ආණ්ඩුව පාර වෙනස් කරයි

 ඡායාරූපය:

ආණ්ඩුව පාර වෙනස් කරයි

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟ පොහොට්ටුව අනපේක්ෂිත ලෙස ජයග්‍රහණයක් වාර්තා කරද්දී ආණ්ඩුව මුහුණ දුන්නේ මින් පෙර නොවූ විරූ ගැටලුවකටය. මැතිවරණය නිම වී දෙසතියක් ඉක්ම ගියද තවමත් එකී ව්‍යාකූල බව එහෙමපිටින්ම පහව ගොස් නැත. ගෙවී ගිය දෙසතිය පුරාම තිබුණේ සාකච්ඡාය. රහස් හමුය. ප්‍රවෘත්ති සාකච්ඡාය.   

ගැටලුව විසඳූ හැටි

සමහරු අලුත් ආණ්ඩු හදන්න බරටම වැඩය. සමහරු තියෙන ආණ්ඩුව රැකගන්න වැඩය. සමහරු තිබෙන ආණ්ඩුවේ පුටු මාරු කරන්න වැඩය. සියලු රහස් කතා තටු ලබද්දී මල්වතු විහාර පාර්ශ්වයෙන් නිවේදනයක් නිකුත් විය. 'රට අරාජික නොකර ආණ්ඩුව කරන්න' එකී නිවේදනයේ අර්ථය විය. අන්තිමට ජනපති අගමැති අතර තීරණාත්මක හමුවක් පැවැත්විණි. එය සූදානම් කළේ කතානායක කරු ජයසූරිය මහතාය.

කතානායක ලොකු වැඩක

ආණ්ඩුව කිසියම් අර්බුදයක සිටියදී මේ ගැටලුව ප්‍රශස්ථව විසඳීමට කටයුතු කළේ කතානායකවරයාය. බොරදියේ මාලු බාන පිරිස් කතානායකවරයාව වියවුලට පත් කරන්නට වෑයම් කළද ඔහු ඊට වඩා පරිණතව මේ ගැටලුව නිරාකරණයට මැදිහත් විය. ආණ්ඩුව රැක ගැනීමේ මෙහෙයුමේ බර වැඩ කොටසක් කළේ ඔහුය.

සුව ඇමැතිගේ සාම පාලම

පළාත් පාලන මැතිවරණය නිමා වූ 10 වනිදායින් පසු ගෙවුණු දින කිහිපය තුළ සෞඛ්‍ය අමාත්‍යවරයාට කාර්ය බහුල කාල පරිචිඡේදයක් උදා විය. ඊට හේතු වූයේ මැතිවරණ ප්‍රතිඵලයත් සමග රට තුළ මතු වූ දේශපාලනික ගැටලුය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග අවස්ථා රැසක දී පෞද්ගලික සාකච්ඡා මෙන්ම කණ්ඩායම් සාකච්ඡා සඳහාද සහභාගි වීමට සෞඛ්‍ය අමාත්‍යවරයාට සිදු විය. ඒ අනුව අවස්ථා 04කදී පමණ ජනාධිපතිවරයා සමග සාකච්ඡා පැවැත් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා රජය ඉදිරියට ගෙනයෑම පිළිබඳ අවධානය යොමු කළේය. එක් අවස්ථාවක, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග පැවැති සාකච්ඡාවකදී මැතිවරණ සමයේදී එකිනෙකා විවේචනය කිරිම දැඩි ලෙස හෙළා දකිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අදහස් පළ කළේය. එහිදී ඔහු සදහන් කළේ, ‘මම ආණ්ඩු රැසක හිටියා. මෙවැනි ආණ්ඩුවක සිටියේ ප්‍රථම වරටයි. එකම ආණ්ඩුවක සිටිමින් විවේචනය කිරීම දැක්කෙත් ප්‍රථම වරටයි’ යනුවෙනි.  කෙසේ වෙතත් මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා දිවා රෑ නොබලා සෞඛ්‍ය අමාත්‍යවරයා කැප වී කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ ප්‍රසාදයට ලක් විය.

