හෙද හෙදියන් ආචාර ධාර්මික ද?

 ඡායාරූපය:

හෙද හෙදියන් ආචාර ධාර්මික ද?

කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක් වන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දින දහයක් තිස්සේ පැවැති හෙද හෙදි වැඩ වර්ජනය පසුගිය සිකුරාදා අවසන් විය. වර්ජකයන්ගේ ඉල්ලීම වූයේ ඔවුන්ගේ රාජකාරී පැමිණීම හා පිටවීම වාර්තා ගත කරන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කරන ලෙසයි. රෝගීන්ගේ ජීවිත තුට්ටුවට මායිම් නොකරමින් කරන ලද වැඩ වර්ජනය හමුවේ රෝහල් පාලනාධිකාරිය අඩියක් පස්සට ගත් බවක් පෙනෙන්නට තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ මෙවැනි වැඩ වර්ජනයක ආචාර ධාර්මික වලංගුතාව කුමක් ද යන්නයි.

ලක්ෂ පහළොවක් පමණ වන මේ රටේ රාජ්‍ය සේවාව මෙතරම් සංකීර්ණ කරන ලද්දේ ඇත්තටම රාජ්‍ය සේවාවේ විධිමත්භාවයක් හා කාර්යක්ෂමතාවක් සදහා වූ සංවිධිත සැලස්මක ප්‍රතිඵලයක් මත නොවේ. එය හුදෙක් දේශපාලකයන්ට ඡන්දය ගරා ගැනීම සදහා තොග පිටින් රාජ්‍ය සේවාවේ රැකියාවක් ලබාදීමේ ප්‍රතිඵලයකි.  එනිසා සේවාව හා කාර්යක්ෂමතාව ඉක්මවා යමින් ජීවත්වීම සඳහා පඩි ලබාදීම ප්‍රමුඛ විය.

රාජ්‍ය සේවාවේ දී බොහෝ කලක් පැවතුණේ පැමිණීම හා පිටවීම වාර්තා කිරීම සදහා අත්සන් කිරීමට පොතක් භාවිතා කිරීම ය. එහෙත් රාජ්‍ය සේවකයන්ගේ විනය ඉහළම මට්ටමක පවතින නිසාදෝ ඒ ක්‍රමය අසාර්ථක විය. ඔවුන් පාලනය කිරීමට සිටින මාණ්ඩලික නිලධාරීන්ට ද තත්ත්වය පාලනය කිරීමේ පෞරුෂයක් නොවීය.  අවසානයේ අත්සන් කිරීම සඳහා යන්ත්‍රයක් භාවිතා කිරීම සිදුවූ අතර එය ද අසාර්ථකවීමෙන් පසුව තාක්ෂණ දියුණුවත් සමග ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතාවට යොමු විය. දැන් රාජ්‍ය පරිපලාන චක්‍රලේඛයක් මගින්ම දැනුම් දී ඇත්තේ සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර යොදා ගන්නා ලෙස ය.

පුළුල් අර්ථයෙන් ගත් විට  රාජ්‍ය සේවකයන් අවංක නම් සේවය නොපිරි හෙලා ඉටු කරන්නේ නම් ඇඟිලි සලකුණු යන්ත්‍ර තබා පැමිණීම වාර්තා කරන පොතක් හෝ භාවිතා කිරීම අවශ්‍ය නොවේ. එහෙත් එවැනි උසස් මට්ටමේ අවංකභාවයක් නොමැති නිසා නිලධාරියකුගේ පැමිණීම වාර්තා කර ගැනීම සදහා එවැන්නක් අවශ්‍යව තිබේ. එසේ නොවන්නට වගකීම් ඉෂ්ට නොවන තත්ත්වයක් පවතින බව නොකිය යුතු මනාය.

ලංකාවේ සමහර රාජ්‍ය සේවාවන් සඳහා පැමිණීම වාර්තා කර නොගන්නා බව රහසක් නොවේ. ඒ අතර වෛද්‍යවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරු ප්‍රධාන වෙති. ඊට හේතුව වී ඇත්තේ ඔවුන්ගේ වගකීමයි. ඔවුන්ට පැවරී ඇති වගකීම නොපිරිහෙළා ඉෂ්ඨ කිරීමේ වගකීම මත පැමිණීම වාර්තා කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව නොරහසකි. අනෙක වෛද්‍යවරයකුගේ සේවය කාලය හා බැඳී නොපවතී. ඔහු රෝගී සහන සේවා සඳහා පැය විසිහතර තුළම සේවය කිරීමට බැඳී සිටී. ඔහුට ඒ සේවය අත්හළ නොහැක. එවිට එවැන්නන්ගේ පැමිණීම සටහන් කර ගැනීම ප්‍රායෝගික නොවේ.

