රාජ්‍යතාන්ත්‍රිකයෝ

 ඡායාරූපය:

රාජ්‍යතාන්ත්‍රිකයෝ

ලෝකයේ දීර්ඝතම ඇන්ඩීස් කඳුවැටිය දරාගෙන සිටින දකුණු ඇමරිකා වෙරළ තීරයේ පිහිටි චිලිය දේශපාලනයේත් සාහිත්‍යයේත් මනරම් සටහන් තැබූ රටකි. 1970 එළැඹි චිලියේ ජනාධිපතිවරණයට කොමියුනිස්ට් පක්ෂය සාමූහිකව තීන්දු කළ අපේක්ෂකයා වූණේ ලෝක පූජිත කවියෙකු වූ 'පැබ්ලෝ නෙරූදා'ය. නොබෙල් සාම ත්‍යාගය පවා ලබන්නට වරම් ලද නෙරූදා ලොවක් වසඟ කළ කවියෙකි. එහෙත් රාජ්‍ය පාලනයට වඩා කවිකමට පෙම් බැඳි නෙරූදා පක්ෂයේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළේය. නෙරූදාගේ ඒ තීරණය නිසා පක්ෂවලට විකල්පයක් සෙවීමට බල කෙරිණි. ඔවුන් තවත් පක්ෂ කිහිපයක් එක්ව බිහි කළ පක්ෂ එකතුවේ ‍පොදු අපේක්ෂකයා වූයේ, නෙරුදාගේ සමීපතම මිතුරා වූ 'සැල්වදෝර් අයියන්දේ'ය. මේ නව වෙනස නොරිස්සූ පිරිස් අයියන්දේ චිලියේ මුල් පුටුවට යෑම වළක්වන්නට නොතිත් වෑයමක් ගත්හ. කැස්ත්‍රෝ ගේ අතිජාත මිතුරා වන අයියන්දේට චිලියේ මුල් පුටුව ලැබුණ විට සිදුවන තත්ත්වය කෙනඩිගේ පටන් නික්සන් දක්වා වූ ඇමෙරිකාවේ කෙරුම්කාරයෝ තේරුම් ගෙන හිටියහ.   

එසේ වුවද තමන්ගේ ‍පොදු අපේක්ෂකයාට රටේ ලොකු පුටුව බාරදීමට චිලියේ ජනතාව පේ වී සිටි අතර අන්තිමට පොදු අපේක්ෂකයා වී ජනපති වූ අයියන්දේ ජනහිතවාදී වැඩ පිළිවෙළකට පාර කැපීය.   

මේ පොදු පාලකයාගේ වැඩපිළිවෙළ නොරිස්සූ පිරිස්, චිලියේ බලය පෙරැළීමේ කුප්‍රකට කුමන්ත්‍රණයට අත තැබූහ. අයියන්දේගේ ජනතාවාදී වැඩපිළිවෙළ ගැන උරණව සිටි ඔලුගෙඩිවලට ඔහුගෙන් වදින ‘කුළුගෙඩි පහර’ට පළි ගැනීමට සැරසී සිටි චිලියේම ඇතැමුන් සේම පෞද්ගලික අංශ සේවකයෝද අයියන්දේට එරෙහි වූහ. රට පුරා අරගල හට ගැනිණි. වතාවක් කියුබාවේ කැස්ත්‍රෝ චිලියට එන විට කාන්තාවක් හිස් වළං පෙන්වමින් විරෝධය පෑවාය. අයියන්දේ රටට ඉතිරි කළේ දුප්පත්කම බව ඇගේ අරමුණ විය.   

1972 කෙළවරදී මහා කුමන්ත්‍රණය දෙදරා ගියේය. අයියන්දේට පක්ෂවත් විපක්ෂවත් රටේ සකලවිධ ජනයා මහ පාරට බැස්සහ. භීතිය රජයන රටක් ගොඩනැගෙමින් තිබිණ. වෙඩි උණ්ඩ මාර්ග පුරා වැපිරිණ. පීඩාව හතර අත තැවරිණ. ඒ අතර අයියන්දේගේ ආරක්ෂක ඇමැති කාලෝස් ඉල්ලා අස් විය.   

අයියන්දේ තම දේශපාලන ජීවිතයේ ගත් ඉතාම අවාසනාවන්ත තීන්දුව ඒ මොහොතේ ගත්තේය. ඒ තමාගේ විශ්වසනීය හිතවතා වූ 'ඔගස්ටේ ෆිනෝෂේට' හමුදාව බාර දීමේ තීන්දුවය. අයියන්දේ නොදැන සිටියාට ඒ වන විටත් ෆිනෝශේ හිටියේ විරුද්ධවාදීන්ගේ පැත්තේය.   

