියන්නේ පක්ෂ දෙක එකට යාම ඒ ඒ පක්ෂවලට කරන ද්‍රෝහී කමක් කියලාය. තවත් සමහරු කියන්නේ මේ එකතුව 'රටට සැපයි' කියලා ය. එදාවේල දේශපාලනය උදෙසා 'ගේම්' ගසන මහින්ද පාර්ශ්වය 'තැන තැන' ව්‍යවස්ථා බිල්ලෝ මවන්නේ මෙරට ඉතිහාසයේ උදාවී ඇති ස්වර්ණමය අවස්ථාව 'ආපසු හරවන්නට' ය.

නිදහසින් පසු මෙරට මහපොළවේ උත්පාද වූ ස්වර්ණමය අවස්ථාව 'යහපාලන' ආණ්ඩුවය. එතෙක් පසමිතුරන්ව 'රංඩු සරුවල්' කළ පක්ෂ දෙකක් විසිතුරු ගමනකට සැරසෙද්දී ඊට එරෙහිව කැරළි ගැසුවේ මහින්ද වාදීන් ය. ආණ්ඩුව බිහි වී මාස තුනක් යන්නට පෙරාතුව ඔවුහූ කැරැල්ල පටන් ගත්හ.

'මහින්ද සමඟ නැගිටිමු'

ඒ මහින්ද කල්ලියේ 'කැරැල්ලේ තේමා පාඨය ය. දශක ගණනාවක් තිස්සේ ' ඇට අටට, හාල් සේරුවට, හඳෙන් හාල් දෙන එකට, සලාක මුද්දරයට, පාන් ගෙඩියට, සිය පරමාධිපත්‍ය පාවිච්චි කළ මිනිස්සු 2015 ඡන්දය දුන්නේ කුස වෙනුවට 'රට' ගැන හිතලාය. පවුල් බල ඇණියක කෲරත්වයට එහා 'නිදහස් ලෝකයක' සිහිනය හදවතේ නඩත්තු කළ මිනිස්සු හැට දෙලක්ෂයක් එක පෙළට හිටගත්තේ පොළොන්නරුවෙන් පැමිණි 'ගැමියා' දිනවන්නටය.

මිනිස්සු තමන් තෝරාගත් අයෙක් හට සිය සිහින ප්‍රාර්ථනා භාර දෙන්නේ, අප්‍රමාණ විශ්වාසයකින් ය. යහපාලන ආණ්ඩුවට ඡන්දය දුන් මිනිස්සු ප්‍රාර්ථනා කළේ එක්ව යන ගමනක්ය. සමහරු කොහොල කඩු අනින්නේත්, සමහරු අත්බෝම්බ ගහන්නේත්, තවත් සමහරු පරමානු හෙලන්නේත් ඒ ප්‍රාර්ථනා සහ සිහින් කන්දටය.

65 මැතිවරණය තීරණාත්මක තියුණු එකක් විය. මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 1,579,181 ලබා ආසන 66ක් හිමි වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඡන්ද 1,226,833 ලැබී හිමි වූයේ ආසන 41කි. මෙහිදී එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කීපයක් එකතු කරගෙන ආසන සංඛ්‍යාව වැඩිකර ගනිමින් ජාතික රාජ්‍යයක් බිහිකිරීමට කටයුතු කළේය. ඒ වැඩේට එජාපය එකතු කරගත්තේ  ශ්‍රී ලංකා නිදහස් සමාජවාදී පක්ෂය, ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, මහජන එක්සත් පෙරමුණ සහ ජාතික විමුක්ති පෙරමුණය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවූයේ 1965 මාර්තු 22 වැනිදා පැවැති මහ මැතිවරණයේදීය. “පළමුවැනි ජාතික රජය බිහිවෙයි. අලුත් අගමැති දිවුරුම් දෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායක ඩඩ්ලි සේනානායක මහතා ඊයේ දහවල් 1.28ට රජගෙදරදී අලුත් ජාතික රජයේ අගමැති පදවිය භාරගත්තේය. සේනානායක මහතා නිදහස් ලංකාවේ නවවැනි අගමැතිවරයාය. එසේම ඒ මහතා අගමැති ධුරයට පත්වූ සිවුවැනි වතාව ද මෙය වෙයි.'

