කෝ වැඩ? | ඇස පාදන රැස

 ඡායාරූපය:
 
77 ආණ්ඩුව ඇවිත් අවුරුදු තුනක් ගතවෙනකොට, විපක්ෂය ආණ්ඩුවට උඩ පැන පැන තැලුවේය.  

‘කෝ දෙනවා කීව ඇට අට?’  

‘කෝ හදනවා කීව සිංගප්පූරුව?’  

‘කෝ මහලොකු මහවැලිය?’  

‘කෝ පෙන්නපු ධර්මිෂ්ඨ සමාජය?’  

මෙහෙම කියනකොට ජේආර්ලා ඒවා තුට්ටුවකට මායිම් කළේ නැත. මුල් අවුරුදු තුනේ හරිහමන් කිසි දෙයක් නොවෙනකොට මිනිස්සුත් බලාපොරොත්තු සුන්ව ගිය ගාණට වැටුණි. ඒ වෙනුවට ‘සද්ද නැතිව’ ගමන ගියේය. ඒ ආණ්ඩුවේ ලොකුම පොරොන්දුව වුණේ තිස් අවුරුදු මහවැලි ව්‍යාපෘතිය අවුරුදු 6න් ඉවර කරනවා කියාය. ඒ වැඩේට ජේආර් පත් කර ගත්තේ තරුණ ගාමිණී දිසානායකය. 
 
‘ගාමිණී ජේආර්ගේ ලණුවක් ගිලලා. අපි අවුරුදු 30කින් නිම කරන්න සැලසුම් කරපු මහවැලිය ගාමිණී කොහොමද අවුරුදු 6කින් නිම කරන්නේ?’  

78 පාර්ලිමේන්තුවේදී එහෙම ඇසුවේ මෛත්‍රීපාල සේනානායකය. ඔහු ඊට පෙර සමඟි පෙරමුණු රජයේ වාරිමාර්ග ඇමැතිවරයාය. 
 
විපක්ෂය පාර්ලිමේන්තුවේදී මෙහෙම ඇසුවේය.  

‘අපි අවුරුදු 30න් කරන්න හිටිය මහවැලිය අවුරුදු 6න් ඉවර කරනවා නම් ඒක විශ්මකර්ම වැඩක්’  

ඒ කතාවට උත්තර දුන්නේ ජේආර්ය.  

‘ඔව්,ඒක විශ්වකර්ම වැඩක් තමයි. හැබැයි මම ඒ වැඩේ භාර දුන්නේ විශ්වකර්මයෙකුට හන්දා අපිට ඒක කොරන්ඩ පුළුවන්’  

මහවැලි අමාත්‍යාංශය ජේ ආර්ගේ අලුත් සංකල්පයේ ඇමැතිකමක් විය. සේනානයකලා පාර්ලිමේන්තුවේදී එහෙම අහනකොට තරුණ කැබිනට් ඇමැතිවරයාද නොසන්සුන් විය.  
‘මහවැලි ඇමැතිකමෙන් මොනවා කරන්නද?.’  

වතු වැවිලි ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තු පැමිණි ගාමිණී එහෙම හිතුවේය.  

‘මට මේ ඇමැතිකම මාරු කරගන්න ඕනා’  

ගාමිණී එහෙම කියමින් එවක ජනාධිපති ලේකම් මැණික්දිවෙල මහතා හමු විය.  

‘දුන්නු තනතුරු ගන්න බැරි කෙනෙක් ඉන්නවානම් ගෙදර ගියාට කමක් නෑ’  

ගාමිණීගේ ඉල්ලීම අරගෙන ගිය මැණික්දිවෙලට ජේආර් කීවේ එහෙමය.  

අන්තිමට ජේආර්ගේ ආණ්ඩුවේ දැවැන්තම ව්‍යාපෘතිය ගාමිණී නිම කළේය.  

අවුරුදු පහක් ගත වෙනකොට රට හෙල්ලෙන වැඩ කොටසක් සිදුවෙමින් තිබුණේය. එක පැත්තකින් ජ‍ෙආර් ආර්ථිකය විවෘත කොට ආර්ථික දිග්විජයට පාර කැපුවේය. අනෙක් පැත්තෙන් ප්‍රේමදාස නිවාස වැඩ පිළිවෙළ හරහා දුප්පත්කම තුරන් කිරීමේ ව්‍යාපාරය ගෙන යමින් සිටියේය. ලලිත්ලා වෙළඳ නාවික කටයුතු හරහා පුනරුදයක් ඇති කරන විට යෞවන කටයුතු සහ රැකිරක්ෂා අමාත්‍යවරයා ලෙස රනිල් වෙනස්කම් රැසක් සිදු කළේය. ගාමිණී මහවැලිය හරහා රටට සැපයෙන බතින් තුනෙන් එකක් පමණ නිපදවෙන මහවැලිය ජාතියට දායාද කළේය. 
 
