'පුංචි කාමරයේ' අලුත් වෙනස | ඇස පාදන රැස


'පුංචි කාමරයේ' අලුත් වෙනස

 ඡායාරූපය:

'පුංචි කාමරයේ' අලුත් වෙනස

ආණ්ඩුව බස් රියක් නම් එහි එන්ජිම කැබිනට්ටුවය. ඒ තරම් බලයක් කැබිනෙට්ටුවට හිමිවී තිබේ. මීට අඩසිය වසකට පමණ පෙර සමහරු කැබිනෙට්ටුවට කීවේ 'ආඥාදායකයන්ගේ මණ්‌ඩලයකැයි' කියාය. ඒ ඊට හිමි අසීමිත බලතල නිසාය. කැබිනට්‌ යන්න මුලින් හැඳින්වූයේ කුඩා කාමරය යන්නය. කාමරයක රැස්වී තීන්දු තීරණ ගන්න නිසා ඊට ඒ අර්ථය එකතු කරන්නට ඇත. අමාත්‍යවරු කවදා කොතැනදී කෙලෙස බිහිවූවා දැයි නිශ්චිතව කිව නොහැක. එහෙත්, යම් කාර්යයක් කෙරෙහි කුසලතාව සහිත පුද්ගලයෙකුට අදාළ තනතුර ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයයි.
බුදු සසුනේ පවා කිසියම් ක්‍රමවේදයකට අනුව තනතුරු පිරිනමනු ලැබූ බව ශාසන ඉතිහාසය සාක්ෂි සපයයි.


බුදුන් ස්වකීය ශ්‍රාවකයින්ට තනතුරු පිරිනැමීමේදී තෝරාගත් ක්‍රමවේදයක් තිබූ බව ධර්ම ප්‍රදීපිකාවේද සඳහන්ව ඇත.
1. පරම්පරාගත චාරිත්‍රයක්‌ අනුගමනය කිරීම
2. අතීත භවවලදී සිටම තිබූ සුදුසුකම් සලකා බැලීම
3. විශේෂිත රාජකාරියක්‌ නොවූවත් ඒ ඒ සුදුසුකම් අනුව හැසිරෙන්නන් තෝරා ඒ හැකියාවන්ට අනුකූලව තනතුර දීම
4. විනයානුකූලව කටයුතූ කිරීම
5. වරින්වර සංශෝධනය හෝ පහකිරීම නොකිරීම


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේම 'කැබිනට්'මණ්ඩල දැකිය හැකි අතර ලංකාවේ මහජන නියෝජිතයින් 'අමාත්‍යවරුන්'ලෙස හඳුන්වන ඉතිහාසය 1931 සහ 1936 ෙලස හඳුන්වා දිය හැක.
ඊයේ (25) සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනය එදා මෙදාතුර මෙරට සිදුවූ මෑතකාලීනම කැබිනට් සංශෝධනය වන අතර මුල්ම කැබිනට් සංශෝධනය සිදුවන්නේ ඩී එස් සේනානායක මහතාගේ අභාවය හේතුවෙන් ඔහු වෙනුවට ඩඩ්ලි සේනානායක පත් කිරීමෙනි. එය සම්පූර්ණ වශයෙන් කැබිනට් සංශෝධනයක් ලෙස ගත නොහැකි වුවත්, ඩඩ්ලි අගමැති වීම හරහා  කැබිනට්ටුව වෙනස් විය. 53 පැවැති හර්තාලය හේතුවෙන් 'කැබිනට්ටුව' නවසීලන්ත රජයට අයත් නැවක පවත්වා වාර්තාවක් තැබූ රටකි ලංකාව.


අපූරු සිදුවීම්වලින් ගහන කැබිනට් සංශෝධන ඉතිහාසයක් මෙරටට තිබේ. බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසු අගමැති ධූරයට පත් දහනායක මහතා  නිදි පැදුරේම 'කැබිනට් සංශෝධනයක් කළේය. පැය කිහිපයක් තුළ කිහිපවරක් 'එහෙට මෙහෙට' මාරු කළ සංශෝධන ඉතිහාසය හිමි දහනායක මහතාටය.
ඔහු සමස්ත කැබිනට් මණ්ඩලය විසිහතර පැයට 'කරකවා' අතෑරියේය.
1960 අප්‍රේල් 06 වෙනිදා හතරවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සැසිවාරය ආරම්භ වුණේ ඩඩ්ලි සේනානායක මහතාගේ අග්‍රාමාත්‍ය ධුරයෙන් යුක්තවය. එතෙක් මෙතෙක් 'කුඩාම' කැබිනට්ටුව 60 අප්‍රේල් පාර්ලිමේන්තුව සතු වූ අතර, එය දවස්‌ තිස්‌ එකේ පාර්ලිමේන්තුවක් විය. රාජාසන කතාව පරාජය වීමෙන් ආණ්ඩුව හමාර විය.