ආණ්ඩුව වෙනස් වෙන්නේ මෙහෙමයි

දේශපාලන රහස්, කතන්දර සියල්ල වෙනස් කරමින් අවසානයේදී ආණ්ඩුවේ වෙනසක් කිරීමට තීන්දු විය. ඒ, කැබිනෙට්ටුව සංශෝධනය කිරීමය. ඒ අනුව මේ සතිය තීරණාත්මක වන්නේ කැබිනට් සංශෝධනය නිසාය. කැබිනට් මණ්ඩලයේ වෙනසක් සිදු විය හැකි බව අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාද කීවේය. කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ඔහු කීවේ ඒ වෙනස ඊයේ (22 ) සිදු වන බවය. එහෙත් ඊයේ එය සිදු වුණේ නැත.

කල් යන්නේ ඇයි?

මෙවර කැබිනට්‌ සංශෝධනයේ දී සුළු වෙනස්‌කම් කිහිපයක්‌ පමණක්‌ කිරීමට මුලදී යෝජනා වී තිබුණද බලගතු කැබිනට්‌ වෙනසක්‌ සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.
ඒ අනුව කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත. මේ නිසා කැබිනට්‌ සංශෝධනය දැඩි දුෂ්කර වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.

ජාතික ආණ්ඩුව දිගටම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව පවත්වාගෙන යන ජතික ආණ්ඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතාද ඒ බව පැවැසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් පැවැසුවේ ජාතික ආණ්ඩුව ඉදිරියට යන්නෙ නම් ගිවිසුමක් ඉදිරිපත් කළ යුතු බවයි. නමුත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ එවැනි ගිවිසුමක් අවශ්‍ය නොමැති බවයි.

ආණ්ඩුව අලුත් පිම්මකට සැරසේ

රටට අවශ්‍ය කඩිනම් ආර්ථීක කළමනාකරණ වෙනස්කම් සහිත නව වැඩපිළිවෙළ ජාතික ආර්ථීක සභාව හරහා ලබන සතියේදී රටට ඉදිරිපත් කිරීමට තීරණය කොට තිබේ. රටේ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීම උදෙසා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම සඳහා ජනාධිපති විසින් පසුගිය වසරේදී ජාතික ආර්ථීක සභාව පත්කරන ලද අතර එය මෙවර රැස්වූයේ 08 වන වරටය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍යවරුන් වන සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, මංගල සමරවීර, ජොන් සෙනෙවිරත්න, සජිත් ප්‍රේමදාස, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, ෆයිසර් මුස්තාෆා, නවීන් දිසානායක යන මැති ඇමතිවරු ඊට එක් වූහ.

ජාතික ආණ්ඩුව කඩන්න හැදූ අය

පළාත් පාලන මැතිවරණයෙන් අපේක්ෂා කළ තරමේ ජයග්‍රහණයක් නොලැබුණද පොදු ජන පෙරමුණ ලැබූ 44% ක ඡන්ද ප්‍රතිශතය හා සැසඳූ විට එජාප ප්‍රමුඛ රාජපක්ෂ විරෝධී පිලට 56% ක ඡන්ද පදනමක් ලැබී ඇති බවත් එය 2015 ජනවරම යළිත් ජනතාව විසින් සනාථ කිරීමක් බව එජාප ප්‍රමුඛ ආණ්ඩුව පාර්ශවයේ මූලික විග්‍රහය වේ. කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව යහපාලන ආණ්ඩුව මෙන්ම අගමැති රනිල්ද ඉවත් කොට එජනිස ආණ්ඩුවක් තැනීමටත් එම ආණ්ඩුවේ අගමැති ලෙස නිමල් සිරිපාල පත් කළ යුතු බවටත් සුසිල් ප්‍රේමජයන්ත, තිලංග සුමතිපාල, දයාසිරි ජයසේකර, ඩිලාන් පෙරේරා ප්‍රමුඛ පිරිසක් මෙහෙයුමක් දියත් කළහ. තනතුරු බාර නොගෙන ඊට සහාය දෙන බව මහින්ද රාජපක්ෂ හා ඒකාබද්ධ පොහොට්ටු කණ්ඩායමද ප්‍රතිඥා දුන්නේය. එහෙත් ආණ්ඩු හා අගමැති මාරුව දැන් සම්පුර්ණයෙන් අසාර්ථක හා විහිළුකාරී උත්සාහයක් බවට පත් වීමෙන් පසු පසුගිය කැබිනට් රැස්වීමට පවා සුසිල් හා දයාසිරි පැමිණ සිටියේ නැත. දයාසිරි සති 02 කින් කැබිනට් මාධ්‍ය සාකච්ඡාව පවා මගහැර සිටි අතර මාධ්‍යකරුවන්ට මුහුණ දීමට ඇති නොහැකියාව ඊට හේතුව බවද මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රකට රහසකි.

