දශක හතරකට රජුන් තැනූ ලංකාවේ පළමු කැබිනෙට්ටුව

 ඡායාරූපය:

දශක හතරකට රජුන් තැනූ ලංකාවේ පළමු කැබිනෙට්ටුව

ෙම් සතිෙය් පුවත්පත් සියල්ලම මුල් පිටු සරසන්නේ නව කැබිනට් මණ්ඩලය ගැන කතා වලිනි. 'කැබිනට් සංශෝධන‍ය'ට සියල්ල සූදානම්ව තිබියදී, මීට වසර 71කට පෙර සිදුවූ, මෙරට මුල්ම කැබිනට් මණ්ඩලය ගැන කතා කිරීම වටී.1947 සැප්තැම්බර් 26 වැනිදා පත් කෙරුණු නිදහස් ලංකාවේ ප්‍රථම කැබිනට් මණ්ඩලය හරි අපූරු එකකි. එහි වූ සංකලනය එදා මෙදා තුර කැබිනට් මණ්ඩල අතර කැපී පෙනෙන සංකලනයකි.

“ අපට 1947දී මහමැතිවරණයක් ලබා දෙන්න. එවිට අපට පුළුවන් රටේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීමට ආණ්ඩුවක් පත්කරගන්න”
ඩී.එස්. සේනානායක මහතා සෝල්බරි කොමිසමෙන් එහෙම ඉල්ලීය.

එදවස මැතිවරණය නවමු ආශ්වාදයක් මෙරැටියන්ට ගෙන ආ එකකි. නාගරික බවට වඩා ග්‍රාමීය ජීවන රටාවක දිවි ගෙවූ ශ්‍රීලංකිකයින්ට ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දුන්නේ 1931 වර්ෂයේදීය. ඒ ඩොනමෝර් කොමිසම මඟින්ය. බ්‍රිතාන්‍යයන්ට සර්වජන ඡන්ද බලය ලැබෙන්නේත් අපිට ඒ බලය ලැබුණු වසරේදීම වීම විශේෂයකි. ඡන්ද බලය ලැබී වසර 16කට පසුව එනම් 1947 අගෝස්‌තු මාසයේදී මුලින්ම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ යටතේ පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්විණි. එය දින 19ක් පුරා පැවැත්විනි.

1931 හා 1936 දී පවත්වන ලද මැතිවරණ වලදී සිදු වූයේ, අපේක්ෂකයා නියමිත වර්ණයෙන් පාට කළ ඡන්ද පෙට්ටියට ඡන්දය දැමීමට සැලසීමය. එහෙත් 47 මුල්වරට ලකුණට ඡන්දය දැමීම ඇරඹිණි. අලියා, අත, පාපැදිය, නිවෙස, සමනළයා, යතුර, කණ්ණාඩිය, කුරුල්ලා, රෝදය, තරුව, තරාදිය, කුඩය, බස්රථය, කෝප්පය, ඔරලෝසුව, ලාම්පුව, පුටුව, ගස, අන්නාසි ගෙඩිය, මේසය, මල, අහස්යානය, ඇස, හැන්ද, ඒ මැතිවරණයේ ලකුණුය.

ඒ මැතිවරණයට ලියාපදිංචි ඡන්ද දායකයෝ 30,52,814ක් ඡන්ද වරම් ලැබූහ. ප්‍රතිඵලයට අනුව එක්සත් ජාතික පක්ෂය සභිකයින්, 42දෙනකු ජයග්‍රහණය ලබාගෙන තිබිණි. ඒ වෙනකොට ශ්‍රීලංකා නිදහස් පක්ෂයක් තිබුණේ නැත. බණ්ඩාරනායක මහතා එවක එජාපයේ උප සභාපතිවරයෙකි. ලංකා සම සමාජ පක්ෂය ආසන 10ක්ද, බොල්ෂෙවික් ලෙනිස්ට් පක්ෂය 5ක්ද, ද්‍රවිඩ සංගමය 7ක්ද, ලංකා කොමියුනිස්ට් පක්ෂය 3ක්ද, ලංකා ඉන්දියානු සංගමය 6ක්ද, කම්කරු පක්ෂය 01ක්ද ස්වාධීන අපේක්ෂකයන් 21 දෙනෙකුද තේරී පත් විය.