එහෙත් රාජ්‍ය සේවයේ ද්විතීයික හා ප්‍රාථමික ගණයේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ සේවය ලබා ගන්නේ වැඩ මුර ක්‍රමයට ය. එහෙමත් නැත්නම් දවසේ නිශ්චිත කාලයකට ය. ඔවුන් පැය 24ම සේවය කිරීමට බැඳී ඇතත් දවසේ පැය අටක නිශ්චිත සේවා කාලයක් ඔවුන්ට හිමි ය. එවැනි නිලධාරීන්ගේ සේවා වාර්තා කිරීම සටහන් කර ගැනීම අනිවාර්ය වේ. එවැනි සටහන් කර ගැනීමක් නොකරන්නේ නම් විවිධ අක්‍රමිකතාවන්ට එය හේතු වේ. එසේම එවැනි ලිහිල්තාවයන් විවිධ අක්‍රමිකතාවන්ට යොදා ගන්නා අවස්ථාවන් ද ඕනෑ තරම් පවතී.

එක්තරා උපාධිධාරී රාජ්‍ය සේවකයකුගේ රාජකාරී ස්ථානය පිහිටියේ නුගේගොඩ ය. ඔහු නිවෙසේ සිට සේවයට පැමිණිය යුත්තේ 170 බස් රථයෙන් ඇතුළුකෝට්ටේ හන්දියටත් 168 බස් රථයෙන් නුගේගොඩ තම කාර්යාලය අසලටත් ය. එහෙත් මෙම නිලධාරියා හැමදාම ප්‍රමාද වී සේවයට පැමිණෙන අතර ඊට හේතු වශයෙන් දක්වන්නේ 168 බස් රථ හිගකම හා ප්‍රමාදව ධාවනය කිරීම ය. තමන්ගේ ප්‍රමාදය වලක්වා ගැනීම සදහා තමන් යම්කිසි වේලාවක් කලින් පැමිණිය යුතුය යන්න ඔහු පිළිගත්තේ නැත. ඔහු බලාපොත්තු වූයේ කාර්යාලයෙන් සහනයකි. රාජ්‍ය ආයතනයන්හි පෙ.ව. 9.00 දක්වා එවැනි සහන කාලයක් ඇති අතර ප්‍රමාද වන විනාඩි ගණන හවස 4.15 න් පසුව පියවිය යුතුය. එහෙත් පෙ.ව. 9.00 පසුවී සේවයට පැමිණෙන්නන්ට එම සහනය ලබාදීමට ආයතන ප්‍රධානීන්ට කිසිම බලයක් නොමැත.

මේ උපාධිධාරී තරුණ රාජ්‍ය සේවකයා පෙ.ව. 9.00 පසුවී සේවයට පැමිණෙන දිනවල ද එවැනි සහනයක් බලාපොරුත්තු විය. ඔහු තර්ක කරමින් අදාළ විෂය ලිපිකරු හා දබර කර ගත්තේ එවැනි සහනයක් අහවල් අහවල් කාර්යාලයන්හි ලබාදෙන බව අසත්‍ය ප්‍රකාශ කරමිනි.  ඔවුන්ගේ මුඛරි හා අනුකම්පා සහගත සටකපට බව විසින් ආයතනයේ සමහර ප්‍රධානීන් පවා රවටා ගැනීමට සමත්ව තිබුණි. එහෙත් ඔහුගේ නිරුවත හෙළි වූයේ අදාළ කාර්යාලය බත්තරමුල්ලේ සෙත්සිරිපායේ නව ගොඩනැගිල්ලට ගෙන ඒමෙන් අනතුරුව ය. සේවා ස්ථානයේ පිහිටීම වෙනස්වීම නිසා ඔහුට තනි බසයෙන් කාර්යාලයට ඒමේ හැකියාව ලැබුණි. කරදරකාරී 168 බස් රථය අවශ්‍ය නොවූ අතර නිවසේ සිට 170 බස් රථයෙන් ඝෘජුවම බත්තරමුල්ලේ සෙත්සිරිපාය අසලට පැමිණීමට ඔහුට හැකිවිය. එහෙත් මේ අපූරු රාජ්‍ය නිලධාරීයා වෙනදා මෙන්ම කාර්යාලයට ආවේ ප්‍රමාදව ය. ඔහුගේ නිවාඩුවලින් සෑහෙන ප්‍රමාණයක් අපතේ ගියේ ප්‍රමාද වූ දිනවලට වරු නිවාඩු ගැනීමට ය.