1973 සැප්තැම්බර් 11 චිලියට පෑයූ ඉර එදින එරටට උදා වන අඳුර මකා ලන්නට සමත් වුණේ නැත. ෆිනෝෂේ ඇතුළු කල්ලිය ජනපති කාර්යාලය වට කළහ. මෙහි ප්‍රධාන චරිතය කළේ අයියන්දේගේම විශ්වාසවන්ත සගයා වූ ෆිනෝෂේ වීම ‍දෛවයේ සරදමක් විය. හතර වටින් සන්නද්ධ සෙබළු ජනපති මැදුර වටළා තිබියදී අයෙන්දේ තමා ජනපති කළ ජනතාව ඇමතීය. ‘උන්ට පිරිස් බලය තියෙනවා. අපිව මැඩලන්නට උන්ට පහසුයි. ඒත් ඉතිහාසය අපගේයි. එය මිනිසුන් විසින් ගොඩනැඟූ ඉතිහාසයක්. උදාර මංපෙත් කවදා හෝ විවර වනු ඇත. වඩා යහපත් ලොවක් ගොඩ නඟන්නට උදාර මිනිසුන් ඒ මග ඒවි..’   

‘මගලානේස්’ ගුවන්විදුලිය ඔස්සේ මේ අරුම ජනතා නායකයා සිය අවසන් කතාව කළේය. ඊට තත්පර කිහිපයකට පසු ඔහු සිය අතිජාත මිතුරා වූ ෆිදෙල් කැස්ත්‍රෝ තෑගි කළ ගිනි අවියෙන් දිවි තොර කැර ගත්තේය.   

එතැන් සිට කිසිදු විළිබියක් නැතිව ෆිනෝෂේ ඇතුළු කල්ලිය චිලිය කෙලෙසූහ. බිහිසුණු නිම්නයක සරසවිය පලා යන වග පසක් කරමින් අසහාය කවියා පැබ්ලෝ නෙරූදාත් සැක සාංකා සහගත මරණයකට ලක් වීය.   

අපූරු චිලිය අඳුරු ගුහාවකට වැටුණේ එහෙමය. බොරුවක් සියවරක් ප්‍රචාරය කළ විට එය ඇත්තක් බව ඇතැමුන් සිතයි. එහෙත් ඒ බොරුව රැවටීමක් බව හෙළි වන විට සිදුවී ඇති හානිය අති විශාලය. මෙහෙම කියන්නේ රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්ය.   

ඉකුත් මැතිවරණයේදී විකෘති ප්‍රතිපලය කර උඩ තබාගත් ජයග්‍රාහී පාර්ශවය 'ආණ්ඩුව' කුණාටුවකට රැගෙන ගියේ එහෙමය. යහපාලන ආණ්ඩුවේ නායකයින් දෙපළ එය සීරුමාරුවට කළමණාකරණය කර නොගත්තා නම් 1973 චිලියේ සිදු වූ කතාව 2018 ලංකාවේ වෙන්නට ඉඩ තිබිණි.   

යහපාලන ආණ්ඩුව බිහිව තෙවසරකට කිට්ටු කාලයක් නික්ම ගිය කල්හී තැබූ මුල්ම මැතිවරණය ආණ්ඩුවට 'අවාසිදායක'විය. එකී ප්‍රතිඵලයෙන් ආණ්ඩුව මෙතෙක් ගිය ස්වකීය ගමන ගැන නැවත සිතා බලන තැනට පත් විය.   
එහෙත් 'පොහොට්ටුව' කීවේ ආණ්ඩුව ඉල්ලා අස් විය යුතුය කියාය. දිනන්නට පෙර පැවැති රැලිවලදීද පොහොට්ටුවේ කථිකයෝ ජනතාව පිනවූයේ 'ඡන්දෙන් පස්සේ අපි දිනුවම ආණ්ඩුව නොගියොත් වටකරලා ගහලා එලවනවා' කියාය. දිනුවට පස්සේ ඔවුන් හැසිරුණේ පශ්චාත් මැතිවරණයේ 'ත්‍රාඩ' බව අතට ගන්නටය. ඒ සඳහා ඔවුන් කෙළිබඩුවක් කරගන්නට වෑයම් කළේ 'කතානායක'වරයාය.   