මේ ආණ්ඩුවට තියෙන්නෙත් එහෙම චෝදනාය.  

‘ආණ්ඩුවට අවුරුදු තුනයි, පම්පෝරි විතරයි. මොනවද කළේ’  

‘කෝ අවුරුද්දක් පිරෙනකොට තිබ්බ ඇයි හොඳයිය, පැණිවරකාවට හෙණ ගහල නේද? ’  

මහින්දවාදීන් නක්කලේට වගේ එහෙම අහන්නේය.  

ආණ්ඩුවක් පැමිණි ගමන් ‘මැජික්’ ඉල්ලන අයට පෙන්වන්නට තියෙන හොඳම ‘පාඩම’ 78 ආණ්ඩුවේ මුල් වසර කිහිපයය.  

මහවැලියෙන් කීර්තිමත් වූ ගාමිණී රටම ඇල්ලුවේය. අන්තිමට ඔහු ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් නොවන්නට අද මේ රට කීර්තිමත් තැනකට ඔසවා තබලාය.  

මහවැලි ව්‍යාපාරයේ දැවැන්තම කොටස ‘මොරගහකන්දය.’ 
 
මොරගහකන්ද නිමකොට රජරට ජනතාවගේ සිහින සැබෑ කිරීමේ ‘සිහිනය’ දුටුවේ මෛත්‍රීය.  

තම දේශපාලන ජීවිතය තුළ මෛත්‍රී නොසන්සිඳෙන සිහිනයක් දුටුවා නම් ඒ මොරගහකන්ද බහුකාර්යය යෝජනා ක්‍රමයයි. උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ලක‍්ෂ සංඛ්‍යාත ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීම සඳහා මෙන්ම මෙගාවොට් 25ක ජල විදුලිබල නිෂ්පාදනයක් ඇති කිරීමටත් මොරගහකන්ද ජලාශය ඉදි කිරීම මෛත්‍රී තුරුණු වියේ සිටම හදවතින් දුටු සිහිනයකි. 2007 ජනවාරි මස 25 වෙනි දින මෛත්‍රී ඒ සිහිනයට මුල්ගල තැබුවේය.  

අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක මුල් කර ගෙන රජරට ජල හිඟය දුරැලීම සඳහා ඇති සාර්ථකම විසඳුම මොරගහකන්ද ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කිරීම බව ඔහු කාලාන්තරයක සිට විශ්වාස කළේය. වගා පාළුවෙන් ජල හිඟයෙන් අප්‍රමාණ දුක් විඳින රජරට ගොවි ජනතාවට අප්‍රමාණ අස්වැසිල්ලක් උදෙසා මේ ව්‍යාපෘතිය සිදු කළ යුතුම බවට ඔහු දැඩිව අදිටන් කර ගත්තේය. කුප්පි ලාම්පු එළියෙන් ජීවිතය ගෙවන දුගී දුප්පත් ජනතාවගේ ගෙපැලට ආලෝකයක් රැගෙන ආ යුතු යැයි ඔහු විශ්වාස කළේය.  

හැබැයි මොරගහකන්ද කළොත් මෛත්‍රී ගොඩයන බව මහින්දලා දැන සිටියහ. වෙලේ, ඉපනැල්ලේ ඇවිදිමින් 'මැතිවරණ කැම්පේන්' කළ මහින්ද මෛත්‍රීගේ සිහිනය කුඩු කර දැම්මේය.  

“එතකොට මම මහවැලිය භාර ඇමැති. ඊට දවස් දෙකකට පස්සේ ඇමැති මණ්ඩල සංශෝධනයක් ආවා. ඒ ඇමැති මණ්ඩල සංශෝධනයට කලින් දවසේ මට කිව්වා මහවැලි විෂය ඔබෙන් අයින් කරනවා කියලා. මම කිව්වා දැන් දවස් දෙකකට කලින් මේ යෝධ ව්‍යාපෘතියේ වැඩ පටන් අරගෙන, මහවැලිය මගෙන් අයින් කරනවා නම් පටන් ගත්ත වැඩට මොකද වෙන්නේ කියලා. මේක රජරට ජනතාවගේ බලාපොරොත්තුව, මේ ව්‍යාපෘතිය මා කෙසේ හෝ කළ යුතුයි කියලා. මගේ දැඩි ඉල්ලීම මත මගෙන් ඉවත් කළ අමාත්‍යංශය පැය 48කට පස්සේ නැවත ලැබුණා. ළඟ හිටපු බැසිල් රාජපක‍ෂට කිව්වා ඔන්න ඒක දීලා දානවා කියලා. ජනවාරි 28 වැනිදා නැවත ගැසට් කළා මට මහවැලිය, නමුත් අවුරුදු 05ක් යනකන් සල්ලි දුන්නේ නැහැ මේ ව්‍යාපෘතිය කරන්න.” මේ මෛත්‍රී කීව කතාවය. 