මේ තරුණ රාජ්‍ය නිලධාරියා උපාධිධාරියෙකි. ඔහුගේ හැසිරීම අහඹුවක් ලෙස කෙනෙකුට කියන්නට හැකිය. එහෙත් එය අහඹුවක් වන්නේ පරිපාලනය දුර්වල වෙන තාක් පමණ ය. අපේ සමාජය සැදී පැහැදී සිටින්නේම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ය. ඒ තත්ත්වය වැළැක්වීමට පැමිණීම වාර්තා කර ගැනීමේ ඇඟිලි සලකුණු යන්ත්‍ර අවශ්‍යම ය.පැමිණීම වාර්තා කර ගැනීම සදහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කරන්නේ රාජ්‍ය අංශය පමණක් නොවේ. පෞද්ගලික අංශය ද මෙම ක්‍රමය යොදා ගනී. එසේම පෞද්ගලික අංශයේ ක්ෂේත්‍ර රාජකාරී කරන නිලධාරීන්ගේ හැසිරීම සොයා බැලීම සදහා GPS තාක්ෂණය පවා යොදා ගනී. මේ සියල්ල තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකය පුරා භාවිතා කරන උපක්‍රමයන් ය. ඒවා භාවිතා කිරීමට සිදුව ඇත්තේ නිලධාරීන්ගේ හා සේවකයන්ගේ විනයගත නොවන හැසිරීම නිසාම ය.

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති බොහෝ පවතී. මේ වෘත්තීය සමිති කටයුතු කරන්නේම තම සාමාජිකයන්ගේ නොහික්මුණු අරමුණු ජයග්‍රහණය කරවා ගැනීමට පමණි. රාජ්‍ය සේවකයන් වගකිව යුතු මහජන සේවාව සඳහා ස්වයං විනය මාලාවක් ඇති කර ඒ වෙනුවෙන් තම සාමාජිකයන් පුරුදු පුහුණු කරන වෘත්තීය සමිති ලංකාවේ දකින්නට නොමැත. තම වෘත්තීය වෘත්තීය අභිමානයකින් යුතුව කටයුතු කරන උසස් ආචාර ධාර්මික සේවයක් ඇති පිරිසක් බවට ස්වයං විනයකට ලක් කර පාලන අධිකාරිය සමග කේවල් කිරීමේ වෘත්තීය අරගලයන්ට යොමු විය යුතු වුවත් එවැනි වෘත්තීය අරගල ලංකාවේ දකින්නට නොමැත. වෘත්තීය සේවාවක් වන වෛද්‍ය වෘත්තීය තුළ පවා එවැනි අරගල ක්‍රම භාවිතා නොකිරීම කනගාටුදායක ය.

අරගලය ජයග්‍රහණය කළත් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් විසින් දියත් කරන ලද වැඩ වර්ජනය නිහීන හා අශ්ලීල වෘත්තීය අරගලයකි. එමගින් ඉල්ලා සිටියේ තමන්ට හොර බොරු වංචා කිරීමට නීත්‍යානුකූල අයිතියක් තහවුරු කර දෙන ලෙස ය. ඒ වැඩවර්ජනයට මුහුණ දෙන්නට නොහැකි නිසා පාලනාධිකාරිය ද ඊට අවනත වී ඇත. ඒ නිසා ඊළඟ අදියරේ දී හෙද හෙදියන්ගේ වෘත්තියේ ආචාර ධර්ම කඩ කිරීමක දී එහි වගකීම රෝහල් පාලනාධිකාරිය මෙන්ම අදාළ වෘත්තීය සමිති ද භාර ගත යුතුය.

[කේ.ජී. පිලිප් ශාන්ත]

මාතෘකා