කෝ දයාසිරි?

"මහින්ද රාජපක්ෂ හැම තැනදීම කළේ ඩබල් ගේම්. ආණ්ඩුව පෙරළා රනිල් ගෙදර යවපල්ලායි ශ්‍රීලනිප කීපදෙනෙකුට ලණු දුන් ඔහු රනිල්ට කතාකොට කියා ඇත්තේ ඔයා පළාත් පාලන  පසුබෑම නිසා අගමැතිකමෙන් යන්නෙ මොකටද කියායි. මේ දෙබිඩි පිළිවෙත දඟලන කිහිපදෙනා තේරුම් ගත යුතුයි" කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත මේ සතියේ කැබිනට් රැස්වීමේදී කීවේ දෙබරයට ගල් ගසන්නාක් මෙනි. ආණ්ඩු පෙරළා අගමැති ගෙදර යැවීමේ එජනිස මෙහෙයුමට සූක්ෂම ලෙස මුහුණ දුන් අගමැති රනිල් අර්බුද වලින් ගොඩ ඒමට ඉතිහාසය පුරා දක්වා ඇති දක්ෂතාව මෙම අවස්ථාවේදීද නොඅඩුව ප්‍රදර්ශනය කරමින් සියලු අභ්‍යන්තර අභියෝග මේ වන විට ජයගෙන ඇති බව බොහෝ දෙනාගේ මතය වේ.

දැනෙන වෙනසක් කරන්න යයි

ආණ්ඩුව යම් ඇඟට දැනෙන වෙනසක් මත මෙතැන් සිට ඉදිරියට යා යුතුය යන පදනම අනුව කැබිනට් මණ්ඩලය දැඩි වෙනසකට බඳුන් කිරීම ඊළග ඉලක්කය විය. එම වෙනස්කම් කිරීම ඇරැඹීමත් සමඟම ප්‍රබල අමාත්‍යංශ දරන ඇමතිවරු ඒවා රැකගැනීමටත් දුබල ඇමතිකම් ඇති අය ප්‍රබල තනතුරු ලබා ගැනීමටත් රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරු කැබිනට් මණ්ඩලයට රිංගා ගැනීමටත් මන්ත්‍රීවරු නියෝජ්‍ය හා රාජ්‍ය ඇමතිකම් ලබා ගැනීමටත් සීතල අරගල හා මෙහෙයුම් දියත් කළහ. ඊට රටේ ප්‍රධාන හිමිවරු, පූජකවරු, ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සමීප මාධ්‍ය‍වේදීන් හා හිතවතුන් උපයෝගී කර ගැනීමද කැපී පෙනිණි.

