මහජන පීඩා පිළිබඳ සංවේදීවීමේ වැදගත්කම | ඇස පාදන රැස


මහජන පීඩා පිළිබඳ සංවේදීවීමේ වැදගත්කම

 ඡායාරූපය:

මහජන පීඩා පිළිබඳ සංවේදීවීමේ වැදගත්කම

මීට සති කිහිපයකට පෙර වැලිගෙපොළ ප්‍රදේශයේ ගම්මිරිස් වවන ගොවීන් සමග කතා බහ කිරීමේ අවස්ථාවක් මට ලැබිණ."අපට කෙළවිලා තියෙන්නේ.අපි නම් පොහොටුවට තමයි"ගොවියෝ එක හඬින් කීහ.ගම්මිරිස් මිළ පහත වැටීම ඔවුන්ගේ ආර්ථිකයට නරක අයුරින් බලපා තිබිණ.එම ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිලධාරියකු වන චමීර උදයංග මෙසේ කීය."ගම්මිරිස් වෙළෙඳපොළේ වැටීම ගැන මීට වඩා සැලකිලිමත් නොවුණොත් ඒක රජයට නරක අයුරින් බලපානවා."

තවත් අත්දැකීමක් මෙසේය. බණ්ඩාර කොස්වත්ත යනු බුලත් වගාව බහුලව කෙරෙන ප්‍රදේශයකි. එහි වෙසෙන මගේ ඥාති සහෝදරයකු පවසන පරිදි වසර දෙකක පමණ කාලයක් බුලත් මිලෙහි විශාල පහත වැටීමක් පවතී. ඊට හේතුව ඔවුහු නොදනිති. චෝදනාව රජයටය.

කෘෂි රසායන වෙනුවට කාබනික පොහොර භාවිත කිරීමේ වැඩසටහන යහපත් අරමුණකින් ආරම්භ කරන ලද මුත් අනුගමනය කළ වැරදි ක්‍රමවේදය නිසා පොහොර සහනාධාරයට හුරු වී සිටි ගොවියෝ අර්බුදයකට මුහුණ දුන්හ. මෙය ආණ්ඩුව තමන්ට කළ මදි පුංචිකමක් ලෙස ඔවුහූ කල්පනා කළහ. එමෙන්ම පෙහොර හිඟය නිසා කන්න දෙක තුනකදීම වැඩිමිලට පොහොර මිලදී ගැනීමට ගොවීන්ට සිදුවිය. මෙය කෘත්‍රිමව පෙහොර හිඟයක් ඇතිකිරීමේ උගුලක් නම් ආණ්ඩුව වහා පියවර ගත යුතුව තිබිණ. මෙවැනි අවථාවල ආඩුවේ මන්දගාමී පිළිවෙත ඔවුන්ගේ කලකිරීමට හේතු විය.    

කළමනාකරණ ගැටලු දිවයිනේ බොහෝ පළාත්වල ගොවීන්ගේ චෝදනාවක් වන්නේ වගාවට අවශ්‍ය පොහොර හිඟවීම නිසා වැඩිමිළට ගන්නට සිදුවීමය.කෘෂිකර්ම විෂයයෙහි ඇතිවී තිබෙන ගැටලු කළමනාකරණය කිරිමේ මන්දගාමී බව විශාල පිරිසකගේ කලකිරීමට හේතුවී තිබේ. අපනයන බෝගවල මිළ පහත වැටීමේ සාධාරණ හේතු තිබෙන්නට පුළුවන. එසේ නම් ඒ පිළිබඳ ගොවීන් දැනුවත් කර සත්‍ය පැහැදිලි කිරීම රජයේ වගකීම විය යුතුය. එසේ නොවූ විට වෛරය එල්ල වන්නේ නායකයන් හටය.