මැතිවරණ සමය තුළ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක සිටියේ වේදිකා දෙකකය. ජයග්‍රහණය උදෙසා කරන මැතිවරණ බල අරගලයකදී 'ගැලරි කතා' අරුමයක් නොවේ. ජනාධිපතිවරයා එක් පාර්ශවයකිනුත්, අගමැතිවරයා තවත් පාර්ශ්වයකිනුත් වෑයම් කළේ මැතිවරණ සටනට අවතීර්ණව සිටින තමන්ගේ කඳවුර දිනවන්නටය. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ නම පමණක් ඉතිරිකොට සෙසු සියල්ල රැගෙන වෙනම කල්ලියක් ලෙස පැමිණ 'අගමැතිකම මහින්දට' කියන සටන් පාඨයෙන් මැතිවරණය කළ පොහොට්ටුව මේ දෙදෙනාගේ වෙනම ගමන 'අතුරුපසක්' බවට පත් කොට ගත්හ.   

ප්‍රතිඵලය ආවේ එහෙම තත්ත්වයක් තුළය. ගමේ පාලම් බෝක්කු හදන කණ්ඩායම පත් කරන 'පුංචි ඡන්දයේ' දිනුම ආණ්ඩුව පෙරළන ඡන්දයක් සේ සැලකූ රාජපක්ෂ පිල 'ආණ්ඩුවට ඉල්ලා අස්වෙන' ලෙස දිනවකවානු නියම කරන්නට වූහ. දින කිහිපයක් රට 'අකර්මණ්‍ය වූයේ' ඒ අනුවය.   

නායකයින් දෙදෙන මැතිවරණ වේදිකාවේ තර්ක හේතුවෙන් 'විිරසකව' ඇතැයි සිතූ බොහා් දෙනා මෙයින් කලබල වූහ. රටින් ඔබ්බට ගිය පණිවිඩය පවා එතරම් හිත සුව පිණිස නොවීය. ඇතැම් විදෙස් මාධ්‍ය පවා වාර්තා කළේ 'ආණ්ඩුව' අවදානමක බවය.   

කතානායකවරයාගේ භූමිකාව තීරණාත්මක වූයේ මේ අවස්ථාවේදීය.   

යහපාලන ආණ්ඩුවේ සමඟිය දෙදරන තැනට කරුණු යෙදෙන විට කතානායක කරු ජයසූරිය මහතා වෙසෙස් භූමිකාවක් නිරූපණය කළේය. මැතිවරණ වේදිකාවේ 'සීමාව' පනින කතා රටේ අනාගතයට සුබවාදී නොවන බව හෙතෙම නායකයින්ට කීවේය.   

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ කතානායකවරයා නිල බලයෙන්ම මෙරට තුන්වන පුරවැසියා වන අතර පාර්ලිමේන්තු පනත් කෙටුම්පතකට නෛතික වලංගුතාවය හිමිවන්නේද ඔහු ඊට අත්සන් කළ පසුය.   

ඊට අමතරව පාර්ලිමේන්තු ස්වාධීනත්වය කෙරෙහි බෙහෙවින් බලපාන වගකීම් රාශියක් ඔහු විසින් උසුලනු ලබයි. න්‍යාය පුස්තකයට කරුණු ඇතුළත් කිරීම, විවාද සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදීම සහ කාලය වෙන් කිරීම, ස්ථාවර නියෝග ප්‍රකාරව පාර්ලිමේන්තුවේ විනය ඇතුළු කටයුතු පවත්වා ගෙන යෑම, අවශ්‍ය අවස්ථාවලදී සභාවට උපදෙස් දීම මෙන්ම මන්ත්‍රී වරප්‍රසාද ආරක්ෂා කිරීම මේ වගකීම් අතර පවතී. තවද ඔහු විවිධ ස්ථාවර කමිටුවල සභාපතිත්වය උසුලන අතර පාර්ලිමේන්තු භූමියේ සහ ගොඩනැගිලිවල ආරක්ෂකයාද වේ. කතානායකධුරය නිශ්චිතවම ඇරඹුණු බවට සැලකෙන්නේ 13 වන සියවසේ බ්‍රිතාන්‍යයේදීය. එවක ඔහුගේ කාර්යය වූයේ පාර්ලිමේන්තු තොරතුරු රජුට වාර්තා කිරීමයි. අසතුටුදායී පුවත් ගෙනයෑම දඬුවමට හේතු වූ අතර ක්‍රි.ව. 1394- 1535 අතර මේ හේතුවෙන් මරණ දණ්ඩනයට ලක් වූ කතානායකවරුන් ගණන හත් දෙනෙකි. කරු ජයසූරිය කතානායකවරයාගේ භූමිකාව නිරූපණය කරන්නේ අතිශය තීරණාත්මක වකවානුවකය.   