තමන්ව පරයා පෙරට එන ඇමැතිවරුන්ට මහින්ද ආණ්ඩුවේ තිබ්බේම ‘කැපිලි’ය. විදුලිබල මණ්ඩලය ලාබ ලබන තැනක් බවට පත් කොට පෙන්වූ චම්පිකට ඊළඟ කැබිනට් සංශෝධනයෙන් ‘පුටුව මාරු විය’. ‘අපි වවමු රට නගමු’ හරහා කෘෂි නවෝදයක් කළ මෛත්‍රී ඉන් වැඩ පෙන්වනකොට පුටුව මාරු කළේය.  

හැබැයි සොබාදහම හරි පුදුමාකාරය. එදා ඇමැති මෙදා ජනපතිය. එදා ජනපති මෙදා පාර්ලිමේන්තු මන්ත්‍රීය. සොබාදහම තමන්ගේ 'පිටපත' ලියන්නේ එහෙමය.  

අති විශාල ජනකායක් මැද මොරගහකන්ද ව්‍යාපාරයට මුල් ගල් තබා දින දෙකකින් මහවැලි අමාත්‍යාංශය තමාගෙන් ගලවා චමල් රාජපක්ෂට දෙන්නට මහින්ද හා බැසිල් කුමන්ත්‍රණය කළ ආකාරයද ජනපතිවරයා එහිදී හෙළි කළේය.  

ජලය සඳහා රජරට ගොවීන් මිනීමරා ගන්නා අන්දමත්, පානීය ජලය නැතිව ජනතාව හෙළන දුක් කඳුළුත් කුඩා වියේ සිටම දැක ඇති තමා ඊට ඇති එකම විකල්පය මොරගහකන්ද ව්‍යාපාරය බව නිසැක ලෙස දැන ඒ වෙනුවෙන් අප්‍රතිහත ධෛර්යයෙන් සටන් වැදුණු අයුරු ජනපති විස්තර කළේය.  

මහවැලිය නිසා ගාමිණී දිසානායකගේ ප්‍රතිරූපය ගොඩනැඟීම ගැන ජනාධිපති ප්‍රේමදාස මහතා බියවූවා සේම මහවැලිය නිසා තමාද බැබළෙනු ඇතැයි මහින්ද සිතූ බැවින් මොරගහකන්ද ව්‍යාපාරයට අකුල් හෙළුෑ බව ජනාධිපතිවරයා පැවැසීය.  

ප්‍රේමදාස ‘සැමට සෙවණ’ නිවාස වැඩපිළිවෙළ දියත් කරද්දී එවක මුදල් ඇමැති රොනී ද මැල්ගෙන් ප්‍රතිපාදන වෙන් වුණේ නැත. දුප්පත් මිනිස්සුන්ට හිසට සෙවණක් දෙන්නට ආධාර පතා ප්‍රේමදාස ලෝකෙ පුරා ගියේය. කවුරුවත් උදව් කළේ නැත. අන්තිමට ප්‍රේමදාස ‘සෙවණ' ලොතරැයිය පවා දියත් කළේ නිවාස හදන්නටය. ආණ්ඩුවේ මුදල් ඇමැතිගෙන් කැපිලි තිබ්බත් ප්‍රේමදාසගේ නිවාස වැඩසටහන ‘ආණ්ඩුවට' ජනප්‍රසාදය ගෙනෙන වැඩක් වී තිබුණේය. ජේආර්ගෙන් පස්සේ ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ ‘කැපිලි කෙටිලි’ මැද කරගෙන ආ නිවාස වැඩසටහන නිසාය. අන්තිමට ප්‍රේමදාස රටේ ජනාධිපති වෙනකොට රොනීට කට උත්තර නැති විය. 

ආණ්ඩුවක් බලයට ආව සැනින් ‘මැජික්’ පෙන්වනවානම් ඒ ආව ආණ්ඩුවේ නොව තිබුණ ආණ්ඩුවේ දක්ෂකමය. තිබ්බ ආණ්ඩුව අලුත් ආණ්ඩුවට ‘යහතින්’ වැඩ කරන්න පසුබිමක් හදා නොතිබ්බානම් අලුත් ආණ්ඩුවට වැඩ කරන්නට පුළුවන්කමක් නැත. 77දී ජේආර් බාර ගත්තේ ඇවිදින ඇට සැකිලි තිබූ රටක්ය. මෙදා මෛත්‍රී රනිල් භාර ගත්තේ ණය කන්දක ගිලටීනයට හිර වී හුස්ම අදිමින් තිබුණු රටක්ය. 

මහවැලිය හදා රට අස්වැද්දූ 77 ආණ්ඩුව අවුරුදු 17ක් යනතුරු හෙල්ලුණේ නැත. රජරටම අස්වද්දන මොරගහකන්ද නිම කළ ආණ්ඩුව කොච්චර කල් අල්ලලා යයිද කියා කියන්නට බැරිය.