තනතුරු ගැන අගමැතිගේ ඉඟිය

බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලිය ගහ මැදුරට පැමිණි අතර පැමිණ සිටි මැති ඇමතිවරු සමගද සුපුරුදු ලෙස කතා බහ කළේය. “අමාරු ප්‍රශ්න දැන් ඉවරයි. කැබිනට් ප්‍රශ්නත් ඉක්මනින් ඉවර කර ගනිමු. මේවා ඕනවට වඩා ඇදෙන්න දෙන්න නරකයි” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ලගේ මතය සියලු දෙනා අනුමත කළහ.“ ඉක්මනින් ඉවර කරනවා. කැබිනට් මාරුවකදී ඉල්ලීම් වැඩියි. ජ්‍යෙෂ්ඨ අය රකින්නත් ඕනෑ. කැබිනට් තනතුරු නැති දිස්ත්‍රික් ගැනත් බලන්න වෙනවා. ඉහළට දාන්න ඉඩ ඇත්තේ 2 – 3 ක් විතරයි. ශ්‍රීලනිප හා අපේ අවසන් ලැයිස්තු හදල දෙපාර්ශවය කතා කරල අන්තිම තීන්දු ගන්න වෙනවා” අගමැති කීය. "එජනිස ආණ්ඩුවක් හදන්නයි අගමැති මාරු කරන්නයි ගේම් ගහපු ශ්‍රීලනිප කීප දෙනාට ඇමතිකම් දීම ගැන එජාපය හරිනම් විරුද්ධ වෙන්න ඕනෑ. "එජාප බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි කීදේ ගැන සියලු දෙනා සතුට පළ කළද අගමැතිවරයා සිනාසී ඉවත බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත."අගමැති වෙනස් කළ හැකි දැයි විමසලා ශ්‍රීලනිපයේ සමහරු ශ්‍රේෂ්ධාධිකරණ මතය විමසන්න සූදානම් වුවත් දැන් ඒක යට ගිහින් වගෙයි" ගයන්ත කරුණාතිලක කීය."ජනාධිපතිතුමා වසර 5-6 ද කියල අහල ඒ තීන්දුව අවුල් වූ නිසා 19 සංශෝධනය අනුව අගමැති ඉවත් කළ නොහැකි බව පේන නිසා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම අත හැරල කියලත් ආරංචියි" එජාප නීති අංශ ප්‍රධානියෙක් කීය.

ටැබ් දෙන්නේ නැද්ද?

"ටැබ් පාසල් සිසුන්ට හා ගුරුවරුන්ට දීම නවත්වලා කියල ප්‍රවෘත්ති පළ වුණාම දරුවෝ අවුල් වෙලා කියල හුඟ දෙනෙක් මට කතා කරල කිව්වා. " නවීන් දිසානායක කී දේ අගමැති ඇතුළු සියලු දෙනා පිළිගත්හ."ටැබ් ලබා දීම අවලංගු කළේ නෑ. කල් දැම්මා විතරයි. දරුවන්ට බලාපොරොත්තු දීල ඒක කඩන එක හරි නැති බව අපේ වගේම ජනාධිපතිතුමාත් පිළිගන්නවා.” අගමැතිවරයා කීය. “රවි කරුණානායක ඇමතිතුමාට මේ කැබිනට් සංශෝධනයෙන් ඇමතිකමක් යළිත් ලැබේවි කියල ආරංචි පැතිරෙනවා. 2015 වෙනස කරන්න ඔහු විශාල කැපවීමක් කළ අයෙක්” පී හැරිසන් කීය.

“පළාත් පාලන ඡන්දයෙන් ලොකු පණිවිඩයක් ජනතාව අපට දුන්නා. ඉදිරි වසර 02 තුළ රට හදන අතරේ ජනතාවට සැලකීම, ජීවන බර අඩු කිරීම, තරුණයන්ට රැකියා දීම වේගවත් කිරීම අවශ්‍යයි. අනික කෘෂි ක්ෂේත්‍රය හා සමෘද්ධිවල ප්‍රශ්න වහාම නිවැරදි කරන්න ඕනෑ. ගෙවුණු වසර 03ට එක එජාප කෙනෙකුට සමෘද්ධි දෙන්න ඉඩ ලැබුණේ නෑ.” ලක්ෂමන් කිරිඇල්ල කී දේට සියලු දෙනා එකගත්වය පළ කළහ.

ජාතික ආණ්ඩුව තවදුරටත් පවතින බව අගමැතිවරයා සහ සන්ධානයේ මහලේකම්වරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මහින්දගේ නිල නිවසේ සාකච්ඡාවක නියැලෙමින් සිටියහ. කෙහෙළිය, ප්‍රසන්න, සනත්, පවිත්‍රා ඇතුළු පිරිසක් එහි වූහ.