කැබිනට් සංශෝධන ඉතිහාසයේ මෙහෙම අපූරු කතා කොතෙකුත් වෙයි. ඊයේ පැවැති කැබිනට් සංශෝධනයේදී සමස්ත කැබිනට් මණ්ඩලය සංශෝධනය නොවීම විශේෂ වෙයි. කැබිනට් සංශෝධනය ගැන කතාබහ මතුවෙද්දී බොහෝ ඇමැතිවරු, මන්ත්‍රිවරු 'අලුත් සිහින' දැකීම අරුමයක් නොවේ. එතෙක් 'බ්‍රේක්' නැතිව තිබූ කටවල්වලට 'ස්වයං වාරණ' පනවා ගැනීම නිරායාසයෙන්ම සිදුවෙයි. සමහරු නායකකාරකාදීන්ට වෙනදාටත් වඩා ලබැඳි වෙති. සමහරු දේවාල ගානේ පවා ගොස් බාරහාර වෙති. ආයතන ප්‍රධානීහූ 'තිගැස්සී' සිටිති.


කැබිනට් සංශෝධන 'ආසන්න වෙත්ම තත්ත්වය ඔයිට සමානය. මැතිවරණයෙන් ලද ප්‍රතිඵලයත් සමඟ ආණ්ඩුව කඩිනමින් කැබිනට් සංශෝධන වෙත යොමු වූ අතර බොහෝ දෙනා තුළ කුතුහලය සහ විමසිල්ල වැඩි කිරීමට එය හේතු විය.
මෙවර කැබිනට් සංශෝධනයට පෙරාතුව බොහෝ දෙනා විමසිල්ලෙන් සිටියේ නීතිය හා සාමය කාගේ අතට යාවිද කියාය.විමසිල්ලට විරාමයක් තබමින් එය අගමැතිවරයා යටතට පත්කොට තිබිණ. ඒ අනුව අගමැති ධුරයට අමතරව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරයි.
මෙවර සංශෝධනයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට හිමිවී තිබෙන්නේ රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන නව කැබිනට් අමාත්‍ය ධුරය වන අතර මීට පෙර ඔහුට තිබුණේ, උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍යධුරයය. එය ඔහුගෙන් කබීර් හෂීම් අමාත්‍යවරයාට හිමිවී තිබේ. ඔහු මීට පෙර දැරුවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යධූරයය.


මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත.
හිටපු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර සමරවීර මහතා වනජීවී හා තිරසාර සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.


මේ අතර  මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.
මේ අතර කැබිනට් සංශෝධනය සිදුවන්නට නියමිතව තිබියදී අමාත්‍යවරුන් කිහිපදෙනෙක්ම විදෙස්ගත වූ බවට වාර්තා පළවිය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඊයේ උදෑසන දිවයිනෙන් බැහැරව ගොස් තිබේ. අලුයම 3.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා කටාර් හරහා ලන්ඩන් බලා යාමටය. අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත්, ආචාර්ය සරත් අමුණුගම, අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර යන අයද ඊයේ විදෙස් ගතවී ඇත.


අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවූයේ එක්සත් ජාතික පක්ෂ පාර්ශවයේ පමණක් වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ශ්වයේ අමාත්‍ය සංශෝධන ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට නියමිතය.
ආණ්ඩුවට තවත් මාස 18ක කාලයක් ඉතිරිව තිබේ.මේ වූ කලී ආණ්ඩුව වැඩියෙන්ම වැඩ කළ යුතු කාලයයි.කෙටියෙන්ම කීවොත් එතෙක් මෙතෙක් ආණ්ඩුවක් නොකළ තරමේ වැඩ කොටසක් මේ මාස 18 තුළ ආණ්ඩුව කළ යුතුව තිබේ. මක්නිසාද යත් ආණ්ඩුව 'තීරණාත්මක' ලිට්මස් පරික්ෂාවකට ලක් වූ නිසාය.

මාතෘකා