1965 මාර්තු 26 වැනිදා දවස පුවත්පතේ 'ලීඩ්' එක තිබ්බේ එහෙමය. ලංකාවේ පළමු ජාතික ආන්ඩුව ගැන ලියැවී තිබිණි.

අද 'තියෙන ජාතික ආණ්ඩුවට 'ඔච්චම්' කරන සමහරුන්ට 'දවසේ' එදාම තිබ්බ මේ නිවේදනයත් මතක් කොට විය යුතුය.

 “ඉකුත් මාර්තු 22 වැනිදා පැවැත්වුණ මහා මැතිවරණය මේ රටේ අවුරුදු ගණනාවකින් පැවැත් වුණු ඉතාමත් තියුණු වූද තරඟකාරී වූද මහා මැතිවරණයකි. වෙනත් වාරවලදීට වඩා වැඩි ඡන්දදායක සංඛ්‍යාවක් මෙවර ඡන්දය දීමට ඉදිරිපත් වී සිටියහ. මාක්ස්වාදී රජයන් මේ ධර්මද්වීපයේ ඇතිවුවහොත් එයින් ආගමික නිදහසට හා බුද්ධ ශාසනයට සිදුවන මහා විනාශය පිළිබඳව පොදු මහජනතාවට කරුණු කියාදීම සඳහා භික්ෂු පෙරමුණ මගින් අති උත්තම උත්සාහයක් දරන ලදී. එහෙත් ඇතැම් භික්ෂු පිරිසක් නොමඟ ගොස් මාක්ස්වාදීන්ට මුලාවී භේදභින්න වීම කණගාටුවට කරුණකැයිද සඳහන් කරමි.”

මෙහෙම නිවේදනයක් කරන්නේ මල්වතු පාර්ශ්වයේ සියම් මහා නිකායේ මහා නායක රාජගුරු ශ්‍රී විපස්සි නාහිමිපාණෝද විශේෂ ප්‍රකාශයක් කරමින්ය.
සත්තකින්ම එදා ජාතියේ ආශිර්වාදය හිමිවුණේ අර්ධ ජාතික ආණ්ඩුවක් තිබියදීය. ඊට පස්සේ ජාතික ආණ්ඩුවක් හදන්න ගියේ සරත් අමුනුගම ඇතුලු පිරිසක්ය. එජාපයෙන් ගැලවී 'විකල්ප එක්සත් ජාතික පක්ෂය' කියා සරත්ලා චන්ද්‍රිකා ආණ්ඩුවට ගියහ. හැබැයි හැදුණු ජාතික ආණ්ඩුවක් නැත.

ඊට පස්සේ මහින්ද යුද්ධය දිනන්නට එජාපයේ සහය ඌන බව කියා ජාතික ආණ්ඩුවකට එලිපිට ආරාදනා කොට පිළිකන්නෙන් එජාපයේ පිරිසක් වෙනම ගලවා ගත්තේය. හැදුණු ජාතික ආණ්ඩුවක් නැත. ඒ වෙනුවට සීමාරහිත වාර ගනනක් ජනාධිපති වීම උදෙසා 18 සංශෝධනය කරගත් ඔහු ඒකාධිපති වාදයකට රට තල්ලු කරගෙන ගියේය.

පොදු අපේක්ෂක ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා සිරිකොතට ගොස් කළ කතාව ඉතිහාස ගත එකකි.

මේ රටේ දේශපාලනයේ ඓතිහාසික තීන්දුවක්‌ ගත් අවස්‌ථාවක්‌ මේක. එජාපය නමැති මේ රටේ කීර්තිමත් දේශපාලන පක්‍ෂයේ මූලස්‌ථානයට මේ රටේ කීර්තිමත් ශ්‍රීලනිපයේ මහා ලේකම්වරයා එක්‌කරගෙන ඇවිත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා ලෙස පත්කරන්නට කටයුතු කරන්නට පක්‍ෂයේ නායකයාගේ සිට සියලු පාක්‍ෂිකයා දක්‌වා මට ලබා දුන් ශක්‌තියට මා ස්‌තුතිවන්ත වෙනවා.

