ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ කෙසේ විය යුතුද?

 ඡායාරූපය:

ආණ්ඩුවේ ඉදිරි ගමන් මඟ කෙසේ විය යුතුද?

ශ්‍රී ලාංකීය දේශපාලන කරළියේ උණුසුම් සති කීපයක් ගෙවී යමින් පවතී. පළාත් පාලන මැතිවරණයකින් පසු මෙවැනි අර්බුදකාරී දේශපාලන වටපිටවාක් ඇති වූයේ මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවටය. කෙසේ වෙතත් අමාත්‍ය මණ්ඩල සංශෝධන සහිතව ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාමට තීරණය වී ඇත. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල තුළින් ජනතාව යම් පණිවිඩයක් දී ඇති බව පැහැදිලි කාරණයකි. ඒ පණිවිඩය ආණ්ඩුව තේරුම් ගත යුත්තේ කෙසේද සහ ඉදිරි ගමන් මඟ කෙසේ සකසා ගත යුතුදැයි සමාජ, දේශපාලන ක්‍රියාකාරීන් කිහිප පිරිසකගෙන් අපි විමසුවෙමු.

එක ඡන්දයකින් තවත් ඡන්දයක ජනවරම නැති කරන්න බෑ  -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමි


පළාත් පාලන මැතිවරණය  කියන්නේ ආණ්ඩුව වෙනස් කරන්න පුළුවන් එකක් නෙවෙයි. රටේ ප්‍රධාන මැතිවරණ හතරක්  තියනවා. ජනාධිපතිවරණයෙදි ඉල්ලන්නේ ජනාධිපතිවරයෙක් පත් කරන්න. මහ මැතිවරණයක්  තියන්නේ ව්‍යවස්ථාදායකය පත් කරන්න. 
ඒ නිසා එක මැතිවරණයකින් දුන්න  තීන්දුවක් නිසා අනෙකුත් මැතිවරණවලදී දුන්න වරම නැති වෙන්නේ නෑ. එක වරමක්  නැති කරන්න පුළුවන් ඒ වර්ගයේම මැතිවරණයකින් පමණයි. ඒ නිසා මේකෙ කිසිම  අලකලංචියක්, කලබල වීමේ අවශ්‍යතාවයක් ඇති වෙලා නැහැ. පළාත් පාලන ඡන්ද  ප්‍රතිඵලය නිසා ආණ්ඩුව විසුරුවීමේ හෝ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා ඉවත් වීමේ  අවශ්‍යතාවක් නැහැ. 
නමුත් මේ මැතිවරණය හරහා ජනතාව පොඩි 'සිග්නල්'  එකක දීලා තියනවා. ආණ්ඩුව මේ මැතිවරණයට තරඟ කරද්දි, මහජනතාව දීලා තියෙන්නේ  ආණ්ඩුවට අඩු ප්‍රතිශතයක් සහ අඩු පළාත් පාලන ආයතන ප්‍රමාණයක්.
උදාහරණයකින්  පැහැදිලි කළොත්, යහපාලන වෑන් එකේ 'ස්පෙයාර් වීල්' එකේ මිනිස්සු හුළං ඇරලා.  හේතුව තමා ආණ්ඩුව 'රෝං සයිඩ්' යන්න පටන් ගැනීම. නමුත් දැන් ආණ්ඩුව කරන්නේ  බොනට් එක ඇරගෙන එන්ජිම ගලවලා, ගියර් පෙට්ටිය හදන්න පටන් අරගෙන. ඒත්  ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමේ.
මේ පැහැදිලිව කියන්නේ වැරදි පැත්තෙන් ගියපු වාහනය හරි පැත්තට ගන්න කියලා. තේරුම තමා අඩුපාඩු හදාගන්න කියන දේ.
යහපාලනය  වෙනුවෙන් ගොඩ නඟපු සන්ධානය ඒ විදිහටම තියෙන්න ඕන. ඒකෙ වෙනසක් කරන්න අවශ්‍ය  නැහැ. නමුත් ක්‍රියාකාරකම්, අභිලාෂයන් සහ පරමාර්ථවල වෙනසක් ඇති කරගන්න  ඕන. ඒ අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීම ඉතාම වැදගත්. අදක්ෂ සහ අසාර්ථක  අංශවල අයව ඉවත් කරලා ඒ වෙනුවට දක්ෂ අයව පත් කරන්න කටයුතු කරන්න අවශ්‍යයි.
දූෂණ  විරෝධී ක්‍රියාකාරකම්, ආර්ථික ප්‍රතිසංස්කරණ, සංවර්ධන වැඩසටහන්, සුබසාධනය, ගොවීන්ගේ ගැටලු නිරාකරණය වගේ වැඩ කටයුතු කඩිනම් කළා නම් ඉදිරි  කටයුතු සාර්ථක කරගන්න පුළුවන්.