බහුතර බලය තිබූ එක්සත් ජාතික පක්ෂයට 'ආණ්ඩුව' පිහිටුවන්නට ආරාධනා කළේ ආණ්ඩුකාර සර්.හෙන්රි මුවර්ය. අගමැති ලෙස ඩී.එස් සේනානායක පත් වූ අතර එදා මෙදාතුර මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ 'අපූරුම' චරිත රැසක් කැබිනට් මණ්ඩලයට පත් වූහ. ඩඩ්ලි සේනානායක, ජේ. ආර්. ජයවර්ධන, සර් ජෝන් කොතලාවල, ඒ. රත්නායක, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක, සී. සුන්දරලිංගම්, ටී. බී. ජයා, සී. සිත්තම්පලම්, ජෝර්ජ් ඊ. ද සිල්වා, ඊ, ඒ. නුගවෙල සර් ඔලිවර් ගුණතිලක, සර් ලලිත රාජපක්ෂ, සර් සෙනරත් ගුණවර්ධන ඒ 'අපූරු'කැබිනට් මණ්ඩලයයි.

නියෝජිතයින් ලද ඇමැතිධුර මෙසේය.

1. ඩී.ඇස්.සේනානායක - අග්‍රාමාත්‍ය, ආරක්ෂක හා විදේශ කටයුතු භාර ඇමැති
2. එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක - සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැති සහ සභානායක
3. ජේආර්. ජයවර්ධන - මුදල් ඇමැති
4. ශ්‍රීමත් ජෝන් ලයනල් කොතලාවල - ප්‍රවාහන සහ ප්‍රසිද්ධ වැඩ ඇමැති
5. ශ්‍රීමත්. ඔලිවර් ගුණතිලක - ස්වදේශ කටයුතු භාර ඇමැති
6. ජෝර්ජ් - ඊ. ද සිල්වා - කර්මාන්ත, කර්මාන්ත පර්යේෂණ සහ ධීවර කටයුතු පිළිබඳ ඇමැති
7. සී.සුන්දරලිංගම් - වාණිජ සහ වෙළෙඳ ඇමැති
8. ඩඩ්ලි සේනානායක - කෘෂිකර්ම හා ඉඩම් ඇමැති
9. ටී. බී. ජයා - කම්කරු හා සමාජ සේවා ඇමැති
10. ඊ. ඒ. නුගවෙල - අධ්‍යාපන ඇමැති
11. ඒ. රත්නායක - ආහාර හා සමුපකාර ඇමැති
12. එල්. ඒ. රාජපක්ෂ - අධිකරණ ඇමැති
13. සී. සිත්තම්පලම් - තැපැල් හා විදුලි සංදේශ ඇමැති
14. ශ්‍රීමත් ආර්. එස්. ගුණවර්ධන - කාර්ය නියමයක් නැති ඇමති සහ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක

මේ කැබිනට්ටුවේ විශේෂතා බොහොමයකි.

මෙරට ඉතිහාසයේ මුල්ම පක්ෂ මාරුව සිදු කළ ඇමැතිවරයා මේ කැබිනට් මණ්ඩලයේ සිටියේය. ඔහු එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායකය. 1951 ජූලි 12 දින ඔහු ආණ්ඩුවෙන් නික්මිණ. පාර්ලිමේන්තුවේ සිංහලෙන් කළ පළමු කතාව 1948 ජූලි 28 දින සිදු කළේද බණ්ඩාරනායක මහතාය. එදා ඔහු පළාත්පාලන ධුරයට අමතරව සෞඛ්‍ය ඇමති ධුරයද දැරුවේය.

මෙරට පළමු කැබිනට්ටුවේ සිටි ඇමැතිවරු කිහිපදෙනෙක්ම පසු කලෙක රටේ පාලන බලය ලබා ගත්හ. එවක කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ලෙස කටයුතු කළ ඩඩ්ලි සේනානායක, ඩී.එස් සේනානායකගෙන් පසු අගමැති වූ අතර වරින් වර 7වතාවක් අගමැති බවට පත් විය. ප්‍රවාහන සහ ප්‍රසිද්ධ වැඩ ඇමැති ලෙස කටයුතු කළ ජෝන් කොතලාවල ද පසුව අගමැතිවරයෙක් විය. සෞඛ්‍ය හා පළාත් පාලන ඇමැති සහ සභානායක ලෙස කටයුතු කළ එස්. ඩබ්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාද 1956 අගමැති වූ අතර 47 ආණ්ඩුවෙන් ඉවත්ව වෙනත් පක්ෂයකින් අගමැති වූ එකම පුද්ගලයාද ඔහු ය. එවක මුදල් ඇමැති වූ ජේ ආර් ජයවර්ධන සියලු දෙනා අතර සුවිශේෂම වෙයි. ඒ ඔහු මෙරට මුල්ම විධායක ජනාධිපති වූ නිසාය.