ඒ සෙනෙහෙබර ශක්‌තිය, දයාව සහ කරුණාවට මා ඉතාමත් ගරු කරනවා. බොහෝ අය අද අපි අරගෙන තිබෙන තීරණය ගැන නොයෙකුත් අදහස්‌ කියනවා. ගමේ, නගරේ ජනතාව රූපවාහිනියක්‌, පත්තරයක්‌ බැලුවොත් ඒ බව අපට පෙනෙනවා. ඊට ප්‍රධානම හේතුව අප කරන්නේ කුමක්‌ද කියා තවම තේරී නැහැ. ඉදිරි සතිය තුළ ඒ අයටත්, ජාත්‍යන්තරයටත් දැනගත හැකි වෙනවා ඉතා පැහැදිලිව අප අත්සන් කරන ලියෑවිල්ල තුළ අප කරන්නේ කුමක්‌ද කියලා. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා 27 අවුරුද්දක්‌ සිරබත් කෑවා. ඊට පසුව ජනාධිපති ධුරයට පත්වෙලා අවුරුදු හතරක්‌ බලයේ හිටියා. එක වාරයයි හිටියේ. දෙපාරක්‌ හිටියෙත් නැහැ. තුන්වරක්‌ ඕනෑ කියලාත් කිව්වේ නැහැ. ඊළඟ කෙනාට රට බාරදීලා විශ්‍රාම ගත්තා.

මම මහත්මා ගාන්ධි නොවෙයි. මම නෙල්සන් මැන්ඩෙලා නොවෙයි. එහෙත් මහත්මා ගාන්ධි දර්ශනය සහ නෙල්සන් මැන්ඩෙලා දර්ශනය උතුම් වූ ප්‍රතිපත්ති බවට පත්කොට ගෙන එය මගේ දර්ශනය බවට පත්කර ගන්නවා.'
මේ කතාවට රටක් ආදරය කළේය. නව දේශයක බලාපොරොත්තු දල්වාගෙන මිනිස්සු එක පෙළට හිට ගත්හ.

එදා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙහෙම කීවේය.

'දැන් අපිට තව ටිකදුරයි යන්න තිබෙන්නේ, බෙරගල පසු කරලා හපුතලේ කන්දේ තව ටිකයි යන්න තිබෙන්නේ. එවිට අපි විපක්‍ෂයේ නෑ. අපි ලබන අවුරුද්ද ආරම්භ කළ යුත්තේ රාජපක්‍ෂ රෙජීමය පරාජය කරලයි. මෛත්‍රිපාල ජනාධිපති බවට පත්කරලා අපේ ආණ්‌ඩුවක්‌ පිහිටුවාගෙනයි අපි ලබන අවුරුද්ද ආරම්භ කළ යුත්තේ.

මෙතුමා පොලොන්නරුවේ කෙනෙක්‌. විජයබා රජුගෙන් සහ පරාක්‍රමබාහු රජුගෙන් අනතුරුව රජරට දියුණු කළේ ඩී. එස්‌. සේනානායක, ඩඩ්ලි සේනානායක, ඡේ. ආර්. ජයවර්ධන යන මහත්වරුයි. ලංකාවේ වැඩියෙන්ම වැව් හැදුවේ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමයි. එතුමා ඒවායින් ශතයක්‌වත් කොමිස්‌ ගත්තේ නැහැ. එතුමාගේ දේපොළත් එතුමා පරිත්‍යාග කළා. අද අපේ වේදිකාව ඉතා වෙනස්‌. මැතිවරණයක්‌ ප්‍රකාශ වුණාට පසුව අපි සටනට බහින්නේ. ඒ ශ්‍රී ලනිපයට විරුද්ධවයි. ඒත් අද එහෙම නැහැ. අද මෙතැන ශ්‍රී ලනිපයේ නීත්‍යානුකූල ලේකම් සිටිනවා අපි සමග. අපි සියල්ල එකතුවෙලා සිටින්නේ රාජපක්‍ෂ රෙජීමය පරාජය කරලා ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්නට.'

බැලුවම දෙගොල්ලෝම බොහෝ කැපකිරීම් කරලාය. එහෙත් වටින්නේ ඒ කැපකිරීම් අස්වැන්නක් ලෙස නෙලන විටය.