ප්‍රතිරූප වෙනුවට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි-ආචාර්ය ජනක් කුමාරසිංහ


ජනතාවගේ පැත්තෙන් ඉතා පැහැදිලි පණිවිඩයක් දීලා තියනවා. 2015 ජනවාරි 8  ජනාධිපතිවරණයෙදී ජනතාව දුන්න පැහැදිලි පණිවිඩය කේන්ද්‍ර කරගෙන අපිට මේ  විග්‍රහය කරගන්න වෙන්නේ. ජනතාවගේ අභිලාෂය වුණේ වංචාවට දූෂණයට එරෙහි, කරන දේ  කියන - කියන දේ කරන දේශපාලන නායකත්වයක් පත් කර ගැනීම. පළාත් පාලන  මැතිවරණයක් වුණත් මෙතනදී ජනමතයක් ප්‍රකාශ වීමක් සිද්ධ වෙලා තියනවා. දැනට  පවත්නා රජයේ ක්‍රියා පිළිවෙත අනුමත නොකරන බවක් ප්‍රකාශ වෙලා තියනවා.  විශේෂයෙන් මෙහිදී සිදු වී තිබෙන්නේ පවත්නා ප්‍රතිරූප ප්‍රතික්ෂේප කිරීමක්  නෙවෙයි. නමුත් ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කර තිබෙනවා. ආර්ථික  ප්‍රතිපත්ති සහ අනුගමනය කරන ක්‍රියාමාර්ග ප්‍රතික්ෂේප කිරීමක් සිදු වෙලා  තියනවා. රජය ප්‍රකාශ කරන දේ සහ ක්‍රියාත්මක කරන දේ අතර විශාල පරතරයක් ඇති  බව පැහැදිලි වෙනවා. එම පරතරය සම්බන්ධ ජනතා කලකිරීම තමා ඡන්ද ප්‍රතිඵලයෙන්  නිරූපණය වෙන්නේ. 
විශේෂයෙන් ජනතාව ප්‍රතික්ෂේප කරපු නියෝජිතයෝ වගකිව  යුතු අමාත්‍යධුර දක්වා ඔසවා තබා තියෙනවා. මෙය ජනතා මතයට පටහැනි  ක්‍රියාවක්. ආණ්ඩුව අවධානය යොමු කළේ එම පුද්ගලයන්ගේ ප්‍රතිරූප ගැන මිසක්  ජනතාව ඉල්ලපු ප්‍රතිපත්ති ගැන නෙමේ. දූෂණ විරෝධී ප්‍රතිපත්ති,  දැවැන්ත මුදලක් වෙන් කරන ප්‍රචාරණ ව්‍යාපෘති නැවතත් ක්‍රියාත්මක කිරීම  ජනතාවගේ දෝෂාරෝපණයට හේතු වුණා. මේ නිසා නැවතත් ප්‍රතික්ෂේප වුණ පිරිසම පත්  කර ගැනීමට ජනතාව තීරණය කරන්න ඇති. අවුරුදු තුනක් කරපු වැරදි පහුගිය  සති දෙක තුළ හදා ගැනීමේ උත්සහයක් වත් පේන්නට නැහැ. තව දුරටත් රජය  පවත්වාගෙන යනවා යම්, අවංකව සහ කඩිනම්ව ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ  කරන්න ඕන. ඒ වෙනුවෙන් සති ගණන් කල් බැලීමේ අවශ්‍යතාවක්  නෑ.