"මම නම් දැනගෙන හිටියා ඔය ආණ්ඩු කතා හරියන්නේ නැහැ කියලා. ඒකයි මම හැම රැස්වීමක දීම කිව්වේ ඡන්දෙ වෙලාවට බොරුවට තරහා පෙන්නුවත් මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුව ඡන්දෙන් පස්සෙත් දිගටම යනවා කියලා. මම නම් මුල ඉඳලම හිටියේ එයාලට ආණ්ඩු හදන්න අපි උදව් කරන්න ඕනේ නැහැ කියන මතයෙයි" ප්‍රසන්න පැවසීය.

පනින අයට වැඩ වරදියි

පළාත් පාලන ආයතන ජන්ද විමසීම් ආඥා පනතේ 10 (අ) වැනි වගන්තිය යටතේ පක්ෂ මාරු කරන පළාත් පාලන සභිකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

එහෙට මෙහෙට පැන්න ඇමතිගේ වැඩේ

පොහොට්ටුවේ මන්ත්‍රී හමුවකදී හිටපු ජනපති මහින්ද රහසක් හෙළි කළේය. ඒ කලාවට බර ඇමැති කෙනෙක්ගේ වැඩක් ගැනය.

"ඡන්දෙ ප්‍රතිඵල එන්නත් ඉස්සර ‍මට මෛත්‍රී ළඟ ඉන්න ප්‍රබලයෙක් කතා කරලා සුබ පැතුවා. එයා පහුවදා මෛත්‍රී හම්බ වෙන්න ගිහින් මට කෝල් එකක් ගත්තා. අරගෙන කිව්වා සර් ජනාධිපතිතුමා කතා කරනවා කියලා. එහෙම කියලා එයා ෆෝන් එක මෛත්‍රීට දුන්නා. මට දැන් අහෙනවා මෛත්‍රී කියනවා එපා එපා මං පස්සේ කතා කරන්නම් කියලා. ඒ පාර ඒ කෝල් එක ගත්ත කෙනා මට කිව්වා සර් පස්සේ කතා කරන්නම් කිව්වා කියලා. මාත් ෆෝන් එක තිබ්බා.

පස්සේ මිනිහා මට හම්බ වුණා පාර්ලිමේන්තුවේදි. මම ඇහුවා මොකද වුණේ කියලා. මිනිහා මට කියනවා මට ජනාධිපතිතුමා අම්බානක බැන්නනේ සර් කියලා. මං මොකුත් කියන්න ගියේ නැහැ. " මහින්ද මන්ත්‍රීවරුන්ට රහසක් හෙළි කළේය.

මහින්ද පියල්ගේ කොන්දේ අමාරුව අරියි

කලුතර දිස්ත්‍රික් ඒකබද්ධයේ මන්ත්‍රී පියල්ට එදින මහින්ද මුණගැසුණේය. ඒ වන විටත් කොන්දේ අමාරුවකින් පෙළෙමින් සිටි පියල් දුටු මහින්ද ඇසුවේ "මොකෝ පියල් අමාරුවෙන් වගේ" කියාය.
"නෑ සර් මේ කොන්දේ කැක්කුමක්. කොච්චර බේත් කළත් හරි ගියේ නැහැනේ" පියල් කීවේය.

"මං ගාව හොඳ බේතක් තියෙනවා. හෙට දහයමාරට විතර එන්නකෝ අපේ ගෙවල් පැත්තට" මහින්ද පැවසීය.

ඒ අනුව පියල් නිශාන්ත අගහරුවාදා උදෑසන මහින්දගේ නිල නිවස වෙත ගියේය. ඒ වන එහි පැමිණ සිටි ගෝඨාභයත් පියලුත් කැඳවා ගත් මහින්ද ගියේ නුගේගොඩටය. ඒ මහින්දගේ යෝගා ගුරුවරයා වන නන්ද සිරිවර්ධනගේ හමු වීමටය. අනෙක් අයට යෝගා කරවන අතරතුර නන්ද පියල්ටද යෝගා අභ්‍යාස කිහිපයක් කියා දුන්නේය.

"දැන් කොහොමද පියල්?" මහින්ද ඇසුවේ යෝග අභ්‍යාස නිමවා එන අතරතුරය.

"හොඳටම හොඳයි සර්. කොන්දේ කැක්කුම කොහෙන් ගියාද නැහැ" පියල් උත්තර දුන්නේය.

මාතෘකා