මහින්ද හා ගෝඨා

 ඡායාරූපය:

මහින්ද හා ගෝඨා

පෙරේදා දිනයේ වාර්තා වූ විශේෂ සිදුවීම් දෙකක් ලාංකික සමාජයේ වංචා, දූෂණ හා අක්‍රමිකතා සිදු කර වහංව හිඳීම සම්බන්ධයෙන් අතිශය වැදගත් ය. ඒ අනුව පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපති, කොමියුනිස්ට් පක්ෂයේ නායක, ප්‍රවීණ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන ඩිව් ගුණසේකර හිටපු අමාත්‍ය රවී කරුණායකට අවවාද කළේ සිරගත වන්නට සූදානමින් සිටින ලෙසටයි.  

මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පත් කර සිටි ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ කිරීම නිසාත් එය නීතිය අනුව වරදක් නිසාත් හිටපු අමාත්‍ය රවී කරුණානායකට දඩුවම් හිමි වන බව ඩිව් ගුණසේකර සපථ කර කීය. කොමිසම හමුවේ පළමුව සාක්ෂි දුන් රවී කරුණානායක කීවේ එවැනි සිද්ධියක් සිදු වී නොමැති බවයි. පසුව සාක්ෂි දෙමින් කීවේ එවැනි සිද්ධියකට තමන්ගේ සම්බන්ධයක් නොමැති බවයි.  

එසේම කොළඹ සුපිරි නිවාස සංකීර්ණයක එපාර්ට්මන්ට් එකක් ලැබීම ගැන හිටපු ඇමතිවරයා පවසා ඇත්තේ එය ලැබුණු ආකාරය තමන් නොදන්නා බවයි. මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා කීවේ බොරු සාක්ෂි දීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයන් ගත යුතු බවයි.  

මේ අතර ස්වාධීන රූපවාහිනී සේවයෙන් තමන්ගේ මැතිවරණ ප්‍රචාරණ දැන්වීම් නොමිලයේ විකාශය කරවා ගැනීම නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නීතිමය වරදක් කර ඇතැයි රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අයුතු ලෙස භාවිත කිරීම සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර තිබූ ජනාධිපති කොමිසම තම වාර්තාවෙන් නිර්දේශ කර ඇත. මෙම වරද නිසා ස්වාධීන රූපවාහිනියට රුපියල් මිලියන 102ක් ඉක්මවන පාඩුවක් සිදුව ඇතැයි ද ඒ සඳහා හිටපු ජනාධිපතිවරයා ද ස්වාධීන රූපවාහිනී සේවයේ නිලධාරීන් තිදෙනෙකු ද වගකිවයුතුව ඇතැයි ද කොමිසම් වාර්තාව කියා සිටී. එය අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය අනුව අපරාධමය වරදක් වන බැවින් චූදිතයන් තිදෙනාට එරෙහිව නඩු පවරන ලෙස කොමිසම නිර්දේශ කර සිටී.  

ඊට අමතරව ඇවන්ගාඩ් සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙක් අල්ලස් පනතේ 70 වෙනි වගන්තිය උල්ලංඝනය කර ඇතැයි ද එම කොමිසම ප්‍රකාශ කර සිටී. ඔවුන්ට එරෙහිව ද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව කොමිසන් සභා වාර්තාව අවධාරණය කර කියා සිටී.  

ආණ්ඩුකරණයේදී ඉහළ දේශපාලඥයන් කරන්නා වූ බරපතල නීතිය කඩකිරීම් සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ නිරාවරණයන් අතිශයින් වැදගත් ය. ජනාධිපතිවරයකු, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු හා ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම්වරයකු සිදු කර ඇතැයි චෝදනා එල්ල වූ අපරාධමය වරදවලට එරෙහිව පියවර ගත හැකි නඩු නිමිති ඇතැයි ප්‍රසිද්ධියේ හෙළි වූ ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය.   

හිටපු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගත හැකි යැයි පවසන්නේ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා ය. එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් අපරාධමය වරදක් කර ඇතැයි සහ ඊට එරෙහිව පියවර ගත යුතු බව නිර්දේශ කරන්නේ ජනාධිපති කොමිසමකි. මෙය සමාජයේ මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් බරපතල තත්ත්වයකි.  

ශ්‍රී ලංකාවේ අපරාධ වරද සම්බන්ධයෙන් පමණක් නොව සිවිල් වැරදි සම්බන්ධයෙන් ද නීතිය හා යුක්තිය පසිඳලීම කල් යන්නා වූ ක්‍රියාවලියකි. ඊට බොහෝ හේතූන් ඇතත් බරපතල මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් හෝ ඉක්මන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට නොයෑම නිසා අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සමාජයේ ඇත්තේ බරපතල පසුතැවිල්ලකි. සාමාන්‍යයෙන් අපරාධමය වරදක වැරදිකරුවනට දඩුවම් ලැබීමේ ප්‍රතිශතය පවතින්නේ ඉතාම අවම මට්ටමක ය. එය අපරාධමය වැරදි සම්බන්ධයෙන් බියක් ඇති කිරීම අඩපණ කරයි.  

පසුගියදා වාර්තා වූයේ රජයේ සිදුව ඇති දූෂණ වැරදි සම්බන්ධයෙන් වූ නඩු විභාගයට මහාධිකරණයන් තුනක් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් පවතින බවයි. ඒ අනුව පසුගිය නොවැම්බරයේ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් සොයාබැලීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට පවරා ඇත. එම දෙපාර්තමේන්තුවේ වාර්තාව මේ සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.  

දූෂණ, වංචා හා හොරකම යනාදිය පවතින ධනේශ්වර ක්‍රමයේ නෛසර්ගික ලක්ෂණයකි. ඒවා මුළුමනින්ම අහෝසි කිරීම දුෂ්කර කටයුත්තකි. එහෙත් රාජ්‍ය අපකීර්තියට හා කඩාවැටීමට හේතු වන වංචා, දූෂණ හා හොරකම අරබයා නීතිමය ආකෘතියක් අවශ්‍යය. එවිට වංචා, දූෂණ හා හොරකමට එරෙහිව රාජ්‍යයේ ආකෘතිමය ස්වරූපයක් සකස් වේ. එය ප්‍රජාතන්ත්‍රික ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් ද අතිශය වැදගත් ය.  

දේශපාලකයන් කියන්නේ තමන් නිවැරදි බව ය. තමන් වැරදි කරමින්ම ඔවුහු අනුන්ට චෝදනා එල්ල කරති. අද යුගයේ උත්ප්‍රාසය වන්නේ හොරකම් කරන්නාම අන්න හොරා යැයි කෑ ගැසීමයි. මේ තක්කඩිකම පළමුව පරාද කළ යුතුය. ඒ සඳහා මේ කොමිසම් සභා නිර්දේශයන් හොඳටම සෑහේ. දැන් නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත යුත්තේ ජනාධිපති කොමිසම් නිර්දේශයන් මත කටයුතු කිරීමටයි. එය වේගවත් කරන තරමට නීතිය හා යුක්තිය ඉටු වීම සම්බන්ධයෙන් සමාජය තුළ පවත්නා පිළිකුල පහව යනු නො අනුමානය.

[කේ.ජී. පිලිප් ශාන්ත]