 

වෙනස් නොවුණොත් පහළින් සහ පිටතින් අර්බුදයක් එයි -අාචාර්ය දයාන් ජයතිලක


ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යන්න පුළුවන් වුණත් කලින් ආකාරයට පවත්වා ගෙන යන්න බැහැ. ඒකට හේතු කීපයක් තියනවා. එක හේතුවක් තමා ආණ්ඩුවේ එක එක පක්ෂයේ ජන ප්‍රසාදය විශාල කඩා වැටීමකට ලක් වෙලා තියනවා. ඒ වගේම එජාපය සහ ශ්‍රීලනිපය අතර පරතරය වැඩි වෙලා තියනවා. විධායක ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අතර පරතරය වැඩි වෙලා තියනවා. දැනට ආණ්ඩුව පවත්වාගෙන යනවා නම් පවත්වාගෙන යන්න වෙන්නේ ගම් ගාලා අලවගෙන. තව කාරණාවක් වෙන්නේ, ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳ විශාල අභ්‍යන්තර පරතරයක් තියනවා.
හැම ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන්ම මීට කලින් තිබුණ එකඟතාවය මෙයින් පසු පවතින එකක් නැහැ. විශාල ගැටුම්කාරී තත්ත්වයකින් ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙන්නේ. ඊළඟ කාරණය ව්‍යවස්ථාව. අලුත් ව්‍යවස්ථාව ගේනවද? නැත්නම් ව්‍යවස්ථාවේ සංශෝධන ඇති කරනවද කියන කාරණා පිළිබඳ එජාපය සහ ශ්‍රීලනිපය අතර පරතරය වැඩි වෙනවා මිසක අඩු වෙන්නේ නෑ. මේ නිසා ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යෑමට නම් යම් කිසි වෙනසක් ආණ්ඩුව තුළ සිදු විය යුතුයි. ඒ වෙනස වන්නේ, ජනාධිපතිතුමා අපේක්ෂා කළ ආකරයටම අගමැතිතුමා වෙනස් වීම.
ඒ වගේම එජාපය දක්ෂිනාංශික නව ලිබරල්වාදයේ සිට ශ්‍රීලනිපය සමඟ එකඟ වෙන්න පුළුවන් මැද මාවතට ගමන් කරන්න ඕන. ආණ්ඩුවේ ඉහළ සිට සහ අභ්‍යන්තරයේ වෙනසක් සිදු නොවුණොත් අවශ්‍ය විපර්යාසය පහළින් සහ පිටතින් අනිවාර්යයෙන් සිද්ධ වෙනවා.

මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි-දේශපාලන විශ්ලේෂක ශ්‍යාමන් හේමකොඩි

ප්‍රධානම කාරණය තමා පත් කරපු ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වුණු පරිමාණයට කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් විදිහට පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වෙනවා. සමාජයේ මතවාදය සහ පාරිලිමේන්තුවේ සංයුතිය සමපාතවීම  ප්‍රජාතන්ත්‍රවාදී රටක් විදිහට මූලිකම සිදු විය යුතු දෙයක්. ලංකා ඉතිහාසයේ එහෙම සමපාත නොවුණු හැම තැනකදිම සිද්ධ වෙලා තියෙන්නේ දේශපාලන අර්බුදයකට යෑමයි.
ශ්‍රී ලංකාවේ මේ තත්වය උල්ලංඝනය කරපු අවස්ථා එක දිගටම දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 1982 ලාම්පු කළගෙඩි සෙල්ලම. ජනතා මතය පිරික්සනවා වෙනුවට පවත්වපු ඊනියා ජනමත විචාරණයේ සෘජු ප්‍රතිඵල විදිහට දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ අරගලය එනවා. උතුරේ දෙමළ කැරැල්ලක් ඇති වෙනවා.
මේ වගේ ඔළුගෙඩි සෙල්ලම් ජන සම්මතවාදයත් එක්ක ගත්තහම විකාරයක්.
ජනවාරි 8ත් ඒ වගේම දෙයක් වෙනවා. ඇත්තටම ඒකාබද්ධ විපක්ෂය තමා මේ රටේ විපක්ෂය නියෝජනය කිරීමේ ජනමතය ලබා ගන්නේ. නමුත් දෙමළ ජාතික සන්ධානයට විපක්ෂ නායකකම ලැබුණා. තාක්ෂණික කාරණයක් හරහා තමා මේ තත්වය ඇති කරන්නේ. මේ නිසා සමාජයේ තියන අදහස් නිවැරදිව සම්ප්‍රේෂණය වීම නවතිනවා.
දැන් කළ යුත්තේ ව්‍යවස්ථා නීතී රීති වලට මුවා නොවී ආණ්ඩුව විසිරුවා හැරීම. ජනවාරි 8 ලබා දුන්න ඡන්ද පදනම තව දුරටත් නැති බව මේ ඡන්දෙන් පෙන්වනවා. ඒ නිසා නැවත මහ මැතිවරණයක් පවත්වලා මිනිස්සුන්ට තමන්ට අවශ්‍ය මොනවද කියලා නිවැරදිව තෝරා ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි.

මාතෘකා