ජාතික නායකයෙකු ලෙසත්, ප්‍රශස්ත රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසත් කටයුතුකොට දෙස් විදෙස් අත්දැකීම් රැසකින් යුක්ත ජයසූරිය මහතා මැතිවරණයෙන් පසුවද ක්‍රියාත්මක වූයේ පැසුණු, කෘතහස්ත රාජ්‍යතාන්ත්‍රික බවකින්ය.   

'කරු අගමැති'

"අගමැතිකම භාර ගන්නැයි කරූගෙන් ඉල්ලති"   

'එජාපය කරූට, අගමැතිකමත් කරූට’  දේශපාලන කුණාටු සමයේ 'ප්ලාන්ට්' වූ 'නිවුස්' ඒවාය. එහෙත් ඒ කිසිම විටෙක කතානායකවරයා 'ඉක්මන් වූයේවත්, කලබල වූයේවත් නැත. එවැනි කතා තටු ලබා සමාජගත වෙත්දී 'තමන් කිසි විටෙකත්

පස්ස දොරෙන් අගමැති වීමට හෝ පක්ෂ නායකත්වය ලබා ගැනීමට කටයුතු නොකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි වීමට කිසිදු අදහසක් නොමැති බවත් කතානායක වරයා කීවේය. පුංචි මැතිවරණයේ පරාජය සමඟ ආණ්ඩුව පෙර නොවූ විරූ අනපේක්ෂිත සසල වීමකට ලක් විය.කල දුටු තැන ප්‍රහාර එල්ල කිරීමේ අනවරත අපේක්ෂාවක සිටින රාජපක්ෂ කඳවුර මේ ප්‍රතිපලයෙන් අමන්දානන්දයට පත් වූහ. ඒ තීරණාත්මක මොහොතේ වඩාත් රාජ්‍ය තාන්ත්‍රික බවක් පෙන්වූයේ 'කතානායක'වරයා ය. තමන්ට සුපුරුදු අපහාස සහගත පරිභවයන් ඒකාබද්ධයේ පිරිස් වෙතින් කතානායකවරයාට තරම් වෙනත් කිසිවෙකුටත් එල්ල නොවන්නට ඇත. පුංචි ඡන්දයේ ප්‍රතිඵලයෙන් ඇලළුණු 'පොහොට්ටුව' තීරණාත්මක ප්‍රහාරය ඉලක්ක කළේ අගමැති, ජනපති බිඳවන්නටය. එහෙත් කතානායකවරයා වඩාත් ප්‍රශස්තව මේ තත්ත්වය කළමණාකරණය කළේය.   

'ශ්‍රී ලංකාව අස්ථාවර වෙනවා. ආයෝජකයෝ දෙගිඩියාවෙන්. ලෝකයා විමතියෙන් බලා ඉන්නවා' බොහෝ දෙනා කියන්නට පටන්ගත්ම. දේශපාලනය ඉක්මවාගිය රාජ්‍යතාන්ත්‍රිකභාවය උපයෝගීකොටගත් කතනායකවරයා ඒ තීරණාත්මක 'කැලඹීමෙන්' රට ගළවා ගත්තේය. බොහෝ දෙනා දේශපාලනය කරද්දී කතානායකවරයා රාජ්‍යතාන්ත්‍රික බව පෙන්වූයේ එහෙමය. ජනපති අගමැති මුණ ගස්වා සාකච්ඡාවකට පදනම දමා 'කුණාටුවෙන්' අරාජික වන්නට ගිය රට සංසුන් කළේ ඔහුය.   

ඔහු කතානායක ධුරයට පත් වන්නේ මෙරට ඉතිහාසයේ පාර්ලිමේන්තුව 'අමුතු' සංයුතියක් බවට පත්ව තිබෙන කාලයකය. නිර්දය විවේචන, අපහාස උපහාස සියල්ල එල්ල වෙත්දීත් ඔහු 'වැඩේ හරියට' කළේය. මෙරට ඉතිහාසයේ 'රණ්ඩු' වැඩිම පාර්ලිමේන්තුව මෙහෙයවීමේ කටයුත්ත ඔහු 'පරිණතව' සිදු කරන්නේ රට මුල්තැන තියලාය.   