ඩාලි පාරේ උපදේශය

පසුගිය ජනාධිපතිවරණයට මාස කිහිපයකට පෙර ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේදී හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැත්විණ. සියලු ප්‍රාදේශීය සභාවල සභාපතිවරු ඊට සහභාගි වූහ."තමුසෙල ඔය වැඩවලදි කීයක් හරි ගත්තට කමක් නෑ. අහුවෙන්ඩ කරන්ඩ එපා"රාජ්‍ය නායකයා තම ප්‍රාදේශීය ආණ්ඩුවල නියෝජිතයන්ට දුන් උපදේශය වන්නේ නීතියෙන් රිංගා යටිමඩි ගැසීමය. පසුගිය පාලන සමයෙහි කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව ප්‍රාදේශීය සංවර්ධන වැඩවලින් ගසා කෑමේ අවස්ථාව ඔවුන්ට ලැබිණ.මේ නිසා සොච්චම් වැටුපක් ලබන ප්‍රාදේශීය මන්ත්‍රීවරයා පවා ටික කලකදි ඇදහිය නොහැකි පරිදි සල්ලිකාරයකු වනු පෙනිණ. මහ මැතිවරණයෙන් පත්වූ යහපාලන ආණ්ඩුව මේ දූෂිත පිළිවෙත වෙනස් කිරීම සඳහා අත ගැසුවේය. සොයා බලන විට පෙනී ගියේ රජ පවුලට සම්බන්ධ සමාගමක් ද දිවයින පුරා මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබාගෙන ඇති බවය.

ටෙන්ඩර් මගඩි

ටෙන්ඩර් පටිපාටියකට අනුව ප්‍රාදේශීය ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීමේදී ප්‍රාදේශීය සභාපතිවරුන් එතෙක් අනුගමනය කළ දූෂිත පිළිවෙත අභියෝගයට ලක් විය. රජාගේ උපදෙස් තවදුරටත් ක්‍රියාත්මක කළ නොහැකි විය. ඉදිකිරීම් කටයුතු ඇණ හිටීම හෝ ප්‍රමාදය හේතුවෙන් දෛනික කුලියට වැඩ බිම්වල සේවය කළ පෙදරේරුවන්, අත්උදව්කරුවන් ඇතුළු විශාල පිරිසකගේ ජීවන මාර්ග ඇහිරී ගියේය. උප කොන්ත්‍රාත්කරුවෝ නන්නත්තාර වූහ. ඔවුන්ගේ පවුල්වල ආර්ථිකයට මෙය තදින් දැනිණ.හොරකමට අනුබල දුන් නායකයා මෙය මහජනයාට අර්ථකතනය කළේ ‘මේ ආණ්ඩුව ආවට පස්සෙ මිනිසුන්ට ජීවත්වෙන්ඩ රස්සාවක් නැතිව ගියා’ යනුවෙනි.

යහපත් අරමුණු

ආණ්ඩුව ප්‍රාදේශීය සංවර්ධන කටයුතුවල තිබූ දූෂිත ක්‍රමය සකස් කිරීමට උත්සාහ දැරුවේ යහපත් අරමුණකිනි.එහිදී ඇතිවූ අතුරු ප්‍රතිපල මහජන පීඩාවක් බවට පත්වූ කල මහජනයාට ඇත්ත හෙළිදරව් නොකිරීමේ එක් ප්‍රතිපලයක් වූයේ හොරකමට අනුබල දුන් පරාජිත පාර්ශ්වයේ අදහස පීඩාවට පත්වූවන් විසින් පිළිගනු ලැබීමය. තොරතුරු පනත ක්‍රියාත්මක වීම ඔස්සේ ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘතිවල තොරතුරු දැනගැනීමේ හැකියාවද අදාළ ප්‍රදේශයේ ජීවත්වන්නන් හට ලැබී තිබේ.මෙයින් පෙනී යන්නේ අඩුපාඩු මැද්දේ වුවද ආණ්ඩුව විසින් මහජන යහපත පිණිස කරගෙන යනු ලබන ඇතැම් කටයුතු එයින් සේවය ලබන ජනතාව නොදන්නා බවය. මේ කරුණු පළාත් පාලන ඡන්දයේදී සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් පාලක පක්ෂවලට අහිමි කිරීම කෙරෙහි බලපා තිබේ. මෙය රාජ්‍ය මාධ්‍යවල සීමාකම පිළබඳ ගැටලුවක් ලෙසද සැලකිය යුත්තකි.

