කැබිනට් සංශෝධනය හොඳද?

 ඡායාරූපය:

කැබිනට් සංශෝධනය හොඳද?

සති කීපයක් පුරා දේශපාලන කරළියේ කතා වුණු කැබිනට් මණ්ඩල සංශෝධනයේ එක් අදියරක් ඊයේ (25) දිනයේදී සිදු කෙරිණ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කිහිප දෙනෙකුට නව අමාත්‍යාංශ ලැබි තිබිණ. එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට නීතිය සහ සාමය අමාත්‍යාංශය ලැබීම බොහෝ කතාබහට ලක් වී තිබිණ.
එක්සත් ජනතා නිදහස් සංධානය නියෝජනය කරන අමාත්‍යවරුන් සඳහා අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉදිරි සති දෙක තුළ සිදු කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයෙන් කියවිණ. එමෙන්ම මෙම සංශෝධනවල අරමුණ රාජ්‍ය ආයතන සහ මණ්ඩලවල කාර්යක්ෂමතාව වැඩි කිරීම බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් වෙනස්කම් ඇතිවෙතැයි සමාජය තුළ කතා බහක් තිබූ සමහර අමාත්‍යාංශ වල වෙනසක් ඊයේ දිනයේ සිදු නොවුණි. මෙම නව වෙනස්කම් පිළිබඳව සමාජ දේශපාලන විචාරකයක් කිහිප දෙනෙක් 'රැස' ට මෙසේ අදහස් දැක්වූහ.

 

මට නම් මේ සංශෝධනේ විශේෂ දෙයක් පෙනෙන්නේ නැහැ. මේ කැබිනට් සංශෝධනය කරලා තියෙන්නේ, වෙනස් වෙන්න ඕන කියලා ඉල්ලන නිසා මොනව හරි කරපු බව පෙන්වන්න විතරක් බවයි මට පේන්නේ. ආණ්ඩුවේ දැන් ඉන්න පාර්ශ්ව දෙකටම ආණ්ඩුව දැන් තියන අවිනිශ්චිත අර්බුදකාරී තත්වය ගැන කිසිම පාලනයක් තියනවා කියලා මම හිතන්නේ නැහැ. මේවා නිකම් මතුපිටින් කරන ඒවා විතරයි. කාලය ගත කිරීම සඳහා කරපු දෙයක් විතරයි. මේකෙන් ආණ්ඩුවට හරි රටට හරි යම් වෙනසක් වෙයි කියලා නම් පෙනෙන්නේ නැහැ.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මිසක් කැබිනට් සංශෝධන නෙමේ අවශ්‍ය වෙලා තියෙන්නේ. ආචාරධාර්මිකව සමාජයේ ජනමතය වෙනස් වුණාට පස්සේ ආණ්ඩුවේ තව දුරටත් ඉදිරියට යාමේ යුක්ති යුක්තතාවයක් නැහැ. එහෙම පදනමක කැබිනට් සංශෝධනය එක්තරා විදිහකට පය බරවායට පිටි කර බෙහෙත් බඳිනවා වගේ වැඩක්. අනෙක් කාරණය තමා හිසරදයට කොට්ට මාරු කරලා හරියන්නේ නැහැ.  
රටේ ජනමතය වෙනස් වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ බල තුලය සහ රටේ ජන සමාජයේ බල තුලනයයි දෙක වෙනස්. මේක 75දී අවුරුදු 2ක් පාර්ලිමේන්තුවේ කාලය දික් කළා වගේම, 83දී ජනමත විචාරණයකින් කාලය දික් කරගෙන ආණ්ඩුව බලය රැක ගත්තා වගේම විකෘතියක්. නෛතිකව සහ තාක්ෂණිකව කෙනෙකුට වෙනත් තර්කයක් ගේන්න පුළුවන්. නමුත් දේශපාලනයේ සදාචාරයක් තිබෙනවා නම්, කැබිනට් සංශෝධනයක් නෙමේ සිද්ධ වෙන්න ඕන. මගෙ මතය නම් මේ කැබිනට් සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට ආදාළ එකක් නෙවෙයි.  


මේක යන්නෙ කොහෙද? මල්ලෙ පොල් වගේ වැඩක්. පසුගිය මැතිවරණයෙන් ප්‍රකාශ වෙච්ච ජනතාවගේ මතය මොකක්ද කියලා මේ ආණ්ඩුවට තේරුම් ගන්න බැහැ. එහාට මෙහාට එක එක දේවල් කරකවනවා විතරයි. එහෙම එකෙක් තමා අද ඔය කැබිනට් සංශෝධනය කියලා කරන්නේ. ඇත්තටම කවුද ඔය කැබිනට් සංශෝධනය ඉල්ලුවේ. මේ කැබිනට් එකම සම්පූර්ණයෙන් සංශෝධනය වෙන්න කියල තමා මේ රටේ මිනිස්සු මැතිවරණයෙන් ප්‍රකාශ කළේ. ඒ නිසා ආණ්ඩුව එහෙමම තියාගෙන කැබිනට් එක සංශෝධනය කිරීම තේරුමක් නැති දෙයක්. අපිට කියන්න තියෙන්නේ 'ඔහොම යං' කියලා තමයි.  