අගමැතිවරු වීමේ සිහින, ආණ්ඩු පෙරළීමේ සිහින බොහෝ දෙනා තුළ විය. අරාජික බවින් ප්‍රයෝජන ගත හැකි අය ඒ උදෙසා සිහින දකිමින් සිටින්නට ඇත. ඔහුට උවමනා වූයේ රට ස්ථාවර වෙනවා දකින්නටය. ඒ වන විට සැබවින්ම සියලු පාර්ශ්ව සිටියේ සිදුවන්නේ කුමක්දැයි වටහාගත නොහැකි අවිනිශ්චිත භාවයකය. ඇමැතිවරු, මන්ත්‍රීවරු, රාජ්‍ය නිලධාරීන්, දෙස් විදෙස් තානාපතිවරු පවා තුෂ්නීම්භූතව සිටියහ.   

ජනපති - අගමැති අතර තීරණාත්මකම හමුව සැකසුවේ ඔහුය.   

කුණාටු බොරදියේ මාළු බාන රටාව 'බල දේශපාලනයේ' සුපුරුදු දෑය. දේශපාලනඥයා සිතන්නේ අද සහ හෙට ගැනය. එහෙත්, රාජ්‍යතාන්ත්‍රිකයා හිතන්නේ අනාගත පරපුර ගැනය. දේශපාලනඥයින්ගෙන් රාජ්‍යතාන්ත්‍රිකයින් වෙනස් වන්නේ ඒකය.   

කරු ජයසූරිය මහතා කතානායක වරයා ලෙස කටයුතු කිරීම ඒකාබද්ධයේ පිරිස් මුල සිටම රිස්සුවේ නැත. ඔහුගේ 'මහාත්ම'භාවය ඉතාමත්ම පහත් චෝදනාවලින් සහ කතාවලින් දිය කර හරින්නට සමහරු වෑයම් කළහ. එහෙත් ඔහු කිසිවිටෙක ස්වකීය භූමිකාව 'පාවා' නොදුන්නේය.   

'කථානායක වූ පසු කවදාවත් සිරිකොතට ගිහින් නෑ' ඔහු වරක් එහෙම කීවේය. නිර්පාක්ෂික භූමිකාව ඔහු ඉටු කරනුයේ එසේය. එහෙත් ඒ කිසිවක් ඒකාබද්ධය මායිම් කරන්නේ නැත. ඒ වෙනුවට කරන්නේම ගෝරණාඩුය. වරක් පාර්ලිමේන්තුවේදී විමල් වීරවංශ කරු ජයසූරිය මහතාට අවලාද නගන්නට පටන් ගත්තේය. ජයසූරිය මහතා නොකළ ප්‍රකාශයක් කළා යැයි කියමින් ඔහු කීවේ ජයසූරිය මහතා දේශ ද්‍රෝහියෙකු බවය. සියල්ල අසාගෙන සිටි ජයසූරිය මහතා දුන් පිළිතුරෙන් විමල්ලාට උන් හිටි තැන් අමතක විය.   

ජාති හිතෛශී, සර්වබලධාරී, දේශමාමක විමල් වීරවංශ මැතිතුමාගේ ශ්‍රී මුඛයෙන් කියපු වචන ටිකටයි මේ උත්තරය. 'එදා ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නකොට කතා කරපු කෙනා නෙවෙයි අද ඉන්නේ. මම කාගෙවත් කොන්ත්‍රාත්කාරයෙක් නෙවේ. මම කාගෙවත් සල්ලි අරන් නෑ. දේශ හිතෛශී කියලා ලේබල් ගහගෙන නැතිවට අපිත් මේ රටට ආදරෙයි. මට කොටි ලේබල් අලවන්න ඔබට බෑ. මම ජාතික ඇඳුම ඇන්දේ 1955 ඉදලා. මම ජාතික කොඩිය පළඳින්නේ 92 ඉඳලා. මම රට යනකොට එක ඇඳුමකුත් මෙහේ ඉන්නකොට තව ඇඳුමකුත් අඳින්නේ නෑ' මේ සංවාදය උපුටා දැක්වුවේ, ඔහු අවැසි තැන දෙන පිළිතුර සහ ප්‍රතිචාර කෙතරම් ප්‍රශස්තදැයි තහවුරු කරනු පිණිසය. රටක පාලනය විවිධ අවස්ථාවල ව්‍යාකූලත්වයට පත් විය හැක. එවැනි විටෙක ප්‍රශස්ත රාජ්‍යතාන්ත්‍රික කතානායකවරයෙකුගේ භූමිකාව ගැන හොඳම පූර්වාදර්ශය වත්මන් කතානායකවරයාගේ භූමිකාවෙන් වටහා ගත හැකිය.  

[රංජිත් කුමාර සමරකෝන්]

මාතෘකා