අධිපති මාධ්‍ය

ඉතිහාසයේ පළමුවැනිවරට රජයේ මාධ්‍ය අධිපති මාධ්‍ය බවට පත්නොවී පරාජිත දේශපාලන බලවේගය ඔසවා තබන මාධ්‍ය අධිපති මාධ්‍ය බවට පත් ව තිබේ. මහරගම පිළිකා රෝහලට නිතර යන්නකු වශයෙන් එහි සවිකර ඇති රූපවාහිනි යන්ත්‍රවල විකාශය වන දේවල් දකිමි. මහරජාගේ සහ මහාරාජාගේ මාධ්‍යවල ප්‍රවෘත්ති දෙස කට ඇරගෙන බලා සිටින රෝහල් සේවකයෝ ආණ්ඩුවේ වැරදි පමණක් දකිති. ගිනිපිඹින ජාතිවාදයෙන් උෂාර් වෙති. රූපවාහිනී යන්ත්‍ර සවිකර ඇති බො‍හෝ රාජ්‍ය ආයතනවල තත්වය මෙයයි. කුරුණෑගල පැරණි ලංගම බස් නැවතුමෙහි එකල ගුවන් විදුලි යන්ත්‍ර සවිකර තිබිණ.රජයේ ගුවන් විදුලියේ ප්‍රවෘත්ති විකාශය මගීන්ට ශ්‍රවණය කළ හැකිය. මේවා පූර්වාදර්ශ වේ. රාජ්‍ය ආයතනවල රජයේ ප්‍රවෘත්ති ශ්‍රවණය කිරීමේ අවස්ථාව නැතත් රට ගිනි තියන මාධ්‍යවල ප්‍රවෘත්ති නම් ඇසේ. රට බෙදන ව්‍යවස්ථාව, විදේශිකයන්ට දේපල විකිණීම යනාදී ගිනිගන්නා මාතෘකා මහජනයා අතරට යෑමේ අවකාශය රාජ්‍ය ආයතනවලින්ම පුළුල් කර තිබීම මාධ්‍ය නිදහස යැයි අර්ථකථනය කළ හැකිය. ඒ ඇත්තය. අවාසනාව වී ඇත්තේ මේ මාධ්‍ය බොහොමයක් රෙජීමය ගොඩ දැමීම සඳහා රටම මිථ්‍යා සයුරක ගිල්වීමය.

කළු ආර්ථිකය

එකල රෙජීමයට හීලෑ නොවූ මාධ්‍ය කුඩුපට්ටම කෙරිණ. නොඑසේ නම් බලහත්කාරයෙන් තම අන්තේවාසිකයන් හට හිමිකම පවරා දෙන ලදී. මේ මාධ්‍ය තවමත් කටයුතු කරන්නේ රෙජීමය වෙනුවෙනි.මේවායෙහි මුල් කළු ආර්ථිකයට ද ගැට ගැසී ඇත. රෙජීමය කළු සල්ලි සුදුකිරීමේ එක් මාර්ගයක් හැටියට මාධ්‍ය ආයතන ආරම්භ කළෝය. මාධ්‍ය මර්දනය ආණ්ඩුවේ පිළිවෙත නොවූ නිසා තවමත් ඒවා රෙජීමය ගොඩ දැමීමේ වගකීම වෙනුවෙන් ආණ්ඩුවේ ප්‍රතිරූපය සුන්බුන් කරයි.එක් උදාහරණයක් ගනිමි. 62 ලක්ෂයේ ජනවරමට දුන් ප්‍රතිඥාව අනුව නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පියවර කිහිපයකින් සෙමින් හෝ ඇරඹිණ. මේ පිළිබඳ ප්‍රමාණවත් මහජන කතිකාවතක් රාජ්‍ය මාධ්‍යයෙන් දියත් නොවීය. එහෙත් අනෙක් සියලු මාධ්‍ය ව්‍යවස්ථාව ගෝනි බිල්ලකු බවට පත් කරමින් මහජන සිත්හි භීතියක් නිර්මාණය කළේය. හිටපු රාජ්‍ය නායකයා කිසිදු හිරිකිතයකින් තොරව මෙය සමලිංගිකයන්ට අවස්ථාව දෙන ව්‍යවස්ථාවකැයි පන්සල් ගානේ කී විට ඊනියා මාධ්‍ය මෙය උජාරුවෙන් විකාශය කළේය. පළාත් පාලන ආයතන බහුතරයක බලය අහිමි කිරීමට බලපෑ ජනමතය කෙරෙහි මේ කරුණුද අඩු වැඩි වශයෙන් බලපාන්නට ඇතැයි සිතමි.

[තිඹිරියාගම බණ්ඩාර]

මාතෘකා