ජනතාව දුන්න පණිවිඩය මේ රජය තවම තේරුම් ගත්තේ නැහැ කියල මට නම් තේරෙන්නේ. පළාත් පාලන මැතිවරණයකින් ප්‍රකාශ වන දේ මහ මැතිවරණයක වගේ කැබිනට් සංශෝධනයක් කිරීම නෙවෙයි. කිසිම තැනක අපේ ජනතාව කැබිනට් සංශෝධනයක් වෙනුවෙන් ඡන්දය දීලා නැහැ. ඡන්දයෙන් ජනතාව රජය පිළිබඳ තියෙන යම් ආකාරයක කලකිරීමක් ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් රැල්ලකට මහින්ද රාජපක්ෂ කියන පුද්ගල චරිතය වටා ගොනු වුණා.
ඒක පදනම් කරගෙන අගමැතිවරයා වෙනස් කිරීම හෝ කැබිනට් සංශෝධනය කිරීම කියන්නේ, යන්නෙ කොහෙද මල්ලෙ පොල් තීරණයක් බව තමා මට හැඟෙන්නේ. ඔළුගෙඩි මාරු කළා කියලා මේ ප්‍රශ්නයට විසඳුමක් වෙන්නේ නැහැ.
රටේ විශාල ආර්ථික ප්‍රශ්නයක් තියනවා. එහෙම පසුබිමක අමාත්‍යාංශයක් මාරු කරනවා කියන්නෙ අතිරේක රුපියල් කෝටි ගණනක වියදමක්. නාම පුවරුව, ලියවිලි හදන්න, අලුතින් වාහන ගන්න ආදී හැම දෙයක් එක්කම, අතිරේකව විශාල වියදමක් දරන්න වෙනවා. ඒ එක්කම අවුරුදු 3ක් කරගෙන ගිය අමාත්‍යාංශයක් නැවත් සැරයක් වෙනස් කළහම කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් වෙන්න පුළුවන්. ඉතුරු අවුරුදු 2 තුළ වැඩක් කරන්න තරම් අලුත් කාලයක් ඉතුරු වෙන්නේ නැහැ.  මේ වෙලාවේ කැබිනට් සංශෝධනයක් කිරීම කළ යුතුව තිබූ රාජකාරියක් විදිහට මම නම් හිතන්නේ නැහැ.  

 

එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ඡන්ද අඩු වීම ගැන තේරුම් අරගෙන තියනවා. මේ තත්වයට වහාම ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය බව තීරණය කරලා තියනවා. ඒ අනුව වහාම වෙනස්කම් කරන්න කටයුතු කරලා තියනවා. පක්ෂේ සාමාජිකයන් ලෙස ඉන්න ඇමති මණ්ඩලයේ වෙනස්කම් ඒ අය හදාගත්ත බවක් තමා දැනට පේන්න තියෙන්නේ. ඒ වගේම පක්ෂ අභ්‍යන්තරයේ සාමාජික මට්ටමේ වෙනස්කම් කරන්න තියන දේ තවම කරන්න තියනවා. රට බලාපොරොත්තු වුණ දේවල් අනුව යම්කිසි කියවීමක් කරලා තියන බව පේනවා.  කාර්යක්ෂමතාව, වේගවත් බව ඇති කිරීමේ අරමුණින් ඔවුනොවුන් අතර තිබ්බ ඇමතිකම් හුවමාරු කරගෙන තියනවා. කිසිම පුද්ගලයෙක්ගේ ඇමතිකම් ගලවලා ඉවත් කරලා නැහැ. ඒ අය අතර වඩාත්ම ගැලපෙනවා කියලා හිතෙන අයට, කරන්න පුළුවන් කමක් තියන අයට අවස්ථාව දීලා තියෙන බවක් පේනවා.
අපි බලාපොරොත්තු වෙලා සිද්ධ වෙච්ච නැති එක දෙයක් තියනවා. නීතිය සහ සාමය අමාත්‍යාංශය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකට දෙන්න අවශ්‍යයි කියලා මතයක් රටේ තදින්ම තිබ්බා. නමුත් ඒක කෙරිලා නැහැ. අගමැතිවරයාට ඒ අමාත්‍යාංශය භාරගන්න සිද්ධ වෙලා තියනවා. නමුත් අගමැතිවරයාට තියන කාර්යබහුල භාවය එක්ක ඒ අමාත්‍යාංශය තව බරක්. ඒ ගැන නම් අපිට සතුටු වෙන්න බෑ. රටේම මහජනයාගේ ඉල්ලීම ඉෂ්ඨ නොවීම නම් අඩුවක්. 

 

මාතෘකා